දේශීය පුවත්

වයඹ පළාතේ සහ තවත් ප‍්‍රදේශ කීපයක නිවාස, වෙළෙඳසල් ආගමික මධ්‍යස්ථාන, ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර සංවිධානාත්මක කණ්ඩායම් විසින් පෙරේදා (13 වැනිදා) එල්ල කළ ප‍්‍රහාරවලින් එක් පුද්ගලයකු මියගොස් තවත් දසදෙනෙක් පමණ බරපතළ තුවාල ලැබුහ.

සංවිධානාත්මක කණ්ඩායම් විසින් එල්ල කළ ප‍්‍රහාරවලින් නිවාස, වෙළෙඳසල්, ආගමික මධ්‍යස්ථාන, ආයතන ඇතුළු ගොඩනැඟිලි 500 කට අධික ප‍්‍රමාණයක් විනාශයට පත් වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම ප‍්‍රහාර එල්ල කළ සංවිධානාත්මක පුද්ගලයන් 60 කට ආසන්න පිරිසක් ඊයේ රාති‍්‍ර වනවිට අත්අඩංගුවට ගෙන සිටි අතර 33 දෙනකු රිමාන්ඞ් භාරයට පත් කර තිබේ. ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයන් විශාල පිරිසක් හඳුනාගෙන ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

සංවිධානාත්මක කල්ලි එල්ල කළ ප‍්‍රහාරවලින් මරුමුවට පත්ව ඇත්තේ නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප‍්‍රදේශයේ පදිංචි එම්. එම්. එස්. අමීර් නමැති 43 හැවිරිදි දෙදරු පියෙකි.

කොස්වත්ත පොලිසියට පෙරේදා (13 වැනිදා* උදෑසන ලැබුණ තොරතුරක් මත වහා කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීන් නාත්තන්ඩිය තුම්මෝදර මුස්ලිම් දේවස්ථානය පිටුපසින් ගලා යන හැමිල්ටන් ඇළේ සඟවා තිබූ කඩු පිහි හා ජංගම දුරකථන තොගයක් සොයාගෙන තිබේ.

කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ජී. අයි. කේ. ඇපලකොටුව මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක හේරත් මහතා විසින් දැඩි පරිශ‍්‍රමයකින් පසු සොයා ගත් එකී භාණ්ඩ අතර කඩු 04 ක්, පිහි 19 ක් හා ජංගම දුරකථන 08 ක් තිබුණු බව කොස්වත්ත පොලිසිය කියයි.

මෙම භාණ්ඩ සොයාගැනීමෙන් පසු කෝපයට පත් නාත්තන්ඩිය තුම්මෝදර හා ඒ අවට ප‍්‍රදේශවල පදිංචි සිංහල ජනතාව මෙදින සවස නාත්තන්ඩිය නගරයේ ඇති මුස්ලිම් වෙළෙඳසල් කීපයකටම ගල්මුල්වලින් පහරදී අනතුරුව තුම්මෝදර මුස්ලිම් දේවස්ථානයට ද අලාභ හානි සිදු කර ඇතැයි වාර්තා වේ. පොලිසිය හා යුද හමුදාව එක්ව මෙම ප‍්‍රදේශවල ආරක්ෂාව තරකර ඇතත් පොලිස් ඇඳිරිනීතිය ද සැලකිල්ලට නොගෙන කෝපකාරීව හැසිරුණු පිරිස් ගල්මුල්වලින් පහරදීමෙන් යුද හමුදා භටයන් 05 දෙනකු තුවාල ලැබ මාරවිල රෝහලේ ප‍්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

මෙම ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ කොට්ටරාමුල්ල හා තුම්මෝදර ප‍්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනතාවගෙන් පිරිසක් මොරකැලේ සිංහල ගම්මානයට කඩා වැදී නිවෙස් කීපයක් කඩා බිඳ දමා ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මුස්ලිම් ජාතිකයන් මොරකැලේ සිංහල ගම්මානයට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් යුද හමුදා විශේෂ කාර්ය බළකායේ හිටපු නිලධාරියකු බරපතළ තුවාල ලැබීය.

