පුරවැසි කොලම

මෙම සතිය ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මුල්කරගෙන ප්‍රබල මතවාද ත්‍රිත්වයක් රටට ඉදිරිපත් වී ඇත. එක පැත්තකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයට පෙර පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පැරණි ව්‍යවස්ථා සිංදුව නැවත ගායනා කරනු අසන්නට ලැබුණි.අනෙක් පැත්තෙන් මෙතෙක් කාලයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් බලවත් කිරීම වෙනුවෙන් පෙනී සිටින එන්.ජී.ඕ. ප්‍රබලයකු වන ජෙහාන් පෙරේරා මහතා හදිසියේම තම ස්ථාවරය වෙනස් කරමින් ‘ද අයිලන්ඞ්’ පුවත්පතට ලිපියක් සපයා ඇත. ඔහු පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ජනාධිපතිවරණයට පෙර පවතින ව්‍යවස්ථාව සංශෝධනය කොට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවට විරුද්ධ වේ. ඊට හේතු දක්වමින් ඔහු සඳහන් කරන්නේ දැන් ඒ සඳහා කාලයක් නොමැති බව සහ විපක්ෂය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බැවින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර කැමැත්ත නොලැබෙන බවයි.

දෙවනුව ඔහු ඉදිරි ජනාධිපතිවරණයේ දී නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට ද විරුද්ධ වේ. නමුත් ජෙහාන් පෙරේරා මහතා 13වැනි සංශෝධනය හෝ පළාත් සභා පිළිබඳව සඳහන් නොකර සිටීමට පරිස්සම් වී ඇත. ඊට අමතරව ඔහු සඳහන් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨ ඉදිරිපත් කරමින් බලයට පත්වීමෙන් පසුව ව්‍යවස්ථාව සම්මත කොට තම ධුරය අහෝසි වූ විට බලය අතහැර යන බෝධිසත්ව භූමිකාව කරු ජයසූරිය මහතා විසින් අත්පත් කරගැනීමට ඉඩ ඇති බව ය. එමගින් ජනතා විමුක්ති පෙරමුණ සහ ඊනියා සිවිල් සංවිධාන බලඇනිය කොටු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වන බවට ද ඔහු තර්ක කරයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊට වඩා ප්‍රබල සටන්පාඨ ඉදිරිපත් කළ හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.

කෙසේ වෙතත් මේ මොහොතේ දී ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබා ගැනීම සහ ජනමත විචාරණයක් සඳහා හැකියාව සහ කාලය නොමැති බව ඉතා හොඳින් දැන් සිටින තත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්නේ කුමක් නිසා ද? ඊට ඇත්තේ එක් පිළිතුරක් පමණි. එනම් කරු ජයසූරිය මහතා ජයග්‍රහණය කරවන දේශපාලන සමීකරණය සකස් කිරීමේදී මහා පොදු සාධකය බවට පත් වන්නේ නව ව්‍යවස්ථාවක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සහ ධුරය අත්හැරීමේ විජ්ජාව බවය.. එසේම ජෙහාන් පෙරේරා මහතා ප්‍රාර්ථනා කරන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතාට විධායක අගමැති විය හැක්කේ ද එම සමීකරණය තුළින්මය. බොහෝවිට එම සමීකරණයට අනුව බලයට පත්වීමෙන් පසුව කරු ජයසූරිය මහතා බෝධිසත්ව චරිතයට අඳිමින් තනතුරු අහෝසි වූ පසුව එනම් යුතුකම ඉටුකොට බැස යන්නේ නම් එම සමීකරණය ඇතුළට මෛත්‍රීපාල සිරිසේන මහතා කොටු කර ගැනීමේ අවස්ථාවද නිර්මාණය වේ. ඒ විධායක නොවන ජනාධිපති තනතුර හෙවත් “විලියම් ගොපල්ලව” ජනාධිපතිකම ඔහුට පිළිගැන්වීම මගිනි. “පොහොට්ටු සාධකය” විසින් මෛත්‍රී සාධකය නොසලකා හැරීම නිසා ඒ සඳහා ඉඩ සැලසී ඇත.

