දේශීය පුවත්

පෙබරවාරි 10 වැනිදා උදෙන්ම ඡන්දපොළට ගොස් පොහොට්ටුවට කතිරය ගසා, 2015 ජනවාරි 08 වැනිදා බලයට පැමිණි කොළ – නිල් – රතු රූකඩ හවුල එළවා දමන, මව්බිමට නැවත ජීවය දෙන සටනට දායක වන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මව්බිමට ආදරය කරන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් වෙතින් ආයාචනා කර සිටියි.

ඊයේ (07) කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවැති ජන රැලියේදී ඒ මහතා මෙසේ ආයාචනය කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළේය.

“ලක්මාතාව ඇයගේ සුජාත දූ පුතුන්ගෙන් මේ මොහොතේ විශාල සේවයක් ඉල්ලා සිටිනවා. ඒ තමයි, වසර තුනක් තිස්සේ මේ ලක්මාතාව ආපස්සට රැගෙන යන පරගැති පාලනය පෙරළා දැමීම. පසුගිය නිදහස් දිනය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පැවසුවා ‘අප මේ සමරන්නේ 30 වන නිදහස් දින සැමරුමයි’ කියා. මම කල්පනා කර බැලුවා, ඔව්! එයා කියන්නේ ඇත්ත. මේ වසර තුනක කාලය තුළ එයාලා මේ රට අවුරුදු 40කින් ආපස්සට ඇදගෙන ගියා. ඒ අනුව මේ පැවැත්වූවේ 70 වැනි නිදහස් දින සැමරුම නොවෙයි, 30 වැනි නිදහස් දින සැමරුම.(ජනතාවගේ හූ හඬ)

‘එකම මොඩල්’

ඒ වගේම ‘සිරිසේන – වික්‍රමසිංහ’ කියන්නේ මාතෘභූමියේ අභිමානය ගැන ‘තඹ දොයිතුවක’ හැඟීමක් නැති ජෝඩුවක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නාගරික ‘මොඩල් එක’ තමයි අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඒ වගේම අගමැති රනිල් වික්‍රමසිංහගේ ග්‍රාමීය ‘මොඩල් එක’ තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ. දෙන්නා තකට තක. ඒකයි අපි සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ දිනය සමරන්න සුදු අධිරාජ්‍යවාදීන්ගේ නූතන සංකේතයක් වූ එඞ්වඞ් කුමාරයාට ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් කළේ.

‘වසරකට යුද්ධය නිසා ඩොලර් බිලියන 02ක් පිලිස්සුණා’

2005 මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත් වන විට එරික් සෝල්හයිම්ලා මේ රටට ජාත්‍යන්තර දැලක් එළා තිබුණා. ලෝක වෙළඳපොළේ තෙල් බැරලය ඩොලර් 140ක් පමණ වුණා. ආර්ථික වර්ධන වේගය 4%ටත් පහළින් තිබුණේ. ඉන්දීය රජයේ යුද උපදේශකවරයකු වූ ජෙනරාල් කල්කට් ලියූ කෘතියක දැක්වෙනවා, ‘ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට වසරකට ඩොලර් බිලියන 02ක් වැය කළා’ කියලා. වෙඩි බෙහෙත් ආදී එදිනෙදා යුද අවශ්‍යතාවලට මේ මුදල වැය වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. එහෙමනම් යුද්ධය නිසා වසරකට පිලිස්සුණු මුදල රුපියල් බිලියන 260 පමණ (ඩොලරය එදා රුපියල් 130ක්) වෙනවා. කෙසේ වුවත් නාහෙන් අඬන්නේ නැතිව, ‘ණය බරයි’ කියලා ලතෝනි නොදී මේ සියලු අභියෝග මැද අවුරුදු දෙකහමාරකින් යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට හැකි වුණා. ඒ අනුව වසරකට ඩොලර් බිලියන 02ක මුදලක් රට තුළ ඉතිරි වුණා. ඒ අනුව තමයි, ආර්ථික වර්ධන වේගය 7%කට ආසන්න අගයකට ගෙන එන්න, රට තුළ දැවැන්ත සංවර්ධනයක් ඇති කරන්න මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට හැකි වුණේ. අද ලෝක වෙළඳපොළේ තෙල් බැරලය ඩොලර් 30ක් පමණ වෙද්දිත් යුද්ධයට වසරකට ගිය ඩොලර් බිලියන 02 ඉතිරි වෙද්දිත් මේ සිරිසේන – වික්‍රමසිංහ ජෝඩුව මේ රටේ ආර්ථිකය ආපස්සට ඇදගෙන ගියේ කොහොම ද?

