විදේශ පුවත්

රූපවාහිනි වැඩසටහනක ජනාධිපති වරයෙකුගේ චරිතයට පණ පෙවූ යුක්රේනයේ විකට නළුවකු සැබැවින්ම එරට ජනාධිපති පුටුව ආසන්නයටම පැමිණ ඇත. යුක්රේන ජාතික මැතිවරණයේ පළමු වටයෙන් ඉතා පහසුවෙන් එරට වර්තමාන ජනාධිපතිවරයා වන පෙත්‍රෝ පොරශෙන්කෝ පරාජය කිරීමට ඔහු සමත් විය. කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති වොල්දිමීර් සෙලෙන්ස්කි නම් මේ පෙරළිකාර විකට නළුවා 30.36% ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගනිමින් ඉදිරියට ඒම එරට සම්ප‍්‍රදායික දේශපාලඥයන් අන්ද මන්ද කිරීමට සමත්ව ඇත.

මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් 38 දෙනකු අතරින් මේ අපූරු ප‍්‍රහසන නළුවා පෙරට එද්දී වර්තමාන ජනාධිපති පොරශෙන්කෝ 15.92% ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය. හිටපු අගමැතිවරිය වූ යූලියා ටිමොශෙන්කෝ 13.38% ක් ප‍්‍රතිශතයක් අතැතිව තෙවැනි තැනට පත්වූවාය. මේ අනුව තරග කළ අපේක්ෂකයන් අතරින් කිසිවෙකු පැහැදිලි බහුතරයක් ලබානොගැනීම හේතුවෙන් මුල් ජයග‍්‍රාහකයන් දෙදෙනා අතර දෙවැනි වටයේ තරගයක් පැවැත්වීමට නියමිතව ඇත. එළැඹෙන අපේ‍්‍රල් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දෙවන වටය සඳහා පෙරළිකාර ටෙලිවිෂන් ජනාධිපතිවරයා හා වර්තමාන ජනාධිපතිවරයා මේ වන විට සූදානම් වෙමින් සිටිති.

මැතිවරණයෙන් පසු දින රාත‍්‍රියේ තම සගයන් සමඟ ”හීනියට අඩියක් ගසා” ටේබල් ටෙනිස් ක‍්‍රීඩා කරමින් සිටි සෙලෙන්කි පැවසුවේ හුදෙක් විනෝදයට ඡන්දය පාවිච්චි නොකළ සියලූම යුක්රේන ජාතිකයන්ට ප‍්‍රණාමය පුද කරන බවයි.

”මෙය ආරම්භයක් පමණයි. අප මෙය අතහරින්නේ නැහැ. අද සිට දූෂණය පිටුදැකීම තුළින් ජනතාවගේ ජීවිතය අලූත් වේවි.” දිනුම් කණුව පාමුල සිට ඔහු වැඩිදුරටත් පැවසීය.

වීකටා උලූ 2 Servant of the People (ජනතා සේවකයා) නමින් යුක්රේනයේ Kvatal 95 සමාගමෙන් නිෂ්පාදනය කරන ලද රූපවාහිනී විකට වැඩසටහනක ජනාධිපතිවරයාගේ චරිතයට පණපෙවූ සෙලෙන්ස්කි යුක්රේනයේ සම්ප‍්‍රදායික දේශපාලන ප‍්‍රවාහයට තර්ජනයක් වනු ඇතැයි මුල් අවස්ථාවේ කිසිවෙක් විශ්වාස නොකළහ. එරට බලවත් හා සම්ප‍්‍රදායික දේශපාලනඥයන් උපහාසයට ලක්කළ මෙම රූපවාහිනී කතා මාලාවට අනුව පාසලක ඉතිහාස ගුරුවරයෙකු වූ ”වසිල් පෙට්‍රොවීච්” රජයේ දූෂණ හා වංචාවන්ට විරුද්ධව අසම්මත ලෙස අරගල කරයි. අවසානයේ එකී පාසල් ගුරුවරයා යුක්රේනයේ ජනාධිපතිවරයා ලෙස අහම්බෙන් තේරී පත්වෙයි. එලෙස දිගහැරුණු මෙම දේශපාලන ප‍්‍රහසනය කෙතරම් ජනප‍්‍රිය වීදැයි කිවහොත් සමස්ත යුක්රේන ජනතාවගෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් එය නරඹා ඇති බවට වාර්තා වෙයි.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ”වසිල් පෙට්‍රොවීච්” සියලූම ජනාධිපති වරප‍්‍රසාද ඉවත දමා සාමාන්‍ය ජීවිතයක් ගත කරයි. ඔහු ගමන් කරන්නේ පාපැදියකිනි. ඉහළ පුටුවල අරක්ගත් වංචාකාර හා දූෂිත බලවතුන්ගේ කල්ලි වලට විරුද්ධව අසීරු හා අසම්මත සටනක් අරඹන ”වසීල් පෙට්‍රොවීච්”ගේ චරිතය තම රටේ ඇත්ත ජනාධිපතිවරයා ලෙස පිළිගැනීම උදෙසා යුක්රේන ජනතාව දැක්වූ උනන්දුව ලෝක දේශපාලනයට එක්වූ අමුතුම ප‍්‍රවනතාවයක් ලෙස ඉතිහාස ගත වී ඇත.

