පුරවැසි කොලම

මේ දිනවල ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් නැතැයි රට වැසි බොහෝ දෙනා පවසති. සමහර මාධ්‍ය ද පවසයි. සමහර කාටුන් ශිල්පීන් ඍජුව ද, සමහර කාටුන් ශිල්පීන් ව්‍යංගයෙන් ද, ඒ බව පවසයි. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, කිසිදු කට පැටලීමකින් තොරව ප්‍රසිද්ධියේ ද ඉඳුරාම ද ඒ බව පවසයි.

භාරකරුවන් ගෙන නොගිය මළසිරුරු කොටස් පනස් හතරක් තම මෘතශරීරාගාරයේ තවමත් ඇතැයි කොළඹ මහ රෝහල් ප්‍රකාශකයෙක් පවසා සිටියේ ය. පාස්කු ඉරිදා සිද්ධියෙන් මිය ගිය අයගේ ය. සිද්ධියට දැන් දින දහහතකි.

මල්වතු, අස්ගිරි, සියම්, රාමඤ්ඤ සිව් නිකා මහ නාහිමි ඉල්ලීම් රජය තුට්ටුවකට මායිම් නො කරයි.(මෑතම… පාසල් යළි ඇරඹීම ගැන…) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තේ රජය බුදුසසුන රැක පෝෂ්‍ය කරන බවය!

අද මෙ රට කැපී පෙනෙන නායක චරිතය බවට පත්ව ඇති, මැල්කම් කාදිනල් රංජිත් හිමි ගේ ප්‍රකාශ ප්‍රබලය. එහෙත්, එතුමා ගේ “පාරට බහිනවා” බඳු ප්‍රකාශ දූරදර්ශී නැතැයි කිතුනු සමහරුම පවසති.
“මා ධුරයේ සිටින තුරු රටේ මුස්ලිම් කිසිවෙකුට අනතුරක් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ” (මීගොමුවේ දී )

එතුමා ධුරයට පත් වෙන්නට පෙර ද, අපට මතක ඇති කාලයේ කවදාවත් ද, කිතුනු කිසිවෙක් මෙ රට ඉස්ලාමාගමිකයන්ට අනතුරක් තබා, හිරිහැරයක්වත් කර නැත.

කාදිනල් හිමි අගයන සේම, අවමන් කෙරෙන වැකි, මේ දිනවල මුහුණු පොතේ එමටය.
දැන් මෙ රට පාලනය ආගමික නායකයන් අතට ගත යුතු බවට කෙරෙන ප්‍රකාශ ද තැනින් තැන ඇසේ.
2019 අප්‍රේල් 24, රාත්‍රි, දෙරණ අරුණ ‘අළුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට සහභාගි වූයේ, බෞද්ධ භික්ෂූන් දෙනමක්, කතෝලික පූජක දෙනමක් හා ඉස්ලාම් මව්ලවි වරයෙකි. (මහාචාර්ය මැදගොඩ අභය තිස්ස හා මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිවරු. සිරිල් ගාමිණී ප්‍රනාන්දු හා ප්‍රසාද් හර්ෂණ පියවරු. ෂෙයික් අල් මොහොමඩ් මව්ලවි.)

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි එහි සිටි කතෝලික පිය දෙනම අමතා යෝජනාවක් කළේය.
“පියවරුනි, මේ රට විනාශමුඛයෙන් ගලවා ගන්න ඔහේල අපි එකතු වෙමු ”
“පක්ෂ දේශපාලකයන්ට රට ට ප්‍රෝඩා කරන්නට ඉඩ දුන්නා ඇති…ආගමික දේශපාලන නායකත්වයක් ගොඩනගමු”

පියවරු දෙනම මුව හැරියේ නැත. හිස සෙලවූයේවත් නැත.
ගතවූ හැත්තෑවසර තුළ දේශපාලකයන් මෙ රට ට කළ වින, සිරිල් ගාමිණී පියනම තදින් හෙළිකර සිටියේ ය. ඒ සමග දේශපාලකයන් අනවශ්‍ය තරම් ඉහළට උස්සා තබන මාධ්‍ය ද විවේචනයට ලක් කළේය.
දූෂිත, මැර, හොර, අපචාරී, දේශපාලකයනට මාධ්‍ය දෙන ඉඩ නිසා, ඔවුන්, සමාජය ඉදිරියේ වීරයන්ව සිටින අන්දම, සිරිල් ගාමිණී පියනම තවදුරටත් හෙළිකර සිටියේය.
ඔවුනට ” පැත්තකට වෙයව්” යයි බලකරමු යයි ද පියනම යෝජනා කර සිටියේ ය.
” උන් පලවා හැර රටේ පාලනය කෙටි කලකට හරි ආගමික නායකයන් අතට ගමු” යන මැදගොඩ හිමි යෝජනාවට මව්ලවි වරයාවත් හූ මිටි තැබුවේ නැත.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සිය අපේක්ෂාවක් හෙළි කළේය. ශ්‍රී ලංකාවේ පාලනය සාමාන්‍ය ජනතාව අතට ලබා දෙන්නට තමන් කරගෙන යන වැඩපිළිවෙළක් ගැනය.
” මහජන රාජ්‍ය සභා ” නමිනි.

