පුරවැසි කොලම

රස්තියාදුකාරයින් වෙසෙන පරිසරයක ජීවත්වන රූමත් දැරිවියන් සිටින පවුලක පියෙකුගේ භූමිකාව සහ අප වැනිි රටක පාලකයන්ගේ භූමිකාව අතර සංකල්පීය සමානකම් රාශියක් දැකිය හැක. ඒ අතුරින් ප්‍රමුඛ වන්නේ වාසනාව විසින් අවාසනාව කැදවීමේ අනතුරට මුහුණු දීමය. එහිදී දුර්වල පියෙකුගේ දරුවන්ට මුහුණ දීමට සිදුවන තත්වය එවැනි පාලකයින් සිටින රටක රටවැසියාටද මුහුණ දීමට සිදුවේ. සොභාවික පිහිටීමේ වාසනාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වාසනාවන්ත රටවල් අතර ඉහළම සිටින බව පැහැදිලිව ඔප්පු කළ හැක. අද ලෝකයේ වෙළ දාම සහ යුදමය උවමනාවන්ට සාපේක්ෂව උපායමාර්ගික වශයෙන් වැදගත්ම සාගර කලාපය ලෙස හැදින්වෙන ඉන්දු ෆැසිපික් සාගරයේ මධ්‍ය ලක්ෂයේ ශ්‍රී ලංකාව පිහිටා ඇත. 2015 ආණ්ඩු පෙරළියෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ තමාද එම ජයග්‍රහණයේ කොටස්කරුවෙකු බව පැවසූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ශ්‍රී ලංකාව කලාපයේ වැදගත්ම උපායමාර්ගික මර්මස්ථානය බව ප්‍රකාශ කළේය.

ලෝකයේ යාත්‍රා කරන මහා පරිමාණ නාවික යාත්‍රා 90,000ක් අතුරින් 70,000ක් පමණ යාත්‍රා කරන්නේ ඉන්දු ෆැසිපික් සාගරය හරහාය. එනම් දිනකට නාවික යාත්‍රා 200ක් පමණ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ‘’හූවක දුරින්” යාත්‍රා කරති. යුරෝපයේ සහ අප්‍රිනාවේ සිට අරාබි මුහුද හරහා දකුණු චීන මුහුදට එනම් චීනය, ජපානය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවලට යාත්‍රා කරන සියලු නාවික යාත්‍රා ශ්‍රී ලංකාව වටා කරැකවී ගමන් කළ යුතුය. ඒ අනුව ලෝකයේ මුහුදු මාර්ග වලින් ප්‍රවාහණය කරන භාණ්ඩ වලින් 80%ක් ප්‍රවාහනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ අනුකම්පාව යටතේය. එය සමස්ථ වෙළදාමෙන් 60%ක ප්‍රමාණයකි. එසේම ලෝකයේ කණිජතෙල් වලින් 50% ප්‍රවාහණය කෙරෙන්නේ එම මුහුදු මාර්ග හරහාය. ඉන්දියාවේ සමස්ථ ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් 80%ක ප්‍රවාහනය කළ යුත්තේ ද එසේය.

 

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම  නිසා ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර සාගර කලාප යා කරන නාවික මාර්ගයක් නැත. එම නිසා ඉන්දියාවේ නාවික හමුදාවද දෙකට බෙදා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටීම ඉන්දියාවට කෙතරම් බලපාන්නේද යන්න පැහැදිලිවේ. ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ගොඩබාන බහාලුම් වලින් 75%ක් ඉන්දියාවට ප්‍රති අපනයනය කරන ඒවාය. එසේනම් කොළඹ වරාය මත කෙතරම් යැපීමට ඉන්දියාවට සිදුවී ඇති ද. හම්බන්තොට වරාය චීනයේ වාණිජ ආධිපත්‍යයට යටවීම සමග ත්‍රිකුණාමලය වරාය මුල්කරගත් උපායමාර්ගික මෙහෙයුමක  ඉන්දියාව නිර5ත වූ බව රහසක් නොවේ. ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ ත්‍රීකුණාමල වරාය  දක්වා මන්නාරම සහ මැදවච්චිය හරහා කි.මී 126ක් දිග රේල් පාරක් සහ මහා මාර්ගයක් ඉදිකිරීමට ඒකපාර්ශවීය පිරිවැය දැරීමට ඉන්දියාව ඉදිරිපත් වන්නේ ඒ නිසාය. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකු විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ණය මුදලක් අනුමත කොට ඇත.එම දුම්රිය මාර්ගය යොදා ගනිමින් ත්‍රීකුණාමල වරායේ සිට ඉන්දියාවට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා විකල්ප මාර්ගයක් ලැබෙන අතර එම මාර්ගය ජාත්‍යන්තර මාර්ගයක් බවට පත්වේ. ඒ තුළ යම් ගැටුමක් ඇති කරගෙන ආරක්ෂාව ලබාදීම සඳහා හමුදාමය මැදිහත් වීමකට ද ඉඩ විවර වේ.

