පුරවැසි කොලම

2019.03.10 ‘සති අග අරුණ’ පුවත්පතෙහි පළවූ ‘‘කවදාද යන්නේ පී.සී. කමෙන් උඩ’’ යන ශීර්ෂය යටතේ පළවූ ලිපිය කියවිමෙන් පසු මෙම ලිපිය ඔබ ආයතනය වෙත යොමු කරන මම වසර 30 ක සේවා කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ නොයෙක් කොට්ඨාසවල නොයෙක් අංශයන්හි රාජකාරි කර ලද දැනුම හා පළපුරුද්ද ඇතත් මෙතෙක් පී.සී. කමෙන් ඉහළට යාමට වරම් නොලද නිලධාරියෙකි.

වසර 150 පසුකර ඇති පොලිසිය දැන් දෙපාර්තමේන්තුවක් ලෙස හැඳින්විය නොහැක. කුමන අයුරකින් හැඳින්වුවද පොලිසියේ භෞතික සම්පත්වල තත්ත්වය ශෝචනීය බව ප්‍රකාශ කළ යුතුමය. මෙම තත්ත්වය මෙහෙයුම් කලාප වශයෙන් හඳුන්වන ලබන ප්‍රදේශවල ඉතාම උග්‍රව පවතී. (වව්නියා, කිළිනොච්චි, යාපනය, මන්නාරම ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර) මෙම කොට්ඨාසවල තවමත් බොහෝ පොලිස් ස්ථාන පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත හෝ බලහත්කාරයෙන්, අත්පත් කරගෙන ඇති පුද්ගලික කඩකාමර, නිවාස සහ ඉඩම්වල තාවකාලිකව සකස් කරන ලද ගොඩනැගිලිවලය, එහෙයින් මෙම කොට්ඨාසවල රාජකාරි කරනු ලබන නිලධාරීන්ට නිසි නේවාසික පහසුකම් නැත. තාවකාලිකව සකස් කර ඇති මෙම භටනිවාස තහඩු යොදා සකස් කර ඇති බැවින් දිවා කාලයට මෙහි රැඳී සිටීමට නොහැක. දැඩි රස්නය හේතුවෙන් රාත්‍රි රාජකාරි කරන ලද නිලධාරීන්ට පවා දිවා කාලයේ විවේක ගැනීමට හැකියාවක් නොමැත. මෙම අසීරුතා උසස් නිලධාරීන්ට නොපෙනේ. ඊට හේතුව වී ඇත්තේ මෙම නිලධාරීන්ගේ නිවස්න ඉතා දැකුම්කලුව සකසා ඇති අතර වායු සමනය කර ඇති බැවින් ඔවුන් සුවසේ කල්මරති.

සෑම පොලිස් ස්ථානයක්ම මසකට වරක් සහකාර පොලිස් අධිකාරිද, මාස හයකට වරක් කොට්ඨාස භාර පොලිස් අධිකාරිද, වසරකට වරක් නියෝජ්‍ය පොලිස්පති විසින්ද පරීක්ෂා කෙරේ. එම පරීක්ෂාවන්ට පෙර පොලිස් ස්ථානය සුද්ධ පවිත්‍ර කර අලුත්වැඩියා කටයුතු කර තීන්ත ආලේප කොට අලංකාර කළ යුතුය. ඊට අමතරව මේ උසස් නිලධාරීන්ට සුපිරි කෑම මේසයක්ද සකස් කළ යුතුය. එහෙත් මේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදනයක් නැත. මෙහිදී පොලිසිය පිහිට පතන්නේ ප්‍රදේශයේ සිටින ජාවාරම්කරුවන්ගෙනි. ජාවාරම්කරුවන් පොලිසියේ ගජමිතුරන් වන්නේ මෙලෙසය.

පොලිසියේ වාහන ඉතා අබලන්ය. මාසයක කාලයක් සඳහා අනුමත ඉන්ධන ප්‍රමාණය කිසිසේත්ම මාසයකට ප්‍රමාණවත් නැත. අලුත්වැඩියාවන් සඳහා පොලිස් ගරාජ්වලට යොමු කළ විට සිදුවන්නේ වාහනයේ හොඳින් තිබෙන අමතර කොටස් වෙනත් වාහනවලට මාරු වීමය. පෞද්ගලික ගරාජ්වලට යොමු කිරීමට ප්‍රතිපාදන නොමැති නිසා වාහන භාර නිලධාරීන් කෙසේ හෝ ඒ සඳහා මුදල් සොයාගත යුතුය.

