පුරවැසි කොලම

තිස්ස ගුණතිලක

මොකක්ද මේ වෙනස. දැන් අන්තරේ එපා වෙලාද?

නැහැ, අන්තරේ එපා වීමක් නෑ. තාමත් අපි ශිෂ්‍ය ව්‍යාපාරය සඳහා නායකත්වය ලබා දෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය තුළ දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සහ වඩා පුළුල් ප‍්‍රගතිශීලි ශිෂ්‍ය ව්‍යාපාරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමයි තාමත් උත්සහ කරන්නෙ. එතනදි අන්තරය කියන සංවිධානය තුළ හෝ විශ්වවිද්‍යාලය තුළ හෝ ඉන් පිටත සිටින කල්ලි කණ්ඩායම්වලට යටත් වෙන්නවත් ඔළුව නමන්නවත් අපි සූදානම් නෑ. ඒ නිසා මේ එපා වීමක් නෙවෙයි. මේ සිදුවෙන්නෙ සාමාන්‍යයෙන් අපි පාරේ සිදුකරන අරගලයට වඩා වෙනස් ප‍්‍රගතිශීලි ශිෂ්‍ය ව්‍යාපාරයක් වෙනුවෙන් අභ්‍යන්තර අරගලයක්.

නමුත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පෙනී සිටිමින් හාමුදුරුවන් ප‍්‍රකාශ කරන්නේ ඔබ පෞද්ගලික හේතුවක් මත සංගමයෙන් ඉවත් වුණ බවයි…

පෞද්ගලික කාරණාවක් කියල කිව්වට මොකක්ද ඒ කාරණාව කියල කියන්නෙ නෑනෙ. මමත් දැනගන්න කැමතියි මොකක්ද ඒ පුද්ගලික කාරණාව කියල. මම විතරක් නෙවෙයි ඒක විශ්වවිද්‍යාල ශිෂ්‍යයිනුත් දැනගන්න කැමැත්තෙන් ඉන්නෙ. ඒක ඔවුන් මේ සමාජයට කියන්න ඕන. එහෙම නැතිව පෞද්ගලික හේතු කාරණාවක් නිසා අපට ඉවත් වෙන්න කියල ඔවුන් යෝජනා කරල වැඩක් නෑ.

දැන් එම කණ්ඩායම ද ඔබට සහ ඔබේ පිරිසට ඉවත් වන ලෙස යෝජනා කළේ…

ඔව්. බලපෑම් එනවා ඉතින්.

කව්ද කොහෙන්ද ඒ බලපෑම එන්නෙ කොහොමද?

අපි අන්තරේ විදියට හිතුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අලූත් ගමනක් යන්න. එතනදි යම් කල්ලියක් ඉන්නවා ඔවුන් සූදානම් නෑ තමන්ගෙ අණසකින් තොරව වැඩ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයක් නිර්මාණය වෙනවට. එතනදි ඔවුන් අපට තර්ජනය කරනවා. අපට බලපෑම් කරනවා. අපිව ඉවත් කරන්න නොයෙකුත් දේ කරනවා. නමුත් අපි මේ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙන එක අත්හරින්නෙ නෑ කියන පණිවිඩය ඔවුන්ට කියන්න කැමතියි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු කියන තනතුර තෝරා ගැනීම සහ එම තනතුරේ බල වපසරිය විහිදෙන්නෙ කොහොමද?

මේ තනතුර සඳහා නිශ්චිත කාලයක් නෑ. ඉන්න කැඳවුම්කරු ඉවත් වුණොත් තමා අලූතින් එක්කෙනෙක් පත්වෙන්නෙ. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය තුළ ආයතන දොළහක් අන්තර්ගතයි. යම්කිසි විශ්වවිද්‍යාලයක මහා ශිෂ්‍ය සංගමය තමයි යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්න ඕන අපේ විශ්ව විද්‍යාලයෙන් කැඳවුම්කරු තනතුරට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියල. ඉතින් මෙතනදිත් ඔය අලූතින් පත්වුණා කියන හාමුදුරුවන්ට ප‍්‍රශ්නයක් තියනවා. මොකද හාමුදුරුවෝ නියෝජනය වන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තීරණය කරල තියනවා හාමුදුරුවෝ එක් දේශපාලන කණ්ඩායමකට නතුව සිටින නිසා උන්වහන්සේ ජපුරෙන් යෝජනා කිරීම වැරැද්දක් කියල. ඒ නිසා ඒ යෝජනාව අරන් යන්නෙ නෑ කියල තීරණයකට ඇවිත් තිබෙනවා. ඉතින් ඒකත් එක්ක එම තනතුර වලංගු වෙන්නෙ නෑ.

ඔබ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබුණා පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමයි බලපෑම් කරන්නෙ කියල. මහා ශිෂ්‍ය සංගම් හරහා අන්තරේ බල මණ්ඩලය නිර්මාණය වෙද්දි මීට කළින් මේ බලපෑම සිදුවුණේ නැද්ද ඉතිහාසය පුරා සිදුවුණේ ඒක. ඒක තමා අපි මේ වෙනස් කරන්න හදන්නෙ. අපි දේශපාලන පක්ෂයක බලපෑමින් තොරව වැඩ කරමු. ප‍්‍රගතිශීලි ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට සමාජ ආශිර්වාදය ඇතිව ගමනක් යමු. ඒක තමයි අපේ යෝජනාව වුණෙත්.

