පුරවැසි කොලම

ඩග්ලස් දේවානන්ද වැදගත් ප්‍රශ්නයක් නගලා. ඊයේ දි අයිලන්ඩ් පත්තරේ තමයි මේ ප්‍රවෘත්තිය තිබුණෙ. ඒක ප්‍රශ්නයකට වඩා ඉල්ලීමක්. එහෙත් මට නම් ඒක ප්‍රශ්නයක්. දේවානන්ද ඉල්ලන්නේ ව්‍යවස්ථා සභාවේ විරුද්ධ පක්‍ෂ නියෝජිතයා පත්කිරීමේ දී තම නමත් සලකන්න කියා. ඔහු එය කතානායකගෙන් ඉල්ලන්නේ. ඔහු කියා සිටින්නේ තමා එකී සභාවට පත් වීම සඳහා තම නම ඉල්ලා අස්කර ගෙන නොමැති බවයි.

ව්‍යවස්ථා සභාවට මා කලින් ලිපියකත් සඳහන් කළ ආකාරයට අගමැති සහ විපක්‍ෂ නායක එකතු වී පස් දෙනකු යෝජනා කරන්න පුළුවන්. ඔවුන් දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. පිටින් තුන් දෙනකු ඉන්නවා. ඔවුන් තිදෙනා යෝජනා කර ඇත්තේ අගමැති. විරුද්ධ පක්‍ෂ නායක බවට මහින්ද පත් වීමෙන් පසු ඔහු චමල් රාජපක්‍ෂගේ නම යෝජනා කළා. චමල් රාජපක්‍ෂ පත් කෙරුණා. එහෙත් ඉන්පසු අගමැතිගේ අවශ්‍යතාව උඩ සම්බන්ධන්ගෙ නම විපක්‍ෂයෙන් යෝජනා කර තිබෙනවා. එසේ යෝජනා කිරීමට පෙර චමල් ඉල්ලා අස්වී තිබෙනවා.

ඩග්ලස් දේවානන්ද ඊයේ කර ඇති ප්‍රකාශයට අනුව පැහැදිලි වන්නේ ඔහු ව්‍යවස්ථාදායක සභාවේ විපක්‍ෂ නියෝජිතයා වීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවයි. එහෙත් යම් කිසි උපාමාරුවකින් ඔහු තම නම ඉල්ලා අස්කර ගත් බවට ප්‍රචාරයක් ඇති වී තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන දේවානන්දගෙන් නම අස් කර ගත්තේ ඇයි දැයි ඇසූ විට තමයි දේවානන්ද කියා ඇත්තේ තමා නම අස් කර ගත්තේ නැති බව.

එසේ නම් මෙහි දී සිදු වී ඇත්තේ කුමක් ද? සම්බන්ධන්ගේ නම යෝජනා කර ඇත්තේ ද අගමැති බවයි පත්තර වාර්තාවෙන් කියැවෙන්නේ. එසේ නම් දැන් අගමැති විපක්‍ෂ නායක එකතු වී යෝජනා කළ යුතු නම් පහ ම යෝජනා කර ඇත්තේ අගමැති. එවිට විපක්‍ෂ නායකට ඇති කාර්ය භාරය කුමක් ද? විපක්‍ෂ නායක මහින්ද අගමැති රනිල්ගේ කීමට සම්බන්ධන්ගේ නම යෝජනා කෙළේ ද?

ව්‍යවස්ථා සභාව වැඩ කර ඇති ආකාරය පිළිබඳ විවිධ චෝදනා තිබුණා. එහි සාමාජිකයන් පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල වුණා. සම්බන්ධන් විරුද්ධ පක්‍ෂ නායකයා කාලෙත් නිල බලයෙන් ව්‍යවස්ථා සභාවෙ සාමාජිකයෙක්. ඔහු එහි සාමාජිකයකු ව සිටින කාලයේ තමයි එයට පක්‍ෂග්‍රාහීත්ව චෝදනා එල්ල වුණේ. දැන් ඔහු නැවතත් මහින්දගේ (රනිල්ගේ) යෝජනාවෙන් ව්‍යවස්ථා සභාවෙ සාමාජිකයෙක්.

