පුරවැසි කොලම

ඉන්දියානු සාගරයේ භූ දේශපාලන සහ යුදමය වශයෙන් ඉතාම වැදගත් මර්මස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව නම් දූපතේ වැසියන්ට ඒ වාසනාවන්ත පිහිටීම අද වන විට අවාසනාව කැඳවන සාපයක් බවට පත්වෙමින් ඇත. ඊට හේතුව එම මර්මස්ථානය තම බල කඳවුරක් බවට පත්කර ගැනීම සඳහා ලෝක මහා බලවතුන් ත්‍රිත්වයක් එකිනෙකා පරයමින් කුලල් කා ගැනීමය. එම බලවතුන් අතරින් ඉන්දියාව සහ ඇමෙරිකාව මිතුරු  ප්‍රතිවිරෝධතා සහිතව ශ්‍රී ලංකාව තුළ තම බලය තහවුරු කරගැනීම සඳහා ක්‍රියාමාර්ග තෝරන බව පෙනේ. නමුත් එම බලවතුන් දෙපළම චීනය සමග බලවත් සතුරු ප්‍රතිවිරෝධතාවය කින් යුතුව ශ්‍රී ලංකාවට අදාළව පොදු න්‍යාය පත්‍රයක් මත කටයුතු කරන බව ඉතා පැහැදිලිව දැකගත හැක. එම පොදු න්‍යාය පත්‍රය ඉතා නග්න ලෙස හා බලහත්කාරී ලෙස ක්‍රියාත්මක වන බව  1987 ඉන්දු ලංකා ගිවිසුමේ සිටම දක්නට ලැබුණි. නමුත් චීනය ශ්‍රී ලංකාව තුළ බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන්නේ තම ගෝලීය බල න්‍යායපත්‍රයේ කොටසක් ලෙස ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කිරීම තුළිනි.

චීනයේ  ‘’බෙල්ට් ඇන්ඩ් රෝඩ්’’ නම් වූ ගෝලීය මට්ටමින් ආර්ථික කලාප පිහිටුවීමේ ක්‍රියාන්විතය මගින් රටවල් 152ක් ඇතුළත් වන ආකාරයට චීනය මුල්කරගත් වෙළඳ ජාලයක් බිහි වේ. ඒ තුළ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ස්ථානයක් හිමි වන්නේ මුහුදු සේද මාර්ගයේ වැදගත්ම ස්ථානය ශ්‍රී ලංකාව වන බැවිනි. එම මුහුදු සේද මාර්ගයේ වරායවල් මුල්කරගනිමින් ප්‍රධාන ආයෝජන කලාප ත්‍රිත්වයක් නිර්මාණය වේ. බුරුමයේ කියෝපුක් වරාය, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සහ පාකිස්තථානයේ ග්වඩාර් වරාය ආශ්‍රිතව ආයෝජන කලාප ජාලයක් නිර්මාණය වේ. එම වරායවල් ත්‍රිත්වය යොදාගනිමින් ඉන්දියානු සාගරය තුළ ඉන්දියාව කොටු කිරීමේ උපායමාර්ගය හැඳින්වෙන්නේ ‘’මුතු මාල පොට උපාය’’ ලෙසිනි. ඊට අමතරව චීනය විසින් ඉන්දියානු සාගරයේ අප්‍රිකානු වෙරළ ආශ්‍රිතව සුඩානය සහ කෙන්යාවේ ආයෝජන කලාප බිහි කරමින්  ඉන්දියානු සාගරය තුළ තම බලය තහවුරු කර ගනිමින් ඇත.

