පුරවැසි කොලම

ඉතිහාසයේ කිසිදු දිනයක නොවූ විරූ භීතියකින්, සංත‍්‍රාසයකින් පසුගිය සති කීපය ගෙවා දමන්නට ශ‍්‍රී ලාංකිකයන්ට සිදුව තිබිණි. සමීපතම මිතුරන් ලෙස ළඟ සිටින මුස්ලිම් ජාතිකයා විශ්වාස කිරීමට අපහසු තත්ත්වයක් උද්ගත වීම නිසා මුළු සමාජයම දැඩි අපහසුතාවකට ලක්ව තිබුණේය.

මේ විශ්වසනීයත්වය බිඳී යෑමට හේතු භූත වූ කරුණු කාරණා රැසක් රටේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වන්නට පටන් ගත්තේ සමස්ත මුස්ලිම් ජාතිකයන් කෙරෙහි අවිශ්වාසය තව තවත් වර්ධනය කරමිනි.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබලයන් ලෙස කටයුතු කරමින් සිටින විදුහල්පතිවරුන්, ව්‍යාපාරිකයන්, රෝහල් සේවකයන්, විවිධ ආයතන ප‍්‍රධානීන් මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන් බොහෝ ප‍්‍රදේශවලින් පොලිසිය කොටුකර ගනිද්දී සාමාන්‍ය ජනතාව තව තවත් භීතියට පත් වූහ.

කුරුණෑගල ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා වෙත පසුගිය දිනෙක ඉතාම වැදගත් තොරතුරක් ලැබී තිබුණේ කුරුණෑගල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකුගෙන්ය. මේ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරිකයකු තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබලයකු බවට ලැබුණු තොරතුර පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් දැඩි අවධානය යොමු කර තිබුණේය.

මෙම ව්‍යාපාරිකයාට අයත් කුරුණෑගල අලකොලදෙණියේ පිහිටි අක්කර 27 ක පොල් ඉඩමක පසුගිය කාලය පුරාම කිසියම් රහසිගත ක‍්‍රියාකාරකමක් සිදු වූ බවට ලැබුණු තොරතුර ඉතාම වැදගත් විය.

කිත්සිරි ජයලත් මහතා ඒ පිළිබඳව විමර්ශන කිරීමේ කටයුතු කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා වෙත පැවරුවේය. මේ පිළිබඳ සොයා බැලීම සඳහා කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් යොදවනු ලැබීය.

කුරුණෑගල අලකොලදෙණියේ පිහිටි අක්කර 27 ක් විශාල පොල් වත්තේ හිමිකරු වුණේ ඉස්මාල් ලෙබ්බේ අබ්දුල් වාහිදු නමැත්තාය. මොහු කුරුණෑගල ප‍්‍රසිද්ධව සිටියේ රතු මුදලාලි යන නමින් ය.

දීර්ඝ කාලයක් තිස්සේ කුරුණෑගල ප‍්‍රදේශයේ විවිධ ව්‍යාපාරවල නිරත වෙමින් මහා ධනවතකු බවට පත්ව සිටි රතු මුදලාලි ජනපි‍්‍රය චරිතයකි.

පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා කුරුණෑගල අලකොලදෙණියේ පිහිටි රතු මුදලාලිගේ පොල්වත්ත වට කළහ. ඒ වන විට පොලිසිය මේ වතුයාය පිළිබඳව මෙන්ම රතු මුදලාලි ගැන ද වැදගත් තොරතුරු රැසක් හෙළිකරගෙන තිබුණේය.

ඉකුත් 2009 – 2011 කාල සීමාවේ මෙම වතු යාය තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධාන පෙළේ පුහුණු කඳවුරකි. අසල්වාසීන් කිසිවකුටත් මේ වතු යායට ඇතුළුවීම තහනම් කර තිබූ නිසා එහි අභ්‍යන්තරයේ සිදු වූ කිිසිවක් ප‍්‍රදේශවාසීන් දැන සිටියේ නැත. එහෙත් මේ වතුයායේ කිසියම් රහසිගත නීති විරෝධී යමක් සිදුවන බව ප‍්‍රදේශවාසීන් හොඳාකාරවම දැන සිටියහ.

තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන්ට මෙම කඳවුර තුළ හමුදා පුහුණුවක් පවා ලබා දී තිබුණේය. හමුදා පුහුණුව සඳහා විශේෂයෙන් සකස් කළ පුහුණු පිටිය තවමත් ඒ අයුරින්ම තිබෙන බව පොලිසිය නිරීක්‍ෂණය කළහ.

තව්හිද් ජමාත් ත‍්‍රස්තයන්ට දේශන පැවැත්වීම සඳහා විශාල ශාලාවක් ඉදිකර තිබූ අතර ඔවුන්ට නවාතැන් ගෙන සිටීමට තාවකාලික කූඩාරම් රාශියක් මෙහි ඉදිකර තිබුණේය.

විමර්ශනවලින් හෙළි වූ ආකාරයට මේ කඳවුරේ මුස්ලිම් ජාතික තරුණයන් 200 කට ආසන්න පිරිසක් පුහුණුව ලබා පිටව ගොස් සිටියහ. පුහුණුවීම් පරීක්‍ෂාවට සහ දේශන පැවැත්වීමට තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ නායකයා වූ මොහොමඞ් සහරාන් හෂීම් මේ කඳවුර වෙත නිතර පැමිණ තිබූ බව ද පොලිසිය හෙළිකර ගත්තේය. පුහුණු කඳවුර පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන සියලූ යටිතල පහසුකම් ලබා දී තිබුණේ රතු මුදලාලිය.

අලකොලදෙණියේ පිහිටි රතු මුදලාලිගේ වත්ත පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීහු එහි පුහුණු කඳවුරක් පවත්වා ගෙන ගිය බව තහවුරු කර ගත්තෝය. ඒ සඳහා ඉතාම වැදගත් සාක්‍ෂි රැසක් ද සොයා ගත්හ.

පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් මහතා මේ සියලූ කරුණු අනාවරණය කර ගැනීම පිළිබඳව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා දැනුවත් කළේය. කුරුණෑගල අලකොලදෙණියේ පිහිටි තව්හිද් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුර පිළිබඳව වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා දැනුවත් කළ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවශ්‍ය උපදෙස් ද ලබා ගත්තේය.

පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් රතු මුදලාලි අත්අඩංගුවට ගන්නේ ඉන් පසුවය. තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග ඇති සබඳතාව මෙන්ම අලකොලදෙණියේ පුහුණු කඳවුර පිළිබඳව පොලිසිය රතු මුදලාලිගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළේය.

මෙම කඳවුරේ මුස්ලිම් තරුණයන්ට හමුදා පුහුණුව ලබාදුන් ආකාරය මෙන්ම සහරාන් හෂීම් පැමිණ දේශන පැවැත්වූ ආකාරය පිළිබඳව රතු මුදලාලි සියලූ තොරතුරු වමාරන්නට වුණේය.

රතු මුදලාලිගේ බෑණා කෙනෙකු තිහාරියේ පදිංචිව සිටියේය. මොහොමඞ් ගවුස් නමැති මේ පුද්ගලයා අලකොලදෙණියේ පුහුණු කඳවුරේ මූල්‍ය පරිපාලනය කර ඇති බව පොලිසිය සොයා ගත්හ. මේ මුදල් මොවුන්ට ලැබී තිබුණේ අරාබි රටවල විවිධ සංවිධාන හරහා ය.

පොලිසිය මොහොමඞ් ගවුස් ද අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ අතර, අලකොලදෙණියේ කඳවුර පිළිබඳ තවත් රහස්‍ය තොරතුරු ගලා එන්නට පටන් ගත්තේය. මොහොමඞ් ගවුස්ගේ පාසල් ගුරුවරයකු වූ මොහොමඞ් නියාස් නමැත්තා ද මේ පුහුණු කඳවුරේ දේශකයකු ලෙස කටයුතු කර තිබුණේය. කුරුණෑගල තල්ගස්පිටිය අඹකොටේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහොමඞ් නියාස් ද තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ ක‍්‍රියාකාරී සාමාජිකයකු විය.

මොහොමඞ් නියාස් ද කුරුණෑගල පොලිසිය අත්අඩංගුවට ගත්තේය. කුරුණෑගල ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය ක‍්‍රියාකාරකම් පිළිබඳව ඒ වන විට තොරතුරු ගලා එමින් තිබුණේය.