එම දේශපාලන සමීකරණය මගින් ජෙහාන් පෙරේරා මහතාගේ උපාය මාර්ගයට අදාළ වන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති බවට පත්කරගත හැකි වුවත් ඔහු නව ව්‍යවස්ථාවක් මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට අකමැත්තක් දක්වයි. පවතින ව්‍යවස්ථාව සංශෝධනය කොට 13වැනි සංශෝධනය එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කරන සංශෝධනයක් වෙනුවෙන් මරාගෙන මැරෙන විලාශයෙන් පෙනී සිටින එන්.ජී.ඕ. නායකයින් නව ව්‍යවස්ථාවක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වන්නේ කුමක් නිසාද? එම ප්‍රශ්නයට පිළිතුරු සපයා ගත හැක්කේ 16 වැනිදා ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් “සම්මුතියේ මාලිමාව” නමින් අනාගත පාලකයාට මගපෙන්වන උපාය මාර්ගික වැඩපිළිවෙලක් ජනගත කරන අවස්ථාවේදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය විග්‍රහ කිරීම මගිනි.

උන්වහන්සේ සඳහන් කළේ තමන් වහන්සේලාට විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව විශේෂ ආදරයක් නොමැති බවය. එයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නේ 13වැනි සංශෝධනය එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කරන්නේ නම් පමණක් බවද උන්වහන්සේ අවධාරණය කළේය. පවතින 13වැනි සංශෝධනය මගින් රට බෙදීමට ගන්නා උත්සාහය වැළකී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය නිසා බැවින් එය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන බව ද උන්වහන්සේ විසින් අවධාරණය කරන්නට යෙදුනි. උන්වහන්සේගේ ස්ථාවරය 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ නඩු තීන්දුව මගින් ද සාධාරණීකරණය කෙරේ. එම නඩු තීන්දුව අනුව විධායක ජනාධිපති ක්‍රමයක් නොමැති තත්වයක් යටතේ 13වැනි සංශෝධනය සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය වේ. එදා ජනමත විචාරණයක් පැවැත්වූයේ නම් අද ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනයක් නැත. ඒ අනුව අප රටේ ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමයක් නොමැති තත්වයක් යටතේ 13වැනි සංශෝධනයක් ව්‍යවස්ථාවට ඇතුල් නොවන බවට ද තර්ක කළ හැක.

තත්ත්වය එසේ නම් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් 13වැනි සංශෝධනය එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කළහොත් රට බෙදී යාමේ අනතුරට ලක්වේ. අභයතිස්ස හිමියන් ආන්දෝලනාත්මක ලෙස පවසා වදාරන්නේ එම අනතුර නොමැති තත්වයක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය රැකීමට තමාට විශේෂ අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ මගින් ගම්‍ය වන්නේ ජනතාවට හෝ පාලකයන්ට අවශ්‍ය නම් ඒ ආකාරයට කටයුතු කිරීම පිළිබඳව උන් වහන්සේලාගේ විරෝධයක් නොමැති බවයි. කෙසේවෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළව සටන් පාඨයක් එම බලය ඉතාමත් බලවත් සහ අයුතු ලෙස භාවිතා කළ ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී පවා මතු නොවීය. එම පාලනයේ මර්දනයට එරෙහිව ප්‍රබල විරෝධතා මතු කළ ජනතා විමුක්ති පෙරමුණ පවා සියලු දෝෂයන්ගේ මූලය විධායක ජනාධිපති ක්‍රමය බවට ලඝු මතවාදයක් ඉදිරිපත් නොකළේය. එම මතය ප්‍රබලව ඉදිරිපත් වන්නේ 1987 දී සම්මත කළ 13 වැනි සංශෝධනය තවදුරටත් බලවත් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමේ උවමනාව සමගය.

