විදේශ පුවත්

විනෝද් මුණසිංහ

ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපතිවරයා, පසුගිය අප්‍රේල් 11 වන දින, තම කාර්යාලයේ සරණාගත බව ලබා සිටි, ලෝක ප්‍රසිද්ධ සයිබර් ප්‍රවෘත්තිකරු ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම පිණිස, ලන්ඩන් පොලිසියට තම තානාපති කාර්යාලයට ඇතුළු වන ලෙස ආරාධනා කළේය. ලන්ඩන් පොලිසිය අසාන්ජ් අත්අඩංගුවට ගත්තේ, ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින් ඔහුව උදර්පණය කිරීමට ගත් උත්සාහය නිසාය. ඇමෙරිකානු ආණ්ඩුව මෙසේ කළේ, තම ආණ්ඩුවට විරුද්ධව ඔත්තු බැලීමේ හා, කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවක් කර, ඔහුව සිරගත කිරීමට ඔවුන්ට තිබූ උවමනාව නිසාය.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර, 2007 දී රොයිටර් ප්‍රවෘත්ති සමාගමේ මාධ්‍යවේදීන් දෙදෙනෙක් ඇතුළු සිවිල් වැසියන් නවදෙනෙක් අමු අමුවේ මරාදමා, ළමුන් දෙදෙනකුට උග්‍ර ලෙස තුවාල කළ ඇමෙරිකානු හෙලිකොප්ටර් යානා ප්‍රහාරයේ වීඩියෝ පටයක්ද, වෙනත් ඇමෙරිකානු යුද්ධ අපරාධවලට අදාළ සාක්ෂි සාධක රාශියක්ද, අසාන්ජ් ගේ විකීලීක්ස් මාධ්‍ය ආයතනය විසින් 2010 න් පසුව, ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම, චෝදනාවට හේතු විය.

2012 දී, එවකට ඉක්වදෝර් හි ජනාධිපති රෆායෙල් කොරයා, අසාන්ජ්ට සිය ලන්ඩන් තානාපති කාර්යාලයේ, දේශපාලන සරණාගත භාවය ලබා දුන්නේය. තුන් වරක් ජනාධිපති ලෙස පත් වූ කොරයා, 2017 දී දේශපාලනයෙන් සමු ගත්තේය. අනුප්‍රාප්තිකයා වූයේ හිටපු උප ජනාධිපති ලෙනින් මොරෙනෝය. මොරෙනෝ ජනාධිපති ලෙස පත් වී මාස කිහිපයකට පසු, ඔහුගේ මැතිවරණ ප්‍රකාශයේ අඩංගු ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කොට, නව ලිබරල්වාදී මාර්ගයකට පිවිසුණේය. හිටපු ජනාධිපති කොරයා අසාන්ජ්ට දුන් ​දේශපාලන රැකවරණ ඉවත් කළේ මොරෙනෝ විසිනි.

ඊට හේතු ලෙස, මොරෙනෝ වරින් වර, වෙනස් කරුණු දැක්වීය. ඔහු පළමුවෙන්ම කියා සිටියේ, සිය ලුහු පෙවෙත් ප්‍රතිපත්ති නිසා දුක් විඳින මහජනතාව කුපිත කළ, සුඛෝපභෝගී හෝටල් කාමරයක, මිල අධික පොකිරිස්සෝ කමින්, තමා විවේක ගනිමින් සිටි, ඡායාරුපයක් විකීලීක්ස් සංවිධානය විසින්, ප්‍රසිද්ධ කරන ලද නිසා බවය. (විකිලීක්ස් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කොට ඇත). අවසානයේ ඔහු, අසාන්ජ් තානාපති කාර්යාලයේ බිත්ති වල අශුචි ගෑවා යැයි, බොරු චෝදනාවක් කළේය.