බොහෝ පොලිස් ස්ථානවල වැසිකිළි කැසිකිළි ඉතා අබලන්ය. එක් වැසිකිළියක් භාවිත කරන සංඛ්‍යාව 50ක් 60 ක් තරම් වේ. මේවා අලුත්වැඩියාවට ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු වන්නේම නැත. නමුත් උසස් නිලධාරීන් එක් අයෙකු පමණක් පාවිච්චි කරන වැසිකිළිය එම නිලධාරියා මාරු වී ගිය ගමන් එන නිලධාරියා නවීකරණය කරන අවස්ථා අප ඕනෑ තරම් දැක තිබේ.

පොලිසිය වැඩිපුර ජනතාවගෙන් බැණුම් අහන්නේද උසුළු විසුළුවලට ලක්වන්නේද රථවාහන අංශය නිසාය. එහෙත් මේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් ගිරයට හසු වූ පුවක් ගෙඩි වැනිය.

රථ වාහන අංශයේ නිලධාරීන්ට මුහුණපෑමට සිදුව ඇති ප්‍රධානම කරදරය වන්නේ පොලිසියේ අමතර වියදම් සියල්ල සපයා දෙන්නට සිදුවීමය. උසස් නිලධාරීන්ගේ මාසික පරීක්ෂණ සඳහා අවශ්‍ය කෑම බීම, ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී නිවාඩු ලැබ යන විට ගෙදර ගෙන යාමට හාල්, පොල්, මස්, මාළු සඳහා පොලිස් ස්ථානවල අලුත්වැඩියාව රථ වාහන අංශයේ යතුරුපැදි අලුත්වැඩියාවට ආණ්ඩුවෙන් දෙන ඉන්ධන අවසන් වූ පසු රාජකාරි වාහන සඳහා ඉන්ධන සපයා ගැනීමට උසස් නිලධාරීන්ගේ සාකච්ඡා සඳහා ආහාරපාන සම්පාදනයට පොලිසිය රාජකාරි සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය සපයා ගැනීමට ආදී වශයෙන් වන කාරණා සඳහා මුදල් හෝ භාණ්ඩ සපයා දිය යුත්තේ රථ වාහන අංශයේ නිලධාරීන්ය.

අල්ලස් ලබා නොගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් පත්‍රිකා 10-15 ක් පමණ නිකුත් කර තිබේ. එසේ තිබියදී සාමාන්‍ය පොලිස් නිලධාරීන් විශේෂයෙන් රථවාහන අංශයේ නිලධාරීන් අල්ලස් ලබා ගන්නේ මේ අවශ්‍යතා සඳහාය. නමුත් ජනතාව හිතන්නේ එම නිලධාරීන් අල්ලස් ලබා ගන්නේ ගෙදර ඉන්නා බිරිඳට දරුවන්ට කන්නට දෙන්නට බවයි.

පොලිසියේ අනෙක් අංශවල තත්ත්වයද එලෙසමය. සියලු රාජකාරි සඳහා සිය පුද්ගලික යතුරු පැදිය පාවිච්චි කළ යුතුය. සිය වියදමින් තෙල් ගසාගෙන රාජකාරීවල නිරතවීමට කිසිදු නිලධාරියෙකු කැමති නැත. එවැනි වැටුපක් මෙම නිලධාරීන්ට ලැබෙන්නේද නැත. එබැවින් මෙම වියදම් දැරීමට සිදුවන්නේද පොලිසියේ පිහිට පතා එන අහිංසක ජනතාවටය.

පොලිසිය හා මහජනයා අතර ඇති දුරස්ථභාවය ඉවත් කිරීම සඳහා පොලිසිය ගමට යනුවෙන් ප්‍රජා පොලිස් වැඩ සටහන් ක්‍රියාවට නංවා ඇත. වත්මන් පොලිස්පතිවරයා මෙම ක්‍රමය කෙරෙහි තදින්ම එල්බ ඇති අයෙකි. මොනයම් නියෝග යෝජනා ආවද මෙහි වැඩි බරක් ඇදීමට සිදුවී ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන්ට බව පෙන්වා දෙමි. සෑම පොලිස් නිලධාරියෙකුටම දිනකට අනිවාර්ය පැය 08 හෝ 12 රාජකාරි කොටසක් පැවරී ඇත.