මේ වනවිට ඉන්දියාව විසින් ත්‍රීකුණාමල වරායේ තෙල් සැපයීම හෙවත් ‘’බන්කරීන්’’  ව්‍යාපාරය සහ තෙල් ටැංකි සංකීර්ණය අත්පත් කොට ඇති අතර අක්කර 33,000ක භූමිභාගයක පැතිරෙන ආයෝජන කලාපය‍ෙ වැඩි කොටසක් අත්පත්  කර ගැනීමට පිඹුරුපත් සකස් කරමින් ඇත. එම ආයෝජන කලාපය සංවර්ධනනය කිරීම සඳහා උපදේශන සේවා සපයන සුබානාජුරෝන් නම්  සිංගප්පූරු සමාගමේ වාර්තාව අනුව එම කලාපයේ ඉඩ ලැබෙන්නේ ඉන්දියානු, ඇමෙරිකානු සහ ජපන් සමාගම් වලට පමණි. ඒ අනුව එම ක්‍රියාවලිය සම්පූර්ණ වන විට ලංකාවේ අත කැරකවීමට හෝ ගෙල මිරිකීමට බලවත් ඉඩක් ඉන්දියාවට ලැබේ.

ඒ අතර ශ්‍රී ලංකාව තම භූමිය මෙන් 23 ගුණයක සාගර කලාපයකට හිමිකම් කියයි. අනාගතයේ දී ජාත්‍යන්තර නීති අනුව එම ප්‍රමාණය තවදුරටත් වර්ධනය කර ගැනීමේ ඉඩක් පවතී. ප්‍රවීණ නාවික ඉංජිනේරු  ආරියශීල වික්‍රමනායක මහතාට අනුව එම මුහුදේ ජීවත්වන  මාළුන්ගෙන් 80% මියයන්නේ වයසට ගොස් ය. ඒ මහා මුහුදු කලාපයේ වටිනාකම වැඩිකරන ත්‍රීකුණාමල වරාය සහ හම්බන්තොට වරාය ලෝකයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් වන වරායවල් 10ට අයත්වේ. තවත් වසර 50කට පසුව ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා නිර්මාණය කිරීමට නියමිත මහා පරිමාණ නාවික යාත්‍රා වලට ඇතුල් විය හැකි කලාපයේ ප්‍රධාන වරාය හම්බන්තොට බවට පත්වනු ඇත. ඒ අනුව එම කාලයේ දී එම වරාය ලෝකයේ ප්‍රධානතම ප්‍රතිඅපනයන වරාය බවට ද පත්විය හැක. අනාගතයේ දී චීනයේ මැදිහත් වීමෙන් තායිලන්තය හරහා කැපීමට නියමිත ‘’ක්‍රා”” ඇල ක්‍රියාත්මක වන විට දකුණු චීන මුහුදේ සිට අරාබි මුහුද දක්වා වන මුහුදු මාර්ගය මුහුදු සැතපුම් 1800 කින් කෙටිවේ. එවිට මලක්කා සමුද්‍ර සන්ධිය මගහැර යාත්‍රා කරන නාවික යාත්‍රා වලට මුණගැසෙන ප්‍රධාන වරාය හම්බන්තොට වරාය බවට පත්වනු ඇත. එවැනි තත්ත්වයකදී අද සිංගප්පූරුව භුක්තිවිදින වරාය ආශ්‍රිත ආර්ථික වාසිය ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

එපමණක් නොව මේ පුංචි රට සතුව පවතින මහා සාගර කලාපයට අමතරව වර්ග කිලෝමීටර් ලක්ෂ 17ක අහසක්ද ඇත. එම ප්‍රමාණය ශ්‍රී ලංකාවට ඉතිරිවන්නේ වර්ග කිලෝමීටර් ලක්ෂ 3කට ආසන්න ඊසාන දිග අහසේ අයිතිය ඉන්දියාවට පිනට දීමෙන් පසුවය. එසේ පිනට දුන් අහසේ පියාසර කරන ජාත්‍යන්තර ගුවන් යානා වලින් ඉන්දියාව උපයාගන්නා ගාස්තුව ඉන්දියානු රුපියල් මිලියන 3000කට අධික බවට ගණන් බලා ඇත.

