පුරවැසි කොලම

අවුරුදු විස්සකට පස්සෙ ජ වි පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න යනවා. ඒත් සමහර වෙනස්කම් තියෙනවා. එදා ජ වි පෙරමුණෙන් ඉදිරිපත් වෙච්ච නන්දන ගුණතිලක අද එ ජා පක්‍ෂයේ. අද අනුර දිසානායකට අමුතුවෙන් එ ජා පක්‍ෂයට යන්න ඕන නැහැ. එදා නන්දන ගුණතිලක ඇන්දෙ රතු. ඉදිරිපත් වුණෙ ජ වි පෙරමුණෙන්. අද අනුර රනිල්දාස එන්නෙ ජාතික ජනබල පෙරමුණෙන්, අඳින්නෙ සුදට හුරු කහපාටක්. එදා රැස්වීම්වල වැඩිය පුටු තිබුණෙ නැහැ. අද ගාලු මුවදොර පිටියෙ විශාල ඉඩක පුටු. එදා නන්දන ගුණතිලක ලක්‍ෂ තුනකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. මෙදා රනිල්දාස ඉදිරිපත් වුණොත් ඡන්ද ලක්‍ෂ තුනක් ලැබෙන්නෙ නැහැ. රනිල්දාස ඉදිරිපත් කරන්න ගියාට ඉදිරිපත්  කරයි ද යන්න තීරණය වෙන්නෙ සජිත් මත. රනිල් ඒක තීරණය කරාවි.

ජ වි පෙරමුණට සංවිධාන විසිහතකින් ද කොහෙද සහාය ලැබෙනව කියනවා. ඒ සංවිධානවල සාමාජිකයන් කී දෙනකු ඉන්නවා ද ඔවුන් ඡන්දය දෙන්නෙ කාට ද යන්න වෙන ම ප්‍රශ්නයක්. කාට ඡන්දෙ දුන්නත් එකක් පැහැදිලියි. ජ වි පෙ සමාජවාදය අත්හැරලා ඊනියා විප්ලවවාදී පක්‍ෂයකින් දක්‍ෂිණ කේන්ද්‍ර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් වෙලා. සාමාන්‍යයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ වාම කේන්ද්‍රීයයි. රනිල්දාසලා වාම කේන්ද්‍රීය වෙන්නෙ කොහොම ද? තාම නමටවත් තිස්ස විතාරණ රතු කමිසෙ අඳිනවා.

දැන් කවුරුහරි කියන්න බැරි නැහැ කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් ජ වි පෙ, ජ වි පෙ මයි කියලා. නැහැ රනිලුත් දන්නවා කොබෙයියා එහෙම වුණත් ජ වි පෙ එහෙම නො වෙයි කියලා. ජ වි පෙ බැදෙන්නෙ රනිල් කියන විධියටයි. රනිල් දාන්නෙ කිර ද තෙල් ද? සජිත් එයි ද නේයි ද? සජිතුත් දැන් සිංහල බෞද්ධකම ගැන කතා කරනවා. රණවිරුවන්ගෙ දෙපා මුලට යනවා කියනවා. මේ එන්නෙ හොඳකට නො වෙයි.

කොහොමටත් දැන් විග්නේස්වරන් මොකක් ද කියන්නෙ. ඔහු කියන්නෙ සිංහල බෞද්ධකම ගැන කියන කිසිවකුට දෙමළ කතා කරන ජනයා ඡන්දෙ දෙන්න ඕන නැහැ කියලා. එහෙනම් රනිල්ට හරි රනිල්ගෙ අපේක්‍ෂකයාට හරි ද ඡන්දෙ දෙන්නෙ. රනිල්ට දැටමත් ඕන නම් යොදා ගන්න අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා ඉන්නවා. අපි අහන්න යන්නෙ නැහැ අපේක්‍ෂකයාගේ අපේක්‍ෂාව මොකක් ද කියලා. ජාතික ජනබල පෙරමුණට අවශ්‍ය වුණොත් ජාතික ප්‍රජාතන්තන්ත්‍රවාදී පෙරමුණ එක්ක එකතු වෙලා වඩාත් පළල් සංධානයක් හදන්න බැරියැ. ඒක ජාතික මොන පෙරමුණ ද?

