Uncategorized

දුටුගැමුණු එළාර යුද්ධයේ  සිට පසුකාලීනව ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දුන් සෑම ආක්‍රමණයකදීම රට නිදහස් කර ගැනීම සදහා ජීවිත පරිත්‍යාග කරනු ලැබුවේ අති බහුතරයක් සිංහල ජනතාවයි. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව රටේ බහුතරය වන බැවින් රට වෙනුවෙන් කරනු ලබන කැප කිරීම්වල දී ඔවුන්ට ඉදිරියෙන් සිටීමට සිදුවේ. ඊට අමතරව මේ රටේ ශිෂ්ටාචාරය මූලික වශයෙන් ගොඩනගන්නේ ඔවුන් විසින් බැවින් එය රැක ගැනීමේ දී ඔවුනට වැඩි වගකීමක් පැවරේ. ඒ නිසා ඉස්ලාම් මූලධර්මවාදයට එරෙහි සටනේ දී ද පෙරට පැමිණිය යුත්තේ සිංහලයාය.ඒ පරම සත්‍යය ප්‍රකාශ කිරීම ජාතිවාදයක් ලෙස හැදින්විය හැකිද? ඓතිහාසිකව සිංහලයා ලෙස හැඳින්වීමේදී එමගින් අවධාරණය වූයේ සිංහල බෞද්ධයා පිළිබඳවය. නමුත් මෑතක සිට විශේෂයෙන්ම වර්තමාන කාදිනල්තුමාගේ ස්ථාවරයන් අනුව සිංහල බෞද්ධයා විසින් ඓතිහාසිකව ඉටුකළ භූමිකාව කතෝලිකයා විසින්ද පවරාගෙන ඇත.

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් පියතුමාගේ සුවිශේෂී විග්‍රහය අනුව සිංහල බෞද්ධයන් පමණක් නොව කතෝලිකයා සහ සෙසු ජන කොටස්ද රැකෙන්නේ බෞද්ධ සංස්කෘතික උරුමය රැකුණොත් පමණි. බෝ සෙවණ යට සියලුදෙනාට සාමයෙන් ජීවත්විය හැක්කේ බෝධිය හෙවත් බෞද්ධ සංස්කෘතික උරුමය රැක ගතහොත් පමණි. එම විග්‍රහයට අනුව ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදය විසින් මුලින් උදුරා දැමීමට තැත් කරන බෝධිය රැක ගැනීම සඳහා අන්තවාදය ප්‍රතික්ෂේප කරන මුස්ලිම් ජනතාවද එක්කරගත යුතුය. ඒ වගකීම පැවරෙන්නේ සිංහලයා හෙවත් සිංහල බෞද්ධ සහ කතෝලික ජනතාවගේ උර මතය.

ඒ භාරදූර කාර්යයේ දී ඉතා වැදගත් පූර්ව කොන්දේසිය වන්නේ ඉස්ලාම් මූලධර්මවාදයේ සියලු පැතිකඩ හෙවත් ප්‍රකාශනයන් හඳුනාගැනීමය. ත්‍රස්තවාදය එහි එක් පැත්තක් පමණි. ත්‍රස්තවාදයට තරුණයන් ගොදුරු කරගැනීම සඳහා යොදාගනු ලබන මානසික උපක්‍රම හෙවත් අන්තවාදීන් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවේ හැඩතල හඳුනා ගැනීමෙන් තොරව ත්‍රස්තවාදය පරාජය කළ නොහැක. ඉස්ලාම් ආගමික මූලධර්මවාදයට ගොදුරු වන පුද්ගලයා සම්පූර්ණයෙන්ම වෙනස් සත්වයකු බවට පරිවර්තනය වේ. ඊට අදාළව ගෝලීය මට්ටමෙන් අති තරම් සාක්ෂි සොයාගත හැක. එම නිසා මූලධර්මවාදය භෞතිකව පමණක් නොව මානසිකව සුද්ද කිරීම හෙවත් සමාජ මනසින් ඉවත් කිරීමද අවශ්‍ය වේ. නමුත් ජාතිකත්වය මත පදනම්වන භූගෝලීය බෙදුම්වාදය වැනි නිශ්චිත දේශපාලන අරමුණුක් වෙනුවෙන් කැපවන පුද්ගලයෙකුගේ මනස තුළ එවැනි ජෛව රසායනික පරිවර්තනයක් සිදු නො වේ. එම අර්ථයෙන් ගත් විට ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදයේ අවසන් පිළිබිඹුව වසර 30ක් පැවති බෙදුම්වාදී යුද්ධයට වඩා බරපතල වන බවට සැකයක් නැත.