ශිෂ්‍ය ව්‍යාපාරයට බලපෑමක් කළ හැකි ලෙස විශ්වවිද්‍යාලය තුළ දැන් වැඩි බලයක් නිර්මාණය වෙලා තියෙන්නෙ කාටද?

මහින්ද මහත්තයාට සහයෝගය දක්වන අය ඉන්නවා, අනුර කුමාර මහත්තයට සහයෝගය දක්වන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම ප‍්‍රායෝගිකව වැඩ කරන පිරිසකුත් ඉන්නවා. බලය පිළිබඳ කාරණාවේදි අන්තරයට පත්වෙන පිරිස පෙරටුගාමී වුණොත් ඒක තනිකරම පෙරටුගාමී වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නෙ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ වැඩ කරන්න ඕනෑම කෙනෙකුට මෙතෙන්ට එන්න පාර හැදෙන්න ඕන කියල.

ඔබත් පෙරටුගාමී පක්ෂයේ මතවාදය නියෝජනය කරමින් ඉඳල දැන් මේ වෙනත් කාගේ හෝ පක්ෂයක ඔඩොක්කුවට වැටිල තමයි වෙනසක් ගැන මේ කතා කරන්නෙ කියල චෝදනා කළොත්…

මේක මේ මහින් බණ්ඩාර බලය අත්පත් කරගන්න කරන අරගලයක්වත් වෙනත් දේශපාලන මතවාදයක අතකොළුවක් වෙන්නවත් කරන අරගලයක්වත් නෙවෙයි. අපිට චෝදනා කරන අය මඩ ගහන්නෙ නම් එහෙම තමයි. එක්කො අපි ගෝඨාභයගේ පිළට වැටිල නැත්නම් වෙනත් පිළකට වැටිල කියල. නමුත් අපි කියන්නෙ මොන දේශපාලන පක්ෂයක මතවාද දැරුවත් ශිෂ්‍යයෙකුට ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරන්න අන්තරේට එන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒ අන්තරේ තුළදි ඒ පෞද්ගලික මතවාදවලින් බැහැර වෙලා ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරන්න ඕන. අන්න ඒ වාතාවරණය හදන්න ඕන කියලයි අපි පෙනී ඉන්නෙ.

මේ සංවාදය හිටි ගමන් පැමිණියේ කොහොමද?

නැහැ, මේක හිටිහැටියෙ මතුවුණු සංවාදයක් නෙවෙයි. කාලයක් තිස්සෙ ඉඳන් මේ සංවාදය තිබ්බා. ඒ වෙනුවෙන්

ප‍්‍රායෝගිකව වැඩ කරන්න අරන් කාලයක් වෙනවා. එතකොට තමයි මේ බලපෑම එන්නෙ.

සංවාදය කාලයක ඉඳන් තිබුණා නම් එකපාරට මේක පුපුරා යෑමට හේතු වුණේ…

ටික කාලයක ඉඳන් අපි මේ වෙනුවෙන් වැඩ කරගෙන ආවා. අපේ වැඩ පිළිවෙළ සමාජ ජාල වෙබ් අඩවි මගින් ප‍්‍රචාරය වෙන්න ගත්තට පස්සෙ තමා එකපාරටම මේකට එරෙහිව ප‍්‍රතිකි‍්‍රයා එන්න පටන් ගත්තෙ.

ඔබ මේ තීරණය ගද්දි බලපෑම් ආවේ නැද්ද…

ආවා. ජීවිත තර්ජන පවා ආවා. අපේ ගෙවල්වලට පවා තර්ජන ආවා.

ශිෂ්‍යයන්ට තිබෙන ප‍්‍රශ්න පසෙකලා ශිෂ්‍ය ව්‍යාපාරය ජාතික දේශපාලනයේ සටන් පාඨ අතට ගන්න අවස්ථා අප දැක තිබෙනවා. ඒවා ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගත්ත තීරණද වෙනත් බලපෑමක් මත ගත්ත තීරණද?

බලපෑම් මත තීරණ ගත්ත අවස්ථා තියනවා. මහපොළ ගැන අපි කතා කරද්දි බන්දුල ගුණවර්ධන වගේ මන්ත‍්‍රිවරු කිහිප දෙනෙක් ඒ ගැන කතා කරා. අන්න ඒ අවස්ථාවේදී එම මන්ත‍්‍රිවරු නියෝජනය කරන පක්ෂ ඒ සටන්පාඨය අතට ගත්ත නිසා අපිට ඒ ගැන කතා කරන්න එපා කියන යෝජනාව පෙරටුගාමී පක්ෂයෙන් එනවා. එහෙම දේවල් සිදුවුණා. අපි මේ හදන්නෙ ශිෂ්‍ය ව්‍යාපාරය එතනින් ගලවගන්න. කිසිම කෙනෙක්ගෙ කිසිදු බලපෑමක් නොවන විදියට.

මේ වනවිට අන්තරේ කැඳවුම්කරු ලෙස ඔබේ පාලනය මත පවතින්නෙ මොන මොන විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම්වලද?

අපේ පාලනය නෙවෙයි අපේ මතවාදය පිළිගන්නා ශිෂ්‍ය සංගම් තියනවා. එක එක කල්ලි තමන්ගෙ බලය තබාගන්න උත්සහ කළත් මේ මතවාදයට එමින් පවතින ශිෂ්‍ය සංගම්වල සාමාජිකයින් සිටිනවා. හැබැයි උග‍්‍ර මතධාරින් හැර. සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් පෙරටුගාමීන්ගේ බලකොටු වගේ. ඒවා ඉතින් මේ ප‍්‍රගතිශීලි මාවතට එන්නෙ නෑ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More