පුරවැසි කොලම

මේ වන විට ජාතික බලවේගයේ විවිධ විද්වතුන් එකවර පරස්පර විරෝධී ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කරන බව පෙනේ. එක් කණ්ඩායමක් මෙතෙක් ඔවුන්ගේ ප‍්‍රධාන සටන් පාඨය වූ පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවට ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකරනු’ යන සටන් පාඨයට මාරු වී සිටිති. අනෙක් කණ්ඩායම වර්තමාන පළාත්සභා ක‍්‍රමය අහෝසි කැරෙන ව්‍යවස්ථාවක විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ව විශේෂ රුචියක් නොමැති බව පවසති. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම මත පිහිටා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කැමැත්ත දක්වන පිරිස බෙදුම්වාදීන්ගේ ගොඩට යා නොදී බෙදුම්වාදයට එරෙහි පාර්ශ්වය තුළ රඳවාගැනීමේ අභිප‍්‍රායෙන් කටයුතු කරන මෙම දෙවැනි කණ්ඩායම පළාත්සභා ක‍්‍රමය අහෝසි කෙරෙන තත්ත්වයක් යටතේ රටේ බහුතර ජනතාව එකග නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එකගතාව පළ කරති.

ඉහත සඳහන් කළ පළමු කණ්ඩායම සංකල්පීය වශයෙන් සටන්පාඨ ඉදිරිපත් කළ ද ප‍්‍රායෝගික ව පවතින තත්ත්වය තුළ තමාගේ සටන් පාඨය ජයග‍්‍රහණය කරන ආකාරය පිළිබඳ ව උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් නොකරති. එනම්, බෙදුම්වාදයේ අවශ්‍යතාව වන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් පළාත් සභා ශක්තිමත් කිරීමේ උපාය පරාජය කෙරෙන පරිදි පළාත්සභා අහෝසි කෙරෙන ආකාරය පිළිබඳ ව කථා නොකරති.

ඒ අතර ජාතික බලවේග විසින් නව ව්‍යවස්ථාවක් යටතේ 13 වැනි සංශෝධනයක් නොමැති බැවින් අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බැවින් නව ව්‍යවස්ථාවක් මගින් නව සංවර්ධන සභා ව්‍යුහයක් හඳුන්වා දිය යුතු බවට නව සටන් පාඨයක් ඉහළට ගැනීම සමග තවත් සුවිශේෂී ප‍්‍රවණතාවක් පැන නැගී ඇත. මෙතෙක් කාලයක් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් මරාගෙන මැරෙන හ`ඩින් ඝෝෂා කළ එන්.ජී. ඕ ‘ගෝඞ්ෆාදර්ලා’දැන් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව පවසති. දැන් ඔවුන් සැරසෙන්නේ පවත්නා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් විධායක ජනාධිපති ක‍්‍රමය තව දුරටත් දුබල කොට 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට ය. ඊට හේතුව වන්නේ ජාතික බලවේග විසින් ඔවුන්ගේ ‘මල්ටිබැරල්’ අවියේ උණ්ඩ උදුරාගැනීම ය. එනම් නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් පවතින බෙදුම්වාදී පළාත්සභාව වෙනුවට සංවර්ධන සභාවක් සහ මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් යෝජනා කිරීම ය.
කෙසේ වෙතත් තවත් පිරිසක් කල්පනා කරන්නේ මේ වන විට පළාත්සභා අක‍්‍රිය ව පවත්නා බැවින් එය ව්‍යවස්ථාවෙන් ගලවා ඉවත් කිරීම පහසු කරුණක් බව ය. එහෙත් බෙදුම්වාදී බලවේග පමණක් නොව දකුණේ දේශපාලන බලවේග ද ඊට දැඩි ලෙස විරුද්ධ වන බවට සැකයක් නැත. බොහෝ විට උතුරේ දේශපාලනඥයන්ටත් වඩා දකුණේ දේශපාලනඥයන් ඉදිරියට පැමිණ තමාගේ වරප‍්‍රසාද රැකගැනීමට ඉදිරිපත් විය හැකි ය. ඒ නිසා නව ව්‍යවස්ථාවක බෙදුම්වාදී පළාත්සභා ක‍්‍රමය අහෝසි කරන විට ඒ වෙනුවට සංවර්ධන සභා ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට සිදුවනු ඇත. එසේ නොමැති ව හුදු සටන් පාඨයක් ඉදිරිපත් කළ පමණින් සතුරාගේ උපක‍්‍රම පරාජය කළ නොහැකි ය.