මේ අස්සෙ සුමන්තිරන් රැවුල පත්තු වෙන කොට සුරුට්ටු පත්තු කරන්න යනවා. ඔහු අහල තිබුණා දෙමළ ජනයාගේ දේශපාලන අයිතිය ගැන එ ජා පෙ මොකද කියන්නෙ කියලා. දෙමළ කතාකරන ජනයාට නැති වෙලා තියෙන දේශපාලන අයිතිය මොකක් ද? සුමන්තිරන්ට ඒක පැහැදිලි කරල දෙන්න පුළුවන් ද? සුමන්තිරන්ට බැරි නම් පඬියකුටවත් කියන්න. ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න තවත් අවුරුදු විසිපහක් දෙන්නම්. හැබැයි ඊට ඉස්සෙල්ලා ජනාධිපතිවරණය පවත්වන්න වෙනවා.

එක් එක් ජන කොටස්වලට තියෙන දේශපාලන අයිතීන් මොනව ද කියල අපට අහන්න පුළුවන්. ඊනියා ලාංකික ජාතියක් ගැන හිතන්න සිංහලයන්ට කියන දේශපාලනඥයන් හා පඬියන් දෙමළ කතාකරන ජනයාගෙන්වත් මුස්ලිම් ජනයාගෙන්වත් අහන්නෙ නැහැ ලාංකික හැටියට හිතන්නෙ නැත්තෙ මොකද කියලා. අඩු තරමෙන් ඔවුන්ගෙ නායකයන්ගෙන් අහන්නෙ නැහැ. මේ නායකයන්ගෙත් පඬියන්ගෙත් පඬි පෝතකයන්ගෙත් පඬි නැට්ටන්ගෙත් ප්‍රශ්නය තමයි මෙරට සිංහල බෞද්ධ රටක් බව නොපිළිගැනීම. ඔවුන් ඊනියා අනාගමික රටක් කියන්නෙ බටහිර ක්‍රිස්තියානි ඇතැම් විට බෝන් අගේන් ක්‍රිස්තියානි රටකට. බටහිර ක්‍රිස්තියානි කියන්නෙ ක්‍රිස්තුස් වහන්සේගෙ ක්‍රිස්තියානියට නො වෙයි.

අද ප්‍රශ්නය මෙරට සිංහල බෞද්ධ රටක් වුණාට සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවීම. 1815 ගිවිසුමෙන් ඉංගිරිසින් පොරොන්දු වුණා සිංහල නීතිය අනුව රට කරවන්නත් බුද්ධාගම හා දේවාගම ආරක්‍ෂා කරන්නත්. ඊටත් කලින් පෘතුගීසීන් හා ලන්දේසීන් ද එවැන්නක් කියා තිබෙනවා. ලන්දේසීන් රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන්න ඉඳලා තියෙන්නෙ සිංහල නීතිය නිෂ්ශබ්ද අවස්ථාවල දී පමණයි. ඒ කියන්නෙ සිංහල නීතියෙන් යම් ප්‍රශ්නයකට පිළිතුරක් නැති අවස්ථාවක දි.

ඒත් අද වෙලා තියෙන්නෙ මොකක් ද? මෙරට නීතිය රෝම ලන්දේසි වෙලා. රෝම ලන්දේසි නීතිය නිෂ්ශබ්ද අවස්ථාවල ඉංගිරිසි නීතිය යොදා ගැනෙනවා. එයට අමතර ව  යාපනයේ තේසවලාමේ නීතියත් අවස්ථානුකූල ව මුස්ලිමුන්ට මුස්ලිම් නීිතියත් ක්‍රියාත්මක වෙනවා.  සිංහල නීතියක් තියෙනවා ද කියලවත් මිනිසුන් දන්නෙ නැහැ. ලන්දේසීන් හා ඉංගිිරිසින් සූක්‍ෂම ව සිංහල නීතිය අයින් කරලා.

සිංහලයන් අමුතුවෙන් දේශපාලන අයිතියක් ගැන කියන්නෙ නැහැ. අප කියන්නෙ සිංහලයන්ට නීතියත් ඇතුළු ව නැති වෙච්ච අයිතිවාසිකම් ලබා දෙන්න කියා. සිංහල බෞද්ධ රාජ්‍යයක එය ලැබේවි. අද අධිකරණ සංඝ නායක හිමියන් ඒ ඒ නිකායෙ ඒ ඒ පාර්ශ්වයෙ වැඩ ඉන්නවා. එහෙත් අපට උන්වහන්සේ රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වෙන අධිකරණවල දැක ගන්න පුළුවන්. ජ වි පෙ සිංහල නීතිය ගැන රනිල්ගෙන් අහල අපට කියනවා ද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More