ඉන්දියානු සාගරයේ චීන වටලෑමට මුහුණදීම සඳහා ඉන්දියාව එක් පැත්තකින් ඉරානයේ ජබාහාර් වරාය ආශ්‍රිතව ආයෝජන කලාපයක් බිහි කිරීම සඳහා කටයුතු කරමින් සිටියි. එම වරාය හෝමුස් සමුද්‍ර සන්ධිය මුඛයේ පිහිටා ඇති බැවින්  සෞදි අරාබිය  ඕමාන් සහ කටාර් වැනි රාජ්‍යවලට තෙල් ප්‍රවාහනය කරන නාවික යාත්‍රා වලට බලපෑම් කිරීමේ හැකියාව ලැබේ. ඉන්දියාවට එසේ චීනය සමඟ තරගකාරීව ඉන්දියානු සාගරය තුල බලය තහවුරු කරගැනීම ඉතා වැදගත් වන්නේ ඉන්දියාවේ පැවැත්ම එම බලය මත රඳා පවතින බැවිනි. ඉන්දියාව විසින් අපනයනය කරන භාණ්ඩ වලින් 95% ක් ගමන් කරන්නේ ඉන්දියානු සාගරය හරහාය. එසේ ම ඉන්දියාවට අවශ්‍ය ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් 80%ක් ආනයනය කරන්නේ ඉන්දියානු සාගරය හරහාය . ඊට අමතරව සමස්ත ලෝක වෙළඳාමෙන් 60% භාණ්ඩ සහ 50% ක ඛනිජ තෙල් ප්‍රවාහනය කෙරෙන්නේ ඉන්දියානු සාගරය හරහා ය. ඒ තුළ ඉන්දියාවට සහ චීනයට ශ්‍රී ලංකාව උපාය මාර්ගික වශයෙන් කෙතරම් වැදගත් වන්නේ ද යන්න පැහැදිලි වේ.

ඒ   අනුව ඉන්දියාව දේශපාලන උපාංග භාවිතා කරමින් හා චීනය ආර්ථික උපාංග භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික මර්මස්ථාන වල බලය තහවුරු කර ගැනීමට බල පොරයක් ආරම්භකොට ඇත. හම්බන්තොට චීන බලයට එරෙහිව ප්‍රතිබලයක් අත්පත් කර ගැනීම සඳහා ත්‍රිකුණාමලය, කොළඹ, කන්කසන්තුරේ සහ ගාල්ල වරායවල් වල විවිධ ප්‍රමාණ වලින් බලය තහවුරු කර ගැනීමට ඉන්දියාව උත්සාහ ගනිමින් ඇත. ඊට අමතරව මත්තල ගුවන්තොටුපල තම ආධිපත්‍යය යටතට ගැනීමටද ඉන්දියාව ප්‍රබල උත්සාහයක යෙදී සිටී. ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක ශිවසංකර් මෙනන් මහතා විසින් රචිත ‘’ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හැදීමේ ඇතුළාන්තය’’ නම් ග්‍රන්ථයේ ඒ මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ  වෙරළට සැතපුම් 14ක්  ඈතින් නවතා ඇති ප්‍රහාරක ගුවන් යානා රදවන යුධ නෞකාවක් බවය. ඒ අනුව මත්තල ගුවන්තොටුපල අත්පත් කර ගැනීම යනු ඉන්දියාව විසින් එම ගුවන් ප්‍රහාරක නෞකාවේ සුක්කානම අතට ගැනීම ලෙස සැලකිය හැක.

 

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදු කරමින් පවතින අත්පත් කර කර ගැනීමේ  ක්‍රියාවලිය ඇමරිකාව සහ ජපානය යන ඉන්දියාවේ උපායමාර්ගික  සහකරුවන්ගේ ආශිර්වාදය සහිතව දියත්වන බව රහසක් නොවේ. ශ්‍රී ලංකාව බෙදා වෙන්කොට දුර්වල කිරීම සහ එසේ බෙදා වෙන් වන රාජ්‍යය තම රටේ අර්ධ කොලනියක් ලෙස ඈඳා ගැනීම සඳහා ඉන්දියාව විසින් තෝරා ඇති උපාය මාර්ගයට ඇමරිකාවේ සහ ජපානයේ ආශිර්වාදය ලැබෙන බව රහසක් නොවේ. ‍ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව තෙල් ටැංකි සංකීර්ණය හා වරායේ බන්කරින් හෙවත් නැව් වල්ට තෙල් ලබා දීමේ ව්‍යාපාරය ඉන්දියාව විසින් අත්පත් කරගන්නේ ඉන්දු – ඇමරිකානු – ජපන් ඒකාබද්ධ අත්පත්කර ගැනීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස බව දැන් පැහැදිලි ව පෙනේ.

