දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින සමුළුව අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කළේය.

ලෝක වැඩකරන ජනතාව තමන්ගේ ජීවිත පූජා කරලා, තමන්ගේ රුධිරය පූජා කරලා, දිනාගත්ත ලෝක කම්කරු දිනය සැමරීමේ අයිතිය අපෙන් උදුර ගෙන තිබෙන මොහොතකයි අපි මේ රැස්වෙලා ඉන්නේ. අපිට නිදහසේ ලෝක කම්කරු දිනය සැමරීමට ආරක්ෂාව සපයන්න අද ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඉතිහාසයේ දෙවනවරටයි ලෝක කම්කරු දිනය සැමරීමට ආරක්ෂාව සැපයීමට මේ රටේ ආණ්ඩුව අසමත් වෙලා තියෙන්නේ.

අද කම්කරුවාගේ ලොකුම අයිතිය පැය අටක් වැඩ කිරීමේ අයිතිය නෙවෙයි. නිවාඩු දිනා ගැනීමේ අයිතිය නෙවෙයි. විශ්‍රාම වැටුප් අර්ථසාධක ලබාගැනීමේ අයිතිය නෙවෙයි. මේ සියලුම අයිතීන් වලට උඩින් තමයි තියෙන්නේ ජීවත්වීමේ අයිතිය. අන්න ඒ අයිතිය තමයි අද අපෙන් උදුරා ගනිමින් සිටින්නේ.

මේ ආණ්ඩුවට ආරක්ෂාව පිළිබඳ මෙලෝ හසරක දැනුමක් නෑ. ඊයෙ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කියනවා තවුෆික් ජමාත් සංවිධානයේ සමහර සාමාජිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් මුදල් ගෙවලා ලු. අධ්‍යාපන ඇමති නම් කමක් නෑ කියමුකො නීතිය හා සාමය නියෝජ්‍ය ඇමැති ධූරය දරපු නලින් බණ්ඩාරත් ඒකම කියනවා. බුද්ධි අංශ වල වගකීම තමයි තොරතුරු කලින් දැන ගැනීම. තොරතුරු කලින් දැන ගන්න නම් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන සංවිධාන ඇතුලට බුද්ධි අංශ සාමාජිකයන් රිංග ගන්න ඕන. තමන්ට රිංග ගන්න බැරිනම් විවිධ ක්‍රමවලින් ඒ සාමාජිකයන් දිනාගන්නවා තොරතුරු ලබාගන්න. සමහර වෙලාවට තෑගිබෝග මුදල් හදල් දීලා තවත් සමහර වෙලාවට ඔවුන්ගේ රහසක් හෙළිකරන බවට බය කරලා. මෙහෙම තමයි බුද්ධි අංශ රහසිගත සංවිධානවල තොරතුරු කලින් දැනගන්නේ. එහෙම දැන ගැනීමේ ක්‍රමවේදක්ය තිබුණු නිසා තමයි ඉන්දියාවේ බුද්ධි අංශ අප්‍රේල් 02වැනි දා වන විට මෙවැනි ප්‍රහාරයක් වන බව දැනගෙන හිටියේ.

හැබැයි අද මොකද වෙලා තියෙන්නේ. අධ්‍යාපන ඇමති සහ නීතිය හා සාමය නියෝජ්‍ය ඇමැති කියනවා තවුෆික් ජමාත් සංවිධානයේ සමහර සාමාජිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් මුදල් ගෙවලා කියලා. මේක මිලේනියම් සිටි වගේම පාවාදීමක්. මේක ගිරිතලේ හමුදා කදවුර පාවා දුන්න වගේ වැඩක්. බුද්ධි අංශ නිලධාරීන් කොහෙද රිංගන්නේ නැත්තේ.

මගේ තියෙනවා අපූරු අත්දැකීමක්. 1998 දී ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය හදද්දි දක්ෂ උපාධිධාරී තරුණයෙක් ඇවිල්ල බැඳෙනවා. 2015 වන විට මේ තරුණයා චම්පික ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරියෙක්. ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයෙක්. බුද්ධි අංශ ප්‍රධාන නිලධාරියෙක් චම්පික ඇමැතිතුමා සමඟ තියෙන හිතවත්කමට ඇවිල්ල ඇමතිතුමාට කියනවා ඔබතුමාගේ අහවල් තනතුර දරන කෙනා අපි එවපු අපේ කෙනෙක් කියලා. අර නිලධාරියාව පාවලා දෙනවා. මෙන්න මේ වගේ බුද්ධි අංශ නිලධාරීන්අව ආණ්ඩුවේ ඇමතිවරු පාවා දෙනවා නම් ඔවුන්ට ත්‍රස්ත සංවිධානයක් ඇතුලට රිංගලා එතන වෙන්නේ මොකක්ද කියල හොයල ඔවුන් රටට කරන අනතුර කලින් දැනුම් දීමේ හැකියාව නතර වෙනවා.

