දේශීය පුවත්

මෙම මස 13 වන දින සිදු විය හැකි ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි අංශ විසින් නිවේදනයක් නිකුත් කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

අද (10) පාර්ලිමේන්තුවෙදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

ගරු කථානායකතුමනි,

මේ රටේ ඉතිහාසයේ ම්ලේච්ඡතම, කුරිරුම, ඒවාගේම අඳුරු දිනයක් පසුකර අදට දින 19 ක් ගතව තිබෙනවා. අපේ සහෝදර කිතුණු භක්තිකයන්ට ඉතාම සංවේදී දිනයක් වූ පාස්කු ඉරිදාවේ මුළු ලෝකයම කම්පා කරමින් සිදු කළ ඒ අන්තවාදී, ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය, සියලු සීලාචාර ලෝක ප්‍රජාවම පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා. කථානායකතුමනි, අපිට, මේ ගරු සභාවට පැවරී ඇති අභියෝගය වන්නේ අවාසනාවන්ත සිදුවීම හරහා බිඳ වැටුණු ආරක්‍ෂාව, ආර්ථිකය හා සංහිදියාව ගොඩනැගීමත් ඒ ගොඩනැගීම වෙනුවෙන් මුළු රටම වසර ගණනාවකට පස්සේ වෙලාගෙන තිබෙන මර බිය නැති කිරීමටයි.

කථානායකතුමනි, මුළු රටම මර බියෙන් වික්ෂිප්ත වෙලා තිබෙන්නේ. ඒ නිසා අපේ මූලික වගකීම තමයි මර බිය නැති කිරීමත්, විශ්වාසය ගොඩනැගීමත් ඒ හරහා මේ රටේ ආර්ථිකයත්, ආරක්ෂාවත් නැවත තහවුරු කිරීම.

මෙවර ඇති වූ තත්ත්වය මීට පෙර තිබූ ත්‍රස්තවාදයට වඩා වෙනස්. මෙම ආපදාවෙන් මිදීමට සාමාන්‍ය ජනතාවගේ දායකත්වය අත්‍යවශ්‍යයයි. අප සියළු දෙනා එකාවන්ව එකමුතුව මෙම තත්ත්වයෙන් මිදී රට ගොඩනැගීමට දායක විය යුතුයි.

මල්වතු අස්ගිරි මහා නා හිමියන් ඇතුළු වගකිව යුතු මහා සංඝරත්නය ඉල්ලීමක් කළා. ආරක්ෂාව සහතික වන තුරු පාසල් විවෘත කරන්න එපා කියලා. ඒවගේම මැල්කම් රංජිත් අගරදගුරු කාදිනල්තුමා ප්‍රමුඛ බිසොප්තුමන්ලා සියලු කතෝලික දරුවන්ට අධ්‍යාපනය කටයුතු සදහා පාසල් පටන් ගැනීම කල්දැමිය යුතු බව ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම මම අහගෙන හිටියා තවදුරටත් උන්වහන්සේ පසුව පවසා තිබුණා කතෝලික පාසල් මේ මස 14 දින විවෘත කිරීමට අපේක්‍ෂා කරන බව. ආගමික නායකයින් මෙහෙම ඉල්ලීම් කරන්නේ ඇයි? උන්වහන්සේලාට මේ තත්ත්වය පිළිබඳව, මේ බැරෑරුම්කම පිළිබඳව තමුන්නාන්සේලාට වඩා අවබෝධයක් තියෙන නිසා. තමුන්නාන්සේලාට වඩා ජාතියේ දරුවන් පිළිබඳ ඔවුන්ට කැක්කුමක් තියෙන නිසා මීට වඩා සංවේදී වෙන්න.