ප‍්‍රශ්න කිරීම් අතුරතුර රතු මුදලාලි හදිසියේ අසනීප වුණේය. රතු මුදලාලි වහාම කුරුණෑගල මහ රෝහලට ඇතුළු කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළහ. පොලිස් කණ්ඩායමක් රතු මුදලාලිගේ ආරක්‍ෂාව සඳහා රෝහල වෙත ලබා දීමට ද පොලිසිය කටයුතු කර තිබුණේය. දින කීපයක් තිස්සේ රතු මුදලාලි කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය. මේ අතර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ කීපදෙනෙකු පොලිසිය වෙත තවත් රහසිගත තොරතුරු කීපයක් ලබා දුන්හ. එසේ ලැබුණු තොරතුරු විමර්ශනය කිරීමට පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කළහ.

මොහොමඞ් සහජහාන් කුරුණෑගල මහ රෝහලේ රෝගීන්ගේ ඊ.සී.ජී වාර්තා ලබා දෙන අංශයේ ප‍්‍රධානියකු ලෙස රාජකාරි කළේය. දීර්ඝ කාලයක් තිස්සේ මොහු කුරුණෑගල රෝහලේ රාජකාරි කරමින් සිටි නිසා ඔහු කිසියම් ආධිපත්‍යයක් එහි ගොඩන`ගාගෙන සිටියේය.

රතු මුදලාලි රෝහල්ගත කළ දිනයේ පටන් සහජහාන් ඔහු අසලින් හෙළවුණේ නැත. රාජකාරි කාලසීමාවේ මෙන්ම ඉන් පරිබාහිර කාල සීමාවලදී පවා සහජහාන් රතු මුදලාලි මුණගැසී පැය ගණනක් සාකච්ඡුා කරමින් සිටියේය. වෛiවරුන් රෝගීන් පරීක්‍ෂා කරන කාලසීමාවේ පවා මොහු රතු මුදලාලි සමීපයේ සිටියේ රෝහල් කාර්ය මණ්ඩලයේ විරෝධයන් පවා තඹ සතයකට මායිම් නොකරය. ඇතැම් අවස්ථාවල මොහු හෙද කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට බැණ වදිමින් රතු මුදලාලි බැලීමට ආවේය.

සහජහාන්ට රෝහලේ නිල කාමර දෙකකි. රෝහල් බලධාරීන්ගේ නියෝග උපදෙස් මොහු ඒ තරම් ගණනකට ගත්තේ නැත. සහජහාන්ගේ මේ ක‍්‍රියාකාරකම් පිළිබඳව රෝහල් බලධාරීන් පොලිසියට තොරතුරු ලබා දී තිබුණේ ඒ වන විට ඔහු කෙරෙහි ගොඩනැඟී තිබූ බලවත් සැකය නිසාමය.

ලැබුණු තොරතුරු ඔස්සේ විමර්ශන පැවැත්වූ පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරීන් සහජහාන් අත්අඩංගුවට ගත්හ. සහජහාන්ගේ නිල කාමර දෙක සහ නිවස පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීන් රහසිගත ලිපි ලේඛන සහ චෙක්පොත් රැසක් සොයා ගත්හ.

සහජහාන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීන් ඊට විදේශ රටවලින් සහ මෙරට විවිධ පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව සොයා ගත්හ. මෙසේ මුදල් ලැබුණු ආකාරය පිළිබඳව හෙළි කිරීමට ද සහජහාන් අපොහොසත් වුණේය.

දින කීපයක් තිස්සේ පොලිසිය කළ විමර්ශනවලින් පසු සහජහාන්ගේ පැටිකිරිය පොලිසිය සොයා ගත්තේය. තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ වයඹ පළාතේ ප‍්‍රධාන මෙහෙයුම්කරු ලෙස කටයුතු කර තිබුණේ සහජහාන් ය.

තව්හිද් ජමාත් සංවිධානයේ වයඹ පළාතේ සියලූ ප‍්‍රවර්ධන කටයුතු සිදුව තිබුණේ සහජහාන්ගේ අධීක්‍ෂණය යටතේය. එම සංවිධානයේ පුහුණු කඳවුරුවලට මුදල් ලබා දීමට, දේශනවලට පැමිණෙන දේශකයන්ට සියලූ ගෙවීම් සිදු කිරීම ඇතුළු අනෙකුත් කාර්යවලින් බහුතරයක් සහජහාන්ගේ මූලිකත්වයෙන් සිදුව තිබුණේය.

