පුරවැසි කොලම

වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු යන මැයෙන් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පසුගියදා කැඳවන ලද ජනතා රැලියේදී ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම්, රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් සිදුකරන ලද දේශනයයි.

සහරාන්ගේ බෝම්බයත් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට, වෛද්‍යවරු හැටියට අපගේ අවධානය යොමු වුණ ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. පළමුවැන්න තමයි පුනානි ප්‍රදේශයේ ඉතාම කැත විදියට සාවද්‍ය තොරතුරු සපයමින් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා එකතු වෙලා ආරම්භ කරපු විශ්වවිද්‍යාලයක් නමින් හඳුන්වපු අධ්‍යාපන ආයතනය. මෙය ඉතාම පැහැදිලිව අනාගතයේදී මේ රටේ බිහිකිරීමට අපේක්ෂා කරපු වහාබ්වාදී ඉස්ලාම් රාජ්‍යයකට අවශ්‍ය උගතුන්, බුද්ධිමතුන් ඒ වගේම මරාගෙන මැරෙන බෝම්බකරුවන්, මතධාරීන් නිර්මාණය කිරීම සඳහා නිර්මාණය කරපු ආයතනයක්. ඔහු ඉතාම සූක්ෂම ලෙස අවුරුදු දහයකට ආසන්න කාලයක් මෙය ඉදිරියට කරගෙන ඇවිත් තිබුණා. ඇතැම්විට තමන් දරපු තනතුරු පවා මේ ආයතනය වෙනුවෙන් කැප කරන්න, අත්හරින්න ඔහු කටයුතු කර තිබෙනවා.

හිස්බුල්ලාගේ මුදල් පිළිබඳ වහාම පරික්ෂණයක් සිදුකළ යුතුයි

හිස්බුල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට ලබාදුන් තොරතුරු අනුව රුපියල් කෝටි එක්දහස් හාරසියයක මුදලක් මේ ආයතනය නිර්මාණය කරන්න ඔහු වැය කරන්න බලාපොරොත්තු වෙලා තිබෙනවා සහ සැලසුම් සකස්කර තිබෙනවා. දැනට තිබෙන වාර්තා අනුව සෞදි අරාබි පදනමක් හරහා කොල්ලුපිටිය ලංකා බැංකුවට රුපියල් කෝටි තුන්සිය හැටක් ලැබිලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආයතන කිහිපයකින් රුපියල් කෝටි හැත්තෑවක් ලැබිලා තිබෙනවා. ඒත් එක්කම තව හිරා පදනම නමින් හඳුන්වන ඔහුගේ සංවිධානයකට රුපියල් කෝටි විස්සක් ලැබිලා තිබෙනවා. දැන් ප්‍රශ්නය තියෙන්නේ මේ ආපු මුදල් සියල්ල පුනානිවල ආයතනය ගොඩනඟන්න ඔහු වියදම් කළාද, නැතිනම් වෙනත් කාරණයකට මේ මුදල් වියදම් කළාද කියලයි. වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකළ යුතුයි. නැගෙනහිර පළාතේ තරුණයන් ආයුධ අතට ගන්න ඕනෑ යැයි කියපු මේ පුද්ගලයා සම්පූර්ණ වැරදි තොරතුරු සපයලා තමයි මේ මුදල් ලංකාවට ගෙන්වගෙන තියෙන්නේ. රුපියල් මිලියනයක් සාමාන්‍ය මනුස්සයෙකුගේ ගිණුමට ආවොත් ඒ පිළිබඳ මහ බැංකුවට දැනුම් දෙන ලංකා බැංකුව කියනවා ඔහු මේ ආකාරයේ ණය මුදලක් ලබාගත්තා කියලා කිසිම සඳහනක් නෑ කියලා.