කථානායකතුමනි. දැන් ආරක්ෂක අංශවල, ඒවගේම දේශපාලන නායකයන්ගේ දරුවන් පාසල්වලට යන්නෙ නැහැ. ඒක ප්‍රසිද්ධ කාරණාවක්. ඒ දෙමාපියන්ගේ වැරැද්ද නොවේ. දෙමව්පියන් දන්නවා මේ ආණ්ඩුව වගකීමෙන් කථා කරන ආණ්ඩුවක් නොවේ කියලා. ආණ්ඩුවට එක මතයක්, විශ්වාසනීය වන්තව ඉදිරිපත් කරන්න බැරි බව ජනතාව දන්නවා . තමුන්නාන්සේලා මේ මොහොතේත් එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා දරුවන්ගේ පන්ති ලබන සදුදා ආරම්භ කිරීමට සූදානම් කරලා තිබෙන බව පවසා තිබෙනවා. ඒ අතරෙම බුද්ධි අංශ විසින් නිවේදනයක් අපේ ආරක්ෂක අංශවලට, මගේ ආරක්ෂක අංශය ඇතුළුව 13 වනදා දරුණු ප්‍රහාරයක් විය හැකි බවට අනතුරු අඟවලා. එතකොට බුද්ධි අංශ එවැනි අනතුරු ඇගවීමක් කරලා තියෙද්දි මිලියන හතරක දරුවන්, ජාතියේ අනාගතය අනාරක්ෂිතව පාරට ගන්න එක සාධාරණද?

තමුන්නාන්සේලා කොහොමද ඒක සාධාරනීයකරණය කරන්නේ. මම පිළිගන්නවා පාසල් දිගටම වහන් ඉන්න බැහැ කියලා නමුත් පාඨමාලාවන් නියමිත කාලයට පෙර සම්පූර්ණ කරනවාද එහෙම නැත්නම් දරුවන්ගේ ආරක්ෂාව ද වැදගත් වෙන්නේ.

එහෙම නැත්නම් තමුන්නාන්සේලා කියන විදියට රුපියල් ලක්ෂයකට දරුවන් තක්සේරු කරන්න පුළුවන්ද? දරුවන්‍ගේ රක්ෂණය ගැන කථා කිරීම තරම් විහිළුවක්, අගෞරවයක්, අවමානයක් මේ රටේ ඉතිහාසයේ කිසිදු අධ්‍යාපන බලධාරියෙක් කර තිබෙනවාද? කරුණාකර මේ දරුවන්ගේ ජීවිත එක්ක විහළු කරන්න එපා. මම විපක්ෂනායක වරයා හෝ හිටපු ජනාධිපතිවරයා හැටියට නොවේ දරුවන්ට ආදරය කරන තාත්තා කෙනෙක් හැටියට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සේලාගේ දේශපාලන සූදුව දරුවන්ගේ ජීවිත එක්ක කරන්න එපා. ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ, ආරක්ෂාව පිළිබද වාර්තාවල තහවුරු භාවය පිළිබද මේ රටට ප්‍රකාශයක් කරන්න ඕනා. ඒ දේශපාලඥයන් විසින් නොවේ.

ගරු කථානායකතුමනි,

මේ දරුවන් බුලට් පෲෆ් දරුවන් නොවේ. අපට වෙඩි නොවදින වාහන ලබාදී තිබෙනවා මේ දරුවෝ වෙඩි නොවදින දරුවෝ නොවේ. ඒ නිසා මේක ආණ්ඩුවේ සංවේදිභාවය මනින මිනුම් දණ්ඩක්. ආණ්ඩුව කෙතරම් සංවේදි ද යන්න සොයන්න මීට වඩා මිනුමක් නෑ.

අපි ත්‍රස්තවාදයට මුහුණ දෙන පළමු වතාව මේක නෙවෙයි. ආණ්ඩු ගණනාවක් යටතේ දශක ගණනාවක් මුලුල්ලේ අපි ත්‍රස්තවාදය අත්දැකල තියෙනව. නමුත් ජනතාවගෙ ආරක්‍ෂාව පිළිබඳ මේ තරම් අවිශ්වාසයක් කිසිම වකවානුවක තිබිල නැහැ.

