පුරවැසි කොලම

රටම ලේ විලක් කර මරාගෙන මැරෙන බෝම්බ වැලක් පිපිරිණි. රටම කම්පාවී භීතියෙන් භීතියට පත්විය. රටක් බේරා ගන්නට දිවි හිමියෙන් කටයුතු කරන රණවිරුවෝ ඒ වන විටත් හිර ගෙදරය. ජාත්‍යන්තරය සතුටු කරවන්නට රණවිරුවන් පාවා දුන් රට පාලනය කරන පාලකයන්ගේ ඉහමොළ රත්වන්නට විය. දොඩන්නට වචන පවා ඔවුන්ගේ මුවට මුවට ආවේ නැත.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ හෂීම් සහරාන් ඒ් වන විටත් මරු තුරුලේය. සහරාන් ඇතුළු ඔහුගේ ඉතිරි සහචරයන් තවත් මහා විනාශයක් කරන්නට සැරසෙන්නට වූහ. ඒ අනුව මෙම ත‍්‍රස්තවාදීහු දෙවන ප‍්‍රහාරය සඳහා අම්පාර සමන්තුරය සහ නින්දවුර් ආදී ප‍්‍රදේශවලින් නිවාස 04 ක් මිලදී ගෙන ඒවා ආරක්‍ෂා නිවාස වශයෙන් තබාගෙන දෙවන ප‍්‍රහාරයකට සැලසුම් සකස් කරන්නට වූහ. මෙම දෙවන ප‍්‍රහාරයේ වගකීම පැවරී තිබූ සහරාන්ගේ සොහොයුරන් දෙදෙනා වූ මොහමඞ් කාසි රිල්වාන් සහ මොහමඞ් කාසි මොහමඞ් ෂයිනි නමැති අයටය.

ඒ වන විටත් සහරාන්ගෙන් පසු නායකත්වයට පත්වූ නව්පුර මවුලවි බුද්ධි අංශ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබිණි. ඒ නිසා මෙම පිරිස අම්පාර ආරක්‍ෂක නිවාසවල සිට දෙවන ප‍්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බ සකස් කරනන්ට වූහ. ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම කෙසේ හෝ මෙම අන්තවාදී පිරිස හොඳ හැටි ලබාගෙන තිබුණ අතර ඒ සඳහා අදාළ පොත්ද භාවිත කරන්නට වූහ.

සහරාන්ගේ සහචරයන්ගේ ඉලක්ක ගැන ඉව අල්ලමින් සිටි රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ඉතා විශ්වාසදායක ආකාරයෙන් තොරතුරක් ලැබෙන්නට විය. ඉන් කියැවුනේ අන්තවාදීන්ගේ ආරක්‍ෂිත නිවාස 04 ක් පිළිබඳවය. කඩිගුලක් සේ කඩිසරව ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ කටයුතු නිසි ලෙස කරමින් අන්තවාදීන් සොයා මෙහෙයුම් දියත් කරන්නට වූහ.

ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණ රහසිගත සහ ඉතා වැදගත් තොරතුරු මත පොලිසිය විශේෂ කාර්ය බළකාය යුධ හමුදාව එක්ව මේ වෙනුවෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ. ඒ අනුව 26 වැනිදා උදෑසන අඞ්ඩාලච්චේන ප‍්‍රදේශයේ මෙම අන්තවාදීන්ගේ තිප්පළ වටලන්නට ආරක්‍ෂක අංශ කටයුතු කරන්නට වූහ. එහිදී බෝම්බ සැදීමේදී රත්වීම වැලැක්වීම සඳහා යොදාගන්නා අධි ශිීතකරණ සහ ෂයිනිගේ තොරතුරු සහිත ලිපිලේ්ඛන වගයක් සොයාගන්නට ආරක්‍ෂක අංශවලට හැකි වූහ.

ඒ අනුව සමන්තුරේ සෙන්ගල් ගම්මානයේ මිලිනි අඩි පවුස් මාවතේ අංක.170/01 නිවසට යන ලදි. දෙමහල් නිවසක්වූ එහි කඩ කාමරයක මීට දින කිහිපයකට ඉහතදී මසකට රුපියල් පන්දහස බැගින් මාසදෙකකට රුපියල් දස දහසක් මෙම නිවැසියන්ටදී අන්තවාදීන් විසින් කුලියට ගෙන තිබුණි.

