දේශීය පුවත්

අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අප්‍රේල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවෙන් විනාශ කර දැමුවා පමණක් නොව අදාළ සිදුවීමට ඉඩ සැළසුණු සියලූ කරුණු පිළිබඳ මේ වන විට අපක්ෂපාතී සහ ස්වාධීන පරික්ෂණ සිදු කෙරෙන බව ද ජනාධිපතිවරයා පවසයි.

එබැවින් පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබාගෙන අප්‍රේල් 21 සිදුවීම පිළිබඳ තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමා සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ,සත්විරු අභිමන් 2019, රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

තමන් පිට කොන්ද නැති නායකයෙක් යැයි පෙන්වීමට ඇතැමුන් උත්සාහ කළ ද තමන් පිටකොන්දක් ඇති නායකයෙක් යයි අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන් බවද ඔහු පැවසීය.

තමන්ට සහ ආණ්ඩුවට එසේ චෝදනා කරන අය කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවටද ජනාධිපතිවරයා විසින් චෝදනා කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති උත්සවයක් අමතමිනි.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල වූ කටුවාපිටිය දේවස්ථානයේ දේවමෙහෙය සිදුකරමින් ඊයේ දිනයේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ප්‍රසිද්ධියේ කියා සිටියේ වර්තමාන පාලකයන්ට තීන්දු තීරණ ගැනීමට පිටකොන්දක් නැති බවත් දැන් රට පාලනය කළා හොඳටම ඇති නිසා පුළුවන් කෙනෙක්ට පාර දී ඉවත්ව යන ලෙසත්ය.

ජනාධිපතිවරයා විසින් ඊට පසුදිනම මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පෙනී යයි.

ජනාධිපතිවරයා සහභාගී වූ එහ උත්සවය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

*******

අප්‍රේල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා පවසයි.

අප්‍රේල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවෙන් විනාශ කර දැමුවා පමණක් නොව අදාළ සිදුවීමට ඉඩ සැළසුණු සියලු කරුණු පිළිබඳ මේ වන විට අපක්ෂපාතී සහ ස්වාධීන පරික්ෂණ සිදු කෙරෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

එබැවින් පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබාගෙන අප්‍රේල් 21 සිදුවීම පිළිබඳ තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අද (22) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති “සත්විරු අභිමන් 2019” රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ තමා සෑම ආගමකටම ගරු කරන නායකයෙකු වන අතර සෑම ආගමික නායකයෙකුටම වන්දනා කරන බවයි. යම් ප්‍රශ්නයක් තිබේනම් ඕනෑම අයෙකුට විවෘතව තමා සමඟ සාකච්ඡා කළ හැකි අතර අවශ්‍ය නම් මාධ්‍ය ඉදිරියේ වුවද එය සිදුකළ හැකි බව ජනාධිපතිතුමා කියා සිටියේය.

තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කළේය. පැවති රජයේ මෙන් ම පවතින රජයේ ද වංචා දූෂණ සෙවීමට කොමිෂන් සභා පිහිටෙව්වේ පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බව පැවසූ ජනාධිපතිතුමා ජාවාරම්කරුවන්, පාතාලයින්, අපරාධකරුවන් සහ දූෂිතයන් සමඟ තමා සටන් වදින්නේ ද පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බව කියා සිටියේය.

මෙහි දී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පිටකොන්දක් ඇති අය සිදු කළ යුත්තේ විවේචන සිදු කිරීම නොව ජාවාරම්කරුවන්ගෙන්, අපරාධකරුවන්ගේ සහ දූෂිතයන්ගෙන් රට ගලවා ගැනීමට ගෙන යන සටනට සහය ලබාදී රට ගොඩනැගීමට එක්වීම බවයි. විවේචන අවශ්‍ය වුවත් එය රට සහ ජනතාව නොමග යවන සහ ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන බරපතළ විවේචන නොවිය යුතු අතර, අද එම විවේචන කරන සියලු දෙනා පාවා දෙන්නේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය හමුවේ අපගේ විරෝධාර රණවිරුවන් ප්‍රමුඛ සමස්ථ ආරක්ෂක අංශ දිවි පරදුවට තබමින් ඉටුකළ විශිෂ්ට මානුෂික මෙහෙවර බව ද කියා සිටියේය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 කණගාටුදායක සිදුවීමෙන් මිය ගිය සියලුදෙනා පිළිබඳ තම හදවත් තුළ ඇති වේදනාව එදා මෙන්ම අද දවසේ ද එලෙස ම බවත් එය කිසිදා අමතක කළ නොහැක්කක් බවයි.

තිස් වසරකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කළ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් සුබසාධන ප්‍රතිලාභ ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ රණවිරු දරුවන් 1504ක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ ලබාදීම සිදු විය. ඒ අනුව සම්පූර්ණ නිවාස 25ක්, අඩක් නිමවු නිවාස සම්පූර්ණ කරදීමේ ප්‍රතිලාභ 925ක්, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යාධාර 308ක් සහ පදිංචිය සඳහා ඉඩම් කොටස් 246ක් ලබාදීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක විය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More