පුරවැසි කොලම

මහින්ද පිලෙන් ඉදිරි මැතිවරණයට ගෝඨාභය ආවොත් අනෙක් පැත්තෙන් ඔබද? මෙම ප‍්‍රශ්නය ‘රාවය. මාධ්‍යවේදී නිමල් අබේසිංහ එවකට ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකාට ඉදිරිපත් කරන්නේ 2018 අපේ‍්‍රල් මාසයේදීය. ඒ මීට අවුරුද්දකට පෙරය. ෆොන්සේකා දුන් කෙටි පිිළිතුර 2018.04.29 දින ‘රාවයේ. මෙලෙස සටහන් විය. ‘‘ගෝඨාභය ඒවි ඊට කලින් හිරේ විලංගුවේ නොවැටුණොත් කරලා තියෙන වැරදිවලට. එයා ආවොත් මේ පැත්තෙන් ඉතින් හැමදාම වෙනවා වගේ වැඩියෙන්ම සුදුස්සා කවුද කියලා ජනතාව අතරින් පක්‍ෂය අතරින් මතුවෙන්න ඕනේ. එක සිද්ධවේවි. මං කියන්නේ නැහැ මම විය යුතුයි කියලා. අපට මොකද වෙන්නේ කියලා බලන්න වෙනවා.”

ෆොන්සේකා සමග කළ පුවත්පත් සාකච්ඡාව ‘පසුගිය වසර වගේ වුණොත් අනාගතයක් නෑ. යන ශීර්ෂ පාඨය යටතේ පළකර තිිබිණි.

එජාපය අද මුහුණ දෙන බරපතළ අර්බුද, අභියෝග සහ අභ්‍යන්තර ප‍්‍රශ්න විමසා බැලිය යුත්තේ ෆොන්සේකා සමග ‘රාවය. කළ සම්මුඛ සාකච්ඡාවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. 2019 ජනපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ කවුරුදැයි කියන කථිකාව එජාපය තුළ සිදුවෙමින් පවතී. අර්බුදයක් නොමැති නම් ඉදිරිපත් වන අපේක්‍ෂකයා පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් තිබිය යුතුය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙන්ම එජාපයටද තම අපේක්‍ෂකයා කවුරුදැයි ප‍්‍රසිද්ධියට පත්කිරීමට මෙම සිිංහල, දමිළ අලූත් අවුරුද්දට පෙර නොහැකි බව පැහැදිලිය. පසුගිය සතියේ ‘ඉරිදා දිවයින. ලිපියෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දෙන ජනපතිවරණ අපේක්‍ෂකයා තෝරා ගැනීමේ ප‍්‍රශ්නය එසේත් නැතහොත් අභියෝගය විමසා බැලීය.

එජාපයේ ජනපති අපේක්‍ෂකයා එම පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහද? එසේත් නැතහොත් වර්තමාන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකුද? හෝ 2010 සහ 2015 ජනපතිවරණවල මෙන් ‘පිටස්තරයකුද.?

ශ‍්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති කවුරුද? 19 වැනි සංශෝධනය හේතුවෙන් භූමියේ සිදුවූ බරපතළ වෙනස්කම් හත්වැනි ජනපතිවරණයට කෙලෙස බලපායිද?

ගෝඨාභය රාජපක්‍ෂට මෙන් එජාපයට 19 වැනි සංශෝධනයේ බලපෑමක් නැත. එයට හේතුව හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙන් එජාපය ප‍්‍රමුඛ සංධානය වෙනුවෙන් ඉදිරිපත් වීමට හැකියාවක් ඇති කිසිවකු ද්විත්ව පුරවැසියකු නොවීමයි. එක්තරා ආකාරයකට 19 වැනි සංශෝධනය ගෝඨාභය භීතිකාවෙන් පෙළෙන කණ්ඩායමට 2015 අපේ‍්‍රල් මස පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලද 19 වැනි සංශෝධනය ඇත්ත වශයෙන්ම ආශිර්වාදයකි. ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි වූවොත් ගෝඨාභය රාජපක්‍ෂගේ උත්සාහය වතුරේය.