1996 මහ බැංකුවට බෝම්බ එල්ල වූ අවස්ථාවේදීවත්, 1986 දී හා 2001 දී කටුනායක ගුවන්තොටුපලට එල්ල වූ මහා පරිමාණ ප්‍රහාර දෙකෙන් පස්සෙවත් මේ තරම් දුර්මුඛ තත්ත්වයක් රටේ නොතිබුණ බව අපි කවුරුත් දන්නව. රටේ හැම පුද්ගලයකුම අද ඉන්නෙ තමන්ගෙ ආරක්‍ෂාව ගැන පමණක් නොව ආර්ථික පැවැත්ම ගැනත් විශාල අවිනිශ්චිත තාවයක.

මේ තරම් දරුණුවට නොවුණත්, වෙනත් රටවලටත් ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් ඉලක්ක කරලා බෝම්බ ප්‍රහාර එල්ල කරලා තියෙනවා. අපිට වුණේ බෝම්බ ප්‍රහාර වලින් පස්සෙ ආණ්ඩුව හැසිරුන විදියෙන් රට කබලෙන් ලිපට වැටුන එකයි. බෝමබ ප්‍රහාරයෙන් පස්සෙ, වගකිව යුතු නායකයින්ගේ ප්‍රකාශ ඒ තත්ත්වයට බලපෑවා.

ත්‍රස්තවාදය ගැනත්, මරාගන මැරෙන ප්‍රහාර ගැනත් ලෝකයේ වැඩියෙන්ම අත්දැකීම් තියෙන රටක් ලංකාව. එහෙම වෙලත්, මේ ආණ්ඩුවේ නායකයන් හැසිරුණේ කිසිම දවසක ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් නොවු රටක වගේ බොහොම ආධුනික විදියටයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සෙ දරුණු ලෙස බිඳ වැටුණ සංචාරක කර්මාන්තය රැකගන්න ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතු යෝජනා කිහිපයක් ගැන අපේ මන්ත්‍රීවරුන් මේ විවාදයේ දී කතා කළා, ඒ වගේම ආණ්ඩුවත් ඒ කර්මාන්තයට යම් සහන කිහිපයකුත් ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. ඒ සහන සංචාරක කර්මාන්තයේ නියැලෙන ලොකු කුඩා සියලුම පාර්ශව සමඟ කතා කරලා අවශ්‍ය විදියට පුලුල් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

අප ඉදිරියේ මේ අවස්ථාවේදී ඇති ප්‍රධානම අභියෝගය අඩාල වෙච්ච ජන ජීවිතය යළිත් යථා තත්වයට පත් කරන්නෙ කොහොමද කියන එකයි. සංචාරක ව්‍යාපාරයේ පිරිස් අපිව හම්බවුණාම කිවුවෙත්, විදේශිකයන්ට අපේ රටට නැවත එන්න පුලුවන් කියලා පෙන්වන්න නම් ඉස්සෙල්ලාම අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙන්න ඕන කියලයි. එතකොට තමයි සංචාරකයෝ ගෙන්වන්න පුළුවන් වෙන්නෙ.

තමුන්නාන්සේලාගේ පාලනය රටේ ආරක්ෂාව පිළිබඳව තීන්දු ගන්න බයෙන් ඉන්න බව මිනිස්සුන්ට තේරෙනවා. අපේ ත්‍රිවිධ හමුදා හා පොලීසිය නිසා තමයි මේ තරමටවත් තත්ත්වය පාලනය වෙලා තියෙන්නෙ. අභියෝග මධ්‍යයේ වුණත් ඒගොල්ලෝ තමන්ගෙ රාජකාරිය හරියට කරන්න බලන එක අපි ප්‍රසංශාවට ලක් කරන්න ඕන.

මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් මේ අවස්ථාවේදී මොනම හේතුවකටවත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන මෙහෙයුම් ගැන ජනතාව තුළ සැකයක් ඇතිවෙන්න ඉඩ දෙන්න එපා කියලා. මේ වගේ ත්‍රස්තවාදයක් හමුවේ පුද්ගලයෝ අත්අඩංගුවට ගන්න වෙනවා. විමර්ශනය කරන්න වෙනවා. කාගෙවත් බලපෑමට ඒ විමර්ශන අඩාල වෙන්න දෙන්න එපා කියලා මම ආණ්ඩුවට කියනවා.

ආණ්ඩුව, පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට හරියට තමන්ගෙ රාජකාරිය කරන්න දෙන්නෙ නෑ කියලා අදහසක් ජනතාව අතර පැතිරුණොත්, මේ මුලු රටම අගාධයකට ඇද වැටෙනවා. අපි කවුරුත් දන්නවා මුස්ලිම් ප්‍රජාවගේ අති බහුතරය මේ අන්තවාදීන්ට කැමති නැති බව. මේ අන්තවාදය මීටත් වඩා දරුණු විදියට මුස්ලිම් බහුතරයක් ඉන්න රටවල තියෙනවා. ඒ හැම රටකම අන්තවාදීන්ව මර්ධනය කරනවා.

රට පුරා සිදු වෙන වැටලීම් පිළිබඳ පුවත් වාරණය කරන්න ආණ්ඩුව ගත්ත තීරණය අපිට කිසිසේත්ම අනුමත කරන්න බෑ. අපේ ආණ්ඩුව කාලේ යුද්දයේ උච්චතම අවස්ථාවේදීවත් අපි පුවත් වාරණය කරන්න පියවර ගත්තෙ නෑ. නිවැරදි පුවත් වාරණය කරාම, වැරදි පුවත් ජනතාව වෙත වෙනත් මාර්ග වලින් යන එක වලක්වන්න බෑ. මේකෙන් වෙන්නෙ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ජනතාව තුළ තිබ්බ අවිශ්වාසය තවත් වැඩි වෙන එකයි. රටේ සාමය ඇති කරන්න ඒක කොහොමත්ම ඉවහල් වෙන්නෙ නෑ.

අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්නයි කියලා එක දේශපාලනඥයෙක් යුද හමුදාපතිවරයාට බලපෑම් කළයි කියලා ඔහු පුවත්පතකට කියලා තිබ්බා. මේක ඉතාමත්ම බරපතල තත්වයක්. 1970 න් පසු, දෙමළ තරුණයෝ නීති විරෝධී වැඩක් කරලා පොලීසියට අහු වුණාම ඒගොල්ලො වෙනුවෙන් ඉදිරිපත් වුණේ උතුරේ දේශපානඥයන්. එදා ඒ හිටපු දේශපාලනඥයන්. අන්තිමට මැරුවේ ඒගොල්ලොම පෝෂණය කරපු ත්‍රස්තවාදියොමයි. ඉතින් මේ පාඩම් අද ඉන්න මුස්ලිම් නායකයොත් සැලකිල්ලට ගන්න ඕන.

මේ රටේ දැනටත් ප්‍රචාරය වෙමින් තිබෙන අදහසක් තමයි, අත්අඩංගුවට පත්වෙන සැකකරුවන් ආණ්ඩුව කිසිම සොයා බැලිල්ලක් නැතුව එක්කො නිදහස් කරනවා නැතිනම් ඇප දෙනවයි කියන එක. මේ අදහස පැලපැදියම් වෙන්න දෙන්න එපා කියලා මම ආණ්ඩුවට ඉතා ඕනෑකමින් කියනවා. පුවත් වාරණය නිසා මේ ගැන තියෙන ජනතා අවිශ්වාසය තවත් වැඩිවෙන්න පුලුවන්
ඒ වගේම බහුතරයක් වෙන යුක්ති ගරුක, නීති ගරුක මුස්ලිම් මිනිස්සුන්ට කරදරයක්, හිංසාවක් නොවන විදියට කටයුතු කරන්නත්, ආණ්ඩුව දැන ගන්න ඕනෑ.