සහරාන් නැමති පුද්ගලයා පිළිබඳ විවිධ මූලාශ්‍ර වලින් මේ වන විට එළිදරව් වී ඇති තොරතුරු අනුව ඔහු තුළ සිදුවී ඇති ජෛව රසායනික විපර්යාසය තේරුම්ගගත හැක. නමුත් ජාත්‍යන්තර අයිඑස් ත්‍රස්තවාදී ව්‍යාපාරයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ පෙරමුණට නායකත්වය සපයන්නේ සහරාන් බවට පෙන්වීමට ගනු ලබන උත්සාහය සැකකටයුතුය. ඒ මගින් එක් පැත්තකින් දැන් ප්‍රශ්නය අවසන් ය යන හැඟීම ඇති කරන අතර අනෙක් පැත්තෙන් සහරාන්ලා  සහ ඔවුන්ට අණ දුන් සැබෑ නායකයින් හඳුනා ගැනීමට බාධා පැමිණ වේ. සහරාන්  යනු ජාත්‍යන්තර සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඉස්ලාම් මූලධර්මවාදී මරාගෙන මැරෙන ව්‍යාපාරයේ ආරම්භකයා බවට විවාදයක් නැත. එහහෙත් එම ව්‍යාපාරයේ මරාගෙන මැරෙන බලඇණියේ නායකයාහෝ මූලය ඔහු බව පිළිගැනීම නම් මාරාන්තික වරදක් විය හැක.

යම් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් ඉස්ලාම් මූලධර්මවාදී ව්‍යාපාරය සමාන කරනු ලබන්නේ පාපන්දු ක්‍රීඩා පිටියකටය. එහිදී පාපන්දු කණ්ඩායම් සාමාජිකයන් පිටියේ විවිධ තැන්වල ස්ථානගතව සිටින අතර විවිධ වගකීම ඔවුන්ට පැවරී ඇත. ප්‍රේක්ෂකයන් අතරින් යම් පිරිසක් තරගය දෙස දුරස්ව බලා සිටින අතර තවත් පිරිස් කණ්ඩායම් වලට සමීපව ඔල්වරසන් දෙන අතර යම් අවස්ථාවල ප්‍රේක්ෂක අවධානය වෙනස් කිරීම සඳහා ක්‍රීඩකයන් අතර මෙන් ම ප්‍රේක්ෂකයින් අතර ද ගැටුම් ඇති කරති. අවසානයේදී කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම ජයග්‍රහණය කළත් එම කණ්ඩායම ශක්තිමත් කණ්ඩායම ලෙස මහජනයා පිළිගනිති. මහජනයා ඔවුන් පසුපස යන අතර පරාජිතයා නොවැදගත් වේ. එම ක්‍රියාව තුළ එක් කණ්ඩායමක විවිධ සාමාජිකයන්ට මෙන්ම කණ්ඩායම් දෙකටද  මහජනයා ඉදිරියේ විවිධ වූ භූමිකාවන් පැවරී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විවිධ මුස්ලිම් දේශපාලන නායකයින් ඊට මුහුණ දුන් ආකාරය දෙස බැලීමේදී මූලධර්මවාදී බලවේග කෙතරම් සූක්ෂම ද යන්න පැහැදිලි වේ. එක්  පැත්තකින් එහි වරද බෝම්බ පිපිරවූ පිරිස් සහ ඔවුන් සමග සමීපව කටයුතු කළ යම් පිරිසකට පටවා ඇඟ බේරා  ගැනීමට මෙතෙක් කලක් අන්තවාදී ප්‍රවණතාවයන් ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටි පිරිස් ඉක්මන් විය. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාව අතර මූලධර්මවාදය ප්‍රචලිත කෙරෙන ප්‍රවණතාවයන් නොමැති බවට සහ එම ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර සබඳතා ජාලය ක්‍රියාත්මක වන බව සැඟවීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා අන්තවාදී ලේබල් අලවාගෙන සිටින මුස්ලිම් නායකයින් ඉදිරිපත් විය. අවසානයේදී තරුණයින් ගොනාට ඇන්දවීම සදහා තමා විසින්ම අන්තවාදී ලේබල් අලවාගෙන සිටින ප්‍රබල මුස්ලිම් අමාත්‍යවරයෙකුට මහා සමාජයෙන් චෝදනා එල්ල වන විට ඔවුන් රැකීම සඳහා මධ්‍යස්ථ නායකයින් ඔවුන් සමග එකට සිට ගන්නා තත්වයත්වයක් නිර්මාණය කෙරිණි.