මෙය බොහෝ ස්ථානවල පැය 12 කි. ඒ අනුව පැය 12 රාජකාරිවලින් පසුව නිලධාරියා වෙත භාරදී ඇති වසම වෙත අදාළ රාජකාරි සඳහා වසම්වල රැස්වීම් පැවැත්විය යුතුයි. ශ්‍රමදාන ආදී පොදු කටයුතු සංවිධානය කළ යුතුයි. මේ අයුරින් දිනක පැය 12 රාජකාරි කර නිිලධාරියෙකුට ගම හැදීම සඳහා ප්‍රජා පොලිස් කළ හැකිද? රැකියාව බේරා ගැනීම සඳහා එම නිලධාරීන් වසමට යනු ඇත. කුමක් හෝ දෙයක් කරනු ඇත. නමුත් නිවැරදිව කැපවීමෙන් මෙසේ වැඩ කිරීමට පුළුවන් වන්නේ කාටද?

බොහෝ පොලිස් ස්ථානවල සුළු නිලධාරීන්ට නිවාඩු ලබා ගැනීමට ප්‍රජා පොලිස් රැස්වීම් පවත්වා තිබිය යුතුය. දූෂණ මර්දන නඩු ලබාගෙන තිබිය යුතුය. රථවාහන නඩු හා වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගෙන තිබීම ආදී කරුණු සම්පූර්ණ කර අයැදුම්පත ඉදිරිපත් කළ යුතුව ඇත. එසේ නොවන කල පොලිස් කොස්තාපල්වරයාට නිවාඩු නැත. මෙසේ රාජකාරි කිරීමට සක්‍රයාගේ පුතා වයිමාටවත් බැරිය. උසස් නිලධාරීන් මෙම කරුණු තේරුම් නොගන්නේ ඇයිද කියා නොදනිමි.

පොලිසියේ ස්ථාන මාරුවීම් සම්බන්ධව කිසිදු ක්‍රමවේදයක් නැත. දැනට පවතින ක්‍රමය අනුව ඕනෑම සුළු නිලධාරියෙකුට සිය ගම් ප්‍රදේශයේ රැඳී රාජකාරි කිරීමට අවකාශ ඇත්තේ වසර 02 හෝ ‍උපරිම වසර 03 කි. ඉන් අනතුරුව මා පෙර සඳහන් කරන ලද මෙහෙයුම් කලාප රාජකාරි සඳහා අනිවාර්යයෙන් යා යුතුව ඇත. මෙසේ නොයන බලපුළුවන්කාර සුළු නිලධාරීන්ද නැතුවාම නොවේ. ඒ අනුව වසර 02 න් 03 න් අහිකුණ්ඨිකයින් මෙන් රට වටේ යාමට ඔවුන්ට සිදුවී ඇත.

බොහෝ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයෙක් වශයෙන් පත්වන්නේ පොලිස් පරීක්ෂකවරයෙකි. මෙම අයගේ වත්කම් සම්බන්ධව සොයා බැලුවහොත් එවැනි නිලධාරියෙකුට එම වැටුපෙන් ඔහු ගත කරන සුපිරි ජීවිතය ගත කළ හැකිද ප්‍රශ්නයකි. නමුත් එම ක්‍රමය අප දනිමු. සාමාන්‍ය පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 10-15 පමණ වේ. නමුත් මෙම මුදලද පොලිස් ස්ථාන පිහිටි ප්‍රදේශ අනුව වෙනස්වේ. මෙම මුදලින් කොටසක් මෙම අයගේ යහපැවැත්ම උදෙසා උසස් නිලධාරීන් වෙත අතදිග හැර වියදම් කිරීමට මොවුන් කිසි විටක මැලි නොවෙති. පළාතේ සිටින නීති විරෝධී ජාවාරම්කරුවන් වෙත ඔහුගේ ජාවාරම අනුව මාසිකව ස්ථානාධිපති වෙත ලබාදිය යුතු මුදල් එම අයට දන්වා ඇත. මාසය අවසානේ මෙම මුදල් ස්ථානාධිපති වෙත ජාවාරම්කරුවන් ලබාදේ. ඉන් අනතුරුව කිසිම කරදරයකින් තොරව මෙම අය සිය ජාවාරම සිදුකරගෙන යනු ලබයි.