මොහොතකින් ආරක්‍ෂක අංශ එම කඩ කාමරය පරීක්‍ෂා කරන්නට වූ අතර ඒ තුළ තිබූ දෙයින් ආරක්‍ෂක අංශ නිලධාරීන් විමතියට පත්වන්නට වූහ. අන්තවාදී සහරාන්ගේ නඩය සිය දෙවන ප‍්‍රහාරය සකස් කරන බෝම්බ නිෂ්පාදනාගාරයක් එම කාමරය තුළ තිබෙන්නට විය. ඒ වන විටත් රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගේ මෙම විශිෂ්ට සොයා ගැනීම නිසා විශේෂ කාර්ය බළකායේ කලාප භාර අණදෙන නිලධාරී අතුල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකා භට පිරිස්ද, යුධ හමුදාවේ නැගෙනහිර ආඥාපති අරුණ ජයසේකර මහතාගේ මග පෙන්වීමෙන් 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ් මහතාද පැමිණියහ. අම්පාර සහ මඩකලපුව භාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර සහ කල්මුනේ භාර පොලිස් අධිකාරි පි‍්‍රයදර්ශන හේරත් ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් ද මෙම මෙහෙයුමට එක්ව සිටියහ.

එම ස්ථානයේ තිබී බයිසිකල් බෝල ලක්‍ෂයක්, ඩෙටනේටර් 30ක්, ජෙලිග්නයිට් කූරු 180ක්, වෝටර් ජෙල් 180ක්, ඇමෝනියා කිලෝ 250ක්, සල්පියුරික් ඇසිඞ් ලීටර් 20 කෑන් 04ක්, නයිටි‍්‍රක් ඇසිිඞ් ලීටර් 20 කෑන් 04ක්, සී 4 පුපුරන ද්‍රව්‍ය කිලෝ ්02ක්, හඳුනා නොගත් පුපුරන ද්‍රව්‍ය කිලෝ 5ක් පමණද හමුවිය. එයට අමතරව බෝම්බ පිපිරීමට ගන්නා ටයිමර් කිහිපයක් ද බෝම්බ පිපිරවීමට ගන්නා ස්විචයන් 11ක් ද ඩ්‍රෝන කැමරා ලැප්ටොප්, මුහුණ ආවරණය කරන උපකරණ බිකර ඇතුළු බොහෝ උපකරණ සොයා ගන්නා ලදි. මේවා සියල්ලම බෝම්බ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණය. ඒ අතර මෙම පිරිස 21 වැනිදා මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට පෙර මාධ්‍යයට එක්කළ වීඩියෝ දර්ශනයේ ඇඳ සිටි ඇඳුමක් සහ ඒ අවස්ථාවේ පිටුපස තිබුණ බැනරයට සමාන බැනරයක්ද සොයා ගැනිණි.

ඉන්පසු නැවතත් ආරක්‍ෂක අංශ මෙම අන්තවාදීන්ගේ 3 වන ආරක්‍ෂක නිවාස සොයා මෙහෙයුම දියත් කරන්නට විය. ඒ වනවිටත් ඊට මොහොතකට පෙර එහි සිටි පිරිස එම නිවසෙන් ගිය සලකුණ එහි දක්්නට ලැබුණ අතර ඒ වනවිට වේලාව සවස 4 ට පමණ විය. එහිදී නිවාස පරීක්‍ෂා කිරීමේ දී එම නිවසද බෝම්බ නිෂ්පාදනාගාරයක් ලෙස සකසා බෝම්බ සකස්කරමින් තිබුණි. ඒ වන විට බෝම්බ සකස් කිරීමට සූදානම් කළ කොටස් එහි තිබුණි. අවශ්‍ය ද්‍රව්‍ය දමා පළමුවන තට්ටුව සකස් කර ඒ මත යකඩ බෝල දමා ගම් දමා ඉන් පසුව රසායනික ද්‍රව්‍ය දැමීමට සකස් කළ කොටස් සහ සී 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ 04ක්, බෝම්බ පුපුරුවා ගැනීමට යොදා ගන්නා ටයිමර් 10ක් , බෝම්බ පිපිරීමට යොදා ගන්නා ස්වීච් 19ක් සල්පියුරික් ඇසිඞ්, හයිඩි‍්‍රක් ඇෂිඞ් සහ මෙම බෝම්බ සැදීමට යොදා ගන්නා බොහෝ දේ සොයා ගන්නා ලදි. තවද බෝම්බ සෑදීමේදී රත්වූ විට එම කොටස් සීතල කිරීම සඳහා යොදා ගන්නා අධි ශීතකරණද එහි තිබුණි.

ඒ වනවිට 04 වන නිවාසය සමන්තුරයේ තිබෙන බවට රාජ්‍ය බුද්ධි නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණි. ඒ වෙනුවෙන් සමන්තුරය වොලිවෝල් ප‍්‍රදේශයේ එම නිවාසය සොයා යෑම බුද්ධි අංශ සහ ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ අදහස වන්නට විය.