නමුත් 13 වැනි සංශෝධනයට එරෙහිව මහා බරපතළ විරෝධයක් පැවැති රටක එය තවදුරටත් බලවත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් හුදකලාව ඉදිරිපත් කළ නොහැක. ඒ නිසා එම කූඨ අරමුණට ආවරණය සැලසීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්මත් කිරීම නම් වූ ලේබලයක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වේ. රාජ්‍ය නොවන සංවිධාන ජාලය විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය ඉහළට ඔසවන්නේ එම උපාය මාර්ගයට අනුව ය.එනම් බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයකට ආවරණය සලසන ලේබලයක් ලෙසය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ලේබලයට ඉහළින්ම සුජාත භාවය ලබා දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එම බලයට බොහෝ කැමති වූ සහ එය අව භාවිතා කිරීමට මැලි නොවූ අයෙකි. ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය මරාගෙන මැරෙන ආකාරයට රැකිය යුත්තේ සුළු ජාතික ජාතිවාදී සහ බෙදුම්වාදී පක්ෂ විසිනි. ඊට හේතුව ඔවුන්ගේ කේවල් කිරීමේ බලය වර්ධනය වන්නේ සමස්ත රටම එකම මැතිවරණ කොට්ඨාසයක් ලෙස සැලකෙන මැතිවරණයකදී වීමය. ඔවුන්ගේ ඊනියා “බ්ලොක්වෝට්’ කෙවිට පෙන්වා අපේක්ෂකයා යටත් කළ හැක්කේ ජනාධිපතිවරණයක දී ය.

විධායක ජනාධිපති ක්‍රමයට පින්සිදු වන්නට සුළු ජාතික බෙදුම්වාදී පක්ෂ විසින් අත් පත් කරගත් කේවල් කිරීමේ බලය කොතෙක් ද යන්න සහ ඒ මගින් ඔවුන් අත්පත් කරගත් ප්‍රතිඵලවල බලපෑම රට බෙදීමට කෙසේ බලපාන්නේද යන්න වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. රටේ පළාත් බෙදන සිතියම වෙනස් කිරීමේ සිට බෙදුම්වාදයට සහ සුළු පක්ෂ වලට වාසිසහගත ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම සහ සෑම ආණ්ඩුවකම ජාතිවාදී මුස්ලිම් නායකයින් විසින් බලවත් ඇමතිකම් ලබා ගැනීම දක්වා විශාල පරාසයක් තුළ එම කේවල් කිරීමේ බලයේ ප්‍රතිඵල හෙවත් විපාක සටහන් කළ හැක. ඒ අනුව බෙදුම්වාදී බලවේග වලට සහ ඔවුන්ට යටත් ව බලය ලබාගන්නා දේශපාලන නායකයන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවංක හෝ ප්‍රබල අවශ්‍යතාවයක් නැත. ඉහත සඳහන් කළ ආකාරයට ඔහු විසින් ඉලක්ක කරන යටි අරමුණ දහතුන්වැනි සංශෝධනය තවදුරටත් බලාත්මක කරගැනීමය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ ද ඒ මගින් පමණක් එම අරමුණ ඉටු නොවේ.
ඒ සඳහා එදා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මකවීම වැළැක්වීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඇතුල් කළ ව්‍යවස්ථා බාධක ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ගලවා ඉවත් කළ යුතුය. එවැනි බාධක 5-6ක් අතර ප්‍රමාණයක් බෙදුම්වාදීන් විසින් හඳුනාගෙන ඇති අතර විධායක ජනාධිපති ක්‍රමය එක් බාධකයක් පමණි. ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එම බාධක සියල්ල ගලවන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබුණද බෙදුම්වාදීන්ට ගැටළුවක් නැත. ඇත්ත වශයෙන්ම 13වැනි සංශෝධනය ගෙන එන්නේ විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබියදී වුවද රට බෙදීම සඳහා අවශ්‍ය තත්ත්වය නිර්මාණය කිරීමටය. ඉහත සඳහන් කළ ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කළ විට විධායක ජනාධිපතිවරයාට පරිපාලන බලතල යොදා ගනිමින් රට බෙදීමේ මාර්ග සිතියමේ අවසන් සැතපුමට බාධක පැමිණවීමේ හැකියාවක් නැත.

