මුහුණු පොතෙන්

මා ඔබව පුද්ගලිකව දැන හඳුනාගත්තේ වසර 29කට පෙරාතුවය. 90 පරපුරේ කාව්‍ය රචනා සඳහා ලද පොත් මිටියක් මොරටුවේ තිබුණු ඔබේ නවාතැනෙන් රැගෙන ගියේ පෑන සවිමත්ව හා නිවැරදිව හැසිරවීමේ මහත්‍ අධිෂ්ඨානයක් ඇතිවය. 80 දසකය අවසානයේ අප බොහෝ දෙනා පරාජිත මනෝභාවයක හිඳ එහෙත් පසු නොබැස සමාජ විමුක්තිය වෙනුවෙන් වැඩ කරන්නට ධෛර්ය ලබාගත්තේ සාහිත්‍ය සේවනයෙනි. එදා ඔබ සමග එකගව පැමිණි දේශපාලන ස්ථාවරයන්හි අදත් සිටිමි. සමාජ විමුක්තිය වෙනුවෙන් වැඩ කිරීම මිස වෙනත් අරමුණු සම්බන්ධ ප්‍රමුඛතාවක් මට නැත. එබැවින් අවසන් හුස්ම දක්වා එකී අරගලය වෙනුවෙන් වැඩ කරමි.

එහෙත් අද සිදුකරන අදහස් දැක්වීම් අනුව පෙනී යන කරුනක් ඇත. ඔබ මා දැන සිටි හෙන්රි අයියා නොවේ. ඔබ ප්‍රසිද්ධියේම ජනාධිපතිවරණයේදී දරණ ස්ථාවරය ගැන අවංක අදහස කියන එක ගැන සතුටුයි. නමුත් ඔබ කියන මේ කාරණය දේශපාලන අත්දැකීම් සහිත කෙනෙක්ගෙන් අපේක්ෂා කරන්න බැරි තරම් ‘මොට්ට මෝල්’ අදහසක්.
(උපුටනය පහතින්)
“රනිල් දෙමුහුන් පූට්ටුව පරාජය කරන්න නම් ගෝඨා වෙනුවෙන් පෙනී සිටීම, ඔහු ජයග්‍රහණය කරවීම අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස මා දකිනවා. ඒ අර්ථයෙන් මා ගෝඨා ඔසවා තබනවා. රනිල්, සජිත් අශුද්ධ සංධානයට එරෙහි වෙනවා. එපමණයි.”

මෙ විදියට එක නපුරක් වෙනුවට තව නපුරක් වැළදගැනීම ඉතිහාසය පුරා අප සිදු කළා. හැම මැතිවරණයකදිම මෙවැනි නොමග යන සුලු අදහස් තරගයට මෙන් ජනතාවට ලබා දෙනු ලබනවා. වඩා හොඳ දේශපාලන සංවාදයක් ගොඩනැගීමෙන් ජනතාව දේශපාලනිකව ශක්තිමත් කිරීම ඔබ වැනි ලේඛකයකුගේ වගකීමයි. මෙවැනි පක්ෂග්‍රාහී දෙසා බෑම් ඔබට තරම් නොවේ.

නැවත අවධාරණය කරමි. ඔබ මා දැන සිටි ‘හෙන්රි වර්ණකුලසූරිය’ නොවේ. නමුත් ඔබට මෙහි පුද්ගලික වරද පටවන්නට මා සූදානම් නැත. (29 වසරක සහෝදරත්වය එක් මොහොතක දේශපාලන වරදකට හිලව්කර අත්හැර දැමීම දුෂ්කරය) ඔබ මෙන් තවත් බොහෝ සොයුරන් ජරාජීර්ණභාවයට ඇද දැමූ මේ සමාජ ආර්ථික ක්‍රමයට වෛර කරමි.

ඔබගේ වත්මන් දේශපාලන ස්ථාවරය ප්‍රශ්න කරන්නට සමත් ‘හෙන්රි වර්ණකුලසූරිය’ නමැති කවියාගේ කවියකින් අවසන් කරමි. නිරන්තර වැඩෙන අතු ඉති සහ මුදුන් මුල සහිත වැනසිය නොහැකි වෘක්ෂය යට උපේක්ෂාවෙන් යුතුව පළා යන ඔබ වැනි සොයුරන් හා සොයුරියන් දෙස බලා සිටිමි. මංමුලාවී ගියද නිවැරදි මාවත වෙත උන් නැවත එනු ඇතැයි අපේක්ෂාවෙන් අනලස්ව වැඩ කරමි.

—–නව මුදුන් මුල————————-

රුදුරු ගොරතර කැලෑ බිමි වල
සොයා ඇවිදිමි දකිනු රිසියෙන
අතීතේ අප වෙත සෙවන දුන්
සද්දන්ත රුක – මහ රූස්ස ගස

අතු රිකිලි අහසම බදාගත්
ඒ‘ගස් සෙවනේ සිහිල විදිමින
දෙරන මත රහසින් විහිද යන
යෝධ මුල් මත ගිමන් හරිමින
ගෙවූ කල යළි නැගෙත සිහියට

දිනෙන් දින දළු ලා විහිද ගිය
වනයෙ අධිපති මහ රූස්ස ගස

විදුලි අත් කියතෙන් කැපී ගිය
ගසේ ජීවය වූ මුදුන් මුල
උරා දුන් සාරය සගව ගෙන
හෙට වැඩෙන නව දළු කිනිති වල
ප්‍රභාසංශ්ලේෂණය වෙයි තව

මෙන්න පුදුමය ! බලන් ඒ දෙස
කැපී ගිය ඒ මුදුන් මුල අස
තවත් අංකුරයක් වැඩෙන රග

පොලෝ තලයම සිදුරු කරමින
දිනෙන් දින ඒ මුල ඇදී යත

වැලි ද මැටි ගල් බොරළු අතරින
ඝනැති කළු ගල දෙබෑ කොට ගෙන
සුනිල දිය දහරක් සොයා යන
නව මුදුන් මුල නගා සිටුවත
සද්දන්ත රුක – මහ රූස්ස ගස

* හෙන්රි වර්ණකුලසූරිය* “ මාරුතය“ පද්‍ය සංග්‍රහය 1993



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More