පුරවැසි කොලම

ජාත්‍යන්තර පිටියට ජාත්‍යන්තර තරග කෝ!

ලංකාවේ විශාලතම ක‍්‍රීඩාංගණය ලෙසින් ඉදිවූ සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් තරග නොපවත්වන හා දේශීය මට්ටමේ පාසල් තරග පමණක් පවත්වන මෙන්ම දේශීය සංචාරකයන්ගේ සංචාරක ස්ථානයක් පමණක් බවට පත්ව තිබීම දැඩි කනගාටුවට කරුණක් බව ප‍්‍රදේශවාසීන් හා ක‍්‍රීඩා ලෝලීහු පවසති.

රුපියල් මිලියන 4283 ක පමණ විශාල මහජන මුදලක් වියදම් කරමින් ඉදිකෙරුණු මෙම අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය අද වන විට නමට පමණක් අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් බවට පත්වී තිබේ. ඊට ප‍්‍රධානම හේතුව නම් අන් කිසිදු කරුණක් නොව මේ වන විට ක‍්‍රීඩා ලොක්කන් පාසල් මට්ටමේ ක‍්‍රිකට් තරග හැරුණුකොට මෙම ක‍්‍රීඩාංගණයේ අන්තර් ජාතික මට්ටමේ ක‍්‍රිකට් තරග නොපැවත්විමයි. විශාල මහජන මුදලක් වියදම් කරමින් ඉදිකෙරුණු මෙම

ක‍්‍රීඩාංගණයට කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නේ කාගේ වරදක් නිසාවෙන්දැයි ක‍්‍රීඩා ලෝලීන්ට මෙන්ම අපටද ගැටලූවකි.

මෙම ක‍්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසු මේ දක්වා මෙහි පවත්වා ඇත්තේ එක් දින තරග 15 කටත් අඩු සංඛාවක් වන අතර, ටී 20 තරග 07 ක් හෝ 08 ක් පමණක් බවයි වාර්තා වෙන්නේ. සූරියවැව ඉදිවූ මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය සඳහා අක්කර 47 ක පමණ භූමි භාගයක් වෙන් කර ඇති අතර ක‍්‍රීඩා ලෝලීන් තිස්පන්දහසකට පමණ එකවර තරග නැරඹීමේ හැකියාවද මෙහි පවතී. එමෙන්ම ක‍්‍රීඩා පිටියද මීටර් 100ක දිගින් හා මීටර් 100 ක පළලකින්ද යුක්තය. දිවා ? දෙකෙහිම තරග පැවැත්විය හැකි අයුරින් ස්ථාපිත කර ඇති නවීන විදුලි ආලෝක පද්ධතියකින්ද සමන්විත මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය මෙලෙස පාසල් මට්ටමේ තරග සඳහා පමණක් යොදා ගැනීම මහා අපරාධයක් බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.

අවසන් වරට මෙම ක‍්‍රීඩාංගණයේ ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ ජුලි මාසයේදිය. ඒ සිම්බාබ්බේ හා ලංකාව අතර පැවති තරගයයි. වසර කිහිපයක් තිස්සේ තරග නොපවත්වා තිබී නැවත ක‍්‍රීඩාංගණයේ අලූත්වැඩියා කයටුතු කිහිපයක් සිදු කර එම තරගය පැවැත්වීමට කටයුතු කෙරුණි. එහිදීද තරග අවසානයේ සූරියවැව නම ජාත්‍යන්තරයට ගියේය. ඒ ක‍්‍රිකට් තරගය නිසා නම් නොව ක‍්‍රිකට් තරග පැවති දින කිහිපය අවසානයේ ක‍්‍රීඩාංගණයේ සහායට හා වැඩට පැමිණ සිටි කම්කරුවන් ඇඳ සිටි රෙදි ගැලවාගැනීමක් හේතුවෙනි.