බැටික්ලෝ කැම්පස් රජයට පවරාගත නොහැකි නම් එම ස්ථානයෙන් ඉවත් කල යුතුයි

මේ ආයතනයේ පීඨ හයක් නිර්මාණය කරන්න කටයුතු කරලා තිබුණා. ඉන් එක පීඨයක් ශාස්ත්‍ර පීඨය නමින් හඳුන්වන පීඨය. එක දෙපාර්තමේන්තුවයි තියෙන්නේ. ඒ තමයි ෂරියා දෙපාර්තමේන්තුව. හිස්බුල්ලා කෙතරම් ඉදිරියට ගිහිල්ලා තියෙනවද කියනවා නම් මේ ෂරියා දෙපාර්තමේන්තුව සඳහා ආචාර්යවරුන් පවා බඳවාගෙන තිබුණේ සෞදි අරාබියේ මක්කම අල් කුරා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය අබ්දුල් රහමන්, මහාචාර්ය ආබ්දීන් සහ මහාචාර්ය ෆයිසාල් කියන ආචාර්යවරු තුන්දෙනාත්, මැලේසියාවේ අල් මදීනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතම්බාවා කියන පුද්ගලයත්, ඊජිප්තුවේ කයිරෝවල අල් අසාර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය අබ්දුල් සලාම් කියන පුද්ගලයාත් මේ නැගෙනහිර ප්‍රදේශයේ පුනානිවල නිර්මාණය කරන ආයතනයේ ෂරියා උගන්වන්න බඳවාගෙනයි තිබුණේ. එහෙමයි හිස්බුල්ලා වැඩ කළේ. ඒක නිසා මේ ආයතනය වහාම රජයට පවරාගත යුතුයි. එය නැගෙනහිර වෛද්‍ය පීඨයට හෝ වෙනත් ආයතනයකට අනුබද්ධ කළ යුතුයි. එහෙම කරන්න බැරිනම් මේ ආයතනය මේ ස්ථානයෙන් ඉවත් කළ යුතුයි. මීට වැඩිය අපිට ජාතිය වටිනවා. මීට වැඩිය අපිට රට වටිනවා. ජාතිය වෙනුවෙන් හිස්බුල්ලාගේ පුනානිවල ඔය ගොඩනැගිලි ටික ඉවත් කරන එක මහ ප්‍රශ්නයක් නොවෙයි. මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගලා තියෙන මේවා රජයට පවරා ගන්න බැරිනම් ඒ ස්ථානයෙන් ඉවත් කළ යුතුයි.

අනුරගේ ප්‍රකාශයෙන් වෛද්‍ය ෂාෆිව රකිනවා

මීළඟට මෑතකදී පැනනැගුණු ප්‍රශ්නය ෂාෆි සහබ්දීන් වෛද්‍යවරයාගේ ප්‍රශ්නය. මෙය දිවයින පුවත්පතින් අනාවරණය කළාට පස්සේ අනුර කුමාර දිසානායක මුකුත්ම හොයන්නේ නැතිව පාර්ලිමේන්තුවේ කිව්වා %මේක වෙන්න බෑ, සිසේරියන් සැත්කම් හාරදහසක් කරන්න පුද්ගලයෙකුට අවුරුදු අසූවක් යනවා^කියලා. අඩුම ගානෙ අර නලින්ද ජයතිස්ස වෛද්‍යවරයාගෙන් අහගන්න තිබුණා එහෙම වෙනවාද නැද්ද කියලා. එහෙමවත් අහන්නෙ නැතිව තමයි අනුර කුමාර දිසානායක ඒ ප්‍රකාශය කළේ. ඒ ගොන් ප්‍රකාශය රකින්න අන්තිමට මොකද වුණේ. ජනතා විමුක්ති පෙරමුණට සහය දෙන වෛද්‍යවරු එකසිය පනහක් විතර අද ෂාෆි වෛද්‍යවරයා රැකගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල උදේ ඉඳන් හවස් වෙනකන් ලියනවා.
මේ සිද්ධියෙන් වඳ සැත්කම් පිළිබඳ විතරක් නෙවෙයි අනාවරණය වුණේ. ඉස්ලාම් අන්තවාදීන් කොපමණ පිරිසක් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටිනවාද, වෛද්‍යවරු හැටියට සිටිනවාද කියන කාරණයත් අනාවරණය වුණා. ඒ වගේම තමයි සිංහල, මුස්ලිම් යැයි කියමින් සිංහල සමාජය රවටමින් සිටි නීතිඥ මහත්වරු ගැනත් අනාවරණය වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් නෙවෙයි කළේ