ඒ සියල්ලටම වඩා කාවේරි සහ මන්නාරම් බේසම්වල සැඟව ඇති මහා තෙල් සහ ගෑස් සම්පත අනාගතයේදී  භාවිතයට ගන්නා අවස්ථාව වන විට ලෝකය බරපතළ ඉන්ධන අර්බුදයකට  මුහුණදී සිටිනු ඇත. එම නිසා ඉදිරියේ දී ඒ මහා සම්පතේ වටිනාකම තවදුරටත් වැඩි වන අතර ඒ නිසා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන බාහිර බලපෑම් ද ඊට සාපේක්ෂව වැඩි වනු ඇත.

ඒ සියල්ල ඇතත් නැතත් වසරකට කන්න දෙකක් මෝසම් වැසි ලැබෙන රන් මෙන් වටිනා සරු පසක් සහිත සහ කුඩා වැව් අමුණු 33,000ක් එම භූමිය පුරා විසිරී පවතින රටක වගා කළ නොහැක්කේ මොනවාද? වසරේ වැඩි කාලයක් හිම වැටීමෙන්, සීතලෙන් සහ  නියඟයෙන් පීඩා විඳින හෝ කාන්තාර වලින් ගහන රටවල් විසින් කෘෂිකාර්මික නිෂ්පාදනය පවත්වාගෙන යෑම සඳහා ගන්නා වූ උත්සාහය දෙස බලන විට ශ්‍රී ලාංකිකයන් තවමත් වැටෙන දේ අහුලා කන ජාතියක් ලෙස හැඳින්විය හැක. ආරියසීල වික්‍රමනායක මහතාගේ වචන වලින් මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන්නේ කන්න හතරක් පමණි. ඒත් ඔහු එහිදී හරිහමන් පාලකයෙක් සිටීනම් යනුවෙන් පූර්ව කොන්දේසියක් පනවයි. කෙසේ වෙතත් ඒ මහා සම්පත් පිරි රට ගෙල සිරකොට නියමින් සහ අනියමින් අත්පත් කර ගැනීම සඳහා ලෝක මහ බලවතුන් කැස කැවීම ගැන පුදුම විය යුතු නැත. එහිදී පෙරමුණේ සිටින්නේ ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය, චීනය සහ ඇමරිකාවේ හවුල්කාරීන් වන එංගලන්තය සහ ප්‍රංශය බව හඳුනාගත හැක. එහෙත් එම රටවල් වෙන් වෙන්ව හෝ පොදුවේ ක්‍රියාත්මක වන ආකාරයේ වෙනස්කම් පවතී. නමුත් චීනය හැර සෙසු රටවල් පොදු අරමුණුකින් එක් න්‍යාය පත්‍රයක් මත පදනම්ව කටයුතු කරන බව පැහැදිලිව දක්නට ඇත.

