දේශීය පුවත්

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ කරන ලද ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

වර්තමාන ආණ්ඩුව විසින් රජයේ රැකියා අවස්ථා ලබාදීමේදී උපාධිධාරීන් එම රැකියා අවස්ථාවලට යොමු කිරීම සඳහා කිසිදු නිවැරදි ස්ථිර වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමෙන්, උපාධිධාරීන් දැඩි අසරණ තත්ත්වයකට මේ වනවිට පත්ව තිබේ. එම රැකියා අවස්ථා ලබාදීමට මේ දක්වා කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොකර සිටින්නේ ඇයිද? කියා ආණ්ඩුව විසින් මෙම ගරු සභාවට පිළිතුරු දිය යුතුයි.

මෙම යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ප්‍රකාශ කරනු ලැබුවේ නව රැකියා අවස්ථා ලබාදෙන බවයි. මේ වන විට වසර 4 ½ ක් ගත වී ඇතත්, රැකියා අවස්ථා ලබාදෙනවා වෙනුවට මෙම ආණ්ඩුව කරනු ලැබුවේ හාර ලක්ෂ පනස් හතර දහසක් රැකියා අවස්ථා අහිමි කිරීමයි. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකු 2018 වාර්තාව මඟින් තහවුරුවේ. ගරු කථානායකතුමනි, වසරක මේ ආණ්ඩුව විසින් ජාතියේ දරුවන්ට අහිමි කරනු ලබන රැකියා ප්‍රමාණය ඒ අනුව ලක්ෂය ඉක්මා තිබේ.

ආණ්ඩුව රැකියා ලබා දුන්නේ නම්, විරැකියාව අවම වී රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවලටද විසඳුම් ලැබිය යුතුව තිබුණි. නමුත් එවැනි දෙයක් සිදු වී නොමැති බව ඉතා පැහැදිලිවේ.

මේ වන විට උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළ බඳවා ගැනීමේ නාමලේඛන දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වුවද එය නිසි පරිදි ඉදිරිපත් කර නොමැති බවට පැමිණිලි රැසක් මේ වන විටද ලැබී ඇත.

2018.08.20 දින ඉහලම ලකුණු ලබාගත් උපාධිධාරීන් පිරිසක් පත්වීම් ලබාදීම සඳහා අරලිය ගහ මන්දිරයට කැඳවා එම උත්සව ශාලාවෙන් ඉන් කණ්ඩායමක් ඉවත් කරනු ලැබුවේ ඔවුන් බාහිර උපාධිධාරීන් බව පවසමිනි. බාහිර උපාධිය එම බඳවා ගැනීමට නුසුදුසුකමක් ලෙස මෙම ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ කෙසේද?

මෙය මොනතරම් අයුක්තිසහගතද? අසාධාරණද? යහපාලනය තම ප්‍රතිපත්තිය බව පවසන ආණ්ඩුවකින් මෙවැන්නක් බලාපොරොත්තු විය හැකිද?

අදාළ ගැසට් පත්‍රයෙහි එවැනි සඳහනක් නොමැතිනම් බාහිර උපාධිය නුසුදුසුකමක් ලෙස සලකන්නේ කුමන නිර්ණායක අනුවද කියා ආණ්ඩුව වහාම පිළිතුරු ලබාදිය යුතුව ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනවලට බාහිර උපාධිධාරීන් කිසිවෙකු ඇතුළත් නොකිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන්නේ මන්ද? කියා මේ අවස්ථාවේදී අපි දැඩිව ප්‍රශ්න කරමු.

මේ ආකාරයෙන් බාහිර උපාධිධාරීන්ට වෙනත් හැන්දකින් බෙදීමට ආණ්ඩුව ක්‍රියාකළ නිසා ඔවුන්ට රැකියාවක් ලබාගැනීමේ වයස් සීමාවද ඉතා වේගයෙන් ඉක්ම යමින් තිබීම ගැනද ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.

පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන අපගේ ආණ්ඩුව මඟින් උපාධිධාරීන්ට රජයේ නව රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන අදියර කිහිපයක් යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව රටම දන්නා කරුණකි.

එහිදී නව රැකියා අවස්ථා උපාධිධාරීන් 90,000 කට ආසන්න ප්‍රමාණයකට හිමිවූ අතර එම අවස්ථාවේදී කිසිදු දේශපාලන භේදයකින් තොරව, අභ්‍යන්තර හෝ බාහිර සලකා බැලීමකින් තොරව, වයස් සීමාවකින් තොරව සහ උපාධියේ විෂයයන් ගැන නොසලකා රැකියා අවස්ථා ලබාදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවටද විසඳුම් ලබාදුන් බව මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුව තිබේ.

බාහිර උපාධිධාරීන් අදාළ වර්ෂයට ඇතුළත් කර නොගැනීමටත්, තරඟ විභාගයේ ලකුණු අනුව පත්වීම් ලබා නොදීමටත් ක්‍රියාකළේ කෙසේද? කියා රටට පැහැදිලි කළ යුතුව තිබේ.

සියළුම උපාධිධාරීන් තම අධ්‍යාපනයට සරිලන රැකියා අවස්ථා ඉල්ලන විට ඔවුන්ට මහ පාරේදී පසුගිය වසර 4 ½ තුළ ලැබුණේ යහපාලන කදුළු ගෑස් බවද මෙහිදී සිහිපත් කර දීමට කැමැත්තෙමි.

පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර වර්තමාන ආණ්ඩුව සියළුම රැකියා විරහිත උපාධිධාරීන් කැඳවා රැකියා ලබාදෙන බවට පොරොන්දු වුණි. නමුත් එම පොරොන්දුවද මෙම ආණ්ඩුව කඩකර තිබෙන බව එම උපාධිධාරීන්ම ප්‍රකාශ කරති.

රැකියා බලාපොරොත්තුවෙන් සිටින සියලුම උපාධිධාරීන්ට රැකියා අවස්ථා නිවැරදි ආකාරයෙන් ලබාදීමට අදාළ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට වසර 4 ½ ක් තිස්සේ නොහැකි වුණු ආණ්ඩුව ඉදිරි මාස කිහිපය තුළ මෙම ජාතික ගැටළුව විසඳන්නේ කෙසේද? කියා වහාම රටට හෙළි කළ යුතුව ඇත.

මහින්ද රාජපක්ෂ
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More