සමහර කොට්ඨාස වල සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් විරසකය. පොලිස් අධිකාරීවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා විරසකය. මෙයට හේතුව ජාවාරම්කරුවන්ගෙන් මුදල් උපයාගැනීමේ ප්‍රශ්නයයි. පොලිස් අධිකාරි සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා බොහෝ අයට ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව ගෙවල් 02-03 ඇත ඒවාට ගෙවල් කීමටද නොහැක. ඒවා බංගලාය. මොවුන්ගේ දරුවන් බිරින්දෑවරුන් එක් වාහනය බැගින් පාවිච්චි කරති. සේවා කාලය අනුව ඔවුන්ගේ වැටුප ගණන් බැලුවහොත් එම නිවෙස්වල තාප්පයක්වත් එම මුදලින් ඉදිකිරීමට නොහැකි බව තේරුම්ගත හැක. නමුත් මෙම අය සොයන්නේ පාරේ සිට සිය දෛනික රාජකාරි කර ගැනීමට තම යතුරු පැදියට තෙල් ටිකක් ලබා ගැනීමට රුපියල් 100 ලබාගන්නා රාලහාමිගේ අල්ලස ගැනය. මෙම උසස් නිලධාරීන්ගේ වත්කම් සම්බන්ධව නිවැරදි පරීක්ෂා කළ හොත් මෙම සියලු දෙනාම සිටිය යුත්තේ පොලිසියේ පරිපාලනයට නොව මහඋළුගෙදර බව පෙන්වා දෙමි.

කොට්ඨාසයේ අවශ්‍යතා සඳහා කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට කොට්ඨාස ප්‍රතිපාදන වෙන්කරනු ලබයි. මෙයින් වැඩි මුදලක් වැය වන්නේ උසස් නිලධාරීන්ගේ විහරණය සඳහාමය. සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් ඉහළ සියලුම නිලධාරීන් සබන් කෑල්ලේ සිට අත්‍යාවශ්‍ය සියලුම භාණ්ඩ කොට්ඨාස ගබඩාවෙන් ලබාගැනීමට කටයුතු කරනු ලබයි. මෙම භාණ්ඩ ඔවුන්ට හිමි නැති වුවත් වෙනත් වව්චර් ඉදිරිපත් කරමින් මේවා ලබා ගැනීමට කටයුතු කරනු ලබයි. කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන් නිවසට අවශ්‍ය සියලුම දේ කොට්ඨාස ගබඩාවෙන් ලබාගෙන නිවස වෙත රැගෙන යනු ලබන අතර මෙම අයගේ ආහාර සඳහාද පොලිස් ස්ථානාධිපතිවරුන් මිලියන ගණනින් පගා ගෙන යහතින් වැජඹෙද්දී රුපියල් 3000 ගත් කොස්තාපල් වසර 07 හිරේ යන රටක් වී ඇත.

පොලිසියට දැන් තරුණ නිලධාරීන් බැඳෙන්නේ නැත. 2020 වන විට 88 සහ 89 කාලයන්හි යුද හේතුන් මත පොලිසියට ගත් විශාල පිරිසක් විශ්‍රාම ලබා ගැනීමේ ලේඛනයේ ඇත. පොලිසියේ අනාගතය කුමක් වනු ඇතිද? මා පොලිසියට පැමිණි 1989 වර්ෂයේ ඉපිද වයස 20න් පොලිසියට පැමිණි කොලුවාද දැන් පොලිසියට ඇවිත් වසර 10 ක් ගතව ඇත.

නමුත් අප තවම පී.සී මය. මෙම පොලිස් කොල්ලාට අපි කතා කරන්නේ කවුරුන් කියාද? පොලිස්පති අපුරු වක්‍රලේඛයක් මෑතකදී නිකුත් කර ඇත. එයින් කියවෙන්නේ පොලිස් කොස්තාපල් තනතුරේ වසර 15 සම්පූර්ණ කර වයස 60 විශ්‍රාම ලබන පොලිස් නිලධාරීන් පොලිස් සැරයන් තනතුරටද, පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක තනතුරටද, විශ්‍රාම යන විට උසස් කරන බවයි. අප පොලිස්පතිවරයාගෙන් අසන්නේ මෙම උසස්වීම් ගෙදර ගොස් පොලිසියක් කරන්නට ලබාදෙන්නේද යන්නයි.