කලින් කලට මෙම ක‍්‍රීඩාංගණයේ පරිපාලනය වෙනස් වූයේ විවිධ කළමනාකරුවන්ගේ සිදු වූ නොමනා ක‍්‍රියා කලාපයන් නිසාවෙන් බවයි ගම්මුන් පැවසුවේ. කාලයක් මෙම ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම විනාශයට ගොස් තිබුණි. බේබද්දන්ගේ පාරාදීසයක් බවටද මෙම ක‍්‍රීඩාංගණය පත්ව තිබූ බවයි ගම්මුන් පැවසුවේ. කෙසේ වෙතත් අද වන විට එම තත්ත්වය 80%ක් පමණ වෙනස් වී ඇත්තේ අලූත් කළමනාකාරීත්වයක් යටතේය. අද වන විට ක‍්‍රීඩාංගණයේ ආරක්ෂාව සඳහා යුද හමුදා නිලධාරීන් 25 දෙනකු පමණ යොදවා ඇති අතර ක‍්‍රීඩාංගණයේ දෛනික නඩත්තු කටයුතු සඳහාද කළමනාකරුවෙකු ඇතුළු සේවකයන් 14 දෙනකු තරම් වූ සීමිත පිරිසක් යොදවා තිබේ. 2017 වසරෙන් පසුව මේ දක්වා මෙහි ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් තරගයක් පවත්වා නොමැති අතර ඒ වෙනුවට පාසල් ක‍්‍රිකට් තරග, දිස්ත‍්‍රික් මට්ටමේ හා පළාත් මට්ටමේ ක‍්‍රිකට් තරග පමණක් මෙහි පවත්වා තිබේ. දැනට පාසල් මට්ටමේ ක‍්‍රිකට් තරගයක් සඳහා දිනකට රුපියල් 15000 ක පමණ මුදලකට ක‍්‍රීඩාංගණය ලබා දෙන බවයි වාර්තා වන්නේ. මීට අමතරව කාලයක් මේ ස්ථානය විවාහ මංගල උත්සව සඳහාද ලබා දී තිබුණි. කෙසේ නමුත් ක‍්‍රීඩා ලෝලීන් පවසන්නේ මේ තරම් මහා ධනස්කන්ධයක් වියදම් කරමින් ඉදි කෙරුණු මෙම ක‍්‍රීඩාංගණය මෙලෙස විනාශයට යෑමට ඉඩ නොදීමට ඉහළ ක‍්‍රිකට් බලධාරීන් වගබලාගත යුතුව ඇති බවයි.

පසුගිය ජනවාරි මස දක්වා බස්නාහිර පළාත් ක‍්‍රිකට් සංගමය මගින් පාලනය වූ මෙම ක‍්‍රීඩාංගණය අද වන විට දකුණු පළාත් ක‍්‍රිකට් සංවර්ධන කමිටුව මගින් පාලනය වෙයි. මේ වන විට ක‍්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු වෙනුවෙන් හා පරිපාලන කටයුතු වෙනුවෙන් කළමනාකරුවෙකු ඇතුළු සේවකයන් 14 දෙනකු පත් කර තිබේ. එම සේවකයන් විසින් දිනපතා මෙම ක‍්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු හා පරිපාලන කටයුතුද සිදු කරගෙන යන්නේ ඉතා අවම පහසුකම් රැසක් මධ්‍යයේ බවයි අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ.මෙම ක‍්‍රීඩාංගණයේ තණතිල්ල සකසන්නෙක්ද සිට ඇති නමුත් ඔහුද පසුගිය ඔක්තෝම්බර් මස විදේශ ගතවී තිබේ. ඒ වෙනුවට අද දක්වාම ක‍්‍රීඩාංගණයට තණතිල්ල සකසන්නෙක් පත් කිරීමටද ඉහළ ක‍්‍රිකට් බලධාරීන් කටයුතු කර නොමැතිය.

