පුරවැසි කොලම

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දේශපාලනික ව ඉදිරිපත් වෙන්න ඕන සංධානයකින්. පොහොට්ටුවෙන් ඇවිත් ඔහුට දිනන්න බැහැ. මේ බව කී පමණින් පොහොට්ටුවේ ඇතැම් අය දණ්ඩෙන් පහර ලත් සර්පයන් වගේ කිපෙනවා. ඔවුන් කොහොමටත් සර්පයන් තමයි. සංධානයෙ ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්න ඕන. එහෙම කිව්ව ම අර සර්පයන් මට දෂ්ට කරන්න එනවා. මේ සර්පයන් ඇතැම් විට කියනව ඔවුන් මගේ ශිෂ්‍යයන් කියලා. එහෙම එකක් නැහැ. මට ශිෂ්‍යයන් කවුරුන්වත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මා ගුරුවරයකු නොවීම.

මා විශ්වවිද්‍යාල තුනක ස්ථිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරල තියෙනවා. දෙකකින් මා අස්කෙරුණා නැත්නම් භාරගත්තෙ නැහැ. අනෙකෙ ගුරුවරු මට විරුද්ධ ව පත්‍රිකා බෙදුව. මා කෙළේ සේවයක් ය කියල කියන්නත් බැහැ. ඒ කොහොම වුණත් මා එහි දි උගන්නපු දෙයක් නැහැ. මා මට හිතෙන දේ නම් කිව්වා. ඒක ඉගැන්නිල්ලක් නො වෙයි. ඒකට මට පඩි ගෙව්වා! අනෙක් අය නම් වෙනත් අය හිතපු දේවල් ඉගැන්නුව. ජී එල් පීරිස්, පී ඩබ්ලිව් ඇපාසිංහ ආදීන්ගෙන් අහල බලන්න. ඔවුන් අද ඉන්නෙ මහින්ද එක්ක ඒ නිසා හමුවෙන්න අපහසු නැහැ.

රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දෙන්න ඕන කිව්ව ම මේ ශිෂ්‍යයන් කියන බොහෝ දෙනා මට සිරිජාතිකවාදියා කිව්ව. අර පුණ්ණ හාමුදුරුවො කියල තියෙනව වගේ මට කියන්න තියෙන්නෙ ඔවුන් මට සිරිකාලකන්නියා නොකීම ගැන සතුටු වෙනවා කියන එක පමණයි. මේ සංධාන කතාව ඇහුවට පස්සෙ ඒකත් කියන්න ඉඩ තියෙනවා. මෛත්‍රිපාලට ශක්තිය දෙන්න මයිලෝ දෙන්න කිව්වෙ ඒ අය තමයි.

කොහොම හරි ඒ ශක්තිය හරියට නොදීපු නිසා රනිල් තවමත් අගමැති. රනිල් අගමැති කමෙන් ඉවත් කරල තිබුණ නම් පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න තිබුණා. ඔක්තෝම්බර් විසිහයවැනි දා මහින්දට 113 හදන්න උත්සාහ නොකළ අයත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන.

අද සංධානයක් අවශ්‍ය වන්නෙ වෙන කිසිවකට නොවෙයි ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නෛතික නොව දේශපාලනික ව ඉදිරිපත් කරන්නයි රනිල්ලා සජිත්ලා පරදවන්නයි. සජිත් පරදවන්න ඕන ඔහුට සාමාන්‍ය පෙළ නැති නිසාය කියන හින්ද නොවෙයි. ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන් වෘත්තියකයන් සජිත්ට වඩා කරල තියෙන්නෙ මොනව ද? ජී එල් අද පාර්ලිමේන්තුවෙ නැතත් ඔහු ඇගේ (චන්ද්‍රිකාගෙ) වෛරය හා ඔහුගෙ (බැසිල්ගෙ) කයිය (මෙහි කයිය ලියන්න ඕන උච්චාරණය කරන විධියට නම් සීගිරි ගීවල වගේ කය්ය කියා ද) වෙනුවෙන් පෙනී සිටීම හැර කරල තියෙන්නෙ මොනව ද? පහුගිය පාර්ලිමේන්තුවෙ නීති මහාචාර්ය ජී එල් දහනවයට ඡන්දය දුුන්න ද? ඒ දුන්නෙ රැවටිලා ද?