මෙවන් නිදහසට කරුණු, ඔහු ඉදිරිපත් කරන්නේ, සැබෑ හේතුව සඟවා ගැනීම පිණිසය. සැබෑ හේතුව වුයේ, ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින්, කරන ලද බලපෑම්ය. ඇමෙරිකාව විශේෂයෙන්ම ඉක්වදෝරය එසේ කිරීමට පෙලඹ වූයේ, මූල්‍ය ත්‍යාග ලබා දීමේ පොරොන්දුව මතයි. පසුගිය පෙබරවාරි 20 වන දින, මොරෙනෝ ගුවන් විදුලියෙන් හා රූපවාහිනිය මාර්ගයෙන්, ප්‍රකාශ කර සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉක්වදෝරයට ඇමරිකන් ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ලබා දී ඇති බවයි. ඊට අමතරව, තමාට, ලෝක බැංකුවෙන්ද, අන්තර් ඇමෙරිකානු සංවර්ධන බැංකුවෙන්ද, තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක ණය මුදල් ලැබෙන බවත්, ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. ඔහු කියා නොසිටියේ, මෙම ණය ලබා ගැනීම සඳහා, මෙම ජාත්‍යන්තර ආයතන විසින්, දමන ලද කොන්දේසි පිළිබඳවයි. මෙයින් කොන්දේසි තුනක්, ඉතාමත් වැදගත්ය.

පළමුවැන්න නම්, ඉක්වදෝර් රාජ්‍ය ඛනිජ තෙල් සමාගම ඇතුළු, රජයේ ආයතන රාශියක් පෞද්ගලීකරණය කිරීමයි. දෙවනුව, ඇමේසන් වැසි වනාන්තරය, පරිසරය දූෂණය කිරීමට වන්දි ගෙවීමෙන් ඇමෙරිකන් ෂෙව්රෝන් සමාගම නිදහස් කිරීමයි. තෙවැන්න වූයේ, ජුලියන් අසාන්ජ්ව උදර්පණය කිරීමයි. මෙයින් ලෝක බැංකුවත්, IMF ආයතනයත්, ඇමෙරිකානු එක්සත් ජනපදයේ රජයේ, විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට භාවිත වන ආයතන බව ඔප්පු වේ.

දෙවෙනි ලෝක මහා සංග්‍රාමය අවසන් වීමට අවුරුද්දක් පමණ තිබියදී, 1944 ජුලි මාසයේදී, ඇමෙරිකාවත්, එහි මිත්‍ර රටවල් 43ක නියෝජිතයින්, ඇමෙරිකාවේ නිව්හම්ෂයර් ප්‍රාන්තයේ, බ්‍රෙටන් වූඩ්ස් (Bretton Woods) හි හමු වූහ. මොවුන් පශ්චාත් සංග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳ සාකච්ඡා කළ අතර, ඔවුන් ගෝලීය මූල්‍ය ආයතන කිහිපයක්, පිහිටුවීමට අඩිතාලම තැබූහ.

ඉන් ඉක්බිතිව පිහිටුවන ලද, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බ්‍රෙටන් වූඩ්ස් ආයතන ලෙස හැඳින්වේ. මේ ආයතන ස්වාධීන ලෙස හැඳින්වෙන නමුත්, ප්‍රායෝගිකව ඒවායේ ප්‍රධාන කොටස්කරු වන ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින්, ඒවා පාලනය කෙරේ. ආයතන දෙකේම, ප්‍රධාන කාර්යාල පිහිටුවා ඇත්තේ, ඇමෙරිකානු එක්සත් ජනපදයේ, අගනුවර වන වොෂින්ටන් DC නුවරය. ලෝක බැංකුවේ අධිපති පත් කරනු ලබන්නේ, ඇමෙරිකානු ආණ්ඩුව විසිනි. ආරම්භයේ සිට බ්‍රෙටන් වූඩ්ස් ආයතන ඇමෙරිකානු ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගිය බව, ප්‍රත්‍යක්ෂයි.

