පුරවැසි කොලම

පසුගියදා විශ්‍රාම ගිය විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ සිදුකළ ඇතැම් අනාවරණ සහ ඔහු කළ විවිධ ප්‍රකාශ පිළිබඳ දේශපාලන අධිකාරිය සතුටට පත්වූයේ නැත. විටෙක ඔහු ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට යාමට තරම් තත්ත්වය බැරෑරුම් විය.

එසේ වුවද ඔහු විශ්‍රාම යන අවසන් තත්පරය දක්වා නොසැලී සිය වගකීම ඉටු කළේය. ජාතික විගණන පනත අනුමත කරවා ගැනීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ හේ විගණන කොමිෂන් සභාව ස්ථාපිත කිරීමටද දැඩි වෙහෙසක් ගත්තේය. මෙම රාජකාරිවලදී ඔහුට දේශපාලනඥයන්ගෙන් පමණක් නොව ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන්ද බාධක බලපෑම් එල්ල වූ බව රහසක් නොවේ.

මේ ඔහු සමඟ කළ කාලීන සාකච්ඡාවකි.

ඔබ විශ්‍රාම ගියාට පසු රජයෙන් පිරිනමන කිසිදු තනතුරක් බාර නොගන්නා බව පැවසුවා. දිගටම ඒ ස්ථාවරයේ ඉන්නද බලාපොරොත්තුව?

ඔව්. මා දිගටම ඒ ස්ථාවරයේ ඉන්නවා. මා විශ්‍රාම දිවිය නිදහසේ ගත කරන්නයි අපේක්ෂා කරන්නේ. රාජකාරි වගකීම්වලින් හෙම්බත්ව සිටි මා තවත් අනවශ්‍ය වගකීම් බාරගෙන යළිත් බර උසුලන්න සූදානම් නැහැ. ඒ නිසා හැකි තරම් දුරට ස්වාධීන ලෙස කටයුතු කරන්නයි බලාපොරොත්තුව.

මේ දිනවල එක දිගටම විවිධ කොමිෂන් සභා, කාරක සභා පරීක්ෂණ මණ්ඩල පත් කරනවා. ඒවාට අවශ්‍ය සුදුසු පුද්ගලයන්ගේ හිඟයක් ඇති බවත් පේනවා. ඒ නිසා ඔබ වැනි කෘතහස්ත නිලධාරීන් ඒවාට සම්බන්ධවෙලා තවදුරටත් රටට සේවය කළ යුතු නොවේද?

ඔය පත්කරන විවිධ කොමිෂන් සභා හා පරීක්ෂණ මණ්ඩල ආදිය පිළිබඳ මගේ පැහැදීමක් නැහැ. මෙවැනි කමිටු පත් කරන්නේ ප්‍රශ්නයට නිසි විසඳුම් නොදී කල් මැරීමටය කියලයි මම හිතන්නේ. මෙම බොහෝ සභාවල වාර්තා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒවා වැඩි වශයෙන් හමස් පෙට්ටියට තමා ගිහිල්ල තියෙන්නේ. වෙච්ච දෙයක් නැහැ. අවුරුදු ගණන් එක දිගට ඇදෙන මේවායින් කරන්නේ තවදුරටත් මහජන මුදල් කාබාසිනියා කිරීමක්. නියමිත දිනට වාර්තාව දෙන්නේ නැහැ. විවිධ හේතු කියලා කල් ගන්නවා. ව්‍යාකූල ඉතාම දිග වාර්තා තමා ප්‍රමාද වී හෝ නිකුත් කරන්නේ. ඒ වනවිට රස්නය නිවිලා ගිහින්. ඉතින් මෙවැනි දේවල කොටස්කරුවකු වන්න මා සූදානම් නැහැ. මගේ කාලයත් අපතේ යාමක් තමා වෙන්නේ.

මෙවැනි කොමිෂන් පත් කරන්නේ මහජන මතයක් ඇතිව තියෙන එසේම ඉක්මනින් විසඳිය නොහැකි ගැටලුකාරී අවස්ථාවල නේද?