ජාත්‍යන්තර නීතියට අනුව ස්වයං පාලන බලතල ලබාදී ඇති බල ඒකකයක ජනතාවට එම බලය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය විසින් ඉඩ නොදේ නම් ඔවුන්ට වෙන්වීමේ අයිතිය ඇත. ඒ අනුව ස්වයං පාලනයක් මට්ටමට ව්‍යවස්ථාව මගින් බලය ලබාදුන් පසුව ජාත්‍යන්තර බලපෑම් හමුවේ විධායක ජනාධිපතිට අසරණව බලා සිටීමට සිදු වේ. එම නිසා බෙදුම්වාදී බලවේගවලට සැබවින්ම අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය ඇතිව හෝ නැතිව 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වන ව්‍යවස්ථාමය තත්ත්වය නිර්මාණය කිරීම පමණි. ඒ නිසා බෙදුම්වාදී බලවේග පෙනී සිටින්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වඩා පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ මුවාවෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට ය. නමුත් ක්‍රමය වෙනස් කිරීම හෝ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම නම් වූ කැරට් අලය වර්ණ ගැන්වෙන්නේ නව ව්‍යවස්ථාවක් මගිනි. බලය ලබාගැනීම සහ ව්‍යවස්ථා සංශෝධනය යන ක්‍රියාවලි දෙකටම එම කැරට් අලය පෙන්වා සමාජයේ යම් කොටසක් දිනා ගැනීම අවශ්‍ය වේ.

එසේ වුවත් බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට ඒ කැරට් අලය ප්‍රතිවාදියා විසින් උදුරා ගත හොත් එය බලවත් ආයුධයක් බවට පත්වීමේ වීමේ අනතුරක් ඇත. එනම් නව ව්‍යවස්ථාවක් මගින් විධායක ජනාධිපති ක්‍රමය සමඟ 13වන සංශෝධනය සහ ඒ මගින් පිහිට වූ පළාත් සභා ක්‍රමය ද අහෝසි කිරීමේ අනතුරක් මතුවේ. ජෙහාන් පෙරේරා වැන්නන් නව ව්‍යවස්ථාවකට වඩා පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ එම අනතුර ඔවුන්ට වැටහෙන නිසා බවට සැකයක් නැත. ඉහත සඳහන් කළ ආකාරයට අභයතිස්ස හිමිපාණන් ගේ ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ උන් වහන්සේලා එසේ සතුරාගේ කැරට් අලය උදුරා ගැනීමට යෝජනා කරන බව ය. සම්මුතියේ මාලිමාව නම් වූ උන් උන්වහන්සේලා විසින් ඉදිරිපත් කළ උපාය මාර්ගික යෝජනාවලිය අධ්‍යයනය කිරීමේදී ඒ බව පැහැදිලි වේ.

