පුරවැසි කොලම

මහින්ද සහ රනිල් අතර හමුවක් පසුගිය සඳුදා පැවැත්විණි. ඒ අරලියගහ මන්දිරයේදීය. සාකච්ඡාව පැවැත්වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙනි. මහින්දගේ පාර්ශ්වයෙන් බන්දුල, සුසිල්, ලොකුගේ සහ ගම්මන්පිල ද රනිල්ගේ පාර්ශ්වයෙන් මංගල සහ මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

අප්‍රේල් 21 වැනි දා ප්‍රහාරයෙන් පසුව රට මුහුණ පා සිටින බරපතළ අර්බුදය සම්බන්ධයෙන් මහින්ද පසුගිය කාලය පුරා නිරන්තර‍ අවධානයෙන් සිටියේය. සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් පසුගිය දිනවල මහින්ද හමුවීමට පැමිණි අතර ප්‍රහාරයෙන් පසුව තමන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළහ.

සංචාරක හෝටල් හිමියන්, සංචාරක මාර්ගෝපදේශක රියදුරන්, තොරන් නිර්මාණකරුවන්, විරිඳුකරුවන්, අත්‍යවශ්‍ය භාණ්ඩ ‍වෙළෙඳුන් යනාදී වශයෙන් බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි පිරිස් තමන්ට ඇති ගැටලු සහ යෝජනා මහින්ද අතට පත් කළහ. විපක්ෂ නායකවරයා වශයෙන් මහින්ද මේ හමුවට ගියේ අගමැතිවරයා හට මෙම යොජනා භාර දෙන්නටය.

“පහුගිය දිනවල බොහෝ ක්ෂේත්‍රවල අය මාව මුණගැහෙන්න ආවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඒ අය මුහුණපාලා ඉන්න ගැටලු සම්බන්ධයෙන් මාව දැනුවත් කළා. මේ ප්‍රහාරයෙන් පස්සේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම දරුණු අර්බුදයකට මුහුණ පාලා ඉන්නවා. රජයක් වශයෙන් ඔයාලට යුතුකමක් තියෙනවා මේ සෑම අංශයක් ගැනම හොයලා බලන්න” මහින්ද පැවසීය.

“අපි මේ ගැන අවශ්‍ය පියවර අරගෙනයි තියෙන්නේ. වැඩියෙන්ම බලපෑම් එල්ල වූ ක්ෂේත්‍ර ගැනත් අපි හොයලා බැලුවා. මුදල් ඇමැතිතුමා බ්‍රහස්පතින්දට ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරනවා” රනිල් කීවේය.

“ප්‍රහාරයෙන් පස්සේ රට ගොඩගන්නවා වෙනුවට ඒක පොලිටිකල් ෂෝ එකක් කරගන්න එපා. අපි දැක්කා ප්‍රහාරයෙන් විපතට පත්වෙච්ච අයට වන්දි ගෙවන එක වුණත් පොලිටිකල් ෂෝ එකක් කරගන්න හදපු විදිහ. ඒවා වැරැදියි. මිනිස්සු දුකට පත්වෙලා ඉන්න වෙලාවේ අපි අපේ බලය වෙනුවෙන් ඒ දුක පාවිච්චි කරන්න හොඳ නැහැ” මහින්ද පැහැදිලි කළේය.

ආර්ථිකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙපිරිස රටේ වර්තමාන දේශපාලන කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළහ. ඒ වන විට දින හතරක් සම්පූර්ණ වී තිබුණු රතන හිමියන්ගේ උපවාසය සම්න්ධයෙන් මහින්ද රනිල්ගේ අවධානය යොමු කළේය. හැකි ඉක්මණින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි මහින්ද ඉල්ලීමක් කළේය.

එදින සවස ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරුන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිත බව රනිල් මහින්දට දැනුම් දුන්නේය. අනතුරුව සාමාන්‍ය කතාබහක් යන විට හර්ෂ ද සිල්වා ඇසුවේ විජිත් විජිතමුණි ට පොඩි විරෝධයක් එල්ල වෙලා නේද යනුවෙනි.