පසුගියදා සීඅයිඩීයෙන් කුරුණෑගල ගරු අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සහ කරුණු දැක්වීම්වලින් පැයක් යාමට ප්‍රථම ඔවුන් එළියට ඇවිල්ලා ෂාෆිව සුද්ධ කරන්න පටන් ගත්තා. අපි ඉතාම පැහැදිලිව කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් නෙවෙයි කළේ. ෂාෆිට විරුද්ධව ෂාෆිගේ අවකල් ක්‍රියාවන් පිළිබඳව සාක්ෂි දෙන්න ඉදිරිපත් වුණ වෛද්‍යවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා කියනවා %ඇයි ඒවා ඒ වෙලාවේ කිව්වෙ නැත්තේ, දැන් කියලා ඔයාට ප්‍රශ්න වෙන්න පුළුවන්^ කියලා. එහෙම කියලා තමයි සාක්ෂි යටපත් කරන්න උත්සාහ දැරුවේ. නමුත් ඒ එක් වෛද්‍යවරයෙක් කිව්වා %නෑ කමක් නෑ මං කියන දේ ලියාගන්න^ කියලා. එපමණක් නෙවෙයි ෂාෆි කියන්නේ නේවාසික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක්. විශේෂඥ වෛදවරයෙක් යටතේ වැඩ කරන කෙනෙක්. ඔහු සේවය කරන අවස්ථාවේ නිර්වින්දනය ලබාදුන් විශේෂඥ වෛද්‍යවරිය ඔහුගේ කටයුතුවලට විරුද්ධ වීම නිසා ෂාෆි ශල්‍යාගාරයෙන් එළියට ඇවිල්ලා කියනවා %මට දේශපාලන හයිය සහ මුදල් හයිය තියෙනවා, ඕවා කියල අමාරුවෙ වැටෙන්න එපා^ කියලා. එහෙම කියලා අන්තිමට ඒ වෛද්‍යවරියට රෝහලේ ඉන්න බැරිව මාරුවෙන තත්ත්වයක් උද්ගත කළා.

මෙවැනි සාහසික අපරාධයක් හිට්ලර් හැරෙන්න කවුරුත් කරලා නෑ

හැබැයි අපි ආරම්භයේ සිටම දැනගත්තා මේ සිදුවෙලා තියෙන ක්‍රියාවලිය පිළිබඳ. ඒකයි අප මුල සිටම කිව්වේ මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මේ අම්මලාට සහනයක් දෙන්න, සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. අන්තිමට මොකද වුණේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු වාර්තාවෙන් පස්සෙ එක් මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කිවුවා වැරැද්ද තියෙන්නේ මේ අම්මලාගේ ස්වාමිපුරුෂයන්ගේ කියලා. මේ අම්මලාට ළමයි හම්බවෙන්නෙ නැත්තේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් නිසා කියලා කිව්වා. ඔවුන්ව පරීක්ෂා කරන්න ඕනෑ කිව්වා. එහෙම අපහාසයක් කළේ. මවුවරුන්ට මේ වගේ අසමජ්ජාති සාහසික අපරාධයක් ලෝක ඉතිහාසයේ හිට්ලර් හැරෙන්න වෙන කිසිම පුද්ගලයෙක් කරලා නෑ. මේ හැරෙන්න මේ ආකාරයේ එක සිද්ධියයි තියෙන්නේ. ඒ කැනඩාවේ සස්ටර්ජවාන් කියන ප්‍රාන්තයේ. අවුරුදු හැටකට මව්වරු තිස්දෙනෙක්ට එල්ආර්ටී සැත්කම් කරලා තියෙනවා. හැබැයි මෙතන තත්ත්වය ඊට වැඩිය ගොඩක් වෙනස්.
අප මේ කාරණා මෙච්චර ඉක්මනට කියන්න නෙවෙයි හිටියේ. නමුත් කුරුණෑගල රෝහල මගින් සිදුකරපු ගවේෂණයේදී හෙළි නිසි ක්‍රියාවලියට පටහැණිවත් සැත්කම් කරලා කියලා. ස්ත්‍රීන්ට කරන සාමාන්‍ය වඳ සැත්කමට කියන්නේ එල්ආර්ටී කියලා. අම්මලා එකොළොස් දෙනෙක්ට ඒ සැත්කම කරලා තියෙනවා. ටිකට් එකේ ලියල තියෙනවා කළා කියලා. හැබැයි අම්මා දන්නෙ නෑ. අම්මාට කියන්නෙ නැතිව, තාත්තාට කියන්නෙ නැතිව ෂාෆි එකොළොස් දෙනෙක්ගේ වඳ සැත්කම් කරලා තියෙනවා. ඒ වාර්තා දැන් රෝහල සතුව තියෙනවා.