නිදසුනක් වශයෙන්, වර්ෂ දෙදහස් ගණන්වල මුල් කාලයේදී, ලංකාව ජාන වෙනස් කළ ජීවීන් තහනම් කරන අවස්ථාවේදී, ඇමෙරිකාව විසින් තම රාජ්‍ය තන්ත්‍රය සහ ආර්ථික බලය යොදවා, ලංකා ආණ්ඩුවට බලපෑම් කොට, එය නතර කරන ලදී. එසේ කිරීමට හැකි වුයේ, ඇමරිකාවට ගෝලීය මූල්‍යමය ආයතනවලට කළ හැකි බලපෑම් නිසාය.

2008 දෙසැම්බර් මාසයේ, විකිලීක්ස් විසින්, ඒ අවුරුද්දේම සැප්තැම්බර් මාසයේ නිකුත් කරන ලද ඇමෙරිකානු හමුදා උපදේශ සංග්‍රහයක් හෙළිදරව් කරන ලදී. “ක්ෂේත්‍ර උපදේශක සංග්‍රහය, (FM) 3-05.130, හමුදා විශේෂ මෙහෙයුම් බළකාය, අසම්මුතිගත යුද්ධ උපක්‍රම” (“Field Manual (FM) 3-05.130, Army Special Operations Forces, Unconventional Warfare”) නමැති මේ ලේඛනය, ස්වාධීන රාජ්‍යයන් යටින් හාරා බිඳ දැමීමේ ක්‍රම පැහැදිලි කර දේ. ඒ සඳහා භාවිත කළ හැකි, ස්වාධීන රටවල්වලට මුදල් ගලා යාම පාලනය කිරීමට හා නැවැත්වීමට බදු හා පොලී අනුපාතිකයන් මෙහෙය වීම වැනි, නීතිමය හා නිලධාරිවාදී ක්‍රියා මාර්ග යෙදවීම විස්තර කරයි. තවද, එය හමුදා විශේෂ මෙහෙයුම් බළකායන්වල, අසම්මුතිගත යුද්ධ උපක්‍රම සඳහා, වෙනිසියුලාව සහ ඉරානය වැනි රටවල්වලට විරුද්ධව සම්බාධක අභිප්‍රේක්ෂණය කරන ඇමෙරිකානු භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලය, අන් රටවල්වලට විරුද්ධව ආර්ථික සංග්‍රාමවල යෙදී සිටින බවත්, සඳහන් වේ.

මෙම ලේඛනය, ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවන් හා ඇමෙරිකාවේ විදේශ අමාත්‍යංශය වන, රාජ්‍ය දෙපාර්තමේන්තුව (State Department) සමග සම්බන්දීකරණය කෙරෙන, අසම්මුතිගත යුද්ධ ව්‍යාපාරවලට මෙවන් මූල්‍යමය යුද්ධායුධ බොහෝ වටිනා බව සටහන් වේ. තවද, ඇමෙරිකානු ආණ්ඩුවෙන්, යොදවන ලද, තනි පාර්ශ්වික ක්‍රියාවලියන්ට අමතරව, තම බලය යොදා, ජාත්‍යන්තර හා දේශීය මුල්‍යමය ආයතනවලට බලපෑම් කොට, එම ආයතන මාර්ගයෙන්, මෙවන් මූල්‍යමය යුද්ධායුධ සතුරු රාජ්‍යයන්ට විරුද්ධව, යොදා ගත හැකි බවද, සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍යමය ආයතන ලෙස, මෙම ලේඛනයේ, ලෝක බැංකුව, IMF ආයතන‍ය, ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා සංවිධානය (OECD ) හා අන්තර්ජාතික බේරුම් කිරීමේ බැංකුව (BIS) නම් කරයි. විශේෂයෙන්ම, මෙම ලේඛනය, ලෝක බැංකුව සහ IMF ආයතනය, පවතින ගෝලීය පාලන ක්‍රමයේ අඛණ්ඩ කොටස් පමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපදයේ, බලයේ මූල්‍යමය හා, රාජ්‍ය දූතමය මෙවලම් ලෙස, සඳහන් කරයි.

