පුරවැසි කොලම

වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් ඉතිහාසයේ කවර කලකවත් දක්නට නොලැබුණු ආකාරයේ මහා ව්‍යසනයකට අද වන විට රටත්, ජාතියත් රැගෙනයමින් තිබෙන බව රටේ අතිබහුතරයක් ජනතාවගේ පොදු පිළිගැනීම වී ඇත. මේ වන විට පවතින ආණ්ඩුවෙන් එක් පාර්ශවයක් ඉවත්වීම නිසා එනම් ජාතික ආණ්ඩුවක් නමින් පිහිට වූ සම්මුති ආණ්ඩුව බිඳ වැටීම නිසා ආණ්ඩුව තුළ බරපතල අභ්‍යන්තර ආරවුල් පැන නැගී ඇත. එම හේතුව නිසා සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම දුර්වල වෙමින් තිබෙන බව සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්වන බව ජනතාව විසින් ගතවන සැම දවසකම අත්විඳිති. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට අදාළව පවතින කණගාටුදායක තත්වය පසුගිය පාස්කු ඉරිදා මහා ජීවිත වන්දියක් ගෙවා අත් විඳිමට මහජනයාට සිදු විය.

එවැනි මහා විනාශයකට පසුවද මහජනයා විසින් ලේ සෝදන ලොන්ඩරියක් ලෙස උපහාසයෙන් හඳුන්වනු ලබන තේරීම් කාරකසභාවක් හරහා සැබෑ චූදිතයන් නිර්දෝශී කරමින් සහ එකිනෙකාට චෝදනා කරගනිමින් මහජනයාට විහිළු සැපයීමට ආණ්ඩුවේ නායකයෝ ක්‍රියා කරති. එම තත්වය තුළ සැබෑ චූදිතයන්ට විශ්වාසභංග යෝජනා වලින් නිදහස් වී නැවත ඇමතිකම් දැරීමට පවා හැකියාව ලැබී ඇත. දැන් චුදිතයින් විනිසුරුවරුන් බවට පත් වී තමා නිර්දෝශී බවට නිර් භීතව සහ නිර් ලැජ්ජිතව සමාජයට ප්‍රකාශ කරති. ජාතිවාදී, ආගම්වාදී, කප්පම්කරුවන් ලෙස කටයුතු කරන එම නායකයින්ට තමා සතු ලක්ෂ දෙක හමාරකට අඩු ඡන්ද ප්‍රමාණයක් පෙන්වා ආණ්ඩුව බිය වැද්දීමට හැකයාව ලැබී ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ මුස්ලිම් අන්තවාදි පක්ෂ එකතුවලට සමස්ථ මුස්ලිම් ඡන්ද වලින් 20% ක් ලබා ගැනීමට හැකියාවක් ලැබි නැත. ඔවුන් ප්‍රධාන පක්ෂ වල වලිගයේ එල්ලී මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ ඒ නිසාය.

නමුත් ආණ්ඩුවේ නායකයින් එම ජාතිවාදී කප්පම්කාරයින්ගේ ඉල්ලීම් වලට යටත් වන්නේ සංහිදියාවේ නාමයෙනි. එම තත්වය තුළ මෙම අන්තවාදී නායකයින් තමා විසින් අත්පත් කර ගන්නා ව්‍යාජ දේශපාලන බලය මඟින් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය කොට සමස්ථ සමාජයම ආගමික මූලධර්මවාදයේ ගොදුරක් බවට පත්කොට ඇත. අන්තවාදි අමාත්‍යවරුන්ගේ බලය කෙතෙක්ද යත් සහරාන් කල්ලියේ සාමාජිකයින්ට රැකවරණය සැපයීම, ඔවුන් හමුදා අත්තඩංගුවෙන් මුදා ගැනීමට බලපෑම් කිරිම සහ බෝම්බ කරුවන්ට බෝම්බ සෑදීම සඳහා රජයේ ආයතන සතු තබ සහ පිත්තල ලබාදීම ආදී වශයෙන් වන චෝදනා පිළිබඳව ප්‍රශ්ණ කොට එක වචනයක් හෝ කොළයක ලියා ගැනීමට ආරක්ෂක අංශ වලට නොහැකි වී ඇත. බෝම්බ ප්‍රහාරයෙන් පසුව ටික දිනක් ස්වයංවිවේචන ගැන කථා කළ මෙම අන්තවාදි නායකයින් සහ මධ්‍යස්ථ බව පෙන්වමින් අවසානයේ දී අන්තවාදයට උදවු කරන ඊනිසා මධ්‍යස්ථ වාදින් දැන් එම ආරක්ෂාකාරී ප්‍රවේශයෙන් ප්‍රහාරාත්මක ප්‍රවේශයට මාරු වී ඇත.