“මොන පොඩි ද ? ලොකු විරෝධයක් එල්ල වෙලා තියෙන්නේ” කියමින් මහින්ද සිනාසුණේය.

එම සාකච්ඡාව නිමා කර ආපසු එන අතර මහින්ද මෛත්‍රි මුණගැසීමට ද ගියේ විශේෂ සාකච්ඡාවක් සඳහාය. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්කෙරුණු අතර රටේ පවතින තත්ත්වයත් සමඟ සිතා බැලීමේ දී මැතිවරණයකට යාම සුදුසු බව මෛත්‍රිගේ අදහස විය.

“අපි නම් ඕනෙම මැතිවරණයකට ලැහැස්තියි. ජනාධිපතිවරයා වශයෙන් සුදුසු පියවරක් ගන්න” මහින්ද මෛත්‍රිට පැවසුවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක දෙකේදි පැවැත්විණි. එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කෙරුණේ පෙරදින සවස ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමැතිවරුන් ධුරවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙනි.

“ආණ්ඩුව ලොකු අර්බුදයක ඉන්නේ. දැන් අපි ඉක්මණනින් අපේ ඊළඟ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් හොඳයි” මහින්දානන්ද පැවසීය.

“ඊළඟ වැඩපිළිවෙළට යන එක හොඳයි. අපි ඔක්කොම එකතු වෙලා ඒ ගැන කතා කරලා තීන්දුවක් ගමු” මහින්ද පැවසීය.

“අයින් වෙන්න කිව්ව අය අතරින් ඇමැතිවරයෙක්ට හිටියේ රිෂාඩ්ට විතරයි. තුන්දෙනෙක්ට අයින් වෙන්න කිව්වම සියලු මුස්ලිම් ඇමැතිවරුන් අයින් වුණා. එහෙම අයින් වුණේ සාධාරණ පරීක්ෂණ පවත්වන්න ඉඩ දෙන්න කියලයි ඒ අය කියන්නේ. ‍මගේ අදහස නම් සාධාරණ පරීක්ෂනයක් පවත්වන්න නම් මුළු ආණ්ඩුවම අයින් වෙන්න ඕනේ කියන එකයි” පියල් කීවේය.

“රිෂාඩ්ගේ විශ්වාසභංග යෝජනාව නිසා ආණඩුව හොඳටම එරිලා හිටියේ. අන්තිමට මුස්ලිම් මන්ත්‍රීවරු ටික එකතු වෙලා ආණ්ඩුව බේර ගත්තා. බැරි වෙලාවත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගත්තා නම් එක්සත් ජාතික පක්ෂයත් දෙමළ සන්ධානයත් දෙකට බෙදෙනවා. අනෙක් පැත්තෙන් මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවේ අයින් වෙනවා. කොහොම හරි ඒක නැවතුණා” ප්‍රසන්න පැවසීය.

“ඒ කතාව හරි. අන්තිමට වුණේ ආණ්ඩුව කොහොම හරි ජාමේ බේර ගත්තු එක. මාසයකටනේ අස්වෙලා තියෙන්නේ. රවි, මාරපන වගේ මේ අයත් තව ටික දවසකින් ඇමැතිකම් ආපහු ගනියි. රිෂාඩුත් බේරිලා, ආණ්ඩුවත් බේරිලා” සනත් පැවසීය.

“ඒක තමයි මම මුල ඉඳලම කිව්වේ මේවා ආටක නාටක කියලා. ආණ්ඩුවට විරුද්ධව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ රට තුළ ඇතිවෙච්ච විරෝධය දිය කර හරින්න තමයි ඔය උපවාස, උද්ඝෝෂණ, කඩ ගිනි තැබීම් සියල්ල කළේ. හැබැයි උඪින් පේන්න විරෝධයක් නැති වුණාට ජනතාවගේ විරෝධය හරියට අලුයට ගිනි වගේ තියෙනවා” ප්‍රසන්න කීවේය.

“මේ රටේ මිනිස්සුන්ට දැන් මේ ආණ්ඩුව තිත්ත වෙලා තියෙන්නේ. මොකක් හරි මැතිවරණයක් තිබ්බොත් බලාගන්න පුළුවන් ආණ්ඩුවට වෙන දේ” මහින්ද පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි. එහිදී මහින්ද පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේ ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයකට සූදානමින් සිටින ලෙසය.