ඒ අතරවාරයේ මෙම නින්දවුර් නිවෙසින් පිටත්ව ගිය ත‍්‍රස්තවාදීහු සයින්දමරුදු වොලිවෝල් නිවසට වාහනයකින් ළඟා වූහ. මෙම නිවස ඔවුන් දින කිහිපයකට පෙර මිලදී ගෙන තිබුණි. ඒ අවස්ථාවේ මෙම පිරිස වාහනයෙන් බසිද්දී ඒ අවට සිටි මුස්ලිම් ජනතාව මොවුන් පිළිබඳ විමසිලිමත් වූහ. ඔයාල කවුද අසද්දි එකවරම ටී 56 අවියක් පෙන්වූ අයෙක් උඹලාට මොකටද ඒක උඹලත් මුස්ලිම්නේ. අපිට උදව් කරපල්ලා යැයි බැණ වදින්නට විය. මෙම සැකකාර පිරිස පිළිබඳව ඒ ආසන්නයේ රාජකාරියේ නිරතවූ පොලිස් නිලධාරියෙකුට අසල්වාසි පිරිස පැවසූහ. ඒ සැනින් එම පොලිස් නිලධාරීවරයා එම ස්ථානයට යතුරු පැදියකින් එන විට සැකකාර පිරිස වෙඩි කිහිපයක් තබන්නට වූහ. ඒ සැනින් එම ස්ථානයෙන් පිටත්ව ගිය පොලිස් නිලධාරියා පොලිස් විශේෂ කාර්ය බළකායට සහ ආරක්‍ෂක අංශවලට සහ ඉහළ පොලිස් නිලධාරින්ට මේ පිළිබඳව දැනුම් දුන්නේය.

මේ වනවිටත් සයින්දමරුදු වොලිවෝල් ප‍්‍රදේශයේ නිවස සොයා යන්නට බුද්ධි අංශ නිලධාරින් සහ ආරක්‍ෂක අංශ එන්නට සූදානම් වෙමින් සිටියහ. මෙම පිිරිසටද මෙම සැකකාර පිරිස පිළිබඳව තොරතුරු ලැබුණි. එහෙත් අන්තවාදී පිරිස පැන ගොස් තිබිණ. ඔවුන් පැන ගිය තැන හඳුනාගත් ඔවුහු එම ප‍්‍රදේශයට ගියහ. සවස 7 ට පමණ යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාය සැකකටයුතු නිවස දෙසට යද්දි එක්වරම එම නිවස දෙසින් විශාල පිපිරීමක් ඇතිවිය. ඉන්පසු ආරක්‍ෂක අංශ නිලධාරින් සිටි දෙසට වෙඩි පහරවල්් එල්ල විය.

යුධහමුදා 24 වන බල සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ විශේෂ කාර්ය බළකායේ කලාප අණ දෙන නිලධාරි පොලිස් අධිකාරී අතුල රත්නායක අම්පාර මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති අයේෂ යන මහත්වරුන්ගේ මග පෙන්වීමෙන් ආරක්‍ෂක අංශ නිලධාරින්ද ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරන්නට වූහ. නැවත 7.15 ට පමණ එම නිවස දෙසින් තවත් පිපිරීමක් ඇති විය. ඒ අතර විටින් විට නිවස දෙසින් වෙඩි පහරවල් එල්ල විය. නැවතත් රාත‍්‍රි 8 ට ආසන්න වනවිට තවත් පිපිරීමක් එම නිවස දෙසින් ඇසෙන්නට විය. ඒ අතරවාරයේ විටින්විට ආරක්‍ෂක අංශ දෙසට වෙඩි පහරවල් එල්ලවද්දී ආරක්‍ෂක අංශද එයට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරන්නට වූහ. රාත‍්‍රී 12 ට ආසන්න වනතෙක් මෙම වෙඩි හුවමාරුව පැවතුණි. පසුව ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර නැවතුනි. අන්ධකාරයේ සැඟව සිටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර අවසන් බව ආරක්‍ෂක අංශවලට අවබෝධ වූහ. මෙම වෙඩි තැබීම නිසා තිදෙනෙක් මියගොස් ඇති බව ආරක්‍ෂක අංශවලට පෙනෙන්නට විය. බෝම්බ පුපුරුවා ගැනීමෙන් එම ස්ථානයේ මියගිය 13 දෙනෙකුගේ සිරුරු සුන්බුන් බවට පත්ව තිබුණි. මෙම ගැටුමෙන් ආරක්‍ෂක අංශ කිසිදු නිලධාරියෙකුට හානියක් සිදු නොවුණි.