දශකයකට පෙර නිකුත් කරන ලද, මෙම ලේඛනය මෙම ජාත්‍යන්තර මූල්‍යමය ආයතන නිදහස් නොවන බවත්, ඒවා, ඇමෙරිකාවේ මූල්‍ය යුද්ධායුධ ලෙස භාවිත වෙන බවත්, හෙළිදරව් කරයි. මෑතකදී වෙනිසියුලාවේ සිදුවීම්, මේ ආර්ථික යුද්ධ උපක්‍රමය ගැන උදාහරණ වේ. ඇමෙරිකානු සම්බාධක නිසා, කලින් පොහොසත්ව තිබූ, වෙනිසියුලාවේ ආර්ථිකය කඩා බිඳ දමා ඇත. ඇමෙරිකානු ආණ්ඩුව විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් මාර්ගයෙන්, ජුවාන් වයිඩෝ (Juan Guaido) නමැති, මන්ත්‍රීවරයෙක්, තමා වෙනිසියුලාවේ ජනාධිපති බව ප්‍රකාශයට පත් කළ විට, ඇමෙරිකාවත්, ඇමෙරිකාවේ මිත්‍ර රටවලුත්, ජාත්‍යන්තර නීති පද්ධතියට විරුද්ධව මොහුව පිළිගත්හ. මෙසේ කළේ, නිකොලස් මඩුරෝ එරටේ නීත්‍යනුකූල, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්කර ලද ජනාධිපති ලෙස කටයුතු කළ අවස්ථාවේදීය.

එපමණක් නොව, එක්සත් ජනපද ආණ්ඩුව විසින් පාලනය කෙරෙන, අන්තර් ඇමෙරිකානු සංවර්ධන බැංකුව (IADB) විසින්, වයිඩෝගේ නියෝජිතයා වන රිකාඩෝ හවුස්මන්, සිය බැංකුවේ වෙනිසියුලාව පිළිබඳ අධිපති ලෙස, පිළිගත්තේය. රිකාඩෝ හවුස්මන් යනු, ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ, නව ලිබරල්වාදී මහාචාර්යවරයෙක් වන අතර, ඔහු ලංකාවේ වර්තමාන ආණ්ඩුවේ උපදේශකයෙක් ලෙසද ක්‍රියා කරයි. ලංකාව සංවර්ධනය කිරීමට විදේශීය විශේෂඥයින් ට රැකියා දෙන ලෙසත්, තවදුරටත් ලංකාවේ ආර්ථිකය විවෘත කරන ලෙසත්, ඔහු උපදෙස් දී තිබේ.

වෙනිසියුලාවේ හිටපු ජනාධිපති හියුගෝ චාවෙස්, IMF සහ ලෝක බැංකුව සමග සබඳතා සියල්ලක්ම බිඳ දමා, වෙනම ජාත්‍යන්තර සංවර්ධන බැංකුවක්, ඇති කිරීමට උත්සාහ කළේය. එසේ කිරීමට ඔහුට හේතු වූයේ, මෙම ආයතන ඇමෙරිකාවේ මෙවලම් ලෙස භාවිත වෙන බැවින්ය.

ලංකාවේ වර්තමාන ආණ්ඩුව විසින්, IMF ආයතනයෙන් ද අන් ගෝලීය මූල්‍යමය ආයතනවලින්ද, ගෙන ඇති ණය ගැන, ඉහත කී කරුණු හේතුවෙන් අපි විමසිලිමත් විය යුතුයි. එම ණය ලබා දීමට, එම ආයතන සමග ලංකාණ්ඩුව එකඟ වූ කොන්දේසි මොනවාදැයි අප සොයා බැලිය යුතුයි.

ඇමෙරිකානු ආණ්ඩුව විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් මාර්ගයෙන්, ජුවාන් වයිඩෝ (Juan Guaido) නමැති, මන්ත්‍රීවරයෙක්, තමා වෙනිසියුලාවේ ජනාධිපති බව ප්‍රකාශයට පත් කළ විට, ඇමෙරිකාවත්, ඇමෙරිකාවේ මිත්‍ර රටවලුත්, ජාත්‍යන්තර නීති පද්ධතියට විරුද්ධව මොහුව පිළිගත්හ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More