ඔවුහු දැන් ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ නායකයින්ටද ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ තර්ජනය කරති. විපක්ෂයේ නායකයින් පවා දැන් කථා කරන්නේ ඔවුන්ගේ “ සිත් නොරිදෙන ” වචන පාවිච්චි කරමිනි. උදාහරණයක් ලෙස ඔවුහු ඉස්ලාම් අන්තවාදීන්ගේ තර්ජන වලට හෝ ඔවුන්ගේ අල්ටකියා න්‍යායට යටත් වීම නිසා කාදිනල් තුමාගේ ප්‍රකාශ පවා නොසළකාහරිමින් සහ අඩුතරමින් ලක්ෂ 9 ක් වු කතෝලික ඡන්ද තොගය පිළිබඳ අල්පමාත්‍ර සැළකිල්ලක් නොමැති ආකාරයට පරිස්සමින් වචන භාවිත කරති. ජීවිත අහිමි වු, අතපය අහිමි වූ කතෝලික බැතිමතුන්ට, දෙමාපියන් අහිමි වු දරුවන්ට යුක්තිය සාධාරණය ඉටු කරන බව සහ තරාතිරම නොබලා ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන පිරිස් වලට එරෙහිව කටයුතු කරන බව සෘජුව පැවසිමට විපක්ෂය අසමත් වි ඇත. එනම් ආණ්ඩුව යන පාරේම විපක්ෂයත් යන බවක් මහජනයාට දක්නට ලැබේ. ශ්‍රී ලංකාව ඇමරිකාවේ දාස රාජ්‍යයක් බවට පත් කිරිම සඳහා ගෙන එන ගිවිසුම් ත්‍රිත්වය පිළිබඳවද විපක්ෂය මුනිවත රකිති. එනම් ආණ්ඩුව යන පාරේම විපක්ෂයද ගමන් කරන බවක් පෙන්වති.

එසේ නම් සහරාන්ලාගේ පිටේ බෝම්බ බැඳ තිබුණත් ඒවා පත්තු කරන්නේ පෙන්ටගනයේ උවමනාවන්ට අනුව දුරස්ථ පාලකයකින් බවට වන සාක්ෂි සහිත සත්‍යය ජනතාවට පැහැදිලි කරන්නේ කවුද? මෙම තත්වය තුළ පවතින විදේශ ගැති ආණ්ඩුවට නිදහසේ විරෝධයකින් තොරව තම කටයුතු ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබි ඇත. ලෝකයේ කිසිඳු රටක පාලකයින්ට පහසුවෙන් කළ නොහැකි දේ ඉතා පහසුවෙන් කළ හැකි වී ඇත්තේ ඒ නිසාය. රටේ වරායවල් සහ ජනතාව සතු ඉඩම් විදේශීය සමාගම් වලට අත්පත් කර ගත හැකි ආකාරයට රටේ සමස්ථ නීති පද්ධතිය විදේශිකයන්ට උවමනා ආකාරයට කණපිට හැරවිමට ආණ්ඩුවට ධෛර් ය ලැබෙන්නේ විපක්ෂයේ මුනිවත නිසා නොවේද? ආණ්ඩුව විසින් ඇමරිකාව සමඟ අත්සන් කරන ගිවිසුම් ත්‍රිත්වය 1971 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීමට අදාළ 2832 යෝජනාවට සම්පූර්ණයෙන් පටහැකි වේ.

