ප‍්‍රධාන පුවත්

අටපාස් ආමිකාරයෙකු ලෙස ලංකාවේ විකල්ප උගතුන්, වියතුන්, සාහිත්‍ය කලාකරුවන් වෙත මා මේ ලිපිය ලියනුයේ උතුරේ යුද්ධය ගැන ඔබලා එකල දැරූ පුදුමාකාර විදග්ධ අදහස් මගේ පුංචි මොළයට වැටහෙන ආකාරය ගැන යමක් කීම සඳහාය. යුද්ධය නිමා වී වසර දහයකට පසු යුද්ධය ගැන ඔබලා එදා කී මේ කතා තවමත් වලංගුදැයි දැනගැනීමට ආසා කරමි.

ඔබලාගේ දියුණු දැක්මට අනුව ලංකාවේ හමුදාව යනු ලෝකයේ නරකම පිරිසකි. සෙල්ලමට දෙමළුන් මරන තිරිසනුන් ජාතියකි. කොටි සාමාජිකයන් මෙන් උත්තුංග අරමුණකට කැපවූ වීරයන් නොව පඩියට වැඩ කරන කුලීකාරයන් පිරිසකි. එදා අප ලවා කොටි පැරදවීම ගැන ඔබ අහස උසට සුසුම් හෙලූ හැටි මට මතකය. අද හදිසියේ රට පුරා මරබිය ව්‍යාප්ත වී ඇති මොහොතක හමුදාව ගැන ඔබ එදා කී කතා නැවත අසන්නට කැමැත්තෙමි. එවිට අලුත් පරපුරේ ගංජා බලඇණියට රටේ ආරක්ෂාව බාරදී අපට සැනසිල්ලේ නිදාගැනීමට පුළුවන.

ධනේශ්වර හමුදාවක් ලවා කොටි මර්දනය කිරීම වැරදි බව ඔබලා නිතර කී බව මට මතකය. එහෙව් ඔබ තමන්ගේ ගෙදරට හොරු පැන්නොත් ධනේශ්වර පොලීසියට නොයා සමාජවාදී පොලීසියක් සොයා යන්නේදැයි නොදනිමි. “හොරු කියන්නේ පීඩිත පන්තියේ අපේම මිනිස්සු… හොරකම තමයි පීඩිතයාගේ විමුක්ති අරගලය… හොරකමට හේතුවෙච්ච සමාජ ආර්ථික හේතු නැති කරනවා මිසක් පීඩිතයන්ව ධනේශ්වර මර්දන යන්ත්‍රයට බිලිදෙන එක වැරදියි…” එවැනි අවස්ථාවල ඔබ එසේ කියනු ඇතැයි සිතමි.

ඔබේ ප්‍රබුද්ධ මතය අනුව ප්‍රභාකරන්ලා බිහිවූයේ දෙමළාට ඇති ප්‍රශ්න නිසාය. හේතුව තිබියදී ඵලය නැසීම නිශ්ඵලය. මගේ අටපාස් මොළයට වැටහෙන ආකාරයට කොටි සංවිධානය පමණක් නොව අයිඑස්අයිඑස් සංවිධානය බිහිවීමටද හේතු තිබේ. ඔවුන්ටද නොයෙක් ප්‍රශ්න ඇත. එපමණක් නොව ලෝකයේ සියලු කුඩුකාරයන්, අපරාධකරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මැරයන්, සොරුන් බිහිවීමට අදාළ හේතු තිබේ. ඒ හේතු සියල්ල නිට්ටාවට නැතිවන තුරු ඔවුන්ට කැමති දෙයක් කිරීමට ඉඩදී අප ඔවුන්ව ඔක්කේ තබා සුරතල් කළ යුතුය. සියල්ලට හේතු ඇතත් මට සිතාගත නොහැක්කේ ඔබලා වැනි අපූරු මිනිසුන් බිහිවීමට බලපෑ හේතුව පමණි.

යුද්ධයේ අනිටු ප්‍රතිඵල ගැන ඔබලා නිතර බණ කියූ හැටි මට මතකය. මට තේරෙන හැටියට නම් යුද්ධය ඇතුළු ලෝකයේ කිසිදු ප්‍රශ්නයකට සර්ව සාධාරණ විසඳුම් නැත. හොරු ඇල්ලීමෙන්, කුඩු නැති කිරීමෙන්, පමණක් නොව ලංකාවේ හොඳ අධ්‍යාපනයක් ඇති කිරීමෙන් වුවද අසාධාරණයට ලක්වන පිරිසක් සිටිති. එසේ නම් යුද්ධය වැනි ප්‍රශ්නයක් සර්ව සාධාරණ ලෙස විසඳන්නේ කෙසේද? ඔබේ සිත රිදුනද එහිදී සාපේක්ෂව වඩා සාධාරණ විසඳුම වූයේ ප්‍රභාකරන් පරාජය කිරීමය. කුඩු මුදලාලිලාගේ දරුපවුල් ගැන හිතා ඔවුන්ව හිරේ නොදමා සිටින්න යැයි කියන උගත්තු ලෝකයේ නැත. එහෙත් යුද්ධයේ අනිටු විපාක ගැන කියමින් ප්‍රභාකරන් ආරක්ෂා කළ උගත්තු විශාල පිරිසක් ලංකාවේ සිටිති.

