පුරවැසි කොලම

අනගාරික ධර්මපාලතුමාගේ එකසිය පනස්පස්වැනි ජන්ම දිනය ඊයේට යෙදිල තිබුණා. එතුමා ජීවත්ව ඉන්න කාලෙ එතුමාට පහර දුන් අයගෙ මුණුබුරාලත් එතුමා සමරනවා. ධර්මපාල කියන්නෙ එතුමා පසු කලෙක ගත්ත නමක්. එහි තේරුම ධර්මයේ ආරක්‍ෂකයා යන්නයි.

ජපානයේ මහායාන බුද්ධාගමට අනුව ධර්මපාල වර්ග අටක් තියෙනවා. ඒ දැන ගන්න එක සිංහල ථෙරවාද බෞද්ධ අපටත් හොඳ යැයි හිතෙන නිසා මෙහි සඳහන් කරනවා. ඒ ගරුඩ. දේව, නාග, යක්‍ෂ, ගාන්ධර්ව, අසුර, කින්නර හා මහොරග. ටිබෙට් තන්ත්‍රයානයේ ධර්මපාල වර්ග දහසයක් තියෙනවා. එකල සිංහලයේ නම් හැම රජකු ම ධර්මපාල කෙනෙක්. නැහැ වැරදුනා අද වගේ ම දොන් ජුවන්ලාත් හිටියා.

ගරුඩා (ගුරුළා) ගැන පොඩි කතාවක් කියන්න තියෙනවා. අපේ ඉතිහාසයේ නොකියැවෙන කතා තියෙනවා. සීතාවක ගැනත් කතාවක් කියන්න තියෙනවා. පළමුව සිහිගිරිය ගැන. සිහිගිරි ගීවල සඳහන් වන්නේ සිහිගිරිය මිස සීගිරිය නො වෙයි. සිහිගිරියේ ඇත්තේ සිංහ පාද නොව ගරුඩ පාද බවට මතයක් තියෙනවා. එමෙන් ම හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා මහතාට අනුව කාශ්‍යප රජුට පෙර සිහිගිරියෙ තිබුණෙ මහායාන පන්සලක්. ගරුඩා පන්සලත් ධර්මයත් ආරක්‍ෂා කළ බව කියන්න පුළුවන්. ගුරුළා එක් පැත්තකින් විෂ්ණුගේ වාහනය වෙනවා. විෂ්ණු භෙරුණ්ඩ පක්‍ෂියා සමග ද හැඳින ගැනෙනවා. භෙරුණ්ඩ පක්‍ෂියා මයිසූරයේත් ලාංඡනය. මයිසුරය දැන් කර්ණාටක ප්‍රාන්තයේ. සීතාවක බැරැණ්ඩි කෝවිල භෙරුණ්ඩ පක්‍ෂියා හා සම්බන්ධයි. පෝල් පීරිස් මහතා ද බැරැණ්ඩි යන්න භෙරුණ්ඩ යන්නෙහි සිංහල ස්වරූපය ලෙස සලකනවා. තුන් කෝරළේ කොඩියේ ද ඉන්නේ භෙරුණ්ඩ පක්‍ෂියා. සීතාවක රාජසිංහ රජුගේ ඇමතියකු සිහිගිරියේ සිටි බව වාර්තා වෙනවා. කාශ්‍යප රජු මෙන් ම රාජසිංහ රජු ද පිතෘ ඝාතකයන් ලෙස සැලකෙනවා. මේ කතා තවත් විස්තරාත්මක ව කියන්න ඕන.

නැවතත් ධර්මපාලතුමාගේ කතාවට. 1815 දී අපට ධර්මපාලලා නැති වුණා. ඉංගිරිසින් සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් පොරොන්දු වුණා බුද්ධාගම හා දේවාගම ආරක්‍ෂා කරන්න. එහෙත් ඔවුන් බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ වෙනත් ආගම්වලට තැන දුන්නා. ලංකා විශ්වවිද්‍යාලයේ සිටි එස් ජී පෙරේරා නම් පූජක ඉතිහාසඥයාගේ ගෝල බවින් මිදීි ටික්කම කුමාර දිවයිනට ලියා ඇති ලිපි සිහියෙන් කියෙව්වොත් ඒ ගැන දැන ගන්න පුළුවන්. 1864 දී දොන් ඩේවිඩ් හේවාවිතාරණ මාතර හිත්තැටියේ උපන්නේ ධර්මපාලලා නැති වටාපිටාවක කිව්වොත් වැරදියි. එකලත් තිබුණේ ධර්මසංහාරක යුගයක්.