‘ජෝඩුව අවුරුදු තුනකින් සිදු කළ වෙනස’

ඒක වුණේ මේ ජෝඩුව බලයට ඇවිත් දින 20කින් මහ බැංකුව කොල්ලකාපු නිසයි. කෘත්‍රිමව පොලී අනුපාතය ඉහළ දමලා ‘බෑණාට’ වැඩියෙන් ලාභය අරන් දුන්නු මේ ටයි – කෝට් හොරකම නිසා ඊට සාපේක්‍ෂව බැංකු පොලී අනුපාතයන් ද ඉහළ ගියා. රටේ තිබුණු සල්ලි බැංකු ඇතුළට ගියා. රටේ මුදල් සංසරණය වීම අඩු වුණා. ආයෝජන අඩු වුණා. ව්‍යාපාර කඩා වැටුණා. සහනාධාර කැපුණා. පොහොර සහනාධාරය කපපුවාම සහලින් ස්වයංපෝෂිත වූ රටට පිටරටින් සහල් ගෙන එන්න වුණා. පොල් ගෙඩිය, හාල් කිලෝව අහස උසට නැග්ගා. ගොවි පවුල්වල දරුවන්ට කෝවක්කා ගෙඩි කාලා මියැදෙන්න වුණා. ව්‍යාපාර කඩා වැටුණු පවුල්වල අම්මලා, දරුවන්ට වහ දාපු අයිස්ක්‍රීම් කවලා දිවි නහගත්තා. ඔන්න මේ ජෝඩුව ඇවිත් අවුරුදු තුනකින් මේ රටේ කරපු වෙනස.

‘කොටි සතුටු කරන්න බ්‍රිගේඩියර්ගේ සේවය අත්හිටුවූවා’

රටේ ආර්ථිකය කාබාසිනියා කරපු මේ ජෝඩුව ජනතාවට දුන්නු පොරොන්දු ඉටු නොකළාට අද කොටි ඩයස්පෝරාවට සිංගප්පූරුවේ දී දුන් පොරොන්දු නම් එකින් එක ඉටු කරමින් ඉන්නවා. ඒ අනුව ‘ෆෙඩරල්වලටත් එහා ගිය අභ්‍යන්තර ස්වයංපාලනයක් උතුරට ලබා දිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක්’ මේ ජෝඩුව අතේ තිබෙනවා. කොටි ඩයස්පෝරාවට මේ අය කොතරම් ගැති ද, කියලා මුළු ලෝකයටම පෙන්වූ සිදු වීමක් පසුගිය පෙබරවාරි 04 වැනිදා සිදු වුණා. ‘අපේ නායකයා ප්‍රභාකරන්. අපේ රාජ්‍යය දෙමළ ඊළම’ කියමින් එදා බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ කොටි ඩයස්පෝරාවේ සාමාජිකයන් පිරිසක් ඊළාම් කොඩිය ද අතට ගෙන ඉතා පහත් පෙළේ විරෝධතාවක නිරත වුණා. ඒ අවස්ථාවේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තම නිල ඇඳුමේ තිබුණු ‘සිංහ ලාංඡනය’ පෙන්වලා කොටින්ට පිළිතුරු දෙනකොට වැඩියෙන්ම රිදුණේ කාට ද? මේ පරගැති ආණ්ඩුවට. කොටි ඩයස්පෝරාව සතුටු කරන්න මේ රණවිරුවාගේ වැඩ තහනම් කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. පස්සේ මේක පත්තරෙන් දැකපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ වැඩ තහනම ඉවත් කළාලු.

‘අද ජවිපෙ එන්ජීඕ ගුබ්බෑයමක් වෙලා’

ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් අද අධිරාජ්‍යවාදීන්ගේ ජිනීවා න්‍යාය පත්‍රය අනුව දියත් වන රණවිරු දඩයමට, ෆෙඩරල් ව්‍යවස්ථා මෙහෙයුමට පූර්ණ සහයෝගය ලබා දෙන ගමන් කියනවා, ‘වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී බලපෑම හකුළා ගනු!’ කියලා. දැන් එයාලගේ න්‍යායාචාර්ය ජිප්සීස් නායක සුනිල් පෙරේරා. දැන් තියෙන ප්‍රශ්නය තමයි, ‘ජිප්සීස් නායක සුනිල් ජේවීපී වුණා ද, නැත්නම් ජේවීපී එක ජිප්සීස් වුණා ද?’ කියන එකයි. මට නම් පෙනෙන්නේ ‘ජේවීපී එක ජිප්සීස් වුණා’ කියන එකයි. අද ජවිපෙ ‘රටක්, ජාතියක් ගැන හැඟීමක් නැති එන්ජීඕ ගුබ්බෑයමක්’ වෙලා. 2015 ජනවාරි 08 වැනිදා මේ රට වළට ඇදලා දාන්න මුල් වුණු සියලු එන්ජීඕකාරයෝ ටික, කලාකාරයෝ ටික අද ඉන්නෙ ජවිපෙ එක්ක. එදා රෝහණ විජේවීර සහෝදරයාට, අපි හිටපු ජනතා විමුක්ති පෙරමුණට ගරහපු, අවමන් කරපු නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා නූතන ජේවීපී න්‍යායාචාර්යවරයෙක්. රටේ ඉතිහාසයට, සභ්‍යත්ව උරුමයට ගරහන ඈයෝ තමයි අද ජවිපෙ න්‍යායාචාර්යවරු වී ඇත්තේ.