එහිදී ඉන්දු පැසිෆික් සාගර කලාපයේ භූ දේශපාලන බලය තහවුරු කරගැනීම සඳහා තම කොටස රැක ගැනීමේ තරගයක යෙදී සිටින ඉන්දු, ඇමරිකානු, ජපන් බල කේන්ද්‍රය සහ චීනය මුල් කරගත් බල කේන්ද්‍රය  ප්‍රධාන පාර්ශව ලෙස  හඳුනාග ගත හැක. චීන කඳවුරට පක්ෂව බුරුමය සහ පාකිස්තානය සෘජුව හිටගන්නා නමුත් ශ්‍රී ලංකාව එම කේන්ද්‍ර දෙකම එකවර කළමනාකරණය කිරීමේ දුෂ්කර හෙවත් අතුරේ යාමේ ස්ථාවරයක් තෝරා තිබෙන බවට විවාදයක් නැත. තම භූ දේශපාලන උවමනාවට සාපේක්ෂව චීනය විසින් පාකිස්තානයේ සහ බුරුමයේ ආයෝජනය කරන මුදල් ප්‍රමාණයය ඇමරිකානු ඩොලර් බිලියන 100ක් ඉක්මවා යයි. පකිස්ථානයේ ග්වඩාර් වරායේ සිට සහ බුරුමයේ කියෝපුක් වරායේ සිට චීනයේ ප්‍රධාන මාර්ග පද්ධතිය යාකරණ මහාමාර්ග පද්ධති දෙකක් සහ තෙල් සහ ගෑස් නල එලීම සඳහා එම ආයෝජන යොදවා ඇත. එම වරායවල් දෙක හම්බන්තොට වරාය සමග බිහි කරන ‘’මුතු මාල පොට ’’ නම් වූ ත්‍රිකෝනය විසින් ඉන්දියාව මත විශාල උපායමාර්ගික තෙරපුමක් ඇති කරවයි’

එම ආයෝජන වලට සාපේක්ෂව චීනය විසින් ශ්‍රී ලංකාවේ දියත්කොට ඇති ආයෝජන ව්‍යාපෘති සඳහා වැය කොට ඇත්තේ ඩොලර් බිලියන 5ක් වැනි  සොච්චමකි. චීන ණය උගුලක ශ්‍රී ලංකාවේ හිර වී ඇතැයි විවිධ පාර්ශව ව්‍යාජ ඝෝෂාවක් නැගුවද චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහන පොලී ණය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සමස්ථ විදේශ ණය වලින් 10%ක් පමණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තම බලය තහවුරු කර ගැනීමට තරග කරන රටවල් ණය හෝ ආයෝජන උපාංග වලට අමතරව තවත් බොහෝ උපාංග යොදා ගනිති. එවැනි උපායමාර්ගික උපාංග 10ක් පමණ හදුනඳුනා ගත හැක. ඒවා බොහොමයක් බටහිර අධිරාජ්‍යවාදී බලවේග පසුගිය දශක 70කට  අධික කාලයක් තිස්සේ යොදා ගන්නා යළි යටත්විජිතකරණ උපාංග බවට විවාදයක් නැත. යළි යටත් විජිත ක්‍රියාවලියට නව ලිබරල් කරණය ලෙස ව්‍යාජ නාමකරණයක් යොදා එය සැබැවින්ම එය නග්න යටත්විජිතකරණ ක්‍රියාවලියක් බව ඉරාකය, ලිබියාව, සිරියාව, වැනි රටවල් වල අත්දැකීම්වලින් වටහා ගත හැක.

එම උපාය මාර්ගික උපාංග අතුරින් ඉතාම බලවත් උපාංගයක් වන්නේ වෙළෙඳ, ආරක්ෂක සහ ආයෝජන ගිවිසුම්ය. ඒවා හරහා ආර්ථික මර්මස්ථාන සහ ඉඩම් අත්පත් කර ගැනීම සහ මූල්‍ය සහ භාණ්ඩ වෙළඳපල හැසිරවීමේ බලය ලබාගැනීම මෙන්ම විදේශ හමුදා රටට ඇතුල් වීම දක්වා වන පරාසයක උවමනාවන් ඉටු කර ගැනීමට ඉඩ ලැබේ. ‍ශ්‍රී ලංකාව මෑත කාලීනව ඇමරිකාව සමග අත්සන් කරන ගිවිසුම් ත්‍රිත්වය වන ACSA, SOFA, MCC  යන කටි නාම වලින් හඳුන්වන ගිවිසුම් ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකාව ඇමරිකානු හමුදාවට විශේෂයෙන්ම ‘’ඉන්දු පැසිෆික් කොමාන්ඩ්’’ නම් වූ හමුදාවට සැපයුම් සහ මෙහෙයුම් සේවා සපයන කලාපයේ ප්‍රධාන රට බවට පත් වනු ඇත. එය හුදු රටතුල කඳවුරක් පිහිටුවීමට වඩා බරපතළ අත්පත් කරගැනීමකි. ඊට අමතරව MCC  හෙවත් ‘’මිලේනියම් චාලේන්ජ් කොපරේෂන්’’ ගිවිසුම මගින් ඇමරිකානු, ජපාන සහ ඉන්දියානු සමාගම් වලට ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත්කරකර ගැනීමට සහ මහා පරිමාණයෙන් ආයෝජන දියත් කිරීමට අවස්ථාව ලැබේ.