ඊට අනුව පිහිටුවා ඇති ඉන්දියානු සාගර වලල්ල සංවිධානයේ සම්මුතියේ ද ඒ ගැන සඳහන් වේ. නොබැඳි පිළිවෙත් මත පදනම් වන එම ජාත්‍යන්තර සම්මුතීන් පෙන්වා ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහි විමේ හැකියාව විපක්ෂයට ඇත. එසේම විදේශිකයින් ලවා නීති හදා ඒවාට නීති කෙටුම්පත් දෙපාර්තමෙන්තුවේ මුද්‍රාව ගසා අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමෙන්තුවට එවිමේ නිර්ලජ්ජිත ක්‍රියාවලියට එරෙහිව විපක්ෂය අවශ්‍ය බරින් කථා කරන්නේ නැත. එසේ සිදුවනවා නම් නීති කොමිසමට, නීති කෙටුම්පත් අංශ වලට, නීතිපති දෙපාර්තමෙන්තුවට සහ නීතිඥ  සංගමයට රට ලජ්ජාවට පත් කරන එම ක්‍රියාවලිය නුදුටුවා සේ සිටිය නොහැක. මෙම තත්වය අනුමත නොකරන සමාජ හරස්කඩක් ඇත. විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදයට සෘජුව සහ උඩගෙඩි දෙන අමාත්‍යවරුන් සමඟ සන්ධාන ගත වීමට විපක්ෂය විසින් සිහින දැකීම බහුතර සිංහලයා අනුමත කරන්නේ නැත. එහිදී සිංහලයා යනු සිංහල බෞද්ධ සහ කතෝලික යන සමස්ථ 75% වූ ජනතාවයි. එම ජනතාව අතුරෙන් ඡන්ද හිමි ලක්ෂ 95කින් බහුතරය, එනම් තුනෙන් දෙකක් යනු ඡන්ද ලක්ෂ 62කි. ඒ නිසා පසුගිය මැතිවරණයේ විපක්ෂයට ලැබුණු 5% ක් වන මුස්ලිම් ඡන්ද එනම් ලක්ෂයටත් අඩු ඡන්ද ප්‍රමාණය දෙස බලමින් ලක්ෂ 62 අවතක්සේරු කිරිම වරදක් නොවේද?

ඒ මඟින් අදහස් වන්නේ ජාතිවාදි ලෙස තත්වය දෙස බැලිය යුතු බවක් හෝ සුළු ජන ඡන්ද නොසළකා හැරිය යුතු බවක් නොවේ. පසුගිය ජනාධිපතිවරණයේදි ලබාගත් මුස්ලිම් ඡන්ද වලින් 5% වූ ප්‍රමාණය 10% දක්වා වැඩි කර ගත යුතු ය. නමුත් අන්තවාදි ඇමතිවරුන් හරහා එය කිරීමට උත්සහ කිරීම තුළින් නැතිවන දේ පිළිබඳවද සැළකිලිමත් විය යුතුය. මුස්ලිම් ජනතාව සැබැ ලෙසම ජාතිවාදයෙන් ගලවා ගත හැක්කේ සහ ඔවුන්ට සාධාරණය ඉටු කළ හැක්කේ අන්තවාදින් සමඟ – සන්ධානගත වීමෙන් නොවේ. දෙමළ බෙදුම්වාදී අන්තවාදයට අදාළව ද තත්වය එසේමය. සම්බන්ධන්ලා සමඟ සන්ධානගත වීමෙන් ඔවුන්ට ඡන්දය නෙදෙන 65% වන මධ්‍යස්ථ දෙමළ ජනතාව විශේෂයෙන්ම කුළ පිඩනයට ගොදුරු වි සිටින ජනතාව දිනාගත නොහැක. ඒ දෙපිරිසම දිනාගත හැක්කේ සෘජුව ජනතාව ඇමතීමෙන් සහ අන්තවාදි නොවන නායකයින් ඉහළට එසවීමෙනි.