ඊට අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් මඟින් පමණි. ඊට අමතරව එසේ කරන්නේ නම් වත්මන් පළාත් සභා ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට බෙදුම්වාදයට ගොදුරු නොවන වෙනත් ආකාරයක බලය විමධ්‍යගත කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු බව එම යෝජනාවලිය සඳහන් වේ. එසේම මැතිවරණ ක්‍රමය වෙනස් කොට සුළු ජාතික පක්ෂවලට යටත් කළ නොහැකි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවද සඳහන් වේ. එම යෝජනා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් වූ සෑම විටම ඊට එරෙහිව ඉදිරිපත් වූ මූලික කොන්දේසි දෙකක් බවට විවාදයක් නැත. එවැනි තත්ත්වයක් උදා වුවහොත් බෙදුම්වාදී බලවේග වලට එක් පැත්තකින් ජනාධිපති ක්‍රමය නිසා ලැබෙන කේවල් කිරීමේ බලය නැති වන අතර අනෙක් පැත්තෙන් දුර්වල පාර්ලිමේන්තුවක් හරහා ලබාගන්නා කේවල් කිරීමේ බලයද අහිමි වෙයි. ඒ සියල්ලටම වඩා බෙදුම්වාදී පළාත් සභා ක්‍රමය වෙනුවට වෙනත් මහජනයාට ආකර්ෂණීය බල ව්‍යුහයක් හඳුන්වා දීම මගින් ඔවුන් මෙතෙක් දිනාගත් සියල්ල අභියෝගයට ලක්වේ. ඒ ආකාරයට නව ව්‍යවස්තා යෝජනාව ප්‍රතිවාදියා විසින් උදුරා ගත හොත් සිදුවිය හැකි දේ බොහෝ විද්වතුන්ට තේරුම්ගත නොහැකි වුවත් ජෙහාන් පෙරේරා වැන්නවුන් තේරුම් ගෙන ඇත.

ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන සටන්පාඨයට අදාළව පක්ෂ සහ විපක්ෂ පාර්ශව කිහිපයක් හඳුනාගත හැක. පළමු පිරිස ඉහත සඳහන් කළ දැනුම්වත්ව බෙදුම්වාදීන්ගේ උවමනාව ඉටු කිරීම සඳහා ව්‍යාජ ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය අතටගත් කොට්ඨාශය ලෙස හඳුනාගත හැක. දෙවන පිරිස බෙදුම්වාදී අනතුර නොසලකා ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨය හුදකලාව අතට ගන්නා කොට්ඨාසයකි. නමුත් ඔවුන් පළමු පිරිස මෙන් බෙදුම්වාදයට පක්ෂපාතී නැත. තවත් පිරිසක් සංකල්පීය සහ ව්‍යවස්ථාමය යන හේතු දෙකක් මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වේ. ඔවුන්ගෙන් එක් කොට්ඨාසයක් ඓතිහාසික රාජ්‍යත්ව සංකල්පය දාර්ශනිකව නමුත් හුදකලාව, පිළිගන්නා පිරිසකි. අනෙක් පිරිස එසේ නොවුවත් 13වැනි සංශෝධනය මගින් රට බෙදීම වළක්වා ගැනීම සඳහා ඉදිරිපත් වන පිරිසකි. නමුත් විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබියදී 13වැනි සංශෝධනය බලාත්මක කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් රට බෙදීම සිදුකළ හැකි බව ඔවුන් විසින් පැහැදිලිව අවබෝධ කොටගෙන නැති බවක් දක්නට ඇත. නමුත් පළාත් සභා ක්‍රමය අහෝසි වන තත්වයක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය රැකීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැත.

මේ සියල්ලටම අමතරව තවත් කොට්ඨාශයක් ද ඇත. ඒ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව විශේෂ ආදරයක් නැති කුමන හෝ ආකාරයකට පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සඳහා පෙනී ිසිටින පිරිසයි. අභයතිස්ස හිමිපාණන් අයත් වන්නේ එම කොට්ඨාසයට බව උන්වහන්සේගේ ප්‍රකාශවලින් මෙන්ම සම්මුතිය මාලිමාව නම් වූ යෝජනාවලිය මගින් ද පැහැදිලි වෙයි. එම පිරිසට ඉතා සුවිශේෂී පුද්ගලයෙක් ද අයත් විය. ඔහු අන් කිසිවකු නොව එදා 13 වැනි සංශෝධනයට විරුද්ධව තීන්දුවක් ලබා දීමට පුරෝගාමී වූ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම විනිසුරුවරයෙකු වූ රාජා වනසුන්දර මහතාය. එතුමා තම ජීවිතයේ අවසන් පැය කීපයේ දී ද පළාත් සභා මර උගුලෙන් ගැලවීම පිළිබඳව උපදෙස් ලබා දුන් අයෙකි. ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතාගේ මැදිහත් වීමෙන් පිහිටවූ පුනර්ජීවන කොමිසමේ සභාපතිවරයා ද විය.