ඒ අනුව දැන්  මුස්ලිම් දේශපාලන නායකයින් අතර අන්තවාදී සහ මධ්‍යස්ථ වශයෙන් බෙදීමක් නොමැති බව පෙන්වීමට අන්තවාදී පිරිස් සමත් විය. උදාහරණයක් ලෙස අන්තවාදයට විරුද්ධ ව කටයුතු කිරීම නිසා අන්තවාදීන්ගේ උදහසට ලක්වූ කබීර් හෂීම් අමාත්‍යවරයාට ද තම ඇමතිකම පරිත්‍යාග කොට අන්තවාදීන් ආරක්ෂා කිරීමේ පෙරමුණට එක් වීමට සිදුවිය. බහුතර සිංහල ජනතාව විසින් අන්තවාදී ලේබලය ඇලවූයේ ප්‍රධාන වශයෙන් එක්  ප්‍රබල අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ පිට මත පමණි. තවත් ඇමතිවරයෙකු අන්තවාදී සහ ජාතිවාදී ඔලුවිල් ප්‍රකාශයට පවා මුල්වූවද ඔහු තවමත් සමාජයට ව්‍යාජ මධ්‍යස්ථ මුහුණක් පෙන්වමින් සිටී. එසේ මහජනයා විසින් ම අන්තවාදීන් සහ මධ්‍යස්ථවාදීන් බෙදා වෙන්කිරීම අන්තවාදීන්ගේ පැත්තෙන් ගත්විට ඉතා අවාසිදායක තත්වයකි. එම නිසා මරණ බිය ඇති කිරීමෙන් හෝ තුන්වන පාර්ශ්වයක මැදිහත් වීම මත හෝ එසේ නැතහොත් ද්විත්ව රංගනයක් ලෙස හෝ අන්තවාදීන් හා මධ්‍යස්ථවාදීන් එකට එකතු වී ඇත. ඒ සංඥාව තේරුම් ගැනීමට බහුතර සිංහල ජනතාව අසමත් වේ නම් එය ඓතිහාසික වරදක් වන බවට සැකයක් නැත.