එහි දී සිංහල බෞද්ධයන් නිකං හිටියේ නැහැ. ඉංගිරිසි අර්ථ ක්‍රමයෙන් ම උපයා ගත් ධනය ඇත්තන්ගේ උපකාරයෙන් භික්‍ෂූන් වහනසේ සිංහල බෞද්ධ පුනරුදයක් ඇති කළා. පංච මහා වාද එහි එක් අංගයක්. පාණදුරා වාදයේ ප්‍රතිඵලයක් ලෙස ඕල්කට්තුමා මෙරටට ඉන්දියාවේ සිට පැමිණියා. එතුමා පරම විඥානාර්ථවාදියකු මිස බෞද්ධයකු වුණේ නැහැ. එතුමා තෙරුවන් සරණ යන්න ඇති. එහෙත් පරමවිඥානය අත් හැරියේ නැහැ.

දොන් ඩේවිඩ් දරුවා ඉංගිරිසියෙන් ඉගෙන ගත්තේ ශාන්ත බෙනඩික්, කෝට්ටේ ක්‍රිස්තියානි, ශාන්ත තෝමස් විදුහල්වල. එතුමා රාජකීය විදුහලේත් ටික කාලයක් ඉගෙන ගත් බව පරලෝ සැපත් රංජිත් සන්දනායක නම් මගේ පාසල් මිතුරකු සොයා ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස එතුමාගේ ඡායාරූපයක් රාජකීය විදුහල් ශාලාවේ ආදි ශිෂ්‍යයන්ගේ ඡායාරූප අතරේ ප්‍රදර්ශනය වෙනවා. කෙසේ වෙතත් මේ එකක්වත් බෞද්ධ පාසලක්වත් පිරිවෙනක්වත් නො වෙයි.

දොන් ඩේවිඩ් තරුණයා ඕල්කට්තුමා සමග රට වටේ ගියා. ඕල්කට්තුමා සිංහල බෞද්ධ පුනරුදය පීලී පැන්නුවා. ඒ බව පසුව ධර්මපාලතුමාටත් වැටහුණා. එතුමා මහාබෝධි සමාගම පිහිටුවීමෙන් පසු සිංහල බෞද්ධයා පුවත්පත ආරම්භ කෙළේ ම ඕල්කට්තුමාගේ පරම විඥානාර්ථවාදී සංගමයේ සරසවි සඳරැසට විරුද්ධ ව කියා හිතන්න පුළුවන්. ධර්මපාලතුමා වැඩ කෙළේ සිංහල බෞද්ධ පුනරුදයක් වෙනුවෙන් මිස පරම විඥානාර්ථවාදී බුදුදහමක් වෙනුවෙන් නො වෙයි. එතුමා කීවා යැයි කියන ඇතැම් දේ පසුව එකතු කරන ලද ඒවා විය හැකියි. එහෙත් එතුමා සිංහලයන් නැගිට්ටවීමට කටයුතු කළ බව නම් පැහැදිලියි. එහෙත් අද වන තුරුත් සිංහල බෞද්ධයන් නැගිටලා නැහැ. එසේ වූයේ ඇයි? ඒ ගැන කියන්න කලින් ගුණදාස අමරසේකර මහතා කළ සේවය අගයන්න ඕන.

ගුණදාස අමරසේකර මහතාට හා වත්මන් ජාතික ව්‍යාපාරයේ නායකයන්ට අගය කිරීමට තරම් දෙයක් මා කර නැති වුවත්, ඒ අය විශාල සේවයක් කර තිබෙනවා. මා අමරසේකර මහතාට ගෞරව කරන්නේ අනගාරික ධර්මපාලතුමා හුදු බෞද්ධ උපාසක මහතකු නොව මෙරට නිදහස් අරගලයේ එක් අවධියක නායකයා බව පෙන්වා දීම නිසයි. විවිධ හේතු නිසා ජාතික චින්තනය වෙනුවෙන් මා පෙනී සිටියත් සභ්‍යත්ව රාජ්‍යය, ජාතික චින්තනය, සභ්‍යත්ව විඥානය වැනි බටහිර සංකල්ප පිළිබඳ ව මගේ පැහැදීමක් නැහැ. මා අමරසේකර මහතා සලකන්නේ මහාවංසයේ ධර්මපාල පරිච්ඡෙදය ලියූ විද්වතා ලෙසයි.