සහජහාන් සතුව තිබූ සොයාගත් චෙක්පොත් කීපයක් රුපියල් ලක්‍ෂ 20, 25 වැනි විශාල මුදල් චෙක්පත් විවිධ පුද්ගලයන්ට ලබා දී තිබූ බව අනාවරණය විය. රුපියල් ලක්‍ෂ 21 චෙක්පතක් ද මොහු සතුව තිබී සොයා ගත්තේය. සංවිධානයේ සාමාජිකයන්ට වැටුප් ගෙවූ රිසිට්පත් ද මොහු සතුව තිබී සොයාගන්නා ලදී.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය පිළිබඳව සහජහාන් තොරතුරු වමාරන්නට පටන් ගත්තේ ඉන් පසුවය. එම සංවිධානයේ වයඹ පළාතේ මෙහෙයුම්කරුවකු ලෙස කටයුතු කරන මුතාෆ් මොහොම්මදු මුන්ටාස් නමැත්තකු පිළිබඳ ලබාදුන් තොරතුරු මත පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්හ. කුරුණෑගල තල්ගස්පිටියේ පදිංචිකරුවකු වන මුතාෆ් දීර්ඝ කාලයක් තිස්සේ තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙකි.

මේ අතර තම සංවිධානයේ ප‍්‍රබලයකු වූ ජමාල්ඞීන් නවුෂාඞ් නමැත්තා පිළිබඳව සහජහාන් තොරතුරු ලබා දෙද්දී විමර්ශන පොලිස් කණ්ඩායම අන්දමන්ද වූහ.

ජමාල්ඞීන් නවුෂාඞ් පාර්ලිමේන්තු සංකීර්ණයේ හැන්සාඞ් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. හැන්සාඞ් වාර්තා නිකුත් කිරීමේ (සුචිගත නිලධාරි) අංශයේ මොහු සේවය කරන්නේ 2006 වර්ෂයේ සිටය.

සහජහාන් ලබාදුන් තොරතුරු අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි නවුෂාඞ්ගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගත්හ.

නවුෂාඞ් පාර්ලිමේන්තුවේ සේවය කිරීමට පෙර කොළඹ අලූත්කඬේ අධිකරණයේ තෝල්කවරයකු ලෙස රාජකාරි කරමින් සිටියේය. නවුෂාඞ් පාර්ලිමේන්තුවේ රැකියාව ලබා ගත්තේ සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත් වීමෙන් පසුවය. ඒ රැකියාව ලබා ගැනීම සඳහා දේශපාලන සහායක් ලැබුණු බවට තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන තිබුණ ද ඔහු එය බැහැර කළේය.

නවුෂාඞ්ගේ පදිංචිය මහනුවර අලවතුගොඩ ප‍්‍රදේශයේ ය. 1976 වර්ෂයේ උපත ලැබූ ඔහු මහනුවර පාසල් කීපයකින් අධ්‍යාපනය ලබා ගත්තේය.

දෙදරු පියකු වන නවුෂාඞ් සිය බිරිඳ සමඟ පදිංචිව සිටියේ අලවතුගොඩ නිවසේ ය.

පාර්ලිමේන්තුවේ රැකියාව ලැබීමෙන් පසු ඔහු රාජගිරියෙන් නිවසක් මිලට ගත්තේ රුපියල් තිස්ලක්‍ෂයක මුදලක් වැය කරමින් ය. සතියේ දිනවල රාජගිරියේ නිවසේ සිට රැකියාවට යන නවුෂාඞ් සති අන්තයේ මහනුවර අලවතුගොඩ නිවසට යෑමට පුරුදුව සිටියේය.

රුපියල් එක්ලක්‍ෂ විසිදහසක මාසික වැටුපක් ලබමින් පාර්ලිමේන්තුවේ රැකියාව කළ නවුෂාඞ් වසර දහයකට වැඩි කාලයක් තිස්සේ තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ ක‍්‍රියාකාරී සාමාජිකයෙකි.

නවුෂාඞ් තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයන් මුණගැසෙන්නේ ඔවුන් සමඟ සාකච්ඡුා පවත්වන්නේ අකුරණ ප‍්‍රදේශයේ රහසිගත ස්ථාන කීපයකදීය. සති අන්ත නිවාඩුවට මහනුවර අලවතුගොඩට පැමිණෙන නවුෂාඞ් තම සංවිධානයේ සාමාජිකයන් මුණගැසී සාකච්ඡුා කිරීමට අමතක නොකළේය.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් සිදුකළ නවුෂාඞ් ඒ සඳහා විවිධ මූල්‍ය වරප‍්‍රසාද පවා ලබා ගත්තේය.