මෙම හිටපු හමුදා සෙබළා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. සිංහල ජාතිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානාත්මක පිරිසක් කොට්ටරාමුල්ල මුස්ලිම් ගම්මානයට කඩා වැදී එහි සිටි මුස්ලිම් ජාතිකයකු කඩු පොලූවලින් පහරදී මරා දමා තවත් දේපළ රැුසකට හානි කර ඇත්තේ ඉන්පසුවය.

පසුව මෙම ප‍්‍රදේශයට පැමිණි පොලිසිය විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඇති වී තිබූ තත්ත්වය පාලනය කර කලහකාරීන් පලවා හැරියහ.

සමාජජාල වෙබ් අඩවියක පළ කළ සටහනක් මුල්කරගෙන හලාවත නගරයේ ඇති වූ නොසන්සුන්තාව ඊයේ වනවිට මුළු වයඹ පළාත පුරාම පැතිර ගොස් තිබිණි.

වයඹ පළාතේ හලාවත, වෙන්නප්පුව, මාරවිල, කොස්වත්ත, කුලියාපිටිය, හෙට්ටිපොල, වාරියපොල, මාවතගම, බිංගිරිය, නිකවැරටිය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ප‍්‍රධාන නගරවලට කලහකාරී සංවිධානාත්මක පිරිස් කඩා වැදී නිවාස, ආගමික මධ්‍යස්ථාන හා වෙළෙඳසල්වලට පහර දෙමින් විනාශ කළහ.

වාරියපොල නගරයේ නිවාස 23 ක් සහ තෙල් මෝලක් කලහකාරීන් විසින් පහරදී ගිනි තබා විනාශ කර ඇත. හෙට්ටිපොල නගරයේ නිවාස 70 ක් සහ වෙළෙඳසල් 40 ක් ද, බිංගිරියේ ආගමික මධ්‍යස්ථාන 3 ක් සහ වෙළෙඳසල් කීපයක් ද විනාශ කර තිබේ.

කුලියාපිටිය නගරයේ වෙළෙඳසල් 8 ක් සහ නිවාස කීපයකට පහර දුන් කලහකාරී පිරිස් ඒවා විනාශ කර ඇත.

මිනුවන්ගොඩ නගරයට කඩා වැදුණු 2000 කට අධික පිරිසක් එහි තිබූ වෙළෙඳසල් 60 කට ආසන්න ප‍්‍රමාණයකට පහරදී ගිනි තබා විනාශ කර තිබේ.

මෙම ප‍්‍රහාරය පාලනය කිරීමට පොලිසියට නොහැකි වීම නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ හා යුද හමුදාවේ නිලධාරීන් මිනුවන්ගොඩ ප‍්‍රහාරයට කැඳවීමට බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කළේය. මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත්වරයා ඊයේ නියෝග කළේය.

පෙරේදා රාති‍්‍ර 09 සිට වයඹ පළාතට පැනවූ ඇඳිරිනීතිය ඊයේ දවස පුරා ද කි‍්‍රයාත්මක කෙරිණි. මේ අතර වයඹ පළාතේ සහ අනෙකුත් ප‍්‍රදේශවල ඇතිවී තිබෙන කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම් කීපයක් ද එම ප‍්‍රදේශවලට පිටත් කර හැරීමට වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා කටයුතු කළේය.

යතුරුපැදිවලින් පැමිණෙන සීයකට ආසන්න පිරිසකගෙන් සැදුම්ලත් සංවිධානාත්මක කණ්ඩායමක් වයඹ පළාතේ නගර ගණනාවක ප‍්‍රහාර සඳහා නායකත්වය දී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම සංවිධානාත්මක පිරිස් එම ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාව පොළඹවාගෙන ගොස් මෙම ප‍්‍රහාර එල්ල කිරීම සඳහා යොමු කර ඇති බව ද අනාවරණය වී තිබේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායම් මෙහෙයවූයේ කවුරුන් විසින් ද යන්න සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More