ජාතික විද්වද් භික්ෂු සංසදය මෙම යථාර්ථය සැලකිල්ලට ගනිමින් නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව යෝජනා කර ඇත. ඊට එරෙහි වන යම් පිරිස් 13 සහ 19 වැනි සංශෝධන සහිත පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ නොදෙන බවට නොදැනුවත් ව සතුරා වෙනුවෙන් වාග් ප‍්‍රහාර එල්ල කරති.
සම්මුතියේ මාලිමාව නමින් ඉදිරිපත් කළ දස වැදෑරුම් උපාය මාර්ගික රාමුවේ පළමු උපාය මාර්ගය වන ‘‘ජාතියට නව දැක්මක්, නව ව්‍යවස්ථාවක්, ශක්තිමත් බලවත් ස්වාධීන රටක්” යන තේමාව යටතේ අනාගතයේ දී නව පාලනයක් මගින් රටට නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට පොදු ජනතා එකගතාවක් ඇති වන්නේ නම් එම නව ව්‍යවස්ථාවට ඇතුළු විය යුතු බහුවිධ ප‍්‍රතිපාදන අවධාරණ කරන ලදි. ජාතික විද්වද් භික්ෂු සංසදයේ මතය අනුව පවතින ව්‍යවස්ථාව රටට මර උගුලකි. විශේෂයෙන් ම ඒ තුළ අන්තර්ගත 13 වැනි සංශෝධනය නිසා බෙදුම්වාදීන්ට යටත් ව ක‍්‍රියාකරන ආණ්ඩුවකට පාර්ලිමෙන්තුවේ විශේෂ බහුතර බලය තිබෙන ඕනෑම අවස්ථාවක, කූඨ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එය බලවත් කොට රට බෙදුම්වාදයට ගොදුරු කිරීමේ අනතුර සදාකාලික ව පවතී. එමෙන් ම 19 වැනි සංශෝධනය ද රටේ ඉදිරි ගමනට බාධා කරන ‘බරවා කකුලකි. එසේ වුවත් පවතින ව්‍යවස්ථාවෙන් ඒවා ගලවා ඉවත් කිරීමට ගන්නා උත්සහයක දී ඒවා වෙනත් ආකාරයට බලවත් කිරීමේ අනතුරක් ඇත. විශේෂයෙන් ම විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් 13 වැනි සංශෝධනය බලවත් කිරීමට බෙදුම්වාදී බලවේග විසින් ගනු ලබන උත්සාහය තුළින් ඒ බව තහවුරු වේ.

