දේශීය පුවත්

2015 ජනවාරි 08 වැනිදා මුළුමහත් ජාතිය වළට වැටුණේ එදා ‘ජාතියට මඟ කීමට’ පැමිණි බම්මන්නන්ට රැවටුණු නිසා බවත් අද ආණ්ඩුවේ පිල්ලියක් වුණු රතු අලි පැටවුන් ‘ජාතියට මඟ කියන්නට’ එවා ඇත්තේ රෝයල් කොලීජියේ ‘ස්ටැග් සාදයක දී’ කාන්තාවකගේ ඇඳිවත ඉවත් කරවමින්, අසභ්‍ය වචන කියමින් ඇය නැටවූ තැනැත්තා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජාතියට සිහිපත් කර සිටියේය.

මහරගම නගර සභාවට ‘මෝටර් බයිසිකලය’ ලකුණින් තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක කණ්ඩායමට සහාය පළ කරමින් මහරගම නගර මධ්‍යයේ පැවැති දැවැන්ත ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ සිහිපත් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කර සිටියේය.

“මහරගමදී ‘පොහොට්ටුව’ නැති පිට්ටනියක සෙල්ලම් කරන්න බලා ගෙන හිටපු ‘අයියලා ටික’ ‘පොහොට්ටුව’ මහරගමට ‘මෝටර් සයිකලයෙන්’ එනකොට දැන් වෙව්ලන්න පටන් අරන්. මහරගම කෘතගුණ දත් ජනතාව මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දියත් වන ජාතික සටනට එක් වන්නේ පෙබරවාරි 10 වැනිදා මෝටර් සයිකලයට කතිරය ගහලායි.

පෙබරවාරි 10 වැනිදා තිබෙන ඡන්දය පුංචි ඡන්දය, පළාත් පාලන ඡන්දය ලෙස සලකන්න එපා! පෙබරවාරි 10 වැනිදා තිබෙන ඡන්දය ජාතියේ ඉරණම තීන්දු කරන ඡන්දය ලෙස සලකන්න. එජාප, ශ්‍රී ලනිප, ජවිපෙ තක්කඩි නායකයෝ මේ ඡන්දය ‘ගමට හොඳ නායකයා තෝරන ඡන්දය’ ලෙස පටු කරවන්න හදනවා. ඒත් ඔබ සියලු දෙනා තරයේ මතක තබා ගත යුතුයි, මේ ඡන්දය ජාතියේ ඉරණම තීන්දු කරන ඡන්දය බව.

රනිල් වික්‍රමසිංහ මහත්තයා කෙළ හලමින් බලා ඉන්නවා, මේ ඡන්දයෙන් තමන්ට යම් ජයග්‍රහණයක් ලැබුණොත් සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටින ‘උතුරු – නැඟෙනහිරට ස්වයං පාලනයක්’ ලබා දීමට ප්‍රතිපාදන ඇති ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට. ඒ නිසා ‘එදා නන්දිකඩාල් කලපුවෙන් නතර කරපු බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට යළි පණ දෙනවාද, නැද්ද?’ කියන එක තීරණය වෙන්නෙ පෙබරවාරි 10 වැනිදා ඔබ ගන්නා තීරණයත් සමගයි.

‘බොරු කියන්න බය නැති අගමැති’

මහින්ද රාජපක්‍ෂ පාලනය නිකම් බොරුවට වන වනා හිටියේ නැහැ. යුද්ධ කරමින්ම රටේ ආර්ථික වර්ධන වේගය 6.5%කට වැඩි අගයක පවත්වා ගත්තා. දළ දේශීය නිෂ්පාදනයෙන් 92%ක ප්‍රතිශතයක තිබුණු ණය බර තම පාලන කාලය තුළ දළ දේශීය නිෂ්පාදනයෙන් 72%ක ප්‍රතිශතයක් වන තෙක් අඩු කළා. ඒ විදියට ණය ගෙවීමේ හැකියාව වැඩි කළා. අද මොකද වෙලා තියෙන්නේ? කළු සල්ලි, සුදු සල්ලි බවට පත් කරන ජාවාරම හෙවත් මූල්‍ය විශුද්ධිකරණයෙන් කප් ගහපු ලෝකයේ මූල්‍ය විනය පිරිහුනුම රටවල් 10 අතර ශ්‍රී ලංකාව ඉන්නවා. අද මේ තත්වය සමග මේ රටට ආයෝජකයන් එන්නේ නැහැ. වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් මේ රටේ ඇති කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා වේදිකාවෙන්, වේදිකාවට කියා ගෙන ගියා. මේ බොරුව නවත්වන්න, වොක්ස්වැගන් සමාගමේ හිමිකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා ‘අපි ශ්‍රී ලංකාවේ කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ’ කියලා. ‘බය නැති අගමැති’ කියන එක හරියටම හරි. මෙයා ලැජ්ජා බය නැති අගමැති, බොරු කියන්න බය නැති අගමැති.