බෝම්බ ප්‍රහාරය නිසා බරපතල විධියට අඩාල වෙලා තිබෙන ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කරන්න. මේ ආණ්ඩුවේ කිසිම වැඩ පිළිවෙලක් නැහැ . නමුත් පසුගිය දින අගමැතිතුමා කථා කරන කොට කීව්වෙ, ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත සම්මත කර ගැනීමක් ගැනයි. කරුණාකර මේ පිළිබඳ මහා සංඝරත්නයෙන් සහ කතෝලික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයන්ගෙන් උපදෙස් ලබාගන්න. පක්ෂ විපක්ෂ වෘත්තීය සමිති නායකයන්ගෙන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන්ගෙන්, මේ සම්බන්ධව කරුණු විමසන්න. මේ සම්බන්ධව රටේ තියෙන්නේ බරපතල විරෝධයක්.

පසුගියදා විපක්ෂයේ අප හමුවූ වෘත්තීය සමිති නායකයන්, ආගමික නායකයින්, ශිෂ්‍ය ව්‍යාපාර නායකයින් පැවසුවේ මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මරු පහරක් යෝජිත පනත හරහා එල්ලවන බවයි. මේ යෝජනා කරලා තියෙන ප්‍රති ත්‍රස්ත පනතින් සාමාන්‍ය ජනතාව තලා පෙලා දාන අතරම, ත්‍රස්තවාදීයාව ආරක්‍ෂා කිරීම තුළින් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ආකාරය මම වෙනම ප්‍රකාශයකින් පෙන්නලා දීල තියෙනවා.

මේ වගේ ජාතික ආපදාවක් අවස්ථාවේදීත්, අගමැතිවරයා හදන්නෙ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මේ ආණ්ඩුවේ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු ඉටු කරන්නයි. මේ වෙලාවෙ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරලා ඔය කියන ප්‍රති ත්‍රස්ත පනත ගෙනාවොත් මේ රට ත්‍රස්තවාදීන්ගෙන් කවදාවත් බේරගන්න බෑ.

මේ ආණ්ඩුව අපේ රණවිරුවන් පිටරට උසාවි වලට බාරදෙන්න පුලුවන් වෙන විදියට නීතිය වෙනස් කරන්න පනතක් ගෙන එන්න හදකොට මහා සංඝරත්නයෙන් ඒකට දැඩි විරෝධයක් එල්ල වුණා. අස්ගිරි – මල්වතු කාරක සංඝ සභා ඒකාබද්ධ රැස්වීමක් පවත්වලා ආණ්ඩුවට කිවුවා ඒ පනත සම්මත කරන්න එපා කියලා.

නමුත් 2018 අප්‍රේල් මාසයේ මහනුවර ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් ගැටුම් ඇති වුණාම, ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ආණ්ඩුව ඒ පනත හදිස්සියේම විවාදයට අරගෙන සම්මත කරගත්තා. දැන් ආයෙමත් මේ කරන්න සැරසෙන්නෙ පාස්කු ඉරිදා මියගිය ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මළකඳන් උඩින් මේ ආණ්ඩුව විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දුව අනුව ප්‍රති ත්‍රස්ත පනත සම්මත කරගන්න නොවෙයිද?

හිතුවක්කාර විදියට ඔය පනත සම්මත අප ඉඩදෙන්නෙ නැහැ.