ඒ නිසා මේ අධ්‍යාපන ඇමතිට නීතිය හා සාමය නියෝජ්‍ය ඇමැති තනතුර දරපු නලින් බණ්ඩාරට අපේ බුද්ධි අංශ පාවාදීම සම්බන්ධයෙන් දේශද්‍රෝහිත්වය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්ඩ ඕන. අද රටේ ආරක්ෂාව තහවුරු කර නැතුව කිසිම දෙයක් කරන්න බෑ.

රැවුල ගිණි ගනිද්දී සුරුට්ටු පත්තුකරන අපේ අගමැති

අද ජාතියේ වීරයා බවට පත්වෙලා ඉන්න කාදිනල්තුමා අපූරු ප්‍රකාශයක් කළා. අගමැතිතුමා ලකුණු දාගන්න එතුමගෙ වෙඩි නොවදින රථය කාදිනල්තුමාට එවලා තිබුණා. කාදිනල්තුමා කියනවා මට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ආණ්ඩුව රටේ ආරක්ෂාව සලසන්න. රටේ ආරක්ෂාව ඇති වුනාම ප්‍රභූ ආරක්ෂාව නිකම්ම සැලසෙනවා. හැබැයි අද ආණ්ඩුව උත්සාහ කරන්නේ රටේ ආරක්ෂාව සැලසීම නෙවෙයි රටේ ඇතිවෙලා තියෙන තත්වයෙන් වෙන වෙන වැඩ ටිකක් කරගන්න.

මේ බෝම්බ පිපිරිලා ජාතියේ රැවුල ගිනි ගන්නවා. අගමැතිතුමා එනවා සුරුට්ටු පත්තු කරන්න. වහාම ප්‍රතිත්‍රස්ත පනත ගෙන්න ඔනලු. අපි ත්‍රස්තවාදයට විරුද්ධයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට ආණ්ඩුව කරන සෑම දේකටම අපේ සහය දෙන්නත් ලැස්තියි. හැබැයි ආණ්ඩුවට ත්‍රස්ත විරෝධී සටන ලබාදෙන සහය වගේම අගමැතිගේ ඊනියා ත්‍රස්ත විරෝධී පන ට අපි විරුද්ධයි. මේක ත්‍රස්ත විරෝධී පනතක් නෙවෙයි ත්‍රස්තවාදියා සුරතල් කරන පනතක්. අපේ ආරක්ෂාව අපිට අහිමි කරන පනතක්. මේ පනත සම්මත කරන්නට එරෙහිව වෘත්තීය සමිති ශිෂ්‍ය ව්‍යාපාර දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි සමස්ත දේශප්‍රේමී ජනතාවම එක මිටියට එකට ගැට ගැහෙන්ට ඕන.

ජාතියේ අවසාන බලාපොරොත්තුව

මිත්‍රවරුනි ත්‍රස්තවාදීන්ට බයේ ආණ්ඩුව දේව මෙහෙය අවලංගු කලා. අපි අකැමැත්තෙන් ඒකට එකඟ වුණා. අපේ කම්කරු දින සැමරීම තහනම් කලා. අපි අකැමැත්තෙන් ඊට එකඟ වුණා. ඒ වගේම වෙසක් තොරන් තහනම් කලා. අපි අකැමැත්තෙන් ඊට එකඟ වුණා. හැබැයි මොනතරම් ප්‍රශ්න ඇති වුණත් එක දෙයක් කල් දාන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ තමයි ජාතියේ අවසාන බලාපොරොත්තුව. මේ කාලකන්නි ආණ්ඩුව ගෙදර යවන්න තමුන්නාන්සේලාට ලැබෙන ස්වර්ණමය අවස්ථාව කිසිම හේතුවක් මත ජනාධිපතිවරණය කල් දාන්න මේ ආණ්ඩුවට ඉඩ දෙන්නෑ කියලා අපි අද තමුන්නාන්සේලාට ප්‍රතිඥාවක් දෙනවා. මිත්‍රවරුනේ අපි අඬ අඬා හිටියා හොඳටෝම ඇති. අපි බියෙන් වෙව්ලූවා හොඳටෝම ඇති. මේ කාලකන්නි ආණ්ඩුව ගෙදර යවලා සුරක්ෂිත හෙටක් බිහි කරන්න අපි කටයුතු කළ යුතුයි.

ඒ නිසා අපි මැතිවරණ කොමිසමට කියනවා නිසි කලට මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න. අපි බෝම්බ මැදින් මැතිවරණ සටන කරන්න සූදානම්. ජනතාව වෙඩි වරුසා මැදින් ගිහිල්ලා ඡන්ද දෙන්න සූදානම්. මොකද 2020 ලෝක කම්කරු දිනය සුරක්ෂිත රටක සැමරීමේ අයිතිය තමුන්නාන්සේලාට ලබාදෙනවා කියන ප්‍රතිඥාව ලබාදෙමින් අපේ අනාගත ආණ්ඩුවක් තුළ සුරක්ෂිත මැයි දිනයක් කරමු කියන යෝජනාව කරමින් මම නිහඬ වෙනවා

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More