එසේ ගෙල සිර කිරීමේ සහ අත්පත් කර කර ගැනීමේ උපාය  මාර්ගික උපාංග කට්ටලයට අයත් දෙවැන්න ණය සහ වෙනත් මූල්‍ය උපාංග මගින් යම් උපායමාර්ගික මර්මස්ථාන අත්පත් කර ගැනීම සහ මහාපරිමාණ දේශපාලන, ව්‍යවස්ථාමය සහ නීතිමය මෙන්ම ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹ වීම ය. උදාහරණයක් ලෙස ණය උපාංග හරහා හම්බන්තොට වරාය වාණිජ  වශයෙන් අත්පත් කර ගැනීමට චීනය සමත් විය. ඒ අතර MCC  ගිවිසුමේ මූල්‍ය උපාංග භාවිත කොට ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය උඩුයටිකුරු කිරීම සඳහා ඉඩම් නීති සහ පරිපාලන ක්‍රමවේද බරපතල ප්‍රතිසංස්කරණ වලට ලක්වීම සිදුවේ. එම ප්‍රසංස්කරණ අවශ්‍ය වන්නේ මහජනයා සතු පුද්ගලික ඉඩම් මෙන්ම රජයෙන් මහජනයාට බලපත්‍ර ලෙස ලබාදී ඇති ඉඩම් සහ රජයේ ඉඩම් යන ඉඩම් වර්ග ත්‍රිත්වයම මහා සමාගම් විසින් එකතු කොට අත්පත් කර ගැනීම සඳහා ඉඩම් වෙළඳපොළක් නිර්මාණය කිරීමටය.

තුන්වන උපාංගය රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තවාදී දේශපාලන පක්ෂ භාවිත කරමින් අභ්‍යන්තර දේශපාලන අවුල් ඇති කොට රටවල් අස්ථාවර කිරීම සහ පවතින ආණ්ඩු මාරු කිරීමය. එවැනි කුමන්ත්‍රණකාරී මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා අධිරාජ්‍යවාදී රටවල් ඉදිරියට දමන ප්‍රධාන සටන් පාඨය ප්‍රජාතන්ත්‍රවාදය බවට  විවාදයක් නැත. ‍ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනසට තමා ද දායක වූ බව කියන ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් වරයාගේ අත්සනින් නිකුත් කළ වාර්තාවක අඩංගු වන්නේ ශ්‍රී ලංකාවේ, නයිජීරියාවේ සහ බුරුමයේ   ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 580 ක් යෙදවූ බව ය.

හතරවන උපාංගය ආගම්වාදී, ජාතිවාදී ගැටුම් අවුළුවා ආණ්ඩු ස්ථාවර කිරීම සහ දීර්ඝකාලීනව මැදිහත්වීම සඳහා පාර කපා ගැනීම ය. ඉරාකය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්ථානය වැනි රටවල ශිෂ්ටාචාරය බිමට සමතලා කිරීමට යොදා ගැනුණේ ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන්ය.  ඔවුන්ට ආයුධ සහ මූල්‍ය සහාය පමණක් නොව පුහුණු කිරීම සඳහා ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය සම්බන්ධ වූ බවට බොහෝ සාක්ෂි හෙළිදරව් වී ඇත. ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා සිදු කළ මූලධර්මවාදී    ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය ආධාර අනුබල දුන් බව සහ ඊට පෙර එම අන්තවාදීන් පෝෂණය කිරීම සඳහා සෞදි අරාබිය හරහා මුදල් පොම්ප කළ බවට ද සාක්ෂි ඇත. එම ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් වරයෙකු විසින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. ඊට අනුව දැන් ශ්‍රී ලංකාව අයි.එස් ප්‍රහාරයට ලක් වී ඇති බැවින් ඇමරිකාවේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අයි.එස්  විරෝධි සන්ධානයට ශ්‍රී ලංකාව එකතු විය යුතුය. ඒ අනුව එම අන්තවාදී ප්‍රහාර වලින් අපේක්ෂිත අවසාන ඵලය කුමක්දැයි පැහැ පැහැදිලි වේ.