සංධානය මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කරන්න බැරිවේවි. පුදුකුඩුඉරප්පු ප්‍රශ්නය නිසා අලුත් පක්‍ෂ ලියාපදිංචි කරන්න බැහැ කියල කොමිසම කියාවි. ඒකට කමක් නැහැ. සංධානය හදන්නෙ මැතිවරණ කොමිසමට නොවෙයි. ජනතාවට. රාජිතගෙ සංධානය වගේ මේ සංධානය ජනතාවටවත් ජාතියටවත් පූජා කරන්න ඕනෙ නැහැ. ඕන ම නම් බුදුසසුනට පූජා කරන්න. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව.

සංධානය දේශපාලනික සංධානයක් මිසක් නෛතික සංධානයක් නො වෙයි. ගෝඨාභයට ජනාධිපතිවරණයට නෛතික ව සංධානයෙන් ඉදිරිපත් වෙන්න බැරි වේවි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඔහු දේශපාලන වශයෙන් ඉදිරිපත් වෙන්නෙ සංධානයෙන්. නෛතික ව ඉදිරිපත් වෙන්නෙ මොකක් හරි සුදුසු ලියාපදිංචි දේශපාලන පක්‍ෂයකින්. ඒ පක්‍ෂය මොකක් ද කියන එක සංධාන නායකයන් එකතු වෙලා තීරණය කරන්න ඕන.

සංධානය ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ සංධානය වෙන්න ඕන. ඒකෙ පොහොට්ටුව වගේ ම, ම එ පෙ, ජා නි පෙ, පිවිතුරු හෙළ උරුමය, සමසමාජ කොමියුනිස්ට් මහජන පක්‍ෂ ආදිය විතරක් නොවෙයි ශ්‍රී ල නි පක්‍ෂයත් තියෙන්න ඕන. ශ්‍රී ල නි ප ඊනියා යහපාලනයට ගිය එක නුසුදුසුකමක් හැටියට සලකන්න බැහැ. එහෙම කළොත් එදා නුගේගොඩ රැස්වීම කඩවල ඉඳන් අහපු පොහොට්ටුවේ අයත් නුසුදුසු වෙනවා. ඔවුන් හිටියෙ දෙගිඩියාවෙන්. දෙගිඩියාව කියන්නෙ එක වචනයක්. එය ඉංගිරිසි two minds කියන එකේ පරිවර්තනයක් නො වෙයි.

ශ්‍රී ල නි ප අද ඊනියා ජාතික ආණ්ඩුවක නැහැ. අද පැහැදිලි ව ම ක්‍රියාත්මක වීම කෙසේ වෙතත් ආණ්ඩු දෙකක් තියෙනවා. ශ්‍රී ල නි ප සංධානයට ගැනීමට බාධාවක් තියෙන්න බැහැ. බාධාවක් තිබුණොත් ඒ පොහොට්ටුවෙ ඇතැමුන්ගෙ බල ලෝභය නිසා ඇතිවන ආසන පොරය. එක් එක් අයගෙ ආසන පොර නිසා ජාතියේ අනාගතය නැති කර ගන්න බැහැ.

සංධානය ඉක්මනින් ම හදන්න ඕන. දැනටත් ඒ ප්‍රමාදයි. සංධානය හදල මූලික වශයෙන් ම 75%ක් වූ සිංහලයන්ට කතා කරන්න ඕන. සිංහලයන් සමගි කරවන්න ඕන. ඒ අතර දෙමළ කතාකරන හා මුස්ලිම් නායකයන්ට උඩින් ගිහින් අදළ ජනතාවට සෘජු ව කතා කරන්න ඕන. ගණුදෙනු (ඩීල්) දේශපාලනය නවත්තන්න ඕන. සිංහල බෞද්ධ ධජයේ සෙවණ යටතේ සියළු ජනතාව එකතු කරන්න ඕන.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More