පෙබරවාරි 10 වැනිදා ‘ජාතික වාඩුව ගැනීමේ දිනය’

තරුණ තරුණියන්ට රැකියා දශලක්‍ෂයක් දෙනවා කියලා, අන්තිමේදී ‘ෆ්‍රී වයි – ෆයි’ වත් නොදී කොළඹ කොන්ඩම් මැෂින් හයි කරලා තරුණ පරපුර අවමානයට ලක් කරපු එකේ වාඩුව ගැනීමට මේ ඡන්දය යොදා ගත යුතුයි. පෙබරවාරි 10 වැනිදා ‘ජාතික වාඩුව ගැනීමේ දිනය’ ලෙස අද මේ ආණ්ඩුවට රැවටුණු ජනතාව විසින්ම නම් කරලා තිබෙනවා. ගොවියා පෙබරවාරි 10 වැනිදා ඡන්දපොළට යන්නේ පොහොර සහනාධාරය කපපු එකේ වාඩුව ගන්න. මහරගම ඔබ සැම ඡන්දපොළට යන්නේ උතුර – නැඟෙනහිරට, ආපසු හැරවිය නොහැකි ලෙස ස්වයංපාලනයක් ලබා දෙන ව්‍යවස්ථා සංශෝධනය නතර කරවන්න. වෘත්තිකයා ඡන්දපොළට යන්නේ මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට විවෘත කරලා දෙන එට්කා ගිවිසුම ගහන එක නතර කරවන්න. මේ රටේ ගුරු පරපුර ඡන්දපොළට යන්නේ තමන් දණ ගස්වන එක නතර කරවන්න. රණවිරුවා ඡන්දපොළට යන්නේ තමන් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත්තු මව් පොළොව දෙමළ අන්තවාදයට සහ අනෙකුත් අන්තවාදයන්ට බිලි දීම නතර කරවන්න. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, දරුවන් ඡන්දපොළට යන්නේ තම රණවිරු ඥාතියා සිරගත කරන එක, යුද අපරාධ චෝදනා එල්ල කරලා දංගෙඩියට දක්කන එක නතර කරවන්න. අද කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කරපු කොටි ත්‍රස්තවාදියාට එරෙහිව නඩු පැවරීමට සාක්‍ෂි නැහැ කියලා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනවා. ඒ අනුව ඒ කොටි ත්‍රස්තවාදියා නිදහස් වෙනවා. ඒ අතරේ ඔබේත් මගේත් මරණ බිය තුරන් කළ යුද හමුදා, නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් බොරු චෝදනා ඉදිරිපත් කර සිරගත කරනවා, නඩු පවරනවා. ඒ නිසා අද මේ රටේ කෘතගුණ දත් ජනතාව පෙබරවාරි 10 වැනිදා ඡන්දපොළට යන්නේ ‘පොහොට්ටුව’ දිනවන්න. මහරගම දී විතරක් ‘මෝටර් බයිසිකලය’ දිනවන්න.

‘ජාතියට මඟ පෙන්වන ජිප්සීස් නායක සුනිල් පෙරේරා’

දැන් බලන්න, රතු අලි පැටව් කියන විදියට අද ජාතියට මඟ පෙන්වන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා. කවුද මේ සුනිල් පෙරේරා කියන්නේ? මොහු තමයි රෝයල් කොලීජියේ ‘ස්ටැග් නයිට්’ නැමැති සාදයේදී තරුණ කාන්තාවක් වේදිකාවට කැඳවා ඇයගේ ඇඳිවත ඉවත් කරවමින් අසභ්‍ය රංගනයක නිරත කර වූ පුද්ගලයා. දැන් එයා එනවා රතු තොප්පියකුත් දමා ගෙන, රැවුලකුත් වවා ගෙන, ‘ජාතියට මඟ කියන්න’. මෙන්න ලංකාවට ගිය කල. 2015 ජනවාරි 08 වැනිදා ජාතිය මේ වළට වැටුණේ ඔය විදියේ බම්මන්නන්ගෙන් මඟ අහගන්න ගිය නිසයි. ඒ නිසා ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, තේරුම් ගන්න, රතු, නිල්, කොළ කවර පාටින් ආවත් මේ එන්නේ ‘යහපාලන ආණ්ඩුවේ’ පිල්ලි බව.