මෙම පිරිස බෝම්බ පුපුරුවා ගැනීමට මොහොතකට පෙර වීඩියෝ දර්ශනයක් නිකුත් කරමින් තව මොහොතකින් මියයන බවත් දෙවියන් වෙනුවෙන් ස්වර්ගයට යනබවත් එම ස්ථානයේ සිටි පිරිස ගැනද තොරතුරු දක්වා තිබේ.

ඒ අනුව මෙම පිපිරීම නිසා සහරාන්ගේ පියාවූ ඇවිදීමට අපහසු රෝගියකුවූ මොහමඞ් කාසිම් හයාතු, මව වන අබ්දුල් කාදර් සිත්ති උම්මා සහ සහරාන්ගේ පුතාද මිය ගියහ. සහරාන්ගේ සහෝදරයාවූ රිල්වාන් සමගින් බිරිඳ නප්නා සහ දරුවන්ද, ෂයිනි සහ ඔහුගේ බිරිඳවූ අප්රින් සහ දරුවන්ද සහරාන්ගේ නැගණියවූ හිදයා සහ ඇගේ සැමියා වූ රිෂාන්ද, 21 වැනිදා මරාගෙන මැරෙන ප‍්‍රහාරයට එක්වූ මඩකලපුව බෝම්බකරු වූ මොහමඞ් නසාර් මොහමඞ් අසාර් ගේ බිරිඳත්, මීගමුව පිපිරීමේ බෝම්බකරු කස්තුන්ගෙ බිරිඳ වූ දමිළ ජාතික කාන්තාවක් වූ පසුව මුස්ලිම් ආගමට එක්වූ පුලස්තිනි රාජේන්ද්‍ර හෙවත් සාරා සහ තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ බිරිඳත් සමගින් මොහමඞ් නියාස් නමැත්තෙකු ද මියගොස් ඇති බව ආරක්‍ෂක අංශ විශ්වාස කරති.

මොහමඞ් නියාස් නමැත්තා නිවස මිලදී ගැනීම් සහ කුලියට ගැනීම්ද අවශ්‍ය වාහන මිලදී ගැනීමද සිදුකර තිබේ. ඒ සඳහා මැද පෙරදිග අන්තවාදී සංවිධානවල පිරිස අවශ්‍ය මුදල් ලබාදී ඇත.

27 උදෑසන ආරක්‍ෂක අංශ එම ස්ථානයට ගොස් පරික්‍ෂා කරද්දී බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ කුඩා දැරියක් හමුව තිබේ. ආරක්‍ෂක අංශවල නිලධාරීහු හැකි ඉක්මනින් අම්පාර රෝහලට යවා අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදී තිබේ. මෙසේ මෙම බෝම්බයෙන් දිවි ගලවා ගෙන ඇත්තේ ජාතික තව්හිද් සංවිධානයේ නායක සහරාන්ගේ බිරිඳවන අබ්දුල් කාදර් පාතිමා කාදල් පාතිමා සහ ඇයගේ සිවු හැවිරිදි දියණිය බව මේ වනවිට බුද්ධි අංශ හඳුනාගෙන ඇත.

මෙම බෝම්බ පිපිරීම සහ වෙඩිප‍්‍රහාර නිසා පිරිමි 04ක් කාන්තාවන් 06ක් සහ දරුවන් 06 දෙනෙකු ඇතුළු 16 දෙනකු මියගොස් තිබේ. ඒ සමගම දෙවන ප‍්‍රහාරය සඳහා ආගමික ස්ථානවලට දැඩි ප‍්‍රහාරයක් එල්ල කිරීම මොවුන්ගේ අරමුණ විය. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළ මෙම අන්තවාදී පිරිස ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන මුස්ලිම් කතුන් යොදා ගැනීමට තීරණය කළේය. ඒ වනවිට මෙම පිරිස සමග සහරාන්ගේ බිරිඳ, රිස්වාන් සහ ෂයිනිගෙ බිරින්දෑවරුන් සහ මියගිය බෝම්බකරුවන් තිදෙනෙකුගේ බිරින්දෑවරු සිටියහ.

ඒ සමගම රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් මරාගෙන මැරෙන මුස්ලිම් කාන්තාවන් ලවා විහාරස්ථානවලට පහරදීමේ සැලැස්මක සියලූ තොරතුරු අනාවරණය කරගන්නා ලදි.