ඇමරිකාවේ මිලේනිිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතියට අදාළව ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත ආයෝජන කලාපයේ ආයෝජන සඳහා ආරාධනා කරන්නේ ඇමරිකානු ජපාන සහ ඉන්දියානු සමාගම් වලට පමණකි. ඒ සඳහා සිංගප්පූරුවේ සුබානා ජුරෝන්ග් නම් උපදේශන සමාගම විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින් ඒ බව පැහැදිලි වෙයි. ඊට අමතරව ඇමරිකාව සහ ඉන්දියාව අතර අත්සන් කොට ඇති ආරක්ෂක ගිවිසුම් ත්‍රිත්වය මගින් ඉන්දියානු සාගරයේ ඔවුන්ගේ කාර්යභාරය බෙදා හදාගෙන ඇති බවට සැකයක් නැත. ඉන්දියාව විසින්  ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව ඉදිකිරීමට නියමිත ඉන්දියාවේ ධනුෂ්කොඩි සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය යා කරන මහා මාර්ගයට සහ දුම්රිය මාර්ගයට ඇමරිකාවේ ආශිර්වාදය හිමි වී ඇත. එසේම ඇමෙරිකාව විසින් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව නවතා ඇති ජෝන් සී ස්ටෙනිස් නෞකාව යොදා ගනිමින් ශ්‍රී ලංකාව ඇමරිකානු හමුදාවේ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානය බවට පත් කිරීම සඳහා ගනු ලබන උත්සාහය ට ඉන්දියාව පැත්තෙන් විරෝධයක් එල්ල වී නැත.

චීන විරෝධය අලෙවි කරමින්  ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව තුළ සීමාව ඉක්මවා යන බලයක් අත්පත් කර කරගැනීම පිළිබඳව ඉන්දියාවේ යම් විරෝධයක් තිබිය හැක. එහෙත් එම විරෝධය එළිපිටම ප්‍රදර්ශනය නොකෙරෙන බවට සැකයක් නැත. එසේ ඇමරිකාව විසින් ඉන්දියාවට උවමනා ප්‍රමාණයට වඩා මැදිහත් වීමත් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීම  පිළිබඳව ඉන්දියාවට යම් විරෝධයක් ඇත්නම් එය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ යම් පාර්ශව හරහා ඉහළට ඔසවන බවට ද සැකයක් නැත.  කෙසේ වෙතත් පසුගිය වසර තුනක කාලය තුළ ඇමරිකාව විසින් පියවරෙන් පියවර ශ්‍රී ලංකාව තුළ කරනු ලබන අත්පත් කරගැනීම පිළිබඳව ඉන්දියාවෙන් ප්‍රබල  විරෝධයක් මතුවී නැත. ඊට හේතුව ආණ්ඩුව තුළින් ඉන්දියානු හිතවාදී සහ ඇමරිකානු විරෝධී ප්‍රබල පාර්ශවයක් මතුකර ගැනීමට නොහැකි වීම විය හැක. එසේ නැතහොත් එම ක්‍රියාවලිය ඉන්දියාවේ ආශිර්වාදය සහිතව සිදු වනවා විය හැක. දිනෙන් දින වර්ධනය වන චීන බලය හමුවේ අමෙරිකානු’’ බර හස්තය’’ ඉවසා සිටීමේ ස්ථාවරයක් ගැනීමට තත්වයන් විසින් ඉන්දියාවට බල කරන බවට ද තර්ක කළ හැක. කෙසේ වෙතත් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර පවතින මිතුරු පුතිවිරෝධතා චීනයට අදාල ඔවුන්ගේ පොදු උපායමාර්ගය තුළ සමනය වන බවට සැකයක් නැත.