ඉස්ලාම් වෛද්‍යවරු කිව්වෙ නැහැ ෂාෆි වැරදි නම් ඔහුට දඬුවම් දෙන්න කියලා

එපමණක් නොවෙයි මම කියන්නම් කුරුණෑගල මහ රෝහල මගින් ගරු අධිකරණයට ඉදිරිපත් කරපු කාරණා. අප මේවා කියන්නේ මුස්ලිම් ජනතාවට හෝ මුස්ලිම් වෛද්‍යවරුන්ට විරුද්ධව කිසිවෙකු උසිගන්වන්න නෙවෙයි. පැහැදිලිව මේ ප්‍රශ්නයේදි මුස්ලිම් සමාජය ෂාෆිට විරුද්ධව ක්‍රියා කළේ නැහැ. ෂාෆි වැරදි නම් ඔහුට දඬුවම් දෙන්න කිව්වේ නැහැ. ඒ වගේම ඉස්ලාම් උගතුන් එහෙම කිව්වෙත් නැහැ. ඉස්ලාම් වෛද්‍යවරු කිව්වෙත් නැහැ ෂාෆි වැරදි නම් ඔහුට දඬුවම් දෙන්න කියලා. ඔවුන් කටයුතු කළේ ඔහුව ආරක්ෂා කරන්න. ඒ නිසයි අපි කියන්නේ දැන්වත් ඔය ඉන්න තැනින් ඉවත් වෙලා ෂාෆි සහ ඒ වටා එක්ව වැඩකටයුතු කළ අය වැරදි කරල නම් ඔවුන්ට දඬුවම් දෙන්න කියලා. ඉස්ලාම් ජන සමාජය තුළින්, මුස්ලිම් ජන සමාජය තුළින් අදහස් මතුවෙන්න ඕනෑ. එහෙම නැතිව මුස්ලිම් දොස්තරලා ළඟට ලෙඩ්ඩු බෙහෙත් ගන්න යන්නෙ නෑ කියලා අපි පළි නෑ. අපි මේ සත්‍යයි කිව්වේ. අපි මේ ජාතියට බොරු කියල නෑ.

හිස්බුල්ලාව ශාෆිව අමතක කරලා ජනාධිපතිවරණය දිනන්න බෑ

ඒ නිසා ජාතිය මත පදනම් වෙලා, ජනවර්ගය මත පදනම් වෙලා වෛද්‍යවරයෙක් නොකරන්න ඕනෑ දේ තමයි ෂාෆි සහාබ්දීන් වෛද්‍යවරයා කරලා තියෙන්නේ. ඒ නිසා මේ වැරදිකරුවන්ට නිසි පරීක්ෂණයක් තියලා දඬුවම් දිය යුතුයි. ඒ වගේම තමයි මේ අසාධාරණයට ලක්වුණු අම්මලාට කවර මිලක් හෝ වැය කරලා සාධාරණය ඉටු කළ යුතුයි. ඒ මවුවරුන් දරුවන් ලැබීමේ වයසේ සිටිනවා නම් ඒ අයිතිය ලබාදිය යුතුයි. ලෝකයේ මොන තැනකට ගෙනිහිල්ලා හරි ඒ අම්මලාට දරුවන් ලැබීම් අයිතිය ලබා දිය යුතුයි. එහෙම ඉපදෙන ළමයි තමයි ඊළඟ දශකයේ, දෙකේ මේ රටේ අනාගතය තීරණය කරන්නේ. මේ රටේ ජාතික සංකේත වෙන්නේ.

ඒ වගේම කියන්න කැමතියි මේ හිස්බුල්ලාගේ ප්‍රශ්නයත් ඒ වගේම ෂාෆිගේ ප්‍රශ්නයත් කතා කරන්න එපා, අපේ කඳවුරට පාඩුයි , මුස්ලිම් ඡන්ද නැතිවෙයි කියලා පණිවුඩ එවන අයටත් අපි කියනවා, ඊළඟ දශකයේ මෙය තමයි මේ රටේ ජාතික ප්‍රශ්නය වෙන්නේ. එපමණක් නොවෙයි ඊළඟ ජනාධිපතිවරණයේදී කවුරු හරි උත්සාහ දරනවා නම් හිස්බුල්ලාව අමතක කරලා, ෂාෆිව අමතක කරලා, සිංහල මවුවරුන්ව වඳ කරපු එක අමතක කරලා ජනාධිපතිවරණය දිනන්න, ඒක වෙන්නෙ නෑ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More