සිංහල බෞද්ධයන් නැගිටින්නේ නැත්තේ ඇයි? එයට හේතුව ඔවුන්ට නායකයන් නැති වීමයි. සිංහල බෞද්ධයන් පසුවන්නේ නින්දෙනුත් නො වෙයි. ඔවුන් නැගිටින්න සූදානමින් ඉන්නවා. එහෙත් නායකයන් නැතිව නැගිට සදාකාලික නින්දට යන්න පුළුවන්. සිංහල බෞද්ධයන්ට නායකයන් නැති වීමට ප්‍රධාන හේතුව අධ්‍යාපනයයි. අපට බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයට විකල්ප අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි වුණා. ඕල්කට්තුමාගේ මෙහෙයවීමෙන් ඇති කෙරුණු ඊනියා බෞද්ධ පාසල් බෞද්ධ ආලේපයක් සහිත ක්‍රිස්තියානි පාසල්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙය මැනවින් නිරූපණය කරනවා. එහි බිත්තියක ඕල්කට්තුමාගේ බෞද්ධ කොඩිය ආලේප කර තියෙනවා. මෙරට සියලුම පාසල් අඩුවැඩි වශයෙන් රාජකීය විදුහලේ අනුකරණ. රාජකීය විදුහල එංගලන්තයේ පබ්ලික් ස්කූල් නමින් හැදින්වෙන පුද්ගලික ප්‍රභූ පාසල්වල අනුකරණයක්. බටහිර නොවන රටවලින් වඩාත් ම බටහිර අනුකාරක අධ්‍යාපනයක් පොදුවේ ගත් කල ලැබෙන්නේ ලංකාවේ වෙන්න ඕන. අප උපන් ගෙයි අනුකාරකයන්. එයටත් හේතුවක් තියෙනවා.

මෙරට පඬියන්, පඬි පෝතකයන් හා පඬි නැට්ටන් බිහි වීමටත් ප්‍රධාන හේතුව අධ්‍යාපනයයි. දේශපාලනයේ ජාතිකත්වයක් ඇති අය නැති තරම්. සිංහලයන්ගේ නැති වී ගිය අයිතිවාසිකම් ගැන කතා කරන්නන් ජාතිවාදීන් ලෙස නම් කෙරෙනවා. ඒ අයිතිවාසිකම් නැති කරනු ලැබුයේ මූලික වශයෙන් ඉංගිරිසින් විසින්. ඉංගිරිසින් ම තමයි සිංහලයන්ට ජාතිවාදී කතාව පටබැන්දෙ. හිතන්න බැරි පඬියන් කරන්නෙ ඉංගිරිසින් කියන දේ පුනරුච්චාරණය කිරීම පමණයි. ඒ අතර ම ඔවුන් තමන් හඳුන්වා ගන්නවා අධිරාජ්‍ය විරෝධීන් ලෙස. ඒ අර කසිකබල් මාක්ස්වාදය අනුකරණය කිරීමෙන්.

අද එ ජා පාක්‍ෂිකයන් ධර්මපාලතුමා සිහි කරනවා. ඔවුන් සිහි කරන්න ඕන ඔවුන්ගේ සීයලා ධර්මපාලතුමාට පහර දුන් ආකාරය. එතුමාට විරුද්ධව ඩී බී ජයතිලක මහතා යොදා ගෙන පසුව ඒ මහතාත් ඉන්දියාවට යවා සේනානායකලාට තැන දුන් ආකාරය. සේනානායකලා ජයවර්ධනලා වික්‍රමසිංහලා ක්‍රිස්තියානි සම්භවයක් ඇති අය. ශ්‍රී ල නි පක්‍ෂය ද දෙවැනි නැහැ. ඒ පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය වුණෙ සාමාන්‍ය සිංහල බෞද්ධයන් නිසා. මෛත්‍රිපාලට තරමක හරි ජාතිකත්වයක් තියෙනවා. ඔහු හරි කියන බවක් ඒකෙන් කියැවෙන්නෙ නැහැ. පොහොට්ටුවෙ නායකයන් අතර යම් ජාතිකත්වයක් තියෙන්න මහින්දට පමණයි. එයත් සාමාන්‍ය ජනතාවගෙ බලපෑම නිසා. මහින්ද වෙන කාටත් වඩා සාමාන්‍ය ජනයා කියන දේ අහනවා.

මේ නායකයන් එක්ක නම් සිංහලයන්ට නැගිටින්න බැරි වේවි. ඒත් ඒ නායකයන් ධර්මපාලතුමා සමරන්න නම් අමතක කරන්නෙ නැහැ.

nalinda silva



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More