2010 ජනපතිවරණයේදී පරාජයට පත්වූ ෆොන්සේකා අගමැති රනිල් වික‍්‍රමසිංහ එජාප අපේක්‍ෂකයා විය යුතු බවට කිහිප වරක් පවසා ඇත. ෆොන්සේකා පවසන්නේ ඕනෑම තත්ත්වයක් තුළ තම පක්‍ෂයේ නායකයා තරගයට ඉදිරිපත් විය යුතු බවයි. ෆොන්සේකාගේ ස්ථාවරය පැහැදිලිය. 2019 අභියෝගය භාරගත යුත්තේ පක්‍ෂයේ නායකයාය. කථානායක කරු ජයසූරිය එජාපයේ අපේක්‍ෂකත්වය හිමිකර ගැනීම පිළිබඳව මාධ්‍යවේදියකු මෑතකදී හිටපු යුද හමුදාපතිවරයාගෙන් විමසූ විට ඔහු පැහැදිලිව සඳහන් කළේ අපේක්‍ෂකත්වය පක්‍ෂයේ නායකයාට හිමිවිය යුතු බවයි. එලෙසම තමා පක්‍ෂයේ නායකයා වෙනුවෙන් පෙනීසිටින බව ෆොන්සේකා සපථ කළේය. යුද්ධය සාර්ථකව නිම කිරීමට නායකත්වය දුන් සිංහ රෙජිමේන්තුවේ ෆොන්සේකා කියන පරිදි එජාපයේ ජනපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳව ප‍්‍රශ්නයක් තිබිය නොහැක. ෆොන්සේකා එලෙස පැවසුවත් භූමියේ තත්ත්වය අතිශයින්ම ව්‍යාකූලය. ඉදිරිය අපැහැදිලිය. එජාප නායකයා අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව හෝ ඉදිරිපත් විය යුතු බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම, තීන්දු තීරණ ගන්නා කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ පිළිගන්නවාද?

ෆොන්සේකා එජාප නායකයා 2019 ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට කළ ප‍්‍රකාශය අදවනතුරු කිසිදු පාර්ශ්වයක් ප‍්‍රසිද්ධියේ අනුමත කර නැත. කරන්නේද නැත. රනිල් වික‍්‍රමසිංහ බලයේ සිටින ජනපතිවරයකුට එරෙහිව තරගයට ඉදිරිපත් වූයේ 1999 දෙසැම්බර් 21 එවකට පොදු පෙරමුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට විරුද්ධවය. ද්‍රවිඩ ත‍්‍රස්තවාදී නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් කුමාරතුංග මැතිනිය මරා දැමීමට කළ උත්සාහය අසාර්ථක නොවන්නට රනිල් වික‍්‍රමසිංහ එම ජනපතිවරණය සමහරවිට ජයග‍්‍රහණය කිරීමට තිබිණි. කුමාරතුංග මැතිනියට බහුතර සිංහල ජනතාවගේ අනුකම්පාව හිමිවිය. යුද හමුදාව උතුරේ අන්ත පරාජයට ලක්වූ අවස්ථාවක පැවැත්වුණ එම ජනපතිවරණය රට උඩු යටිකුරු කළේය. ජනපතිවරණය ජයග‍්‍රහණය කළ කුමාරතුංග මැතිනිය 2001 දෙසැම්බර් 05 මහ මැතිවරණය පරාජය විය. වික‍්‍රමසිංහ ජයග‍්‍රහණය කළේය. නෝර්වේ රාජ්‍යය හරහා ත‍්‍රස්තවාදීන් සමග 2001 පෙබරවාරි 21 දින සටන් විරාම ගිවිසුමකට ඇතුළු විය. ජනාධිපතිවරණය පරාජය වුවත් එජාප රජය ජනපති ‘බලතල. පාවිච්චි කළේය. ජනාධිපතිවරියව තුට්ටුවකට මායිම් කළේ නැත.