දෙමළ ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරය හෙවත් භූගෝලීය බෙදුම්වාදය සහ ඉස්ලාම් මූලධර්මවාදී සමාජ බෙදුම්වාදී ව්‍යාපාරය අතර ප්‍රබල වෙනසක් මෙන්ම සමානකමක් ද හඳුනා ගත හැක. ඊලාම් ව්‍යාපාරයේ සන්නද්ධ සහ දේශපාලන යන පෙරමුණු දෙක ම විපක්ෂයේ සිටිමින් ආණ්ඩුව සමග කේවල් කරන නමුත් ඉස්ලාම් මූලධර්මවාදීහු තම දේශපාලන පෙරමුණ ආණ්ඩුව තුළ නියෝජනය කරමින් ආණ්ඩුව සහ මහජනයා සමඟ කේවල් කරති. එසේම භූගෝලීය බෙදුම්වාදය සහ ඉස්ලාමීය මූලධර්මවාදී සමාජ බෙදුම්වාදය යන ව්‍යාපාර දෙක තුළම සන්නද්ධ පෙරමුණ සහ දේශපාලන පෙරමුණ යන පෙරමුණු දෙකම සක්‍රීයව එකිනෙකා මත යැපෙමින් ක්‍රියාත්මක වේ. එම පෙරමුණ අතර ගැටුම් පවතින බව සමාජයට පෙන්නුවද අවසන් අරමුණට සාපේක්ෂව එම පෙරමුණු දෙක එකිනෙක මත යැපෙමින් එකිනෙකට සේවය කරති. එම තත්ත්වය තුළ එක් පෙරමුණක් පමණක් හුදකලාව පරාජය කිරීමේ හැකියාවක් නැත. එම නිසා සන්නද්ධ පෙරමුණේ එළලිදරව් වී ඇති පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් හෝ සිරගත කිරීමෙන් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඊට අමතරව දේශපාලන පෙරමුණ ආණ්ඩුව තුළ සිට  ක්‍රියාත්මක වන බැවින් එසේ සන්නද්ධ පෙරමුණට එරෙහිව පියවර ගැනීම ද පහසු නැත.

පසුගිය දිනවල අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කිරීම සඳහා ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් මැදිහත් වූ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වීමෙන් ඒ බව තහවුරු වේ. ඉහත සඳහන් කළ ආකාරයට

එම තත්ත්වය ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරය තුළ දක්නට නොලැබුණු තත්වයකි. එම නිසාම මූලධර්මවාදි අන්තවාදය භෞතිකව සහ මානසිකව සහමුලින්ම අතුගා දැමීම සඳහා මූලික සහ පූර්ව කොන්දේසිය වන්නේ අන්තවාදී බලවේග නියෝජනය වන ආණ්ඩුවක් හැදීම වැළැක්වීමය. වෙනත් වචනවලින් කියනවා නම් අන්තවාදීන්ට බලය නැති ආණ්ඩුවක් හෙවත් මෙතෙක් හදා නැති අලුත් ආණ්ඩුවක් හැදීම ය. පසුගිය කාලය පුරාම රටේ වැදගත්ම අමාත්‍යංශය හිමිවූයේ සෘජුව සහ වක්‍රව අන්තවාදය පෝෂණය කරන මුස්ලිම් අමාත්‍යවරුන්ට ය. වර්තමාන ආණ්ඩුවේ චෝදනාවට ලක්වී ඇති එක් අමාත්‍යවරයෙකුට ආයතන 39 ක් සහිත බලවත් අමාත්‍යංශයක් ලැබී ඇත. එම බලය යොදාගනිමින්  බෝම්බකරුවන්ට බෝම්බ සෑදීම සඳහා තඹ ලබා දීමේ සිට විවිධ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීම මගින් මුදල් රැස්කර ගැනීමට පහසුකම් සැලසීම පිළිබඳ ව එම අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත. ඔහුගේ බලය නැති කිරීමෙන් තොරව එම ක්‍රියා  නතර කළ නොහැකි බව පැහැදිලි කරුණකි.