එතුමා ගුණදාස අමරසේකර මැතිතුමන්ට පළාත් සභා මර උගුලෙන් ගැලවීමේ දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව ඉතා සමීපව උපදෙස් දුන් පුද්ගලයෙකි. එතුමාගේ අවසන් පැය කිහිපයේදී ද මහ රෝහලේ දී ගුණදාස අමරසේකරයන්ගේ අත අල්ලාගෙන ලබාදුන් උපදෙස් පිළිබඳව මෙම ලියුම්කරු සාක්ෂිකරුවෙකි. එතුමාට අනුව 13 වන සංශෝධන මර උගුල දැනට තිබෙන ව්‍යවස්ථාව තුළින් ගැලවීම පහසු නැත. ඒ සඳහා මහා දේශපාලන බලයක් සහ නායකත්ව පෞරුෂයක් අවශ්‍ය වෙයි. සමහරවිට යුද්ධය අවසන් වීමෙන් පසුව බන්කි මූන් කඩාපැන සියල්ල ආපසු හැරවීමට සමත් නො වූවා නම් ඒ සඳහා ඉඩ තිබුන බව පිළිගත හැක. ඒ සඳහා විශ්‍රාමික විනිසුරුවරයා තාක්ෂණික ක්‍රමවේදයක් ද ඉදිරිපත් කළේය. ඊට අනුව 13 වැනි සංශෝධනය සම්මත කිරීමේදී නිර්දේශිත පටිපාටි උල්ලංඝණය කෙරෙන බැවින් ප්‍රකාශන පනතක් මගින් එම පනත අහෝසි කළ හැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර බලය පමණි. නමුත් එසේ නොකරනතාක් කල් 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවේ තිබෙන බැවින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගත හැකි ඕනෑම ආවස්ථාවක රට අනතුරට ලක්විය හැක.

ඔහු විසින් විශේෂයෙන්ම අනතුරු අඟවනු ලැබුවේ කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 13 වන සංශෝධනයට එරෙහිව පනවා ඇති බාධක ඉවත් කිරීමේ භයානක කම පිලිබඳවය. රටේ ව්‍යවස්ථාවේ සහ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල පවතින දුර්වලතා නිසා කුමන හෝ යහපත් අරමුණක් පෙන්වා කූට ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම මගින් එම බාධක ගලවා පළාත් සභා බලවත් කිරීමේ අනතුරක් තිබෙන බව එතුමා විසින් සඳහන් කරන්නට යෙදුනි. ඒ අනුව දේශපාලන කොන්දේසි සපුරා ගත හැකි නම් වඩාත් සුදුසු ක්‍රමවේදය ලෙස එතුමා විසින් නිර්දේශ කරනු ලැබුවේ නව ව්‍යවස්ථාවක් මගින් මහජන පරමාධිපත්‍ය හරහා පළාත් සභා වෙනුවට නීති හැදීමේ බලය නැති පළාත් පාලන ව්‍යුහයක් හඳුන්වා දීමය. එවිට ඉන්දියානු සාධකය ද කළමනාකරණය කළ හැකි බව එතුමාගේ මතය විය. අද අභයතිස්ස හිමිපාණන් විසින් ගරිල්ලා ප්‍රහාරයකින් සමාජය අවදි කරමින් ඉදිරිපත් කරන්නේ එම මතවාදය බව ඉතා පැහැදිලිය. ජෙහාන් පෙරේරා වැන්නවුන්ගේ පසුබැසීම තුළින් එහි නිවැරදි භාවය තහවුරු වේ. විධායක ජනාධිපති ක්‍රමය අතහැර 13 වැනි සංශෝධන මර උගුලින් රට ගලවා ගැනීම නිවැරදි ද යන්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විසින් තීන්දු කරනු ඇත.

වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More