පුරවැසි කොලම

සම්මුතියේ මාලිමාව නමින් ඉදිරිපත් කළ දස වැදෑරුම් උපාය මාර්ගික රාමුවේ පළමු උපාය මාර්ගය වන “ ජාතියට නව දැක්මක්, නව ව්‍යවස්ථාවක්, ශක්තිමත් බලවත් ස්වාධීන රටක් ” යන තේමාව යටතේ අනාගතයේදී නව පාලනයක් මඟින් රටට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට පොදු ජනතා එකඟතාවයක් ඇතිවන්නේ නම් එම නව ව්‍යවස්ථාවට ඇතුල්විය යුතු බහුවිධ ප්‍රතිපාදන අවධාරණය කරන ලදී. විද්වත් භීක්ෂු සංසදයේ මතය අනුව පවතින ව්‍යවස්ථාව රටට මර උගුලකි. විශේෂයෙන්ම ඒ තුළ අන්තර්ගත 13 වැනි සංශෝධනය නිසා බෙදුම්වාදීන්ට යටත්ව ක්‍රියාකරන ආණ්ඩුවකට පාර්ලිමෙන්තුවේ විශේෂ බහුතර බලය තිබෙන ඕනෑම අවස්ථාවක, කූඨ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් එය බලවත් කොට රට බෙදුම්වාදයට ගොදුරු කිරීමේ අනතුර සදාකාලිකව පවතී. 19 වැනි සංශෝධනයද රටේ ඉදිරි ගමනට බාධා කරන ‘’බරවා කකුලකි.’’ නමුත් පවතින ව්‍යවස්ථාවෙන් ඒවා ගලවා ඉවත් කිරීමට ගන්නා උත්සහයකදී, ඒවා වෙනත් ආකාරයට බලවත් කිරීමේ අනතුරක් ඇත. විශේෂයෙන්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් 13 වැනි සංශෝධනය බලවත් කිරීමට බෙදුම්වාදී බලවේග විසින් ගනු ලබන උත්සාහය තුලින් ඒ බව තහවුරු වේ.

එම නිසා සැබෑ ලෙසම ජනතා බලය පෙන්විය හැකි ආණ්ඩුවක් විසින් රටට සහ ජනතාවට හිතවාදී ව්‍යවස්ථා ප්‍රතිපාදන ඇති කරන්නේ නම් වඩාත්ම සුදුසු ක්‍රමවේදය වන්නේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම බව විද්වත් භික්ෂු සංසදයේ මතය වේ. ඊට අමතරව එවැනි ප්‍රවේශයකදී අවංකව සහ නිර්භීතව මහජනයා සමඟ විවෘත සංවාදයක යෙදීම අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් බවද අපගේ පිළිගැනීම වේ. නමුත් පසුගිය කාලයේදී ව්‍යවස්ථා සංශෝධන කතිකාව විවිධ පාර්ශව විසින් මතු කරනු ලැබුවේ පාලකයින්ගේ පටු දේශපාලන අරමුණු සහ සුළු ජාතික පක්ෂ වල ඡන්ද ලබා ගැනීමේ කූඨ අරමුණු මත බව රහසක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මුල්කරගෙන ඉහළට ඔසවන කතිකාව තුළ සැඟවී ඇති සැබෑ අරමුණ පවතින ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය බලවත් කිරිම බව රහසක් නොවේ. එනම් ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨයට මුවා වී බෙදුම්වාදයට රට ගොදුරු කිරීමේ උවමනාවකි.

ඊට එරෙහිව ප්‍රති උපායමාර්ග තේරීමේදී සමස්ථ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියම ප්‍රතික්ෂේප කිරීම එක් ක්‍රමයකි. එනම් කිසිඳු ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට සටන් පාඨයක් ඉදිරිපත් කිරීමය. නමුත් ඒ මඟින් පවතින ව්‍යවස්ථාවේ අඩංගු 13 සහ 19 වැනි සංශෝධන අනුමත කිරීමක් වක්‍රව සිදුවේ. ඒ අනුව දෙවන ක්‍රමවේදය වන්නේ සතුරාගේ සටන් පාඨය වන විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කිරීමේ සටන්පාඨය උදුරාගැනීම හෙවත් ඊට මුවා වී 13 වැනි සංශෝධනය අහෝසි කිරීමය. නමුත් ඊට මහජන සහය ලබා ගැනීමට නම් පරිපාලන බලතල විමධ්‍යගත කිරීමේ විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දීමද අවශ්‍ය වේ. ඒ සියල්ල සඳහා මහජන සංවාදයක් දිරි ගැන්විය යුතුවේ.

