දේශීය පුවත්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි වුවත් ‘පොහොට්ටුව’ට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) ප්‍රකාශ කළේය.

‘ඇතුගල්පුර තීන්දුව හරි අතට’ යන තේමාව යටතේ කුරුණෑගල හෙට්ටිපොළ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ‘පොහොට්ටුව’ට ඡන්දය දිය නොහැකි බවත් පොදු වේදිකාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තම ස්ථාවරය දැනුම් දුන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

“රනිල්ගේ සහ මගේ ගැටුම පෞද්ගලික ගැටුමක් නොවෙයි. එය දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ ගැටුමක්. දර්ශනය පිළිබඳ ගැටුමක්. හොඳ සහ නරක අතරේ ගැටුමක්. ඒ නිසා අවසානයේදී රනිල් අගමැතිකමින් පන්නලා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න මට සිදුවුණා. මම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඇමැති මණ්ඩලය විසුරුවා හැරියා.

ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම ගැසට් පහක් ගහලා නැහැ. මට එහෙම කරන්න වුණේ රනිල් වික්‍රමසිංහ සමයේ තිබූ දූෂිත, රට පාවාදීමේ වැඩපිළිවෙළට විරුද්ධ නිසයි.

මම ආණ්ඩුවක් හදලා දුන්නා. හැබැයි ඔවුන්ට 113ක් හදාගන්න වුවමනාවක් තිබුණේ නැහැ. එය මගේ වැරැද්ද නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහතා අද විපක්ෂ නායක වී සිටින්නේ පොහොට්ටුව නිසා නෙමෙයි. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වී සිටින්නේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු බව තහවුරු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරුන් දුන් ලියුම නිසයි.

පොහොට්ටුවයි අපියි සමගි සන්ධානයක් හදන්න දැන් මාස දෙක තුනක ඉඳන් සාකච්ඡා පවත්වනවා. ඊයේ උදේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මා මුණගැසුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අපි හතරදෙනා සාකච්ඡා පැවැත්වූවා.

මම ඔවුන්ට අපේ මධ්‍යම කාරක සභාවේ මතය දැනුම් දුන්නා. මම අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය ඔවුන්ට කිව්වා. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ මතය කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ඉන්න පාක්ෂිකයාගේ මතය කිව්වා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න පුළුවන් බව මම කිව්වා. ජාතික වැඩපිළිවෙළක් තුළ ඇති කරගන්නා එකඟතාවක් ඇතුළත අපිට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න පුළුවන්. එහෙත් අපිට පොහොට්ටුවට ඡන්දය දෙන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුව ලාංඡනයට ඡන්දය දෙන්න බැහැ. ඒ ලාංඡනයට ඡන්දය දෙන්න අපට පුළුවන්කමක් නැහැ. ඒ නිසා පොදු ලකුණකට එන්නැයි මම කිව්වා. එතකොට අපිට එකතුවෙන්න පුළුවන්.

මම මහින්ද රාජපක්ෂ අගමැති කළා. ආණ්ඩුවක් හදන්න උදව් කළා. පාර්ලිමේන්තුවේ තියාගන්න උදව් කළා. විපක්ෂ නායකකම ලබාගන්න උපකාර කළා. අපි ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කළා. ඒ නිසා මෙච්චර උදව් කරපු අපි ඉදිරිපත් කරන යෝජනාවට ඔවුන්ගේ නම්‍යශීලීතාවක් තිබිය යුතුයි. පොහොට්ටුව නම්‍යශීලී විය යුතුයි.” යැයි ද ජනාධිපතිවරයා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More