පස්වන උපාංගය බෙදුම්වාදී ව්‍යාපාර පෝෂණය කිරීම මගින් රටවල් බෙදා වෙන් කොට ඒවා ආරක්ෂක සහ වෙළඳ හා ආයෝජන ගිවිසුම් මගින් අර්ධ යටත් විජිත ලෙස ඈඳා ගැනීම ය. ‍ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරය පෝෂණය කිරීමට ඉන්දියාව තීන්දු කරන්නේ එම උපාය මාර්ගයට අනුව බව පැහැදිලිව තේරුම් ගත හැක. හයවැන්න ආපදා අවස්ථා යොදාගනිමින් මැදිහත් වීමය. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය එවැනි නිර්මාණය කළ ආපදාවකි. සුනාමිය ස්වභාවික ආපදාවකි. සුනාමි ආපදාව යොදාගනිමින් සුනාමි සහන මණ්ඩලය නමින් තාවකාලික ආණ්ඩුවක් බෙදුම්වාදීන් වෙත බන්දේසියක තබා ලබා දීමට එදා බටහිර රටවල් විසින් ගනු ලැබූ උත්සාහය ලෝකයාට රහසක් නොවේ. එම උපාංගය තාක්ෂණිකව හඳුන්වනු ලබන්නේ ‘’ආපදා අධිරාජ්‍යවාදය’’ ලෙසය.

හත්වන උපාංගය උපදේශකයින් සහ ස්වේච්ඡා සේවකයින් මගින් රාජ්‍ය මෙන්ම මහජන මනස හැසිරවීම ය. මේ වන විට ඇමරිකානු ජාත්‍යන්තර ආධාර සංවිධානය මගින් පාර්ලිමේන්තුවට සහ මැතිවරණ කොමිසමට උපදේශකයින් පත්කොට ඇත. ඔවුන්ගේ භූමිකාව කුමක්දැයි තේරුම් ගැනීම අමාරු නැත. ඊට අමතරව දැන් peace corps නම් ඇමරිකානු ස්වේච්ඡා සංවිධානයේ මාජිකයන් ඉංග්‍රීසි ඉගැන්වීමේ මුවාවෙන් රට පුරා ස්ථානගත කිරීමට සූදානම්වන බව වාර්තා වේ. අටවැන්න ඊට සමාන එකකි. එහිදි තෝරාගත් රාජ්‍ය නිලධාරීන් ශිෂ්‍යත්ව සහ පුහුණු අවස්ථා නිර්මාණය කිරීම මගින් ඔවුන්ගේ මොළ සෝදා රට තුළ ස්ථානගත කිරීම ය. පසුගිය කාලය තුළ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට පමණක් නොව අධිකරණ නිලධාරීන්ද එම මොළ සේදීමේ ක්‍රියාවලියට ලක්වූ බව රහසක් නොවේ. ඇමරිකානු ආධාර සංවිධානයේ වාර්තාවකට අනුව නිලධාරීන් 500කට එවැනි පුහුණු අවස්ථා සැලසුම් කොට ඇත.

නම වැනි උපාංගය ආනයනික නිෂ්පාදන වලට සහනාධාර ලබා දෙමින් සහ විවිධ ගිවිසුම් අනුව බදු සහන ලබාදෙමින් රටේ දේශීය නිෂ්පාදනය සහ ආහාර සුරක්ෂිතතාවය බිද වට්ටවා බටහිර රටවල් මත යැපෙන යැපුම් ආර්ථිකයක් නිර්මාණය කිරීමය. දසවැන්න සමාජ ජාලා සහ එන්ජීඕ ක්‍රියාකාරකම් හරහා සමාජය මොළ සේදීමට ලක්කිරීමය. ඒ මගින් සංස්කෘතික ආක්‍රමණයක් මෙන්ම සමාජ බෙදුම්වාදී ක්‍රියාවලියක් ද  දියත් වේ. මේ සියලූ උපාංග යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ගෙල සිර කොට රටතුළ පය තබා ගැනීමට බටහිර බලවේගවලට ඉඩ ලැබෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයට පාලකයින් විසින් පීතෘ භූමිකාව අත්හහැරීම නිසා ය. ඒ නිසා රටේ ප්‍රාණය බේරා ගැනීමට සහ රට නූතන යටත්විජිතයක් බවට පත්වීම වැලැක්වීමට නම් නිර්භීත කොන්ද පණ ඇති පියකු වුවමනා වේ.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More