පන්සල්වලට ප‍්‍රහාර එල්ල කිරීමට නම් මරාගෙන මැරෙන කාන්තාවන්ට විහාරස්ථානවලට යෑම සඳහා සුදු ඇඳුම් අවශ්‍ය විය. ඒ වෙනුවෙන් මේවා මිලදීගෙන ඇත්තේ ගිරිඋල්ල ජයසුමන ටෙක්ස්ටයිල් ආයතනයෙනි. ඒ පසුගිය 19 වැනිදාය. මෙම මුස්ලිම් කාන්තාවන් රුපියල් 29000ක පමණ කාන්තා සුදු ඇඳුම් කට්ටල 09 ක් සහ යට ඇඳුම් ඇතුළු රෙදිපිළි මිලදීගෙන තිබේ. මෙම කාන්තාවන් මහත සිරුරුවලින් යුත් නිසාත් බෝම්බ බැඳගෙනයෑමට ඉඩ අවශ්‍ය නිසාත් ඒ වෙනුවෙන් විශාල ප‍්‍රමාණයේ සායවල් සහ හැට්ට මිලදී ගෙන තිබුණි. මෙම මිලදී ගත් ඇඳුම් ඇඳ මෙම කාන්තාවන් විහාරස්ථානවලට ගොස් ඇත්තේ ඒ පිළිබඳව පෙරහුරුවක් ලබා ගැනීමටය.

පසුගියදා බෝම්බ පුපුරුවා ගත් සයින්දමරුදු සුනාමි නිවාස ප‍්‍රදේශයේ නිවසේ බෑගයක තිබී මෙම කාන්තා ඇඳුම් යුගල 05ක් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. ඒ අතර තවත් කාන්තා ඇඳුම් යුගල දෙකක් නින්දවුර් අන්තවාදීන් සිටි ආරක්‍ෂක නිවසේ තිබියදී බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයාගන්නට හැකි විය. ඒවායේ ලේබල් කඩා ඇඳ තිබෙන ආකාරය මෙම බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය කරගන්නා ලදි.

ඒ අනුව මිලදීගත් ඇඳුම් යුගල 9න් හතක් බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි. තව සුදු පැහැති ඇඳුම් කට්ටල 02 ක් එම ස්ථානයේ තිබී නොමැත. එම ඉතිරි සුදු ඇඳුම් කට්ටල 02 සොයා ගැනීම සඳහා බුද්ධි සේවයේ නිලධාරීන් පරීක්‍ෂණ පවත්වමින් සිටිති. එම වෙළඳ සැලේ සීසීටීවී කැමරාවලද මෙම කාන්තාවන්ගේ වෙළෙඳ සලේ රෙදි මිලදී ගැනීමට එන ආකාරය සටහන්ව ඇත.

රාජ්‍ය බුද්ධි අංශ සේවා නිලධාරීන්ට මෙම අන්තවාදීන්ගේ ආරක්‍ෂණ නිවාස 04 හෙළිවීම සමගම මොවුන් අවසානයේ බෝම්බ පුපුරුවා ගැනීමෙන් මියගියේ දෙවන ප‍්‍රහාර වැල සාර්ථක කර ගැනීමට නොහැකිවය. මේ අනුව මෙම අන්තවාදී මුස්ලිම් කාන්තාවන් 09 දෙනෙකු යොදවා සුදු ඇඳුම් අන්දවා සිංහල කාන්තාවන් මෙන් විහාරස්ථානවලට යවා එකවර ප‍්‍රහාර එල්ල කිරීම සඳහා වූ මොවුන්ගේ අදහස බිඳ වැටෙන්නට විය.

මෙම බෝම්බ සකස් කර මොවුන් වෙසක් පෝය දින ප‍්‍රහාර එල්ල කරන්නට සිටියේ නම් රට පුරා ප‍්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන රැසක් ඒ සඳහා ඉලක්කව තිබෙන්නට ඇත.

එය පාස්කු ඉරිදාට වඩා දරුණු වන්නේ එදා පිපිරුණේ බෝම්බ නවයක් පමණක් නිසාය. මේ වන විට අම්පාරෙන් අල්ලාගත් බෝම්බ කම්හල්වල බෝම්බ 50 කට ආසන්න ප‍්‍රමාණයක් නිපදවන්නට අවශ්‍ය දේ තිබුණි. මරාගෙන මැරෙන කතුන් 09ක් විහාරස්ථානවලට ප‍්‍රහාර එල්ල කරද්දී අනෙක් මරාගෙන මැරෙන අය තවත් ඉලක්කයන් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන්නට ඇත.

සුසන්ත අමරබන්දු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More