“මේ වසර අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එහෙම නොවුණත් වෙනත් මැතිවරණයක් වුණත් පැවැත්වෙන්න පුළුවන්. ඒ නිසා අපි සූදානමින් සිටින එක කෝකටත් හොඳයි. මොන මැතිවරණයක් පැවැත්වුණත් ඒක තීරණාත්මකයි” මහින්ද පැවසීය.

පසුගිය සතියේ සනත් නිශාන්ත හදිසියේම ප්‍රසන්න මුණගැසීමට ආවේය. ඒ ප්‍රසන්න සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය කතාවක් ගැන අහන්නටය.

“අයියේ මොකක්ද අර ඔයාට ලොකු මඩක් යන්නේ? සනත් ඇසුවේය.

“මොකක්ද මල්ලි” ප්‍රසන්න ඇසීය.

“නෑ අර රිෂාඩ් ආවොත් ගන්නවා කියලා අයියා කිව්වයි කිය කියා ප්‍රචාරයක් යන්නේ” සනත් කීවේය.

“මොන පිස්සුවක්ද? මම එහෙම එකක් කිව්වේ නැහැ. තාත්තගේ 11 වැනි ගුණ සමරුව වෙලාවේ මගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවා රිෂාඩ් ආවොත් ගන්නවද කියලා. මම කිව්වා රිෂාඩ්ව ගන්නේ නැහැ, හැබැයි අපේ ප්‍රතිපත්තිවලට එකඟ, එකම රටක් එක නීතියක් යටතේ ඉන්න පුළුවන් කෙනෙක් ආවොත් සලකලා බලනවා කියලා” ප්‍රසන්න පැවසීය.

“ඒක තමයි මාත් බැලුවේ. රන්ජන් වගේ යූ. ඇන්. පී ඇමැතිවරුන් කණ්ඩායමක් ඒ කතාව වැරැදියට හදලා දාපු නිව්ස් එකක් සැරේට ෂෙයාර් කරනවා. එයාලට ඕනේ අයියට මඩක් ගහන්න” සනත් කීවේය.

“අයියෝ මේ රටේ මිනිස්සු මං ගැන දන්නවා. රිෂාඩ් නෙමෙයි අන්තවාදයට උදව් දෙන මොකා ආවත් ඒ ආණ්ඩුවේ මම මිනිත්තුවක්වත් ඉන්නේ නැහැ. මුස්ලිම් අන්තවාදියෝ නෙමේ රාජිත, මංගල, චතුර, රන්ජන් වගේ දේශද්‍රෝහියෝ ඉන්න ඇමැති මණ්ඩලයකත් මම ඉන්නේ නැහැ. ඊට හොඳයි ගමට ගිහින් වෙළෙඳාමක් පටන් ගන්න එක” ප්‍රසන්න අවධාරණය කළේය.

පසුගිය බදාදා තුන්බෝවිල ධම්මරතන හිමියන්ට ප්‍රධාන සංඝනායක ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් වන අක්තපත්‍ර ප්‍රදානයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෛත්‍රී සමඟ මහින්ද ද එම අවස්ථාවට එක්ව සිටියේය. ඒ වන විටත් ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බවත් මහින්දට යළිත් සහය නොදෙන බවටත් මෛත්‍රි කැබිනට් හමුවේදී ප්‍රකාශ කළේ යැයි ප්‍රවෘත්තියක් පැතිර යමින් තිබුණි.

“මොකක්ද අර කැබිනට් එකේදි කිව්වයි කියන්නේ? මහින්ද මෛත්‍රිගෙන් ඇසුවේය.
“මම කිව්ව ඒවා වගේම නොකිව්ව ඒවත් ඒකේ තියෙනවා” මෛත්‍රි පැවසුවේය. එහෙත් තමා කීවේ මොනවාදැයි මෙන්ම නොකීවේ මොනවාදැයි යන්නත් මෛත්‍රි පැවසුවේ නැත.

“ඒක තමයි” කී මහින්ද ද ඒ ගැන වැඩිදුර අසන්නට ගියේ නැත.

අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More