නමුත් දෙමළ බෙදුම්වාදි අන්තවාදින් මෙන් නොව ඉස්ලාම් ආගමික අන්තවාදීන් බලෙන්ම විපක්ෂයේ අඟේ එල්ලිමට උත්සහ කරන බව ඉතා පැහැදිළිව පෙනේ. මන්නාරමෙන් එන ඇමතිට විරෝධය වැඩි නම් නුවරින් එන ඇමති ඇතුළට රිංගවා වැඩේ කරවා ගැනීමට අන්තවාදී බලවේග සුදානම් වන බවට කිසිඳු සැකයක් නැත. ඒ නිසා ජනතාවට කොකා පෙන්වා එකෙක් වෙනුවට වෙනත් අන්තවාදියෙක් ලංකර ගැනීමෙන් අතරමැදින් රිංගා යාහැකි යැයි විපක්ෂය සිතන්නේ නම් එය ඔවුන් ඉතිහාසයේ සිදු කරන බලවත්ම වරද බවට පත්විය හැක. එම තත්වය තුළ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සහ ඉස්ලාම් අන්තවාදින්ගේ අත්අඩංගුවේ පසුවන ආණ්ඩුවට ඊට අදාලව සෘජුව ඇඟිල්ල දිගු කිරිමෙන් තොරව ඉදිරි ජනපතිවරණයට මුහුණ දිය හැකි යැයි විපක්ෂය සිතන්නේ නම් එය බලවත් මුලාවක් වනු ඇත. ඒ නිසා බටහිර අන්තවාදය සහ ඉස්ලාම් මූලධර්මවාදි අන්තවාදය ආණ්ඩුවේ බූදලයක් ලෙස නිර්ලෝභීව ලියාදීමට විපක්ෂය කටයුතු කළ යුතුය. එය උපාය මාර්ගිකව ජයග්‍රහණය සඳහා වන තීරණාත්මක සාධයකි. ආණ්ඩුවේ පාපය ආණ්ඩුව පිට තබා අත සෝදා ගැනීමට විපක්ෂය වසින් ප්‍රඥාව වැඩිය යුතුය. තමාට නිතර උපදෙස් දෙන නාගරික මැද පංතියේ ඊනිසා විද්වතුන්ගෙන් සහ අල්ටකියා න්‍යායාචාර්ය වරුන්ගෙන් මදකට මෑත් වී මහා සමාජයට පය තබනවානම් ප්‍රඥාව ඉබේ පහළ වනු ඇත.

ව්‍යාපාර කඩාවැටී ඇතත් සේවකයින්ගේ රක්ෂා අහිමි කිරිමට අකමැති නිසා ව්‍යාපාර කරගෙන යන මහා පරිමාන ව්‍යාපාරකයින්, පමණක් නොව දහස් ගණනින් ව්‍යාපාර වසා දමා ඇති සුළු පරිමාන නිෂ්පාදකයින් සහ මිල වැටිම නිසා එළවළු පාරේ හළා යන ගොවීන් සහ ඊබ්‍රාහිම්ලා නිසා රු. 1500 සිට රු. 450 දක්වා ගම්මිරිස් මිල වැටිම නිසා උරණ වි සිටින සුළු අපනයන නිෂ්පාදනයක් මෙන්ම කොමිස් ගැසීම් සඳහා ආනයිනික ෂාම්තෙල් වලට බදු සහන දිම නිසා පොල් මිල වැටීම පිළිබඳව උරණ වි සිටින පොල් වගා කරුවන් අදී මෙකී නොකී සමාජයේ හරස්කඩක් ආණ්ඩුවට විරුද්ධව විනිසුරුගේ භූමිකාව අතට ගැනීමට සුදානමින් සිටිති. මෙතෙක් පැමිණිලිකරුවන්ව සිටින ඔවුන් තව මාස 3 ක් විනිසුරුවරුන් බවට පත් විමේදී වත්මන් ආණ්ඩුවට දඬුවම් විඳීමට සිදුවන බවට සැකයක් නැත. එසේම විපක්ෂයට ස්ථීරවම ලැබෙනවා යැයි පොහොට්ටුවේ නායකයින් කියන ඡන්ද ලක්ෂ 50 ක් හිමි පිරිස ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට සැකයක් නැත.