එනිසා මේ මොහොත, ලාංකීය ජාතියේ අභිමානය සහ අනාගතය ගැන සිතා තීන්දු ගත යුතු වෙලාවක්. එහෙම නොසිතා තීරණ ගත්තු හැම වෙලාවකම මේ මව් පොළොවට වැරදුණා. 2015 ජනවාරි 08 වැනිදා කියන්නෙත් එසේ ලාංකීය ජාතියේ අභිමානය සහ අනාගතය ගැන නොසිතා මේ රටේ බහුතරය තීන්දු ගත් අවස්ථාවක්. නමුත් අද කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයට එක් රොක් වූ ලක්‍ෂ සංඛ්‍යාත මේ මහා ජන ගඟ කියා සිටින්නේ ‘ජනවාරි 08 වැනිදා සිදු වූ ඒ වැරැද්ද පෙබරවාරි 10 වැනිදා නිවැරදි කිරීමට අපි සූදානම්’ කියලයි.(අත්පොළසන්)

දැන් රාජිත සේනාරත්න දත් දොස්තර කියනවා, ‘පෙබරවාරි 10 වැනිදායින් පස්සේ අපි මහින්ද රාජපක්‍ෂට ජම්පර් අන්දනවා’ කියලා. පෙබරවාරි 10 වැනිදා මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා පොහොට්ටුවට කතිරය ගහලා, නැව් ගිලපු දත් දොස්තරලාටත් ජම්පරය අන්දන යුගයක් නිර්මාණය කිරීමට සූදානමින් සිටින බව අපි මේ අයට පෙන්වා දෙන්න කැමතියි. ඒ වගේම ගෝඨාභය රාජපක්‍ෂව හිරේ දානවාලු. ඒත් මතක තියාගන්න රාජිත මහත්තයෝ ‘මේ රටේ ජනතාව මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු මේ රටේ දේශප්‍රේමී නායකයන් රැක ගන්නා දැවැන්ත ජන බලය දැන් ගොඩ නඟලා අවසන්’ කියලා.

‘රටට හතුරු පිල හඳුනාගන්න’

අපි අපේ ඡන්ද ගොඩ එක තැනකට එකතු කරන්න ඕනෙ. පටු වාද භේද දුරලලා පොහොට්ටුවේ කතිර ගොඩ තවතවත් වැඩිකර ගන්න ඕනෙ. රට වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් මේ මොහොතේ ඡන්දය දැමීමේ වැදගත්කම ගමෙන් පිට ඉන්නා ඔබේ ඥාතියාට, හිතවතාට කියා දෙන්න ඕනෙ. අද වන විට පොහොට්ටුවට තියෙන ‘කතිර සුළිය’ පෙබරවාරි 10 වැනිදාට ‘කතිර සුනාමියක්’ බවට පත් කරන්න ඕනෙ. ජනවාරි 08 වැනිදා හංසයාගෙන් ඡන්දය ඉල්ලපු රටට හතුරු, පරගැති කොළ අලි, නිල් අලි, රතු අලි අද තුනට බෙදිලා වෙන වෙනම කතිර ගොඩ ගහගන්න හදනවා. මේ අයට නිසි පිළිතුරු දිය යුතුයි. බෙදිලා ආවත් මේ එකම පිලක්. රටට හතුරු පිලක්. ඒ නිසා අපේ ලකුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලකුණ, මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ලකුණ පොහොට්ටුව බව වටහා ගෙන කලබල නොවී පෙබරවාරි 10 වැනිදාට පොහොට්ටුවට කතිරය ගහන්න.

මේ තමයි ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් දියත් වන නූතන ජාතික අරගලය, පරගැති රූකඩ හවුල එළවලා දාන සටන, මව්බිමට නැවත ජීවය දෙන සටන. මේ තමයි නිකං හිටන් ඉන්න ජනාධිපතිවරයකු වෙනුවට රටක් නැඟිටු වූ නායකයා වන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අගමැති පුටුවේ වාඩි කරවන සටන. ඒ සටන ජයග්‍රාහීව ආරම්භ කිරීමට තමයි ඔබ සියලුදෙනා පෙබරවාරි 10 වැනිදා ඡන්දපොළට යන්නේ. ලක්මාතාව ඒ යුතුකම ඔබෙන් ඉල්ලනවා. ඒ සඳහා එකමුතු වෙන්න, රොද බැඳ ගන්න. ඒ සඳහා සැමට ධෛර්ය, ශක්තිය යෝධ බල, යෝධ වීර්ය ලැබේවා!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයවේවා!
‘පොහොට්ටුවට’ ජයවේවා!
මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයෙන් ජයම වේවා!
ඔබ සැමට ජයෙන් ජයම වේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More