අද ව්‍යවස්ථා සභාවෙ විපක්‍ෂය නියෝජනය කරන්නෙ මහින්ද විතරයි. මහින්ද තම වගකීම ඉටු කරන්නේ නැද්ද? ඔහු දේවානන්ද කපා හැර රනිල්ගෙ කීමට සම්බන්ධගෙන් නම යෝජනා කෙළේ ද? ව්‍යවස්ථා සභාවට පස්දෙනකු අගමැති විපක්‍ෂ නායක දෙදෙනාගේ ම නාම යෝජනා පත් වෙන්න ඕන. එහෙත් අද ඒ පස්දෙනා ම පත් කෙරී ඇත්තේ අගමැති රනිල්ගේ සෘජු හෝ වක්‍ර හෝ නාම යෝජනා මත.

අද කළ යුත්තේ මහින්ද සම්බන්ධන්ගේ නාම යෝජනාව අස් කර ගැනීමයි. එසේ වුවත් සම්බන්ධන් අස් වෙයි ද යන්න ප්‍රශ්නයක්. මහින්ද රනිල්ගේ කීමට සම්බන්ධන්ගේ නම යෝජනා කෙළේ නම් මහින්ද කර ඇත්තේ බරපතළ වරදක්. ව්‍යවස්ථා සභාව සිංහල බෞද්ධ විරෝධීන්ගේ කෙළිමඬලක් වෙලා. ඔවුන් එහි බඩපිනුම් ගහනවා. ධනපාලලා සිවම්මා ධනපාල නාට්‍ය රඟපානවා. සිවල් සාමාජිකයන් පිටත සිට ඔල්වරසන් හඬ දෙනවා. ජයඝෝෂා නගනවා.

දේවානන්ද සිංහල බෞද්ධයකු නො වෙයි. ඔහු දෙමළ කතා කරන ක්‍රිස්තියානි බැතිමතෙක්. ඔහු කලක් අවිගත් ත්‍රස්තවාදියකු ව සිටියා. එහෙත් පසුව ත්‍රස්තවාදය අත්හැරියා. ඔහු කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව අභීත ව පෙනී සිටියා. කොටින්ගේ මරණීය තර්ජනවලට මුහුණ දුන්නා. ඔහු මරු කටින් ගැලවුණේ නූලෙන්. ඔහු රට බෙදීමට විරුද්ධයි. ව්‍යවස්ථා සභාවට ඔහු වැන්නන් පත් කිරීමේ වරදක් නැහැ.

සම්බන්ධන් කවුද? ඔහුගේ පක්‍ෂය කිනම් නමකින් පෙනී සිටිය ද කොටි ත්‍රස්තවාදීන්ගේ බළල් අතක් වුණා. ඔහු බෙදුම්වාදියෙක්. අද ඔහු දෙමළ ජාතික සංධානයේ සාමාජිකයකු පමණක් නොව එහි නායකයා ලෙස ද කටයුතු කරනවා. අද ඇත්තේ එ ජා පෙරමුණේ හා දෙමළ ජාතික සංධානයේ ආණ්ඩුවක්. සම්බන්ධන් එහි ඇමතිකමක් නිල වශයෙන් ලබා ගෙන නැහැ. එහෙත් ඔහු විරුද්ධ පක්‍ෂ නායක කමින් ඉවත් වීමට සිදු වීමෙන් පසුවත් රනිල්ගේ අනුග්‍රහයෙන් විපක්‍ෂ නායකට හිමි වරප්‍රසාද බුක්ති විඳිනවා. රනිල් ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කරන්නේ තම සිංහල බෞද්ධ විරෝධී භාවය තව තවත් හෙළිදරවු කරමින්. රනිල් අවුරුදු දා කිරි ඉතිරෙව්වේ ඊළමට ද?

සම්බන්ධන් හා දේවානන්ද අතරින් දේවානන්ද ව්‍යවස්ථා සභාවට සුදුසුයි. ඒත් දැන් සම්බන්ධන් පත් කෙරිලා. ඔහු දැන් අස්වෙන එකක් නැහැ. මේ සිද්ධි සිංහල පත්තරවල එතරම් ප්‍රසිද්ධියට පත් නොකෙරෙන්නේ ඇයි ද කියා තේරුම් ගැනීම අපහසුයි. සම්බන්ධන් ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීම මහින්ද කළ තවත් අමනෝඥ ක්‍රියාවක්.

ඇතැමුන් මේ ලිපි තම මුහුණු පොත් පුවරුවල පළ කරන බව පැහැදිලියි. මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා ලිපිය තම පුවරුවේ පළ කරන අතර කාලය සබැඳියත් දක්වන ලෙස.

නලින්ද සිල්වා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More