එම නිසා සැබෑ ලෙස ම ජනතා බලය පෙන්විය හැකි ආණ්ඩුවක් විසින් රටට සහ ජනතාවට හිතවාදී ව්‍යවස්ථා ප‍්‍රතිපාදන ඇති කරන්නේ නම් වඩාත් ම සුදුසු ක‍්‍රමවේදය වන්නේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම බව විද්වද් භික්ෂු සංසදයේ මතය වේ. ඊට අමතර ව එවැනි ප‍්‍රවේශයක දී අවංක ව සහ නිර්භීත ව මහජනයා සමග විවෘත සංවාදයක යෙදීම අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් බව ද අපගේ පිළිගැනීම වේ. එසේ වුවත් පසුගිය කාලයේ දී ව්‍යවස්ථා සංශෝධන කතිකාව විවිධ පාර්ශ්ව විසින් මතු කරනු ලැබුවේ පාලකයන්ගේ පටු දේශපාලන අරමුණු සහ සුළු ජාතික පක්ෂවල ඡන්ද ලබාගැනීමේ කූඨ අරමුණු මත බව රහසක් නොවේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මුල් කරගෙන ඉහළට ඔසවන කතිකාව තුළ සැඟවී ඇති සැබෑ අරමුණ පවතින ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය බලවත් කිරීම බව රහසක් නොවේ. එනම් ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් පාඨයට මුවා වී බෙදුම්වාදයට රට ගොදුරු කිරීමේ උවමනාවකි.

ඊට එරෙහි ව ප‍්‍රති උපායමාර්ග තේරීමේ දී සමස්ත ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය ම ප‍්‍රතික්ෂේප කිරීම එක් ක‍්‍රමයකි. එනම් කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට සටන් පාඨයක් ඉදිරිපත් කිරීම ය. එසේ වුවත් ඒ මගින් පවතින ව්‍යවස්ථාවේ අඩංගු 13 සහ 19 වැනි සංශෝධන අනුමත කිරීමක් වක‍්‍ර ව සිදු වේ. ඒ අනුව දෙවැනි ක‍්‍රමවේදය වන්නේ සතුරාගේ සටන් පාඨය වන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය උදුරාගැනීම හෙවත් ඊට මුවා වී 13 වැනි සංශෝධනය අහෝසි කිරීම ය. එහි දී ඊට මහජන සහාය ලබාගැනීමට නම් පරිපාලන බලතල විමධ්‍යගත කිරීමේ විකල්ප ක‍්‍රමවේදයක් හඳුන්වා දීම ද අවශ්‍ය වේ. ඒ සියල්ල සඳහා මහජන සංවාදයක් දිරි ගැන්විය යුතු වේ.
කෙසේ වෙතත් මීට පෙර සඳහන් කළ ආකාරයට බෙදුම්වාදීන්ගේ වුවමනාවන්ට අනුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ඉදිරිපත් කරන පිරිස් කොටස් දෙකකට අයත් වේ. එක් කොටසක් සැබෑ ලෙස ම රට බෙදා වෙන් කිරීමේ විෂම අරමුණු සහිත එන්.ජී. ඕ නඩය ප‍්‍රමුඛ රට පිළිබඳ හැඟීමක් නැති පිරිසකි. දෙවැනි කොටස බලය බෙදීම මගින් රට බෙදීමක් සිදු නොවන බවට ව්‍යාජ විශ්වාසයකින් කටයුතු කරන පටු දේශපාලන වුවමනාවන් පෙරදැරි කරගත් පිරිසකි. එම කොටස් දෙකට ම අයත් නොවන අවංක ව ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ සටන් පාඨය මුල් කරගෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා හඬ නගන තුන්වැනි පිරිසක් ද සිටිති. ඔවුන් තුළ බෙදුම්වාදයට රට ගොදුරු කිරීමේ වුවමනාවක් නොමැති අතර එසේ සිදු වන්නේ නම් විධායක ජනාධිපති ක‍්‍රමය ආරක්ෂා කිරීමට පවා ඔවුන් ඉදිරිපත් විය හැකි ය. ජාතික විද්වද් භික්ෂු සංසදයේ මතය අනුව බෙදුම්වාදය පරාජය කිරීමේ සටන සඳහා ඒ තුන්වැනි කොටස දිනාගත යුතු ය.