ඉන්දියාව විසින් අත්පත් කර ගැනීමට උත්සාහ කරන මත්තල ගුවන්තොටුපල, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදී ආයෝජන ව්‍යාපෘති මේ වන තුරු තම අතට ගැනීමට ඉන්දියාව අසමත් වී ඇත. නමුත් ඇමරිකාව මේ වන විට ගිවිසුම් ත්‍රිත්වයක් හරහා එනම් ආරක්ෂක ගිවිසුම් දෙකක් සහ ආයෝජන ගිවිසුමක් හරහා බරපතළ අත්පත්කර ගැනීමකට පාර කපමින් ඇත. එම ගිවිසුම් ත්‍රිත්වය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකාව තුළ බලවත් ඇමෙරිකානු හමුදාමය මැදිහත්වීමක් දක්නට ලැබෙනු ඇත. එය ජපානයේ හෝ දකුණු කොරියාවේ  ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටුවීමට වඩා බරපතල මැදිහත්වීමක් බවට පත්වනු ඇත.

එම් ගිවිසුම් ත්‍රිත්වය තුළ පවතින බලතල සහ දැන්ට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය එක්   සන්දර්භයක් තුළ විශ්ලේෂණය කිරීමෙන් පවතින තත්ත්වයේ බරපතළකම වටහා ගත හැක.  ‘’අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම’’ හෙවත් ACSA ගිවිසුම මගින් ඇමරිකාවේ ඕනෑම හමුදාවකට ශ්‍රී ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපලවල් සාමාන්‍ය අවස්ථාවක දී මෙන්ම යුදමය අවස්ථාවකදී ද භාවිතා කිරීමට ඉඩ සැලසේ. දැනටමත් ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව නවතා ඇති ‘’ජෝන් සී ස්ටෙනිස්’’ යුද නෞකාව ඇමරිකාවේ බලවත්ම හමුදා අනුඛණ්ඩයක් වන ‘’ හත්වන ඉන්දු පැසිෆික් කොමාන්ඩ්” අනුකාණ්ඩයට අයත් වේ. එම නැව එම හමුදාවට අයත් විශාලතම නෞකාව වන අතර එහි හමුදා භටයින් 6500කට නවාතැන් ගත හැකි අතර ප්‍රහාරක ගුවන් යානා 100ක් රැදවිය හැක.

 

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර අත්සන් කෙරෙන දෙවන ආරක්ෂක ගිවිසුම වන ‘‘හමුදාවල අධිකාරිය’’ හෙවත් SOFA නම් වූ ගිවිසුම මගින් ඇමරිකානු හමුදා භටයින්ට ශ්‍රී ලංකාව තුළ තානාපති මුක්තිය ලැබේ. එම ගිවිසුම අනුව ඇමරිකානු හමුදා සෙබළුන්ට ශ්‍රී ලංකාව තුල  නිල ඇඳුම සහිතව ආයුධ සන්නද්ධව ගමන් කළ හැක. ඔවුන් විසින් රට තුළට ගෙන එන හෝ පිට කරන භාණ්ඩ පරික්ෂා  කිරීමට හෝ ඒවාට බදු පැනවීම්ක් සිදු කළ නොහැක. ඊට  අමතරව ඔවුන් ශ්‍රී ලංකාවේ යම් අපරාධයක් සිදු කළහොත් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ඔවුනට දඬුවම් කළ නොහැකි අතර ඔවුන් ඇමරිකාවට භාරදිය යුතුය. එම ප්‍රතිපාදන ඒ ආකාරයෙන්ම දකුණු කොරියාවේ සහ ජපානයේ ඇමෙරිකානු හමුදා කඳවුරු ආශ්‍රිතව ක්‍රියාත්මක වේ.

එම ආරක්ෂක ගිවිසුම් දෙක මේ වනතුරු  ජනාධිපතිතුමාගේ තීන්දුවක් මත අත්සන් කිරීම ප්‍රමාද වී ඇති තුන්වන ගිවිසුම් වන මිලේනියම චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සමග එක්ව ක්‍රියාත්මක වන විට ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය වේ. ජපානයේ හෝ කොරියාවේ පවතින ඇමරිකානු හමුදා කඳවුරු වලින් එම රටවල් වලට කෙරෙන මැදිහත් වීමට වඩා  බරපතළ මැදිහත් වීමක් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට ඉඩකඩ විවර වන බව එම ගිවිසුම් ත්‍රිත්වය අධ්‍යයනය කිරීමේදී ඉතා හොඳින් පැහැදිලි වේ.

මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් ගිවිසුම මගින් රටේ ඉඩම් අයිතිය විදේශීය සමාගම් සතු කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීමට සහ පවතින පනත් දෙකක් සංශෝධනය කිරීමට යෝජනා කරයි. ‘’ඉඩම් බැංකු පනත’’ මගින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් සහ රජයට අයත් සෙසු ඉඩම් පෞද්ගලික අංශයට විකිණීම සඳහා ප්‍රතිපාදන සලසයි. ඉඩම් විශේෂ විධි විධාන (සංශෝධිත) පනත මගින් ගොවීන්ට ලබා දී ඇති විවිධ බලපත්‍ර යටතේ පවතින ඉඩම් වලට වෙළඳපලේ විකිණිය හැකි අයිතිය ලබාදීම හරහා ඒවා පුද්ගලික සමාගම් වලට විකිණීම සඳහා පෙළඹවීම් ඇති කරයි. තෙවන පනත වන ඉඩම් අයිතිය සීමා කිරීමේ (සංශෝධිත) පණත මගින් දැනට පවතින ඉඩම් අයිතිය සීමා කිරීමේ බාධක ඉවත් කෙරේ. එම ගිවිසුමට අනුව අක්කර දහස් ගණනක නොව ලක්ෂ ගණනින් ඇමෙරිකානු සමාගම් සතු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ. ඒ අනුව ආයෝජන කලාප හතරක් යටතේ ඇමරිකානු ඉන්දියානු සහ ජපාන සමාගම් සතු කිරීම සඳහා නියමිත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 12කි. (අක්කර ලක්ෂ 24කි)

එම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් පිහිටුවීමේ තත්වයකට වඩා බර බරපතල තත්වයක් නිර්මාණය වේ. එනම් සමස්ථ ශ්‍රී ලංකාවම ඉන්දියානු සාගරයේ ඇමෙරිකානු හමුදාමය මෙහෙයුම් සඳහා භාණ්ඩ සහ සේවා  සපයන සැපයුම් කේන්ද්‍රයක් බවට පත්වේ. ඒ අනුව ඊනියා ආයෝජන නාමයෙන් අමෙරිකානු හමුදාවලට අවශ්‍ය භාණ්ඩ සහ සේවා පමණක් නොව විනෝදය සපයන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. පාස්කු ඉරිදා ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය සහ ඇමරිකානු උවමනාවන් අතර ප්‍රබල සම්බන්ධයක් තිබෙන බවට ප්‍රබල තර්ක ඉදිරිපත් වන්නේ එවැනි තත්ත්වයක් තුළය. එම ප්‍රහාර මගින් ඇමරිකානු මැදිහත්වීම සාධාරණීකරණය කෙරෙන මනෝභාවයක් සමාජය තුළ ඇති වේ.

 

මෙම තත්ත්වය තුළ කොළඹ වරාය  නගරය සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව ගොඩනගන චීන බලය සහ ත්‍රීරිකුණාමලයේ සිට කොළඹ දක්වා ගමන් කරන අමෙරිකානු බලය එකට ගැටෙන දිනය කවුරු විසින් කවදා තීරණය කරනු ඇත් ද යන්න කිව නොහැක. එහිදී ඉන්දියාව සිට ගන්නේ ඇමරිකාව පැත්තේ බව නම් පැහැදිලිව කිව හැක. යුදමය ගැටුමකදී පළමු සතුරු ප්‍රහාරයට ලක් වන්නේ සැපයුම් මාර්ග හෙවත් සැපයුම් කේන්ද්‍ර බව කුඩා දරුවෙකුට වුවද වටහා ගත හැක.

 

වෛද්‍ය කේ.එම්  වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More