එම නිසා පුද්ගල නීති රටේ සෑම පුරවැසියෙකුටම එක සමානව ක්‍රියාත්මක වන තත්වයක් නිර්මාණය කිරිමට හෝ රටේ සෑම දරුවෙකුටම පොදු විශයමාලා යටතේ ඉගැන්වීම සහතික කිරීමට හෝ අන්තවාදී ප්‍රකාශණ හෝ ක්‍රියාකාරකම් හෝ ඇඳුම් පැළඳුම් මඟින් අන්තවාදය පෝෂණය කිරීම වැළැක්වීමට හැකියාව ලැබෙන්නේ ඉහත සඳහන් කළ අන්තවාදීන්ගේ දේශපාලන කේවල් කිරිමේ බලය අහෝසි කිරීම මඟින් පමණි. එම අභියෝගය පිළිබඳව නිර්භයව සහ විවෘතව කථානොකර හොරගල් ඇහිළීමට සිංහල  බහුතරයේ ඡන්ද බලාපොරොත්තුවන කිසිඳු දේශපාලන පක්ෂයකට ඉඩ ලබා නොදිය යුතු ය. එය මූලික දේශපාලන පූර්ව කොන්දේසියකි. අනෙක් වැදගත්ම පූර්ව කොන්දේසිය වන්නේ අන්තවාදය සමඟ සෘජුව සිටගැනිමට සූදානම් නැති මුස්ලිම් නායකයින් සහ ජනතාව අන්තවාදීන්ගේ ගොඩට තල්ලු නොකිරිමය. එහිදි අන්තවාදයට විරුද්ධව සිටගැනීමට මානසික පෙළඹවීම සහිත නායකයින්ට ශක්තිය සහ ධෛර්යක් ලබා දීම ඉතා වැදගත්ය. නමුත් පසුගිය දිනවල මුස්ලිම් කාන්තා අයිතිවාසිකම් , වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් කාන්තා දේශපාලන නායකයින්ට වචනයකින් හෝ ධෛර්යක් ලබා දීමට සිංහල බහුතරය නියෝජනය කරන දේශපාලන පක්ෂ කටයුතු නොකළේය. අපේ රටේ දේශපාලන නායකයින් අන්තවාදයට මුහුණ දෙන්නේ ඒ ආකාරයට බියසුළු සහ නිවට මනසකින් නම් එය බරපතල තත්වයකි. එම තත්වය වෙනස් කර ගැනීම සියල්ලටම ප්‍රථම ඉටුකර ගත යුතු මූලික සහ ප්‍රථමික කොන්දේසියකි. අන්තවාදයට එරෙහිව ස්වයංව නැගී සිටින බලවේගයකට ධෛර්ය දීමට පසුබට වන දේශපාලන නායකයින්ට එවැනි බලවේග නිර්මාණය කිරිමට හෝ ඔවුන් යොදා ගනිමින් දේශපාලන ක්‍රියාමාර්ග තේරීමට ධෛර්යක් තිබිය හැකිද? මූලික වශයෙන් අන්තවාදී මුස්ලිම් දේශපාලන නායකයින් සහ මධ්‍යස්ථ බව පෙන්වමින් වක්‍රව සහ දීර්ඝකාලීන අරමුණට සාපේක්ෂව අන්තවාදය පෝෂණය කරන පිරිස් විසින් සිංහල දේශපාලන නායකයින්ට පනවනු ලබන මානසික බාධක නිසා එම තත්වය උත්ගතවී ඇත.

ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ දීර්ඝකාලීන් අරමුණ වන ශ්‍රී ලංකාවේ මුස්ලිම් බහුතරය විසින් සිංහල දෙමළ සුළුජාතිකයින්ව පාලනය කරන තත්වය නිර්මාණය කිරීම සඳහා වන උපාය මාර්ගය තුළ එක් එක් අවධිවලදී ප්‍රචන්ඩත්වය යම් මාත්‍රා වලින් සහ ස්වරූප වලින් යොදාගන්නා බවට විවාදයක් නැත. එහෙත් මේ නිශ්චිත අවධියේදී ප්‍රචන්ධත්වයේ මාත්‍රාව ඉක්මවා ගොස් ඔවුන්ගේ දීර්ඝකාලීන අරමුණට අවැඩක් සිදු වූ බව ඔවුන්ද පිළිගන්නවා ඇත.