කෙසේ වෙතත් බෙදුම්වාදින්ගේ උවමනාවන්ට අනුව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ඉදිරිපත් කරන පිරිස් කොටස් දෙකකට අයත් වේ. එක් කොටසක් සැබෑ ලෙසම රට බෙදාවෙන් කිරීමේ විශම අරමුණු සහිත එන්.ජී.ඕ නඩය ප්‍රමුඛ රට පිළිබඳ හැඟීමක් නැති පිරිසකි. දෙවන කොටස බලය බෙදීම මඟින් රට බෙදීමක් සිදු නොවන බවට ව්‍යාජ විශ්වාසයකින් කටයුතු කරන පටු දේශපාලන උවමනාවන් පෙරදැරි කරගත් පිරිසකි. නමුත් එම කොටස් දෙකටම අයත් නොවන අවංකවම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ සටන් පාඨය මුල් කර ගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා හඬ නගන තුන්වන පිරිසක්ද සිටිති. ඔවුන් තුළ බෙදුම්වාදයට රට ගොදුරු කිරීමේ උවමනාවක් නොමැති අතර එසේ සිදුවන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කිරීමට පවා ඔවුන් ඉදිරිපත් විය හැක. විද්වත් භික්ෂු සංසදයේ මතය අනුව බෙදුම්වාදය පරාජය කිරීමේ සටන සඳහා ඒ තුන්වන කොටස දිනාගත යුතුය.

ඒ අතර විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වන පිරිස අතුර කොටස් දෙකක් නියෝජනය වේ. පළමු කොටස 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවේ තිබෙන තුරු විධායක ජනාධිපතික්‍රමය ආරක්ෂා කිරීම මඟින් රට ආරක්ෂා කළ හැකි යැයි විශ්වාස කරන පිරිසකි. නමුත් 13 වැනි සංශෝධනය හෝ වෙනත් බෙදුම්වාදී ප්‍රතිපාදන නොමැති තත්වයක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය රැකීමට ඔවුන්ට විශේෂ උවමනාවක් නැත. විධායක ජනාධිපති ක්‍රමය කොන්දේසි විරහිතව එනම් බෙදුම්වාදී අනතුරක් නොමැති තත්වයක් යටතේ වුවද රැකිය යුතු යැයි සිතන පිරිස දෙවන කොටස ලෙස හඳුනාගත හැක. ඔවුහු 1739 දී අහෝසි වූ සිංහල රාජවංශය නැවත පිහිටුවිය යුතු යැයි අවංකව විශ්වාස කරන පිරිසකි. එම විශ්වාසය යථාර්ථයක් කළ හැකි නම් එහි සංඛෙතය වන විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන මහතා ජාතික වීරයින්ගේ ලැයිස්තුවේ පළමු වැන්නා විය යුතුය. ඊට අමතරව එදා රජුට ප්‍රමිතීන් සහ ව්‍යවස්ථා පැනවූ ව්‍යවස්ථාදායකය ලෙස කටයුතු කළ මහා සංඝරත්නය තම ඓතිහාසික භූමිකාව නැවත අත්පත් කර ගැනීමෙන් තොරව රාජ්‍යයත්වය ප්‍රතිනිර්මාණය කළ හැකිද?

කෙසේ වෙතත් ගෙදර වැටේ ‘’13 වැනි සංශෝධනය අහෝසි කරනු’’ යනුවෙන් සටන් පාඨ බෝඩ් ලෑල්ලක් එල්ලා ගේ තුළ නිදාගත් පමණින් එම දේශපාලන අරමුණු ඉටු නොවේ. ඒ සඳහා දේශපාලන උපාය මාර්ග තේරිය යුතු අතර මහජන සහය ලබාගත යුතුය. අප සඳහන් කරන සංවාදය වැදගත් වන්නේ ඒ සඳහාය. සම්මුතියේ මාලිමාව ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වන්නේ එසේ මහජන සංවාදය දිරිගැන්වීමය. එසේම එම සංවාදය තුළ පැන නගින අදහස් අනුව අදාල ඉදිරිපත් කිරීම නැවත ස්ථානගත කිරීමද වැදගත් වේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඉදිරිපත් කරනු ලැබූ කරුණු වල ප්‍රමුඛතා අනුපිළිවෙල සහ පැහැදිළිභාවය පිළිබඳ ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගෙන එම අදහස් නැවත පෙලගස්වා දෙවන මුද්‍රණය ඉදිරිපත් කරමු. එසේම විද්වත් භික්සු සංසදයේ මතවාද වලට එරෙහිව විද්වත් අදහස් කිරීම ද අගය කරමු. නමුත් යමෙකු විසින් සාශ්ත්‍රීය ලෙස විකල්ප මතවාදයක් ඉදිරිපත් නොකර අනෙකාගේ මතවාදයට හුදකලාව පහර දීම මඟින් පමණක් සැබෑ විද්වත් සංවාදයක් දිරිගැන්විය නොහැකි බවද අවධාරණය කරමු.

ආචාර්ය පූජ්‍ය මාදුරුඔය ධම්මිස්සර හිමි.

එම සංශෝධන අඩංගු පසුවදන සහිත නූතන මාලිමාවට ‌මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More