” අපි ඒ කටයුත්ත සාර්ථක කරගැනීමට, දෙරණ අළුත් පාර්ලිමේන්තු සකච්ඡා සභාව, සාම්ප්‍රදායික පාර්ලිමේන්තුවෙන් පිට සිවිල් ජනයා ගේ පාර්ලිමේන්තුවක් කරමු” යි ඉඳුරාගාරේ හිමි යෝජනා කළේය.
සිරිල් ගාමිණී පියනම, වෙනත් අදහසක් ඉදිරිපත් කළේය.
” රට කොල්ලකන මිනිසුන් බලයට පත් කරල දැන් අපිම අඬනව”
” උන්ට පැත්තකට වෙන්න කියල බලකරන්න, අපි එකතුවෙලා වැඩපිළිවෙළක් හදමු පියවරුනි” මැදගොඩ හිමි යළි යෝජනා කළේය.

භික්ෂූ දෙ නම ම පැවසුවේ… රට ගලවා ගන්න අපි එකතු වෙමු යන්නය. රට ගලවා ගන්නට ආගමික දේශපාලන නායකත්වයක්… ගොඩ නගමු යන්නය.

දිගු කලක සිට මෙ රට ආණ්ඩු තනන්නට පුරෝගාමී වන්නේ බෞද්ධ ජනතාවය. බෞද්ධ ජනතාව මෙ රට ආණ්ඩු පිහිටුවන බලය තමන් අතට ගෙන තිබේ. ප්‍රධාන පක්ෂ දෙකේ අතකොලු වෙමිනි. ඔවුනට ඒ සඳහා මෙතෙක් පසුබිම් බලය සැපයූවේ බෞද්ධ භික්ෂූන්ය.

1960 පමණ පසු, මීටියාගොඩ ගුණරතන හා දැවමොට්ටාවේ අමරවංශ හිමිවරු, එ,ජා,ප යට පණ පෙව්වේය. ඊටපෙර බද්දේගම විමලවංශ හා කෙහෙල්ඇල්ලේ ආනන්දසාගර හිමිවරු,
ශ්‍රී ල. නි.පයට පණ පිම්බේය.

වමේ පක්ෂ පිටුපස, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ උගත් යතිවරු පෙනී සිටියහ.
අදත් ඒ ඒ පක්ෂ පිටුපස යතිවරු සිටිති. තිනියාවල පාලිත හිමි මම, හොඳ යූ.ඇන්.පී කරයෙකැයි, ඊයේ පෙරෙයි දා රටටම පෙනෙන්නට පෙනී සිට, රටට ම ඇසෙන්නට, කියා සිටියේය.
බද්දේගම සමිත හිමි අදත් එඩිතරව ල.ස.ස.ප දේශපාලනයේ යෙදී සිටී.

මෙ රට කතෝලික පූජකවරු කිසි දා කිසිදු පක්ෂයක් බලයට පත් කරවන්නට ප්‍රසිද්ධියේ පෙනී සිටියේවත්, ක්‍රියාකළේවත් නැත. එහෙත් මෙ රට කිතුනුවන්, නවසිය හතළිස් ගණන්වල සිටම එ.ජා.ප යට වැඩි පක්ෂපාතීත්වයක් දැක්වූ බව ප්‍රසිද්ධ රහසකි

මෙරට සේවය කළ විදේශික කතෝලික පූජකවරු හා, මෙ රට රෝහල්වල සේවය කළ විදේශීය කන්‍යා සොහොයුරියන්, SWRD. බණ්ඩාරනායක රජය විසින් සිය රටවලට ආපසු පිටත්කර හරිනු ලැබීම නිසා, මුල් නාගරික ශ්‍රී.ල.නි.ප කිතුනුවෝ විශාල පිරිසක් ඉන් ඉවත් වූහ. සිරිමාවෝ බණ්ඩාරනායක රාජ්‍ය සමයේ, රටේ කතෝලික ආධාර පාසල් රජයට පවරා ගැනීම නිසා ග්‍රාමීය කිතුනුවන් විශාල පිරිසක් ශ්‍රී.ල.නි.ප ය අතහැර දැමූහ.

ඔස්කා අබයරත්න පියනම 80 – 90 දශකයේ, මෙ රට කතෝලික සභාව තුළ ‘කිතු දන පුබුදුව’ නමින්,වෙනම ගිහි ජන සංගයක් බිහිකර, රටේ දේශපාලනයට ඉන් කීපදෙනෙකු යොමුකරන උත්සාහයක් දැරීය.