මේක දැන් පුරුද්දකට ගිහින්. සුළු දේකට වුණත් කිහිප දෙනෙක් පත් කරලා කොමිසමක් ස්ථාපිත කරනවා. ඇතැම් පුද්ගලයන්ට විෂයානුබද්ධ සුදුසුකම් නැහැ. දේශපාලන සහ පෞද්ගලික සම්බන්ධතා මතයි මේ පත්වීම් කරන්නේ. ඒවාට විශාල ප්‍රසිද්ධියක් මාධ්‍ය මගින් දෙනවා. මෙවැනි කොමිෂන් සභා, කාරක සභා නැතුවට දැනට පවතින විනය නීති, චක්‍රලේඛ, මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහ ආදියෙන් මේවාට විසඳුම් දිය හැකියි. නැතිනම් අධිකරණ කටයුතු ආරම්භ කළ හැකියි. ඒවාට නොගොස් මෙවැනි ආයතන ඇති කරන්නේ වෙනත් අපේක්ෂා ඉටුකරගන්න කියලයි මා හිතන්නේ.

පසුගියදා ඔබ පැවසුවා රටේ සත්‍ය ලෙස ණය වී ඇති ප්‍රමාණය ගිණුම්ගතව නැහැ කියලා. ඇත්තවශයෙන්ම ණය ප්‍රමාණය පිළිබඳ නිවැරදි සටහන් මුදල් අමාත්‍යාංශයේ නොමැති බවටද ඔබ මතයක් පළ කළා. ණය ට්‍රිලියන ගණනක් මෙහෙම තියෙනවා කියලත් ඔබ කිව්වා?

රාජ්‍ය ගිණුම් අනුව අද රටේ දේශීය ණය රුපියල් ට්‍රිලියන හයකට ආසන්නයි. විදේශ ණය රුපියල් ට්‍රිලියන පහක් වෙනවා. සියල්ල ට්‍රිලියන 11ක් වෙනවා. එහෙත් මෙයට අමතර වශයෙන් තවත් මෙම ගොඩට එකතු නොවූ ණය ට්‍රිලියන ගණනක් තියෙනවා. ඒවා කොපමණද කියලා කියන්න කිසිවෙක් දන්නේ නැහැ. මේවා අදෘශ්‍යමාන මුදල්. රාජ්‍ය ගිණුම් බොරු බව මා විටෙක පැවසුවා. එයින් පසු තමා මට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න පවා ආණ්ඩුව පෙළඹුණේ.

උදාහරණයක් වශයෙන් කිව්වොත් ජාතික ජල සම්පාදන මණ්ඩලය, වරාය අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවලට අයවැයෙන් වෙන්කරන මුදලට වැඩිය මුදල් පාවිච්චි කරනවා. ඒවා ඒ අය ගත් ණය. මම මෙම ආයතනවල ගිණුම් පිළිගත්තේ නැහැ. හම්බන්තොට වරාය චීනයට දුන්නා. ඒත් එහි ණය පිළිබඳ සඳහනක් නැහැ. මාර්ග සංවර්ධන අධිකාරියේ වර්ග කිලෝමීටර් 14,000ක විතර මාර්ග ප්‍රමාණයක් වත්කම් හැටියට අරන් නැහැ. කොච්චර වටිනාකමක් තියෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ.

මේ විදියට රාජ්‍ය බැංකුත් ණය ගන්නවද?

පසුගිය සමයේ අපේ රටේ රාජ්‍ය බැංකුවලට විදේශ ණය වෙන වෙනම ගන්න ඉඩ දුන්නා. ඒවා රජයේ ගිණුම්වලට යන්නේ නැහැ. එම මුදල් පසුව භාණ්ඩාගාර බිල්පත් මගින් රජය ගන්නවා. මෙලෙස දුන් මුදල් මහජන බැංකුවේ පමණක් රුපියල් ට්‍රිලියන හතරක් විතර තියෙනවා. බැංකුව පුද්ගලයන්ට දෙනවට වඩා භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීමෙන් ණය දීම වඩා සුරක්ෂිතයි. ඒත් මේ ණය රජය මගින් ගෙවන්නේ නැහැ. කල් පිරුණු පසු යළිත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම තමා සිද්ධ වෙන්නේ. මධ්‍යම රජයේ ගිණුම්වල මේවා භාණ්ඩාගාර බිල්පත් ලෙසයි දක්වා ඇත්තේ. නමුත් ඒවා ඇත්තවශයෙන්ම ණයවලටයි යන්න ඕනෑ.

ණය ගැනීම සීමා කරලා රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කිසිදු රජයක් කටයුතු නොකරන්නේ ඇයි?