‘ජවිපෙ රණවිරු දඩයමට අත එසවූවා’

‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ ගෙන ආවේ අපේ රටේ රණවිරුවන්ට එරෙහිව ‘යුද අපරාධ චෝදනා’ හදන්න. ඒ කාර්යාලය අද පිහිටුවලා ඉවරයි. එය දැන් රණවිරුවන්ට එරෙහිව චෝදනා හදන ෆැක්ටරියක් බවට පත්ව තිබෙනවා. මේ පනත සම්මත කර ගන්න ආණ්ඩුවේ ශ්‍රී ලනිප පිල, යූඇන්පී පිල හා ටීඑන්ඒ එක විතරක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දය දුන්නා. අපේ ආරක්‍ෂක හමුදාවන් බිල්ලට දෙන, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කර ගත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය අනුව සැකසෙන සියලු අණ පනත්වලට ද ජවිපෙ අත එසවූවා. එහෙම කරපු මේ ආණ්ඩුවේ ‘ස්පෙයාවීල් එක’ දැන් ‘ගම අපට දෙන්න’ කියලා ඉල්ලනවා. ජවිපෙට ‘නයිටීඑන්’ එකෙන් දෙන ඉඩකඩ බලන්නකෝ. දැන් ඒක රතු මල්ලිලාගේ වගේ. ඒ නිසා තේරුම් ගන්න, ‘අද ජවිපෙ කියන්නේ මේ ආණ්ඩුවේ පිල්ලියක් මිස වෙන කිසිවක් නොවෙයි’ කියා.

‘ජාඩියට – මූඩිය’

‘මේ මැතිවරණයේදී ඡන්දය දිය යුත්තේ කාටද?’ කියන ප්‍රශ්නය පාලමට, බෝක්කුවට, වීදි ලාම්පුවට පටු කරන්න එපා! ජාතියේ ඉණමත් සමග මේ ප්‍රශ්නය කල්පනා කරලා බලන්න. මේ දවස්වල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පෙන්වන්නේ ‘දැන් අපි තරහයි’ චිත්‍රපටිය. ඒ චිත්‍රපටිය පෙබරවාරි 10 වැනිදා ගලවනවා. එයා පෙබරවාරි 11 වැනිදා අලුතින් පෙන්වන්න පටන් ගන්න චිත්‍රපටිය තමයි ‘ජාඩියට – මූඩිය’. ‘සිරිසේන – වික්‍රමසිංහ ජෝඩුව’ අර කිරිඇල්ල මහත්තයා කියනවා වගේ පෙබරවාරි 11 වැනිදා ඉඳන් ‘පරණ පෙම්වතුන්’ දෙන්නෙක් වගේ ආයෙත් යාළු වේවි.

හැබැයි මතක තියාගන්න මහත්වරුනි, ‘දැන් ඔය ව්‍යාජ කඩු සටන්වලට රැවටෙන මිනිස්සු මේ රටේ නැහැ’ කියලා. මේ පරගැති හවුලෙන් අපේ මව් පොළොව නිදහස් කර ගැනීමේ ජාතික සටනේ එක් තීරණාත්මක පියවරක් තමයි, පෙබරවාරි 10 වැනිදා පවත්වන මේ පුංචි ඡන්දය ජය ගැනීම. රට පුරාම, පොහොට්ටුවෙනුත් මහරගම නගර සභා බල ප්‍රදේශය තුළ ‘මෝටර් බයිසිකලයෙනුත්’ අපි මේ පුංචි ඡන්දයට ඉදිරිපත්ව සිටින්නේ ඒ ජාතික සටන වෙනුවෙනුයි. මහින්ද රාජපක්‍ෂ ලකුණ පෙරටු කර ගත් ඒ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරන්න පෙරට එන්න, කියා අපි මහරගම දෑහිතකාමී සියලු ජනකොටස් වෙතින් ඉලලනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More