දේශීය පුවත්

ශෝක පණිවුඩය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, බෙල්ලන්විල රාජමහා විහාරය, අත්තිඩිය, මාළිගාවත්ත පුරාණ විහාරය යන විහාරද්වයාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිගෞරවාර්හ බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හදිසියේ අපවත් වු පුවත ඇසීමෙන් මම බලවත් කම්පාවට පත්වුයෙමි.

ප්‍රව්‍රජ්‍යා දිවියට පත්වීමෙන් අනතුරුව පිරිවෙන් අධ්‍යාපනය මෙන්ම දේශිය හා විදේශිය විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරා බහුශ්‍රැත භික්ෂුන් වහන්සේ නමක් ලෙස අප නාහිමිපාණන් වහන්සේ කටයුතු කළහ. විවිධ සම්මාන උපාධි රැසකින් පිදුම්ලද උන්වහන්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකු මෙන්ම මහාචාර්යවරයෙකු ලෙස 1966 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වාම සේවය කරන ලදී. අපවත් වනවිට උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර හෙබවමින් කටයුතු කළහ.

උන්වහන්සේ හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් නිරතුරුවම මා හට පෙන්වාදුන් ආදර්ශවත් මහා යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ මා හට ලබාදුන් අවවාද අනුශාසනා මාගේ පාලන කාලයේ දී මේ රටේ දියුණුවට මනා පිටිවහලක් වු බව මෙම සංවේග ජනක අවස්ථාවේ දී උන්වහන්සේට කෘත ගුණ සැලකීමක් ලෙස සිහිපත් කරමි. උන්වහන්සේ කිසිදු දේශපාලන පක්ෂයකට නැඹුරුව තම අදහස් ප්‍රකාශ නොකල ස්වාධීන මතයක් දැරු නාහිමිපාණන් වහන්සේ නමකි. එහෙත් රටේ ඒකීයභාවය මෙන්ම භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් රට නොබෙදා, බලය බෙදිය යුතුය යන මතයෙහි පිහිටා තම අදහස් එඩිතරව ප්‍රකාශ කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි. රටට, ජාතියට හා ආගමට එරෙහිව යමෙක් කටයුතු කරන්නේ ද ඔවුන්ගේ එම මතය දැඩි ලෙස විවේචනය කරන්නට ද උන්වහන්සේ පසුබට නොවුහ.

ජාතීන් අතර මෙන්ම ආගමික එකමුතු භාවය අගය කරමින් අප රට තුළ විවිධ ආගමික නායකයන් සමග එක්ව සුහදව කටයුතු කළ උන්වහන්සේ අනෙකුත් ආගමික නායකයන්ගේ ද ඉමහත් ගෞරවාදරයට පත් විය. ලෝක බෞද්ධ සම්මේලනයේ ලේකම් ධූරය දරමින් විවිධ රටවල ගිහි පැවිදි සැමගේ ඉමහත් ගෞරවයට පත් උන්වහන්සේ බෞද්ධ දර්ශනයේ යථාර්තය ලොවට පෙන්වා දුන් වියත් පඩිරුවණකි. එසේම උන්වහන්සේ බෞද්ධ දර්ශනයේ විවිධ පැතිකඩ ඔස්සේ ග්‍රන්ථ රාසියක් සමාජයට දායද කර දුන් ගත් කතුවරයෙකු මෙන්ම ජාතික, ආගමික හා අධ්‍යාපනික මාතෘකා ඔස්සේ විශාල ලිපි ප්‍රමාණයක් සමාජයට දායාද කර දුන් ලේඛකයෙක් ද විය.

මෙලෙස සමාජයට මහගු මෙහෙවරක් ඉටුකළ උන්වහන්සේ බෙල්ලන්විල රජමහා විහාරය මුල්කොට ගනිමින් සමාජ සුභ සාධනයට ද ඉතා විශාල මෙහෙයක් ඉටු කිරීමට උන්වහන්සේ අමතක නොකළහ. මෙබදු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කීර්තීයට පත් නාහිමිපාණන් වහන්සේ නමකගේ අපවත්වීම අප රටට පමණක් නොව විදේශ රටට වලට මෙන්ම සම්බුදු සසුනට සිදු වු පිරිමැසිය නොහැකි පාඩුවකි. අභීත පැවිදි දිවියක් ගත කරමින් හදිසියේ අපවත් වී වදාල මහාචාර්ය අතිගෞරවාර්හ බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින් වහන්සේට උතුම් නිවන්සුව අත්වේවායි …….. ! ප්‍රාර්ථනා කරන අතර, සංවේගයට පත් උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාටත්, උන්වහන්සේට ගෞරවය දැක්වු දෙස් විදෙස් සැමටත්, විහාරස්ථ දායක සභාවලටත්, සිය පවුලේ ඥාතීන්ටත් මාගේ බලවත් සංවේගය මෙයින් පුද කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More