මෙවැනි ප්‍රචන්ඩ හදිසි ප්‍රහාරයන් දියත් කිරීමට පෙර අඩුතරමින් තව ආණ්ඩු දෙකකවත් ඇමතිකම් දරමින් සාමකාමී පරිසරයක් තුළ අන්තවාදයට නිදහසේ වැඩීමට ඉඩ තිබුණි. නමුත් ජාත්‍යන්තර අයි එස් ත්‍රස්තවාදී ජාලය හසුරුවන සවුදි අන්තවාදී සංවිධාන හරහා සහරාන්ලා , ඉක්මන් කර වන්නේ ඇමරිකානු උවමනාව නිසා බවට පැහැදිළිව තර්ක ඉදිරිපත් කළ හැක. විශේෂයෙන්ම ගිවිසුම් ත්‍රිත්වයක් හරහා ශ්‍රී ලංකාවට පය තබා ගැනිම සඳහා දියත්කොට ඇති උපාය මාර්ගික සැලසුම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව මත පැටවීම සඳහා එවැනි ප්‍රහාර මාලාවක් දියත් කිරීම තීරණාත්මකව වැදගත් වේ. දැන් අන්තවාදින්ගේ සහ අන්තවාදය බැලන්ස් කරන ඊනිසා මධ්‍යස්ථවාදීන්ගේ මෙන්ම ඇමරිකානු ඔත්තුසේවා වල අභියෝගය වන්නේ තත්වය නිවැරදිව කළමණාකරනය කිරිමය. එය ඉතා හොඳින් සිදුවන බව ඉහත කරුණු වලින් පැහැදිළි වේ.

එවැනි තත්වයක් තුළ ජාත්‍යන්තර බුද්ධි මණ්ඩල ජාලයක රැකවරණය සහ උපදෙස් මත ක්‍රියාත්මක වන ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදය තරමට දියුණු නැති නමුත් සිංහලයාට මේ තීරණාත්මක මොහොතේදී වත් නිර්භයව යම් උපායමාර්ගික ප්‍රෙව්ශයක සිට කටයුතු කිරීමට සිදුවේ. එහිදී රුසියාවේ පුටින් මෙන් නායකයින් සිංහලයාට නැති බව සැබෑය. එය තහවුරු කිරීම සඳහා රුසියානු නායකයා පාර්ලිමෙන්තුව අමතා කළ කථාවකින් කොටසක් මෙසේ උපුටා දැන්විය හැක.

“ රුසියාවේදී රුසියානුවෙක් ලෙස ජීවත්විය යුතුය. සියලුම රුසියාවේ නිති වලට ගරු කළ යුතුය. ෂරියා නීතියට ගරු කරන්නේ නම් මුස්ලිම්වරුන් ලෙස විශේෂිතව ජීවත්වීමට කැමැත්තක් දක්වන්නේ නම් අප ඔබට පැහැදිලිවම අවවාද කරන්නේ එවැනි නීති තිබෙන දේශයක් සෙයා යන ලෙසය… අපේ නීතිය ඔවුන්ගේ චර්යා වලට ගැලපෙන පරිදි වෙනස් කිරීමට බලකරමින් කෙතරම් තදින් බෙරිහන් දුන්නාද අප ඒවාට සවන් දෙන්නේ නැත… ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන ඇමරිකාව , ප්‍රංශය වැනි රටවල සිදු වු මරාගෙන මැරෙන ප්‍රහාර වලින් අපි හොඳින් පාඩම් ඉගෙන ගතිමු. මුස්ලිම්වරු එම රටවල් අත්පත්කර ගනිමින් සිටියද රුසියාවට ඔවුනට එසේ කිරීමට ඉඩ නොදෙමු. ”