අපේ රටේ දිනක රජයේ ආදායම රුපියල් බිලියන 5යි. වියදම රුපියල් බිලියන 7යි. දවසක පාඩුව රුපියල් බිලියන 2යි. මෙම භයානක තත්ත්වයෙන් මිදීමට රජයේ ජාතික ආදායම වැඩිකරගත යුතුයි. මෙතෙක් කල් සිදුවුණේ රජයට ලැබෙන ආදායම නිසි ලෙස නොලැබීමයි. මේවා එක එක අයගේ සාක්කුවලට ගියා. දේශපාලනඥයන් ප්‍රධානයි. ආදායම වියදම පරතරය පියවා ගන්නට ණය ගැනීම පහසු මාර්ගයක් ලෙසයි සලකන්නේ. මෙයින් සිදුවන හානිය පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම ජාතික අවාසනාවක්. ණය වෙලා අපි කරන්නේ ආයෝජනය නොවෙයි. එම මුදල්ද විවිධ අන්දමට පාරිභෝජනයට යොදාගැනීමයි. ඉතින් ඊළඟට ණය ගෙවන්න බැරිවෙලා තවත් ණය ගන්න වෙලා තියෙනවා.

ආදායම් ලැබෙන මාර්ග අපි නිවැරදිව විවෘත කරගෙන නැහැ. රජයට ආදායම් ලැබෙන ප්‍රධාන ආයතන දෙකක් තමා සුරාබදු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව. දිනකට බඩු කන්ටේනර් 1500ක් පමණ වරායෙන් පිටවෙනවා. මේවා සමහරක එන්නේ හොර පාරේ ගෙනෙන බඩු. මෙම කන්ටේනර් හරියට පරීක්ෂා කරනවා නම් විශාල ආදායමක් ලබාගත හැකියි. එහෙත් දිනකට මේවායින් පරීක්ෂා කරන්නේ 100-150 පමණ සුළු සංඛ්‍යාවක්. අහුවෙච්ච බඩුවලටත් වෙනත් අදෘශ්‍යමාන බලපෑම් නිසා දඩ අයකර නොගෙන ආපසු දෙන්න වෙනවා. පහුගිය කාලේ මෙවැනි දේ කොච්චරවත් සිදු වුණාද?

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තම වගකීම හරිහැටි ඉටු නොකරන බවටද, තෝරු මෝරු සිටියදී හාල්මැස්සන් පසුපස හඹා යන බවටද චෝදනා තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මට නම් කියන්න තියෙන්නේ අලුතෙන් බදු නොගැහුවාට තියෙන බදුවලින් සෑහෙන තරමේ ආදායමක් ලබාගන්න පුළුවන් බවයි. බදු ප්‍රතිශත ඉහළ නොදැම්මාට, අලුත් බදු ක්‍රම හඳුන්වා නොදුන්නාට තියෙන බදු කාර්යක්ෂමව හරියට අයකර ගන්නවා නම් හොඳටම ඇතියි. ලිපිගොනු වැඩි කළාට වැඩක් නැහැ ඒවායින් ආදායම නොලැබෙනවා නම් මෙම අංශවල තියෙන විවිධ දූෂණ හා අක්‍රමිකතා නිසා ලැබෙන ආදායම දිගටම අඩු වෙනවා. බදු දැලෙන් රිංගා යන්නට අවස්ථාව සලසන්නේ මේ අංශවල හිටපු සහ දැන් සිටින ඇතැම් නිලධාරීන්. ඇතැම් වෙලාවට මෙයට දේශපාලනයද සම්බන්ධ වෙනවා. දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කරලා එහි උපරිම ඵලදායීතාවය ලබාගැනීමට වගකිව යුතු අය උනන්දු විය යුතුයි. එහෙම වුණොත් පුංචි මිනිහාගේ සීනි, පරිප්පු, කිරිපිටිවලට බදු ගහලා ඒ අය සූරා කන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

අයවැය ලේඛනය හුදු ව්‍යාජ සංඛ්‍යා ටිකක් බවද ඒ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවටද, අයවැය යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටද මේ වනවිට ජන මතයක් ඇතිවෙලා තියෙනවා?

මෙහි යම් සත්‍යතාවක් තිබෙනවා. අයවැය ලේඛනය අනුව අය සහ වැය යන දෙපාර්ශ්වයම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අයවැය ලේඛනය බොහෝවිට වැය ලේඛනයක් මිස අය ලේඛනයක් නොවෙයි. ලැබෙන ආදායම් ඇස්තමේන්තු නිවැරදි නැහැ. ඒවා සකස් කරන්නේ පසුගිය වසර පදනම් කරගෙනයි. පසුගිය වසර සංඛ්‍යා වැරදි වුණාම මේ වසරත් වැරදි වෙනවා. ආදායම් ලැබීම් පිළිබඳ සංඛ්‍යාලේඛන පදනම් කරගෙන ඒවා ලබාගන්න ක්‍රියාමාර්ග ගන්නවා අඩුයි. ඒ නිසා ආදායම ලේඛනගත කර තිබුණාට ලැබෙන්නේ නැහැ.