ඉහත සඳහන් කළ ආකාරයට විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වන පිරිස අතර කොටස් දෙකක් නියෝජනය වේ. පළමු කොටස 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවේ තිබෙන තුරු විධායක ජනාධිපති ක‍්‍රමය ආරක්ෂා කිරීම මගින් රට ආරක්ෂා කළ හැකි යැයි විශ්වාස කරන පිරිසකි. 13 වැනි සංශෝධනය හෝ වෙනත් බෙදුම්වාදී ප‍්‍රතිපාදන නොමැති තත්ත්වයක් යටතේ විධායක ජනාධිපති ක‍්‍රමය රැකීමට ඔවුන්ට විශේෂ වුවමනාවක් නැත. විධායක ජනාධිපති ක‍්‍රමය කොන්දේසි විරහිත ව එනම්, බෙදුම්වාදී අනතුරක් නොමැති තත්ත්වයක් යටතේ වුව ද රැකිය යුතු යැයි සිතන පිරිස දෙවැනි කොටස ලෙස හඳුනාගත හැකි ය. ඔවුහු 1739 දී අහෝසි වූ සිංහල රාජවංශය නැවත පිහිටුවිය යුතු යැයි අවංක ව විශ්වාස කරන පිරිසකි. එම විශ්වාසය යථාර්ථයක් කළ හැකි නම් එහි සංකේතය වන විධායක ජනාධිපති ක‍්‍රමය රටට හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන මහතා ජාතික වීරයන්ගේ ලැයිස්තුවේ පළමු වැන්නා විය යුතු ය. අනෙක් අතට එදා රජුට ප‍්‍රමිතීන් සහ ව්‍යවස්ථා පැනවූ ව්‍යවස්ථාදායකය ලෙස කටයුතු කළ මහා සංඝරත්නය තම ඓතිහාසික භූමිකාව නැවත අත්පත් කරගැනීමෙන් තොර ව රාජ්‍යත්වය ප‍්‍රතිනිර්මාණය කළ හැකි ද?

කෙසේ වෙතත් ගෙදර වැටේ ‘13 වැනි සංශෝධනය අහෝසි කරනු’යනුවෙන් සටන් පාඨ බෝඞ් ලෑල්ලක් එල්ලා ගේ තුළ නිදාගත් පමණින් එම දේශපාලන අරමුණු ඉටු නොවේ. ඒ සඳහා දේශපාලන උපායමාර්ග තේරිය යුතු අතර මහජන සහාය ලබාගත යුතු ය. අප සඳහන් කරන සංවාදය වැදගත් වන්නේ ඒ සඳහා ය. සම්මුතියේ මාලිමාව ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වන්නේ එසේ මහජන සංවාදය දිරිගැන්වීම ය. එසේ ම එම සංවාදය තුළ පැන නගින අදහස් අනුව අදාළ ඉදිරිපත් කිරීම නැවත ස්ථානගත කිරීම ද වැදගත් වේ.
ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ව ඉදිරිපත් කරනු ලැබූ කරුණුවල ප‍්‍රමුඛතා අනුපිළිවෙළ සහ පැහැදිලි භාවය පිළිබඳ ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගෙන එම අදහස් නැවත පෙළ ගස්වා ‘සම්මුතියේ මාලිමාව’ දෙවැනි මුද්‍රණය ඉදිරිපත් කරමු. එසේ ම ජාතික විද්වද් භික්ෂු සංසදයේ මතවාදවලට එරෙහි ව විද්වද් අදහස් ඉදිරිපත් කිරීම ද අගය කරමු. එසේ වුවත් යමකු විසින් ශාස්ත‍්‍රීය ලෙස විකල්ප මතවාදයක් ඉදිරිපත් නොකර අනෙකාගේ මතවාදයට හුදෙකලා ව පහර දීම මගින් පමණක් සැබෑ විද්වත් සංවාදයක් දිරිගැන්විය නොහැකි බව ද අවධාරණ කරමු.

ආචාර්ය මාදුරුඔ‌යේධම්මිස්සර ස්ථවිර
ජාතික විද්වද් භික්ෂු සංසදයේ මහජන අදහස් විමසීමේ කොමිසමේලේකම්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More