දේශීය පුවත්

x බුද්ධි තොතුරු ලැබුණ බව පොලිසියෙන් තහවුරු කරයි

x ”මේ තර්ජනය ඉවරයි කියලා කියන්න බෑ” – රාජිත

x තවත් ”ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක්” සොයා මෙහෙයුම්

x විදේශීය බුද්ධි අංශ වලින් උපකාර

ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති. පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත‍්‍රණ ඇතැයි ද ඔවුහු අවවාද කරති.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කොළඹ ආසන්නයේ පිහිටි සියලූම පොලිස් ස්ථාන වලට දන්වා ඇති බවත් ගංගා සහ පාලම් ආරක්‍ෂා කරගැනීම සඳහා වැඩි වැඩියෙන් යාත‍්‍රා යොදවන ලෙස නාවික හමුදාවට දැනුම් දී ඇති බවත්ය. පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බුද්ධි තොරතුරු වලින් වාර්තා වන්නේ කොළඹ නගරයට ඇතුළු වන පාලම් කිහිපයක් පුපුරුවා හැරීමට සැලසුම් කර ඇති බවයි.

පාස්කු ඉරිදා කළ ප‍්‍රහාරයෙන් 257 දෙනෙක් මියගිය අතර 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

ජිහාද්වාදීන්ගේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා මැඩ පැවැත්වීම සම්බන්ධීකරණය සඳහා ආරක්‍ෂක හමුදා විසින් ඒකාබද්ධ අණදෙන මූලස්ථානයක් ස්ථාපිත කර තිබේ. මේ අතර යුද හමුදා ප‍්‍රධානීන් පවසන්නේ සෝදිසි මෙහෙයුම් සඳහා වැඩි වැඩියෙන් හමුදා සොල්දාදුවන් යොදවා ඇති බවයි.

පසුගිය දින කිහිපයේදීම විශේෂ සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ ආරක්‍ෂක හමුදා දිවයිනේ ස්ථාන රැසකින්ම පුපුරණ ද්‍රව්‍ය මෙන්ම අවිආයුධ රැසක් අත්අඩංගුවට ගත්හ. එහෙත් නිල වාර්තා වලින් කියැවෙන්නේ මෙම ආයුධ අපරාධ අල්ලි වලට අයත් නමුත් ජිහාද්වරුන්ගේ ඒවා නොවන බවකි.

”යුද හමුදාවත් අනෙක් ආරක්‍ෂක හමුදාත් එක්ව, පොලිසියේ ද සහයෝගය ඇතිව විශේෂ සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම කෙරෙනවා. ත‍්‍රස්තවාදීන්, ඔවුන්ගේ සැඟවෙන තිප්පොළවල්, පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ මෙන්ම අනෙකුත් යුධෝපකරණ සොයනවා. ඒත් මේ වෙලාවේ තියෙන අවශ්‍යතාව අනුව තව තවත් සොල්දාදුවන් ඕනෑ කරනවා” යයි යුද හමුදාව විසින් නිකුත කරන ලද නිවේදනයක සටහන් වේ.

කුඩා කැරළිකාර කණ්ඩායම් කිහිපයක් තවත් ප‍්‍රහාර කිහිපයකට සූදානම් වන නමුත් පාස්ක ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසුව අන්තවාදීන් සොයා කළ මෙහෙයුම් ඉතාමත් සාර්ථක වී තිබෙන බව රජයේ ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

”මේ තර්ජනය ඉවරයි කියලා කියන්න බෑ. ඒත් අපි තත්ත්වය හොඳින් පාලනය කරලායි තියෙන්නේ. ඒක අපි බලාපොරෙත්තු වුණාට වඩා හොඳ තත්ත්වයක්” යයිද රාජිත සේනාරත්න මහතා කීවේය.

ප‍්‍රංශ පුවත් සේවය සමග බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සේනාරත්න මහතා කියා සිටියේ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ තවත් ”ත‍්‍රස්තවාදීන් හතර දෙනෙක්” සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ලබන ඉරිදා (5 වැනිදා) සිට කතෝලික දේවස්ථානවල දේව මෙහෙය ආරම්භ කිරීමට නියමිතව තිබුණ නමුත් කතෝලික සභාව විසින් බ‍්‍රහස්පතින්ද සවස එය අවලංගු කර දමන ලදි. කොළඹට මඳක් එපිටින් පිහිටි දේවස්ථාන දෙකක් ඉලක්ක කරමින් ”කිසියම් ප‍්‍රහාරයක්” සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බැවින් සියලූම දේවස්ථාන වල ඉරිදා දේව මෙහෙය අවලංගු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ බ‍්‍රහස්පතින්දා සවස සියලූම දේවස්ථාන වලට දැනුම් දුන්හ.

සියලූම කතෝලික පාසල් ද දින නියමක් නැතිව වසා දමා තිබේ. කෙසේ වෙතත් රජයේ පාසල්, ආරක්‍ෂාව ඇතිව, සඳුදා විවෘත කිරීමේ සූදානමක් තිබේ.

මේ අතර රාජිත සේනාරත්න ඇමැතිවරයා ප‍්‍රකාශ කරන්නේ මුස්ලිම්වරුන්ම පැමිණ අන්තවාදීන් පිළිබඳව ඔත්තු දෙන බවයි.

”හැමෝම අපට තොරතුරු දෙනවා. ඔවුන් ඉදිරියට ඇවිත් බොහෝ තොරතුරු දෙනවා” යයිද සේනාරත්න මහතා පැවසීය.

මෙම ප‍්‍රශ්නයේදී ශී‍්‍ර ලංකාවට විදේශීය බුද්ධි අංශ වලින් ආධාර ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

”අපට ඇමෙරිකාවේ, බි‍්‍රතාන්‍යයේ වගේම ඉන්දියවේ සහයෝගයත් ලැබෙනවා. තවත් රටවල නිල බුද්ධි ඒකක අපට සහාය දෙනවා” යයිද හෙතෙම පැවසීය.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවට වගකිය යුත්තේ ඉස්ලාමීය රාජ්‍යය” යනුවෙන් හැඳින්වෙන අයි.එස්. සංවිධානයට අනුබද්ධ යැයි කියැවෙන ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයයි.

Lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More