එවැනි ප්‍රකාශයක් කිරීමට සහ ඒ මඟින් සිංහල , දෙමළ , මුස්ලිම් සැමට සමානව සලකන සහ සැමගේ ආරක්ෂාව සමාන ව සලසන බව තහවුරු කිරීම මඟින් සමාජයේ පවතින අනාරක්ෂිත මනස සුවපත් කිරීමට කොන්ද පණ ඇති එක නායකයෙකු ආන්ඩුව තුළ නැති බව මේවන විට පැහැදිළිව ඔප්පු වී ඇත. විපක්ෂයේ නායකයින් පවා ආගමික මූලධර්මවාදී ත්‍රස්තවාදයක් රටතුළ පැන නැගී ඇති බව සහ ඊට ගොදුරු වූවන්ට යුක්තිය ඉටු කරන බව සෘජුව පැවසීමට බියක් දක්වන බව පෙනේ. ඒ නිසා මුස්ලිම් ජනතාවට හෝ කුරාණයට බැණ අඬගැසීම වහාම නවතා ඒ වෙනුවට ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයින් සෘජුව ඇමතීමට සිංහලයා කටයුතු කළ යුතුය. ඉදිරි ජනාධිපතිවරණය මුල් කර ගෙන ජනතානට දැන් පැමිණිලිකරුගේ භූමිකාවෙන් විනිසුරුගේ භූමිකාවට මැරවීමට අවස්ථාව ලැබේ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිංහලයා විසින් කළ යුත්තේ එක් ප්‍රකාශයක් පමණි. එනම් ඉස්ලාම් මූලධර්මවාදය පෝෂණය කරන ප්‍රභල ඇමතිවරුන් දෙපළ සහ ඔවුන්ගේ පක්ෂ සමඟ මෙන්ම  වහසිබස් දොඩන හිටපු ආණ්ඩුකාරයින් දෙපළ සමඟ සන්ධානගතවන කිසිඳු පක්ෂයකට තමාගේ ඡන්දය නොදෙන බව දිව්රා පැවසීමය. මේ රටේ සැම සිංහලයෙක්ම පමණක් නොව අන්තවාදයට එරෙහි දෙමල මුස්ලිම් ජනතාවද තම දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් එම තීන්දුවට එළඹිය යුතුය. ඉස්ලාම් අන්තවාදීන්ගේ ලක්ෂ 2 – 3 ක ඡන්ද වලට ගිජු වී ඔවුන් සමඟ එකතුව ආණ්ඩු හැදීමට සිහින දකින නායකයින්ගේ සිහින බිඳ දමන බව ජනතාව තරයේ ප්‍රකාශ කළ යුතු ය. ඒ සඳහා ජනතාව පෙළඹවීමේ ඓතිහාසික වගකීම මහා සංඝරත්නය සතුවේ. එහෙත් මේ වන තුරු කිසිඳු නායක හිමි නමක් ඊට අදාළව සෘජු ප්‍රකාශයක් සිදුකොට නැත. ඒ වෙනුවට යම් ස්වාමීන් වහන්සේලා අන්තවාදයට ගොදුරුවිමට අකමැති මුස්ලිම් ජනතාව අන්තවාදය දෙසට තල්ලු‍කෙරෙන ආකාරයට සහ ඒ ජනතාවගේ සිත් රිදෙන ආකාරයට කුරාණයට බැන අඬගහන ආකාරයක් දක්නට ඇත.

ඉන්දියාවේ අගමැති මෝදිගේ ආණ්ඩුවට “ ත්‍රිත්ව තලාක් ” ක්‍රමයට භාර්යාව දික්කසාද කරන අන්තවාදි මුස්ලිම් ස්වාමිපුරුෂයන්ට වසර 3 ක සිරදඬුවම් පැමිණවීමට හැකිවන්නේ එම ආණ්ඩුවේ අන්තවාදයට ඇමතිකම් වෙන්කොට නොමැති බැවිනි. ඒ නිසා පළමුව අන්තවාදීන්ට ඇමතිකම් අහිමි කළ යුතු ය. ඒ සඳහා එසේ ඇමතිකම් දෙන ආණ්ඩුහැදීමේ සිහිනය බිඳ දැමිය යුතුය. ඉන්පසුව ඉන්දියාවේ සහ රුසියාවේ හෝ ඇමරිකාවේ ආදර්ශය අනුව රටේ සෑම පුරවැසියෙකුටම සමාන පුද්ගල නීති මෙන්ම සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපනය ලබා දෙන සහ සෑම කාන්තාවකටම සමානව සලකන නීති සම්පාදනය කළ හැක.  ඒ තුළ අෂ්රොප් මැතිනිය, අතාවූල්ලා සහ කබීර් හෂීම් වැනි  ශ්‍රී ලංකාවේ සභ්‍යත්වය පිළිබදව අවබෝධය ඇති දේශපාලන නායකයින්ට අවස්ථාව නිර්මාණය වනු ඇත. අන්තවාදීන්ගේ ආණ්ඩු බලය සිඳීමෙන් තොරව ඒවා කිසිවක් කළ නොහැකි බව සිංහලයා මේ අවසන් පැයේදී වටහාගත යුතු ය.

–           වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර     –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More