අපි සූදානම් හැම තිසේසේම ත්‍රස්තවාදය පරාජය කිරීමට ආණ්ඩුවට සහයෝගය දෙන්න. එම නිසා මම හිටපු හමුදා හමුදාපතිවරුන්, පොලිස් පතිවරුන් කැඳවා රටේ මේ තත්ත්වය පිළිබද සමාලෝචනයක් කර ත්‍රස්තවාදය මර්දනය කිරීම පිළිබඳව වාර්ථාවක් ආරක්ෂක ලේකම්තුමා ඇතුළු මේ සියලුදෙනාම එක්ව සකස් කර එම වාර්ථාව ගරු ජනාධිපතිතුමාට භාර දුන්නා. එතුමා එම වාර්ථාව ප්‍රසිද්ධියේ මේ සභාවේදී ස්තූතිවන්තව පිළිගනු ලැබුවා. ඇත්තවශයෙන්ම ඒ ස්තූතිය ලැබිය යුත්තේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට සහ හිටපු ත්‍රිවිධ හමුදා පතිවරුන්ට සහ හිටපු පොලිස්පති වරුන්ටයි.

ඒ නිසා අපි කිසිවිටකත් මේ ප්‍රශ්නය දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන්නේ නැහැ. එදා විපක්‍ෂය HSBC බැංකුව ඉදිරිපිට ගොස් මෙම මුදල් ආයුද මිලදී ගන්න යොදා ගන්නවා කියලා විරෝධතා පැවැත්වුවා. එදා විපක්ෂය කටයුතු කලේ එහෙමයි. අපි එහෙම නෙවේ කටයුතු කරන්නෙ. අපි අපේ රටට ආදරෙයි. අපි අපේ දරුවන්ට ආදරෙයි. එහෙම වැඩකරන වගකිය යුතු විපක්ෂයක් අපි.

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරී ඇති නිලධාරීන් අතර ජාතික ආරක්ෂාව සම්බන්ධව ලැබෙන බුද්ධි අංශ තොරතුරු හුවමාරු කරගැනීමටත් ඒ පිළිබද සාකච්ඡා කොට ක්‍රියාත්මක වීටමත් හැකි ක්‍රමවේදයක් රජය මැදිහත්ව වහා ඇති කළ යුතුයි.

ගරු කථානායතුමනි,

දින ගණනක් පුරා අප මේ උත්තරීතර සභාවේ, ආණ්ඩුවේ සහ විපක්ෂයේ කථිකයන් රාශියක් අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දින සිදුවූ මේ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු රැසක් ඉදිරිපත් කළා. මෙහිදී රටේ ජාතික ආරක්ෂක වැඩ පිළිවෙලේ ඇති කඩතොළු පිළිබඳවත්, ජාතික ආරක්ෂාව අර්බුදයකට ලක්වීම පිළිබඳවත්, එකී අර්බුද විසදා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්, විවිධ කෝණයන්ගෙන් කරුණු දැක්වූවා.

රටේ බුද්ධිමත් පුරවැසියන් රාශියක් විවිධ මාධ්‍ය ඔස්සේ හෙළි කරනු ලැබූ අදහස් තුළින්ද පැහැදිලි වන්නේ මෙම සියලු කරුණු රටේ ආරක්ෂාව සම්බන්ධ අතිශය වැදගත් ප්‍රමුඛතාවය ලබාදිය යුතු කරුණු බවයි. එම නිසා දීර්ඝ වශයෙන් මෙම විවාදයට සම්බන්ධ නොවී, අනික් මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දෙමින්, මා ඔබතුමාට යෝජනා කරනුයේ

“මෙම අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු දින ප්‍රහාරය පිළිබඳවත්, ඊට පාදක වූ ඉතිහාස කරුණු පිළිබඳවත්, අනාගතයේ දී මෙවැනි කුරිරු විපත් වළක්වා ගැනීමට අනුගමනය කළයුතු ක්‍රමවේද පිළිබඳවත්, විධිමත්ව සොයා බැලීම සඳහා පූර්ණ බලැති පුළුල් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසයි.”

ඒ තුළින් රට වැටුණු අගාධයෙන් ගොඩ ඒමට කටයුතු කරමු. හැම දෙනාම ධෛර්යවන්තව එකමුතුව ශ්‍රී ලාංකිකයින් ලෙස නැගී සිටිමු. ත්‍රස්තවාදයට එරෙහිව එක හඩක් නගමු!

ස්තූතියි.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More