වියදම් කිරීමත් අවිචාරශීලී ලෙසයි සිදුවන්නේ. වැය ශීර්ෂ අභිබවා මුදල් වැය කරනවා. මදි වුණොත් පරිපූරක වැය ඇස්තමේන්තු අනුමත කර ගන්නවා. එතැනදී අයවැය තුලනය වෙන්නේ නැහැ. වැඩියෙන් වැය කරන මුදල් සොයාගන්නේ කෙසේද කියලා සඳහන් වන්නේ නැහැ. ඔහේ ඉලක්කම් හරඹයක් පමණයි. අන්තිමට අයවැය පරතරය වැඩි වුණාම ණයවලින් පියවන බවටයි කියන්නේ. මෙහි කිසිම ප්‍රායෝගික භාවයක් නැහැ.

අයවැය යෝජනාද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එය බොරු ප්‍රචාරයක් විතරයි. වර්ෂයක අයවැය ලේඛනයක් පරීක්ෂා කළහොත් කොපමණ යෝජනා ක්‍රියාත්මක නොවී තිබෙනවා දැයි බලාගත හැකියි. එසේම වෙන්කළ මුදල් පවා වැය නොකර සිට වර්ෂය අවසානයේ මහා භාණ්ඩාගාරයට යනවා.

අලුත් විගණන පනත තවම හරිහැටි ක්‍රියාත්මක වුණේ නැහැ නේද?

තවම රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කර නැහැ. නව පනත අනුව තැනිය යුතු මෙම සේවය පිළිබඳ කරුණු තවම පවතින්නේ සාකච්ඡා මට්ටමේ. විගණන නිලධාරීන් රාජ්‍ය සේවයේ සුවිශේෂී කොටසක්. ඒ අයගේ වෘත්තීය සුදුසුකම්වලට, සේවයේ අනතුරුදායක තත්ත්වය හා සුවිශේෂ කාර්යභාරයට ගැලපෙන ලෙස වැටුප් වැඩි කළ යුතු වෙනවා. විගණන සේවය ස්වාධීන සේවයක්. ඒ අනුව ඔවුන්ගේ ගැටලු ගැන සොයා බැලිය යුතුයි. මගේ සේවා කාලයේදී මා ඒ සඳහා උපරිම ලෙස උනන්දු වුණා. එහෙත් වැටුප් සහ සේවා නිර්ණ කොමිෂන් සභාව විරුද්ධ වූ නිසා එය කරගන්න බැරි වුණා.

එහෙත් පනත දැන් බලාත්මකයි. එහි සමහර ප්‍රතිපාදන අනුව දැන් වැඩ කටයුතු කරනවා. ඉස්සර කළේ Post Mortum. ඒ කියන්නේ අශ්වයා පැන ගියාට පස්සෙයි ඉස්තාලය වැහුවේ. දැන් එහෙම නොවෙයි. යම් ව්‍යාපෘතියක් කරගෙන යන අතරතුර විගණකාධිපතිට ඒවා පරීක්ෂා කර වැරදි නිවැරදි කළ හැකියි. අවශ්‍ය උපදෙස් දෙනවා. දැනටමත් එහෙම රාජකාරි රැසක් සිදුකර තිබෙනවා.

අනුරාධපුර පූජාභූමිය පිළිබඳ අප කළ සාර්ථක විගණනය එයට උදාහරණයක්. සාමාන්‍ය විගණනවලට අමතරව රාජ්‍ය අංශ ගැටලුවලට විගණකාධිපතිට මැදිහත් වෙන්න පුළුවන්. මගේ විශ්‍රාම යාමට පෙර එවැනි ගැටලු 40ක් පමණ විසඳුවා. විගණන වාර්තා රහසිගත නැහැ. විගණකාධිපතිට අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කළ හැකියි. එවිට මහජන මතයක් ඇතිවෙනවා.

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය වගේ දේවල්වලට වෝහාරික විගණනයක් කරන්නට අවශ්‍ය බව කියනවා. ඇත්තටම එහෙම නොකර පාඩුව ගණනය කළ නොහැකිද?