උසස්වීම් සම්බන්ධව දැන් අප කිසිදු බලාපොරොත්තුවක් නැත. එකම බලාපොරොත්තුව විශ්‍රාමය බේරාගෙන යෑම පමණකි. මෑත කාලයේ 2018 වර්ෂයේ පොලිස් කොස්තාපල් සිට සැරයන් දක්වා උසස් කිරීමට පරීක්ෂණයක් පැවැත්විණ. මෙම පරීක්ෂණයේදී නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලකුණු 10 ලබාදීමට ඉඩ සලසා තිබිණ. සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 70 වැඩියෙන් උපයාගත් නිලධාරීන්ට හිත හොඳ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිය ලකුණු 10 ලබාදී ඇත. කුහකයින් මෙම ලකුණු ලබාදී නැත.

මෑත කාලයේ පොලිස් නිලධාරීන්ට බොහෝ රජයන් පොරොන්දු විශාල වශයෙන් ලබාදී ඇත. 2018 අගෝස්තු මස චක්‍රලේඛයක් නිකුත් කරමින් පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනා දෙගුණ කරන බව දක්වා ඇත. නමුත් චක්‍ර ලේඛය මිස සංයුක්ත දීමනා මෙතෙක් නැත.

මෙම සුළු නිලධාරීන් පොලිස්පතිවරයාගෙන් ඉරහඳ ඉල්ලා නැත. ඉල්ලා ඇත්තේ තම රාජකාරිය ගරුත්වයෙන් කරගෙන නියමිත දිනයට උසස්වීම් ලබා සැමට හිතකර ස්ථාන මාරුවීම් ක්‍රමයක් ක්‍රියාවට නැංවීමත් සුදුස්සාට සුදුසු තැන හිමිවන ක්‍රමයක් සකස් කර උසස් නිලධාරීන්ගේ මාන්නය දුරුවී මහපොළොවේ සිට ගැනීමට සිහිය එළවීම හා නිලධාරීන්ට ඔරොත්තු දෙන ප්‍රමාණයේ රාජකාරි ප්‍රමාණයක් ඔවුන් වෙත පැවැරීම පමණකි. මෙම අයද මනුස්සයෝ යැයි උසස් නිලධාරින්ට හැඟෙන ඔවුන් ඔවුන්ටම අවංක වන දිනයක පොලිසියේ පැවැත්ම යහපත්වනු ඇත.

මෙයට

පොලිස් කොස්තාපල්වරුන් වෙනුවෙන්

පොලිස් කොස්තාපල්වරයෙක්.

සෑම පොලිස් ස්ථානයක්ම මසකට වරක් සහකාර පොලිස් අධිකාරිද, මාස හයකට වරක් කොට්ඨාස භාර පොලිස් අධිකාරිද, වසරකට වරක් නියෝජ්‍ය පොලිස්පති විසින්ද පරීක්ෂා කෙරේ. එම පරීක්ෂාවන්ට පෙර පොලිස් ස්ථානය සුද්ධ පවිත්‍ර කර අලුත්වැඩියා කටයුතු කර තීන්ත ආලේප කොට අලංකාර කළ යුතුය. ඊට අමතරව මේ උසස් නිලධාරීන්ට සුපිරි කෑම මේසයක්ද සකස් කළ යුතුය. එහෙත් මේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදනයක් නැත.
උසස් නිලධාරීන්ගේ මාසික පරීක්ෂණ සඳහා අවශ්‍ය කෑම බීම, ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී නිවාඩු ලැබ යන විට ගෙදර ගෙන යාමට හාල්, පොල්, මස්, මාළු සඳහා පොලිස් ස්ථානවල අලුත්වැඩියාව රථ වාහන අංශයේ යතුරුපැදි අලුත්වැඩියාවට, ආණ්ඩුවෙන් දෙන ඉන්ධන අවසන් වූ පසු රාජකාරි වාහන සඳහා ඉන්ධන සපයා ගැනීමට උසස් නිලධාරීන්ගේ සාකච්ඡා සඳහා ආහාරපාන සම්පාදනයට පොලිසිය රාජකාරි සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය සපයා ගැනීමට ආදී වශයෙන් වන කාරණා සඳහා මුදල් හෝ භාණ්ඩ සපයා දිය යුත්තේ රථ වාහන අංශයේ නිලධාරීන්ය.
පොලිස් පොඩ්ඩන්ගේ මේ චෝදනාවන් ට බලධාරීන්ගේ පිළිතුරු ලබන සතියේ

aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More