හතර වැනි ඊළාම් යුද්ධය අබියස පැවැති 2005 නොවැම්බර් 17 ජනපතිවරණයේදීද ත‍්‍රස්තවාදීන් රනිල් වික‍්‍රමසිංහට එරෙහි විය. උතුරේ ඡන්දය වික‍්‍රමසිංහට අහිමි කළේය. එදා කොටි ත‍්‍රස්තවාදීන්ගේ දේශපාලන හස්තය වූ ආර්. සම්බන්ධන් නායකත්වය දුන් ද්‍රවිඩ ජාතික සන්ධානය ද්‍රවිඩ ජනතාවට ඡන්දය දීම තහනම් කළේය. වික‍්‍රමසිංහ ඡන්ද 186,000 කින් පරාජය විය. ත‍්‍රස්තවාදීන් ඔහු පරාජය කළේය. ඒ වෙන කිසිවක් නිසා නොව එජාප නායකයාට සාපේක්‍ෂව මහින්ද රාජපක්‍ෂ අත්දැකීම් නොමැති, දුර්වල ජනපතිවරයකු විය හැකි බව ත‍්‍රස්තවාදීන් වැරදි ලෙස තේරුම් ගෙන තිබීමයි.

මහින්ද රාජපක්‍ෂ ජනපති ලෙස දිවුරුම් දී සති දෙකක් යෑමට පෙර ත‍්‍රස්තවාදීන් ක්ලේමෝ (පැති බෝම්බ) ප‍්‍රහාර යාපනයේදී එල්ල කිරීම ආරම්භ කළේය. 2005 දෙසැම්බර් වන විට මෙම ප‍්‍රහාර ආරම්භ විය. 2010 ජනපතිවරණය ජනවාරියේදී පැවැත්වෙන විට ත‍්‍රස්තවාදීන් හමුදාමය ලෙස පරාජය වී තිබිණි.

1999 සහ 2005 වික‍්‍රමසිංහ පරාජය කිරීමට මූලික හේතු සාධකයන් වූ ත‍්‍රස්තවාදීන් 2010 ජනපතිවරණයේදී සාධකයක් නොවීය. නමුත් ත‍්‍රස්තවාදීන්ගේ දේශපාලන අතකොළුව වන ද්‍රවිඩ ජාතික සන්ධානය ක‍්‍රියාත්මක විය.

ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපයේ නායකත්වය යටතේ ජවිපෙ සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග එක්වී 2010 ජනවාරියේ ජනපතිවරණයේදී ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටියේය. ඇමරිකානු අනුග‍්‍රහය මෙම මෙහෙයුමට ලැබිණි. නමුත් යුද්ධය දිනූ ජනපති පරාජය කිරීමට යුද්ධයට නායකත්වය දුන් හමුදාපතිට නොහැකි විය. ඡන්ද මිලියන 1.8 කින් ෆොන්සේකා පරාජය විය. ‘කොම්පියුටර් ජිල්මාට්. හේතුවෙන් ෆොන්සේකා පරාජය කළ බව කියමින් ජනතාව මුළා කිරීමට උත්සාහ කළේය. එම උත්සාහය අසාර්ථක විය. එජාප නායක වික‍්‍රමසිංහ පක්‍ෂයේ ප‍්‍රධානියා ලෙස 2019 ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි කියන ෆොන්සේකා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ඇයි? 2010 ජනපතිවරණයට වික‍්‍රමසිංහට වඩා ෆොන්සේකා වඩාත් සුදුසු යැයි තීරණය කළ සාධක මොනවාද? 2010 දී එජාප ප‍්‍රමුඛ සන්ධානය වික‍්‍රමසිංහගෙන් නොදැකපු ෆොන්සේකාගෙන් දුටු ජයග‍්‍රාහී ගුණාංග මොනවාද?

2015 ජනපතිවරණයේදීද එජාපය නායකයා ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි කියනු ලබන කාරණාව පසෙක තැබීය. තම නායකයා වෙනුවට ප‍්‍රතිවිරුද්ධ ශ‍්‍රීලනිපයේ මහ ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කෙරිණි. 2010 මෙන්ද 2015 දීද පොදු අපේක්‍ෂකයා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ‘හංසයා. ලකුණෙන් තරග කළේය. මෑතකදී එම පක්‍ෂයේ හිමිකරු ශලිල මුණසිංහ තායිවානයේ බැංකුවකින් මුදල් කෝටි ගණනක් අයථා ලෙස අනෙකුත් බැංකුවලට යැවීමෙන් මුළු රටම අපකීර්තියට පත්කළේය.