නමුත් ඊට උඩින් එකතු කළ යුතු ඡන්ද ප්‍රමාණය නිකම්ම ඒ ගොඩට වැටෙන්නේ නැත. ආණ්ඩුවට කියන විදිහට ආණ්ඩුව බඩගාගෙන යන නිසාම එම දිනිමට අත්‍යවශ්‍ය ඡන්ද ප්‍රමාණය විපක්ෂයේ ගොඩට නිකම්ම වැටෙන්නේ නැත. එපමණක් නොව එදා 2015 ජනවාරි සිට අගෝස්තු වන විට දුර්මුඛ වූ ලක්ෂ 11 ක පිරිස මෙන් ජනතාව දුර් මුඛව ඡන්ද පලට නොයා සිටීමට ඇති ඉඩ සම්පූර්ණයෙන්ම නැති කළ යුතුය. එනම් මහා ජනසමාජය තුළ දැඩි අපේක්ෂාවක් සහ උනන්දුවක් ජනිත කළ යුතු ය. බහුතර ජනතාව ඇමතීමෙන් තොරව මහා සමාජයේ උනන්දුව සහ ආශිර්වාදය ජනිත කළ නොහැක. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ සහ ආණ්ඩුවට උපාය මාර්ගිකව වැදගත් වන්නේ සමාජය ඇවිලවීමෙන් තොරව අඩු උනන්දුවක් සහිතව පවත්වාගෙන යාමය. ඔවුන්ගේ විශ්මය දනවන සර්කස් ජනතාවට දැකිය හැකි වන්නේ අවසාන මොහොතේදීය. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණ පැවැත්වෙන තත්වයක් ඇති වුවහොත් ආණ්ඩුවට  එය තවදුරටත් වාසි දායක වේ.  එවිට ජනාධිපතිවරණ සර්කස් එකේ තිරය ඇරීම දක්වා ජනතාවට විහිළු කාරයින්ගේ රංගන පෙන්වමින් කාලය මැරිය හැක.

කෙසේ වෙතත් සර්කස් පෙන්විමට පෙර පෙන්වන විහිළු කාරයින්ගේ රැඟුම් අනුව පිටපත ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත. එම පිටපතේ නළුවන්ට දැන් දූෂණ වංචා සිංදුව හෝ වස විස නැති ගොවිතැන් සිංදුව හෝ වොක්ස්වාගන් ආයෝජන සිහිනය වැනි සිංදු ගායනා කිරිමට ඉඩක් නැත. ඒ නිසා තැනින් තැනින් මතුවන පාක්ෂික සහ නිර්පාක්ෂික ලෙස හැඳින්වෙන විවිධ නළුවන් අවසාන මොහොතේ එක් සමූහ ගිතයක් ගායනා කරන බව විපක්ෂය තේරුම් ගන්නවා නම් මොළයට පාඩුවක් වන්නේ නැත. ඒ සමූහ ගීතය සමඟ සුදු ඇඳගත් අපේක්ෂකයා මතුවනු ඇත. ඒ අවස්ථාවේදී මෙම සමූහ ගීත කණ්ඩායම විසින් ඊනියා ක්‍රමය වෙනස් කිරීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ මැජික් ව්‍යවස්ථා කෙටුම්පත ඔහු අතට දෙනු ඇත.  එවිට මුලින්ම නම් කියවෙන අපේක්ෂකයන්ට එම සුදු ඇඳගත් අපේක්ෂකයා භෞතීෂ්ම කිරීමේ වාසනාව පමණක් නොව තමාගේ අපේක්ෂා පසෙක තබා පොදු උවමනාවට ඉඩ දීම මඟින් අධ්‍යාත්මික නායකයින්ගේ තත්වයට උසස් විමක් ලබා ගැනීමේ හැකියාවද ලැබෙනු ඇත.