ඔබලා නිතරම රට ජාතිය තදින් පිළිකෙව් කරති. රට ජාතිය වෙනුවෙන් යුධ වැදීම පටු ගෝත්‍රවාදී වැඩක් බව නිතර පවසති. දේශප්‍රේමය තක්කඩිකමක් බව කියති. මට තේරෙන ආකාරයට නම් ජාතිය ගැන කතා කිරීම වැරදි නම් ලාංකිකත්වය ගැන කතා කිරීමද වැරදිය. මහද්වීප ගැනද කතා කිරීමද වැරදිය. මුළු ලෝකය හෝ මානව සංහතිය ගැන කතා කිරීමද වැරදිය. ඒ සෑම තැනකදීම අපි පටු සීමාවක හිරවෙමු. කළ යුත්තේ ඔබලා මෙන් ජාති, ආගම්, දූපත්, මහද්වීප, ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල, ක්ෂීරපථ ආදී සියලු සීමා ඉක්මවා ගිය විශ්වවාදී බුදු පොරවල් වීමය. ඔබලා මුළු විශ්වයටම අයත් විශ්ව පුරවැසියන් බව මම දනිමි. එහෙත් කොළඹ නගරයේ බෝම්බ පුපුරන විට ඔබට විශ්වයට පලාගොස් ආරක්ෂා වීමට ක්‍රමයක් නැති බැවින්, එවැනි අවස්ථාවලදී අටපාස් ගෝත්‍රවාදීන්ගේ සහය අවශ්‍ය වේ යැයි සිතමි.

ලෝකය තනි යායක් යැයි පැවසූ සේකර ගැන ඔබලා නිතර කතා කරති. එහෙත් ඒ සේකරම රත්නදීප ජන්ම භූමි වැනි අම්බ ගෝත්‍රවාදී ගීත ලියූ බව මා අසා ඇත. ලෝකය තනි යායක් යැයි පවසන ඔබලා තමන්ගේ නිවෙස් ආරක්ෂාවට දොරගුලු, වැට මායිම්, තාප්ප ඉදිකරගෙන සිටින්නේ ඇයි දැයි මට නොතේරේ. ලෝකය තනි යායක් යැයි කියන ඔබ තමන්ගේ වත්තට පැන පොල් කැඩීමට වෙන අයට අවසර දෙන්නේද? පුදුමය වන්නේ ගෙදර වැට මායිම වෙනුවෙන් සටන් කරන ඔබ රටේ ආරක්ෂාව විහිළුවට ලක්කිරීමය. ඒ වෙනුවෙන් මහගම සේකරව පවා සමූහ දූෂණයට ලක් කිරීමය.

අවසානයේදී ලංකාවේ විකල්ප උගත්තු යනු පොල් ගහ පෙන්වා ඊට තුත්තිරි ගහ යැයි පවසන මරිමෝල් මැන්ටලයන් පිරිසක් යැයි හැගෙන්නේ මට පමණක් දෝ යන ගැටලුව තදින්ම මට වද දෙන්නට විය. ඒ නිසාම මම උගතුන් යනු කවුදැයි අලුතින්ම සොයා බැලීමට පටන් ගත්තෙමි. ඔබලා වැනි උගතුන් අතිවිශාල පිරිසක් සිරියාව, ලිබියාව වැනි රටවලද සිටි බව එහිදී මට දැනගන්නට ලැබිණි.

ඉසුරු ප්‍රසංග



One thought on “ලංකාවේ රැඩිකල් උගතුන්ට අටපාස් ආමිකාරයෙකුගෙන් ලිපියක්…”

  1. මේ සියලුම ගැටුම් වලට හේතුව ඇත්තටම දැන ගන්න ඕන නම් මේ වීඩියෝව බලන්න -> (https://www.youtube.com/watch?v=Aajy8yBzKCY).

    කවුරුවත් කියනවා මේ වනතුරු අසා නැතත්, සිංහල දෙමළ යනු අවුරුදු දහස් ගණනකට පෙර බුදුරදුන්ගේ මව් පිය පාර්ශව වන ශාක්‍ය කෝලිය ගෝත්‍ර බවට හැගීමක් අපට තිබෙනවා. එදා ලෙසම අදත් ඔවුන් වතුර නිසා සටන් වැදුනා. මහවැලි යෝජනා ව්‍යපෘතියේදී අනුරාධපුරය මගහැර වතුර හැරවීමට දමිල ඉංජිනේරුවන් කල සැලසුමක් හෙළි වීම නිසා අනුරාධපුරය කාන්තාරයක් වීම නූලෙන් වලක්වා ගත් සැටි අප අසා තිබෙනවා. 2006 දී මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට ආරක්ෂක හමුදා සිව් වන ඊළාම් යුද්ධය දියත් කළ බවත් සදහන් වෙනවා.

    ඒත් ඉතින් ඔබ කියන ලෙස පවතින අවදානම් තත්වයන් යටතේ රටට තාවකාලිකව හරි පිළියම් අවශ්‍ය වෙනවා. ඒ අතර තුර අපේ මව්බිමේ ජනතාවට අඩුම ගණනේ වෛරයෙන් තොරව ජීවත් වීමට වාතාවරණය සැකසේවා කියා ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More