වෝහාරික විගණනයකින් කරන්නේ පෙර සිද්ධ වූ ඒවාද විගණනය කර මෙයට ඈඳීමයි. මෙලෙස වෝහාරික විගණනයකට යාමට විශාල වියදමක් වගේම සෑහෙන කාලයක්ද ගත වෙනවා. මගේ අදහස නම් වෝහාරික විගණනයක් අත්‍යවශ්‍ය නොවන බවයි. දැනට බැඳුම්කර සිද්ධිය පිළිබඳ විගණනය මගින් කරුණු අනාවරණය කර තිබෙනවා. එතැනින් පටන් ගන්න පුළුවන්. මගේ නිර්දේශ 18ක් පිළිගෙන තිබෙනවා. යළිත් වෝහාරික විගණනයකට යාමට අවශ්‍ය නැහැ. ඉදිරිය ආරක්ෂා සහිතයි. යළිත් සිදු නොවන්නට ක්‍රියාමාර්ග ගත හැකියි. දෙපාර්තමේන්තු කාර්යභාරයේදී උසාවියකින් වගේ දිගින් දිගටම සොයන්න අවශ්‍ය නැහැ. විවිධ ක්‍රම මගින් අලාභය අයකර ගන්න පුළුවන්. වෝහාරික විගණනයකින් අලාභය ගණනය කළ යුතුයි කියන්නේ ඉදිරි කටයුතු ප්‍රමාද කිරීමටයි.

අද ඇතැම් රාජ්‍ය සේවකයන්ට විරැද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සහ ඔවුන් කොමිෂන් ආදියට කැඳවා විවෘතව ප්‍රශ්න කිරීම නිසා රාජ්‍ය සේවකයන් තීරණ ගැනීමේදී පසුබාන තත්ත්වයක් උදාවෙලා නේද?

රාජ්‍ය සේවකයා තම වගකීම් ගැන අවබෝධ කරගෙන අවංකව ක්‍රියා කරනවා නම් මෙවැනි තත්ත්ව උද්ගත වෙන්නේ නැහැ. දේශපාලනඥයන් කියන සෑම දෙයක්ම එලෙස ඉටුකළ යුතු නැහැ. කරන්න බැරි දේ පැවසූ විට එය ප්‍රතික්ෂේප කළ යුතුයි. නීතිමය තත්ත්වය හා කළහොත් එහි ආදීනව පෙන්වා දිය යුතුයි. රාජ්‍ය සේවයේ ප්‍රධාන ගණන් ගන්නා නිලධාරියා වන්නේ අමාත්‍යාංශ ලේකම්. ඔහු තමා මුදල් පිළිබඳ වගකිව යුතු එකම නිලධාරියා. ඔහුගේ අත්සන නැතිව සතයක්වත් වැය කරන්න දේශපාලනඥයන්ට බැහැ. අනුන්ගේ කීමට වැරදි දේ කළාම ඔහුටයි වගකියන්න වෙන්නේ. අද අනාවරණය වන්නේ එවැනි දේවල්. දේශපාලනඥයන් ඉදිරියේ කොන්ද නැමිය යුතු නැහැ. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙන නිසා තමා මෙහෙම වෙන්නේ.

පාර්ලිමේන්තු කාරක සභාවලට නිලධාරීන් සහභාගි කරවාගැනීම පිළිබඳ අද ගැටලු ඇතිවෙලා තියෙනවා නේද?

පාර්ලිමේන්තුව පත්කරන කාරක සභාවලට පාර්ලිමේන්තුවේ බලතල තියෙනවා. ඒ නිසා ඒවාට කැඳවූ විට රාජ්‍ය සේවකයන් අනිවාර්යයෙන් සහභාගි විය යුතුයි. ඒවාට යන්න එපා කියලා කාටවත් නියෝග දෙන්න බැහැ. එයින් වෙන්නේ රාජ්‍ය සේවකයන් අමාරැවේ දැමිල්ලක්. පාර්ලිමේන්තුව තමා මූල්‍ය විනය ගැන එකම බලධරයා. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා ජනාධිපතිට වුවත් ඒවාට යාම නවත්වන්න බැහැ. එහෙම නම් තියෙන්නේ පත් නොකර ඉන්නයි. අනිත් අතට කොමිෂන් සභාවකට, කාරක සභාවකට ගැටලු ගැන සොයා බැලීමට මිස දඬුවම් දෙන්න බලයක් නැහැ.

► යසවර්ධන රුද්රිගු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More