සතුරා පිළිබඳ නිසි තක්සේරුවක් නැතිව ජනතාව සටනට කැඳවිය නොහැක. ඒ නිසා විපක්ෂය පළමුව කළ යුත්තේ සතුරාගේ භයානකම විලාසයට අනුව සුදානම් විමය. එවිට සතුරා එන්නේ ඊට වඩා දුර්වල ආකාරයටනම් එය බෝනස් එකකි. නමුත් සතුරා අවතක්සේරු කිරිම මාරාන්තික වරදක් බව විපක්ෂයේ කුමන නායකයා නොදැන සිටියත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයන් නොදැන සිටීමට හේතුවක් නැත. අද සමාජය ඉල්ලා සිටින්නේ මහා වෙනසකි. එනම් බඩ ගාමින් යන බවට ආණ්ඩුව කියන රට දෙපයින් සිටුවීමටය. ගෝඨාභය වැන්නෙකුට එය අමාරු දෙයක් නොවන බවට විවාදයක් නැත. එහෙත් ඒ සඳහා බලය ලබා ගත යුතු ය. බලය ලබා ගැනිම පසුව නැතැයි සිතීම ප්‍රඥාගෝචර වන්නේ එය ප්‍රඥාවට අනුකූල වන බැවිනි. ඇමරකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජොන්කෙරිට අනුව 2015දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම හෙවත් ආණ්ඩුව වෙනස් කිරීම සඳහා එනම් ඉහත සඳහන් කළ මූලික ඡන්ද පදනමට උඩින් ගත යුතු ඡන්ද ප්‍රමාණය වෙනස් කිරීම සඳහා ඔවුන් දළ වශයෙන් වියදම් කොට ඇත්තේ රු. මිලියන 3000 කි. නමුත් ඉරාකය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකාව විසින් වැය කල මුදල ඇ. ඩොලර් මිලියන ලක්ෂ 3 කි, එනම් බිලියන 300 කි. ඉන් 1% යනු රු. මිලියන ලක්ෂ 5 කි. එසේ නම් ශ්‍රී ලංකාව අත්පත්කර ගැනීම සදහා සතුරාට කළ හැකි දේ අවතක්සේරු කිරීම නොකළ යුත බව පැහැදිළිය.

පවතින රූකඩ ආණ්ඩුවට කොතරම් මුදල් පොම්ප කළත් ගෝඨා වැන්නේකු හමුවේ කළ හැකි දෙයක් නැතැයි සිතන පිරිසක් සිටිති. ඔවුන් අයත් වන්නේ ඉහත සඳහන් කළ ලක්ෂ 50 ටය. ඒ නිසා බලවත් සතුරාට බලවත් ලෙස මුහුණ දිම හැම අතින්ම ප්‍රඥාගෝචර වන බව ඕනෑම හමුදා නායකයෙකුට වැටහෙන දෙයකි. සතුරා විසින් මල්ටි බැරල් සඟවා ඇති බැවින් ඒවා නොපෙනෙන බව විශ්වාස කොට ඊට සූදානම් විය යුතු ය. එසේ නොමැතිව මල්ටි බැරල් නැති බව පවසා ගල්කටස් ගෙන යුද්ධයට යාහැකි බව යමෙකු පවසනවානම් ඔහු සතුරාගේ ඔත්තුකරුවෙකු බව ඕනෑම යුද ශිල්පියකුට තේරුම් ගත හැක. ඒ නිසා දැන් වහාම මල්ටි බැරල් සූදානම් කළ යුතු ය. එවිට සතුරා එන්නේ ගල් කටස් අතැතිව නම් එය බෝනස් ජයග්‍රහණයකි. ඒ නිසා ජනාධිපතිවරණය දක්වා හිදැස් පිරවීමට “ ඉවෙන්ට්ස් ” තේරීම වෙනුවට ජනතාව පෙළගස්වන උපාය මාර්ගික ප්‍රවේශය තේරිය යුතුය.