පසුගිය වසරේ පමණක් පාසල් මට්ටමේ හා පළාත් මට්ටමේ ක‍්‍රිකට් තරග 50 කට ආසන්න ප‍්‍රමාණයක් මෙහි පවත්වා ඇතත් එකදු ජාත්‍යන්තර තරගයක්වත් සූරියවැව පවත්වා නැත්තේ කාගේ වරදක් නිසාවෙන්දැයි නොවැටහේ.

කෙතරම් මුදලක් වියදම් කර කවුරුන් විසින් මෙය ඉදිකළද මෙය කිසිදු ආණ්ඩුවකට කුණු මුල්ලට දැමිය හැකි ව්‍යාපෘතියක් නොවන බවයි ගම්මුන් පැවසුවේ. ක‍්‍රිකට් ලෝලීන් පවසන්නේ තවදුරටත් දිගින් දිගටම මේ විදියට සූරියවැවට ක‍්‍රිකට් තරග නොපැමිණේන්නේ නම් මෙම

ක‍්‍රීඩාංගණය විනාශයට යෑමද නොවැළැක්විය හැකි බවයි. අද වන විට ක‍්‍රීඩාංගණය මනා ලෙස නිසි ක‍්‍රමවේදයකින් යුතුව පාලනය කරගෙන ගියත් ක‍්‍රිකට් තරග මෙහි නොපැවැත්වෙන්නේ නම් ඒ තාක් මේ ස්ථානය දියුණු කිරීමටද නොහැකිය. කලක් මෙම ක‍්‍රීඩාංගණය පරවියන්, වඳුරු හා රිළා කරදර මෙන්ම වවුලන්ගේද රජදහනක්ව තිබුණි. අද වන විට ක‍්‍රීඩාගාරය තුළට වඳුරන්ට හා වවුලන්ට මෙන්ම පරවියන්ටද ඇතුළු වීමට නොහැකි වන පරිදි සකස් කර තිබේ. අවට පරිසරයද මනස්කාන්ත ලෙස සකසා ඇති අතර මාසිකව රුපියල් ලක්ෂ 02ක පමණ විදුලි බිලක් හා රුපියල් ලක්ෂයක පමණ වතුර බිලක්ද මාසිකව ගෙවීමට සිදුව ඇත්තේ ක‍්‍රිකට් තරග නොපවතින පරිසරයක් තුළය.

එමෙන්ම මෙම ක‍්‍රීඩංගණයට පැවති තවත් කරදරයක් නම් වන අලි කරදරයයි. ක‍්‍රීඩාංගණය වටා ස්ථීර අලි වැටක් නොමැති වීම නිසා දින කිහිපයකට සැරයක් වන අලින් ක‍්‍රීඩාංගණයට ඇතුළු වී සිදුකරනා විනාශය සුළු පටු නොවන බවද මෙහිදී සඳහන් කළ යුතුමය. අවස්ථා

කිහිපයකදීම වන අලින් ක‍්‍රීඩාගාරය දක්වාම පැමිණි අවස්ථාද අපට වාර්තා විය. මේ නිසා තවදුරටත් මේ ක‍්‍රීඩාංගණය මේ විදියට විනාශවීමට නොදී මහජන මුදල් කාබාසිනියා කරන ස්ථානයක් පමණක් බවට පත් නොකර අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රිකට් තරග පවත්වන ස්ථානයක් බවට පත් කිරීම වගකිවයුතු පාර්ශ්ව වල පරම වගකීමක් බවද සිහිපත් කළ යුතුය. සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ වර්තමාන කළමනාකරු ලෙස කටයුතු කරන මහේෂ් බෝපගේ මහතාගෙන්ද අප ක‍්‍රීඩාංගණයේ වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීමක් කළද ඒ මහතා පැවසුවේ ක‍්‍රීඩාංගණය මේ වන විට මනා ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් මාධ්‍ය වෙත තමන්ට තොරතුරු ලබා දීමට නොහැකි බවත්ය.

මත්තල දිලීප් එන්. ජයසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More