මේ වනවිට පියනම මෙන්ම එහි සාමාජිකයන් ද වියපත්ය. එතුමන් ගේ උත්සාහය අසාර්ථක විය. ඊට මහ කතෝලික සභාවේ ආශිර්වාදය හිමිවූයේ ද නැත මැල්කම් කාදිනල් රංජිත් හිමි මේ දිනවල, ඉත්තෑපානේ හා ඕමල්පේ හිමිවරු සමග යෙදෙන දේශපාලනයේ රුව ගුණ හඳුනාගන්නට වෙහෙසෙන අපට, දෙරණ අරුණ ‘අළුත් පාර්ලිමේන්තුව’ හරහා, මහාචාර්ය මැදගොඩ අභය තිස්ස හිමි කළ යෝජනාව, රටේ සැලකිල්ලට භාජනය කළ යුතු යැයි සිතුනි.

මේ රටේ භික්ෂූන් හා පූජකවරු බොහොමයක් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උගතුන්ය. ඔවුන් ගේ දැනුම මේ රට විනාශයෙන් ගලවා ගන්නට යොදා ගත යුතුව තිබේ. ඒ යොදාගැනීමේ ආකාරය රටේත්, ඔවුනොවුන් අතරේත්, කෙරෙන ගැඹුරු සාකච්ජාවකින් අනතුරුව තීන්දු කර ගත යුතුය.

ජෝන් කොතලාවල යුගයේ පැවසුනේ, භික්ෂූන් පන්සල් බලාගෙන සිටිය යුතුය යන්නය. එහෙත් දැන් විශ්ව විද්‍යාල දෙකක, රට පිළිගත්, විශ්වාස කළහැකි උගත් මහාචාර්ය භික්ෂූන් දෙනමක විසින් ම ‘අපි රට විපතින් මුදාගන්නට ඉදිරිපත් වෙමුයි’ කතෝලික හා අන් පූජ්‍ය පක්ෂ වලට ප්‍රසිද්ධියේ යෝජනා කර තිබේ. වයස පනහට අඩු පූජක පිරිසක් ඒ යෝජනාව ගැන මහත් උනන්දුවකින් කරුණු හදාරමින් සිටින බවක් ද අපට දැනගන්නට ලැබුණි.

රට විපතට පත්ව සිටිය දී, පූජකවරු නොදුටු නෙතින් හා නෑසූ කණින් සිටිය යුතු බවට පැනවුනු නීති කතෝලික සභාවේ නැත. 2019 මැයි 07 රුපවාහිනී පුවත් මගින් රට ඇමතූ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාවේ, අගරදගුරු ඩිල්රාජ් කනගසබේ හිමි රට ගැන තද ප්‍රකාශයක් කළේය.

“රට විනාශ කරන දේශපාලකයන් හා දේශපාලනය ගැන අපට තවදුරටත් නිහඬව ඉන්න බෑ”
මැදගොඩ අභයතිස්ස හිමි ඍජුව යෝජනා කරන්නේ, රට විපතින් මුදා ගන්නට බෞද්ධ භික්ෂූන් හා කිතුනු පූජකවරුන් අත්වැල් බැඳ ගත යුතු බව ය. ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ඒ සඳහා තමන් සැකසූ වැඩපිළිවෙළක් ඇති බව ද සනාථ කළේය.

මේ තත්ත්ව හා යෝජනා, බෞද්ධ හා ක්‍රිස්තු ධර්ම අනුව ජීවත්වන මෙ රට පුරවැසියන් ගේ කඩිනම් අවධානයට යොමු විය යුතුය.

මැල්කම් කාදිනල් රංජිත් හිමි, මීගොමුවේ, පෝරුතොට ගම්මානයට ගිය දා පැවසුවේ, මෙ රට හැම දේශපාලකයෙක් ම බොරුකාරයන් බවය.

උගත් භික්ෂු පූජක දෙ පිරිස එක්ව ගොඩනගා ගන්නා සම්බන්ධයකින් රට ගලවා ගත යුතුව තිබේ. උගත් පුරවැසියන් මෙන් ම උගත් භික්ෂු හා පූජක ජනයා ද උගතුන් වූයේ රටේ ජාතික ආදායමේ සරණයෙනි. ඒ වෙනුවට දැන් ඒ දෙ පිරිස එක්ව විපතට පත් රටට සරණය විය යුතුව තිබේ.

සිරිල් එඬේරමුල්ල



One thought on “පාර්ලිමේන්තුව වසා දමා පන්සලටයි, පල්ලියටයි රට භාර දෙමුද?”

  1. “..කාදිනල් හිමි අගයන සේම, අවමන් කෙරෙන වැකි, මේ දිනවල මුහුණු පොතේ එමටය.”
    අවමන් කරන්නෙ ආන්ඩුවෙ බටහිර කොන්ත්‍රත් කාරයන්ට පක්කලි වැඩ කරන සමාජ ජාල වල කුලී හේවායො. මේ ගොල්ලො 2015 ඉදන්ම ක්‍රියාත්මකය්.

    රටක් කරන්න ඕන රටට හිතැති, ලෝක දේශපාලනය ගැන දැනුවත්, නූවනැති නායකයෙක්.
    හැබැය් සංගයා වහන්සේට දේශපාලනය ගැන උපදෙස් දුන්නට දේශපාලනය සූදුසු නෑ. කැපත් නෑ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More