පළමුවෙන්ම උගුරට හොරා බෙහෙත් බීමට උත්සහ නොකර ඉස්ලාම් අන්තවාදීන් සමඟ සෘජුව හෝ වක්‍රව හඳුනාගන්නා කිසිවෙකු සමඟ සන්ධානගත නොවන බව සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වන්දි ගෙවු ජනතාවට සාධාරනය ඉටු කරන බව සහ වැරදි කරුවන් සියල්ලට තරාතිරම නොබලා දඬුවම් කිරීම තමාගේ ප්‍රථම රාජකාරිය බව උස් හඬින් කිව යුතු ය. ජනතාව ඉල්ලන්නේ 56 මෙන් සමාජ පෙරළියකි. ඒ සඳහා මහා ජාතිකවාදී වාමවාදී දේශපාලන සන්ධානයක් අවශ්‍ය වේ. ඒ නිසා තනි පක්ෂයකින් අපේක්ෂයෙකු ලෙස පෙනී සිටීම වෙනුවට මහා ජාතික සන්ධානයකින් ඉදිරිපත් වන ජාතියේ පොදු අපේක්ෂකයා බවට පත් විය යුතු ය. කොළ, නිල්, රතු නොබලා ජාතිය වෙනුවෙන් මෙවර ඡන්දය පාවිච්චි කළ යුතුයි යන මතය ජනතාවට කාවදින්නේ එවිටය. එසේම ඊනියා නව ලිබරල් චින්තකයින්ගේ නාගරික ඉදිකිරීම් මුල් කරගත් සංවර්ධන මොඩලය වෙනුවට බහුතර ජනතාවට ආර්ථික ඉඩ ප්‍රස්ථාර ලැබෙන දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාවය මුල් කරගත් ජාතික නිෂ්පාදන ආර්ථික මොඩලයක් තමා විසින් තෝරන බව නොබියව කිව යුතු ය. ජාතික ආරක්ෂාව රකින බව පමණක් කීම ජනතාවට විශේෂයක් නොවේ. ඒ එය ඕනෑම පාලකයෙකුට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් බැවිනි. ඊට අමතරව ගෝඨාභය නම් වූ පාලකයා ජාතික ආරක්ෂාව රැකීමට මුල්තැන දෙන බව ජනතාවට අමුතුවෙන් කිවයුතු නැත. ජනතාවගේ වචනයෙන් ගෝඨා අවශ්‍ය වන්නේ ආණ්ඩුව කරන දේ නැවැත්වීමට පමණක් නොවේ, විපක්ෂය නොකියන දේ කීමට සහ කියන දේ ඇත්තටම කරන බවට විශ්වාසය හැදීමටය. ජනතාව තුළ අපේක්ෂා ජනිත කළ හැක්කේ ඒ මඟින් පමණි.

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



One thought on “ගෝඨාගෙන් මහජනයා ඉල්ලන්නේ කුමක්ද?”

  1. Fantastic article hitting the swear spot.
    Mahinda should stand firm and not dialute his message.

    The 13+ ambiguity hurts our Nation but with people like GL and Basil advising him, it’s difficult for Mahinda to be his own man.

    The first step is to make a genuine Nationalist Gota, our President.

    Then, for the general election, our support for the SLPP should be conditional. If not, let us seriously see how we can get 50 patriots elected and hold 5he balance of power.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More