අකුරණ ප‍්‍රදේශයට පිවිසෙන ප‍්‍රධාන මාර්ග කීපයක පොලිස් මාර්ග බාධක යොදවා තිබීම තම සංවිධානයේ කටයුතුවලට විශාල බාධාවක් බව නවුෂාඞ් මෙන්ම සෙසු සාමාජිකයන්ගේ ද අදහස වී තිබිණි.

කෙසේ හෝ මේ මාර්ග බාධක ඉවත් කර ගත යුතු බව අකුරණදී රැස්වන තව්හිද් ජමාත් සාමාජිකයන් සාකච්ඡුා කළේය. පොලිස් මාර්ග බාධක ඉවත් කිරීම කිසියම් ප‍්‍රබල දේශපාලන හස්තයක් හරහා සිදුකළ යුතු විය.

මාර්ග බාධක ඉවත් කර ගැනීමේ කාර්යභාර දී තිබුණේ ජමාල්ඞීන් නවුෂාඞ්ට ය. නවුෂාඞ්ට පාර්ලිමේන්තුවේ ඇති දේශපාලන සම්බන්ධතාව හරහා ඒ කාර්යය නිසැකව සිදුකර ගත හැකි බව සංවිධානයේ මතය වී තිබිණි.

නවුෂාඞ් තමන් දන්නා හඳුනන මුස්ලිම් දේශපාලනඥයන් කීපදෙනෙකු හරහා අකුරණ නගරයට පිවිසෙන මාර්ගවලට යොදා ඇති පොලිස් මාර්ග බාධක ඉවත් කිරීමට සහාය ඉල්ලා සිටියේය. එහෙත් එය පහසු කාර්යයක් නොවීය. අකුරණ නගරයේ පසුගිය කාලසීමාවේ ඇති වූ ජාතිවාදී ගැටුම් නිසා නගරයට පිවිසෙන මාර්ගවලට දමා ඇති පොලිස් මාර්ග බාධක ඉවත් කිරීමට ආරක්‍ෂක අංශ අවසර ලබා දුන්නේ නැත.

මේ අතර පාස්කු ඉරිදා තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදී සංවිධානය මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසු නවුෂාඞ් කලබලයට පත්ව සිටියේ. රාජගිරියේ නිවසේ සිට පාර්ලිමේන්තුවේ රැකියාවට යෑමට ඔහු බිය වුණේය. වැඩි කාලයක් අලවතුගොඩ නිවසට වී කාලය ගෙවා දැමීමට නවුෂාඞ් උත්සාහ ගත්තේ රට පුරා ගොඩනැෙඟමින් තිබූ මුස්ලිම් විරෝධය මෙන්ම කලබලකාරිත්වය නිසාය.

ප‍්‍රහාරයෙන් පසු නවුෂාඞ් රැකියාවට වාර්තා කර තිබුණේ දින දෙක තුනක් පමණි. මේ පිළිබඳව අවස්ථා කීපයකදීම පාර්ලිමේන්තු පරිපාලන අංශය විසින් ඔහුට අනතුරු ඇඟවීමේ ලිපි යවා තිබුණේය.

කුරුණෑගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නවුෂාඞ් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගොස් ඔහුගේ නිල කාමරය සහ අල්මාරි පරීක්‍ෂා කිරීමට කටයුතු කළහ.

එහිදී නවුෂාඞ්ට අයත් පරිගණකය, ලැප්ටොප් පරිගණකය. සීඞී තැටි තොගයක් පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය රටේ සියලූ ආයතන රජයේ දෙපාර්තමේන්තු පුරා තම ජාලය දිගහැර තිබුණේය. පාර්ලිමේන්තු සංකීර්ණය පවා අනාරක්‍ෂිත තත්ත්වයට පත්ව තිබිණි.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ සියලූ පුද්ගලයන් නීතියේ රැහැනට නතුකර ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා තුරු රටට එල්ල වී තිබෙන අනතුරුදායක තත්ත්වය පහව යන්නේ නැත.

හේමන්ත රන්දුණු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More