2019 ජනපතිවරණයට ඉදිරිපත් වීමට වික‍්‍රමසිංහට කිසිදු බාධාවක් දැන් නොමැත. 1999 සහ 2005 තමන් පරාජය කිරීමට කටයුතු කළ කොටි ත‍්‍රස්තවාදීන් අද නොමැත. 1994 නොවැම්බර් ජනපතිවරණයට ඉදිරිපත් වූවානම් වික‍්‍රමසිංහ කොටි ත‍්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වීමට බොහෝ විට ඉඩ තිබිණ. එම ජනපතිවරණයේදී වික‍්‍රමසිංහට තරගයට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ ‘බහුතරයක්. කැමැත්තෙන් තමන්ට හිමිකර ගත් පක්‍ෂය කඩාගෙන ගොස් නැවත පැමිණි ගාමිණී දිසානායක ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයට ලක්විය. රටට විශාල වැඩ කොටසක් කළ හැකිව තිබූ නායකයකු අපහට නැතිවිය.

ගාමිණී දිසානායක වෙනුවට එජාපය ඔහුගේ බිරිය ශ‍්‍රීමා ඉදිරිපත් කළේය. කුමාරතුංග මැතිනිය කිසිදු අභියෝගයක් නැතිවම 1994 නොවැම්බර් ජනපතිවරණය ජයග‍්‍රහණය කළේය.

2019 ජනපතිවරණයට ඉදිරිපත් වීමට වික‍්‍රමසිංහට කිසිදු අවහිරතාවක් තිබිය නොහැක. කොටි ත‍්‍රස්තවාදීන් විනාශ වී ඇත. ත‍්‍රස්තවාදීන්ගේ අතකොළුව එජාපය සමග 2010 සිට දේශපාලනයේ යෙදේ. රාජපක්‍ෂවරු නායකත්වය දෙනු ලබන ඕනෑම දේශපාලන ව්‍යාපෘතියක් පරාජය කිරීමට ජවිපේ කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙනු ඇත. ජාත්‍යන්තර ප‍්‍රජාව (බටහිර ආණ්ඩු) තවමත් වික‍්‍රමසිංහ පාලනයක් පිළිබඳව විශ්වාසය තබා ඇත. බටහිරට මහින්ද රාජපක්‍ෂ හෝ ඔහුගේ අනුගාමිකයකු නොවන ඕනෑම පුද්ගලයකු පිළිගත හැකිය. සිවිල් ජනතාව දස දහස් ගණනක් 2009 මරා දැමීම පිළිබඳව චෝදනා නගන, තවමත් ඔප්පු නොවූ යුද අපරාධ පිළිබඳව හමුදාවට/ එවකට දේශපාලන නායකත්වයට වගවීම කියාදෙන ඇමරිකාව හිටපු හමුදාපති ෆොන්සේකා රටේ නායකයා ලෙස පිළිගැනීමට සූදානම් විය.

ෆොන්සේකා 70 හැවිරිදි එජාප නායක වික‍්‍රමසිංහ නැවත ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි පවසන විට එම තීරණාත්මක සටනට නොයෙකුත් නම් යෝජනා වේ. මාධ්‍ය වාර්තා අනුව බලයේ සිටින කණ්ඩායමේ කිහිප දෙනෙකුගේ නම් 2019 ජනපතිවරණයේදී ඉදිරිපත් විය හැකි අපේක්‍ෂකයන් ලෙස සඳහන් වේ. ‘ශාසන දීපන අභිමානි ශ‍්‍රී ලංකා.

මෑතකදී ගෞරව නාමයෙන් පිදුම් ලැබූ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස එම කණ්ඩායම අතර ඉදිරියෙන්ම සිටී. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන 2018 පෙබරවාරි 10 දින පළාත් පාලන ඡන්දය එජාපය සහ ශ‍්‍රී ලනිපය අන්ත අසරණ කළේය. බලයේ සිටින පක්‍ෂයක් සහ පක්‍ෂ පළාත් පාලන ඡන්ද පරාජය වූ ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එකම අවස්ථාව එයයි. පරාජයේ වරද සම්පූර්ණයෙන්ම වික‍්‍රමසිංහ මත පැටවූ ජනපති සිරිසේන කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස හෝ රංජිත් මද්දුම බණ්ඩාරට අගමැතිකම භාර ගැනීමට ආරාධනා කළේය.

ලබන සතියට

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More