රාමායනය, ඉලියඞ් හා ඔඩිසි ආදී ප‍්‍රබන්ධමය පුරාවෘත්ත සැබෑ ඉතිහාසය ලෙස ජනගත වීම අතීතයේ සිට පැවත ආ සුහුරු සම්ප‍්‍රදායයි. ඉතිහාසයේ එකී චරිත නැවත නාට්‍යමය ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමද අමුත්තක් නොවේ. නාට්‍යමය චරිත සැබෑ ලෙස පිළිගෙන ඔවුන් තම ගැලවුම්කරුවන් ලෙස පිළිගන්නා සිනමාත්මක දේශපාලන භාවිතාවද අඩු වැඩි වශයෙන් ලොව පුරා දක්නට ලැබුණි. ඒ ඉඩ බොහෝ විට වෙන්වූයේ සිනමාවේ වීරයාගේ චරිතයට පණපෙව්වන් උදෙසාය. දකුණු ඉන්දියානු දේශපාලනයේ එවන් බොහෝ අය සිටියද මෙරට තුළ එවැනි විභවයක් සහිත අයෙකු බිහිවූවානම් ඒ විජය කුමාරණතුංග පමණි. හොලිවුඞ් නළුවෙකු වූ රොනල්ඞ් රේගන් බලවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරයා වන්නේ තම තාරකා කැරිස්මාවද උපයෝගී කොට ගෙනය. කෙසේ නමුත් තමන්ම මැවූ නාට්‍යමය භූමිකාව මහ පොළොවේ යථාර්ථයක් කිරීම සඳහා යමෙකුට අවස්ථාවක් ලැබේනම් එහි කූඨප‍්‍රාප්තිය සෙලෙන්ස්කි වෙත උදාවී ඇති බව කිව යුතුය.

සෙලෙන්ස්කි ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේ Servant of the People නම් දේශපාලන පක්ෂයෙනි. තම දේශපාලන ප‍්‍රහසනය අතිශය ජනප‍්‍රිය වෙද්දී Kvatal 5 සමාගම ඒ නමින්ම දේශපාලන පක්ෂයක් පිහිටුවා එහි නායකයා ලෙස තම නීති උපදේශකයාව පත්කර ගත්තේය. ජනතා ප‍්‍රසාදය දිනූ තම වැඩසටහනේ නම දේශපාලනිකව අවභාවිත කිරීම වැළැක්වීම 2018 මාර්තු මාසයේ පක්ෂය ආරම්භ කිරීමේදී ඔවුන්ගේ මූලික අභිප‍්‍රාය විය. කෙසේ නමුත් ජනතාවාදී හා සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම මත තවදුරටත් විකසනය වූ Servant of the People පක්ෂය ද යුරෝපා සංගමයට පක්ෂපාතීත්වය දැක්වූ අතර දූෂණ විරෝධී බලවේගයක් ලෙස වේගයෙන් ඉදිරියට පැමිණුනි.

මේ අතර සෙලෙන්ස්කිට එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමේ රහසට හේතුව Servant of the People වැඩසටහන විකාශනය කළ රූපවාහිනී ආයතනයේ හිමිකරු වූ ඉගෝර් කොලොමොයිස්කි සමඟ ඇති කිට්ටු ”ඇයිහොඳයිය” බවට මත පළවෙමින් ඇත. කොලොමොයිස්කි යනු බැංකු, තෙල් ආකර හා ගුවන් සමාගම් පවා හිමි යුක්රේනයේ ප‍්‍රමුඛතම ධනකුවේරයෙකි. ඒ අනුව දූෂණ විරෝධී හා කලූ සල්ලිකාර ධනපති පැලැන්තියට විරුද්ධව සෙලෙන්ස්කි ගෙන යන සටනේ ඇති අවංකභාවය විරුද්ධවාදීන්ගේ ප‍්‍රශ්න කිරීමට ලක්වී ඇත. වර්තමාන ජනාධිපති පොරශෙන්කෝ පවසන්නේ සෙලෙන්ස්කි යනු කොලොමොයිස්කිගේ අල්ලේ නැටවෙන රූකඩයක් බවයි. කෙසේ නමුත් තමන් දෙදෙනා අතර ඇත්තේ ටෙලිවිෂන් ක‍්‍රියාන්විතය උදෙසා ගොඩනැඟුණු අතිශයින්ම වෘත්තීමය වූ සබඳතාවක් බව දෙදෙනා විසින්ම පවසා ඇත.

”සෙලෙන්ස්කි යනු මගේ රූකඩයක් නොවෙයි. මා ඔහුගේ රූකඩයක් කීවොත් තමා නිවැරදි ”

කොලොමොයිස්කි පසුගිය වසරේ රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි.

සෙලෙන්ස්කි සිටගත් වේදිකාව අපහැදිලි වුවත් ඔහුගේ ක‍්‍රමවේදයන් පසුගිය මැතිවරණ ජයගත් අන්ත දක්ෂිණාංශිකයන්ගේ දේශපාලනයට වඩා නැවුම් මුහුණුවරක් ගත් බවක් පෙන්නුම් කෙරේ. සම්ප‍්‍රදායික මහා ජන රැලි ප‍්‍රතික්ෂේප කළ ඔහු මාධ්‍යයට නිකුත් කරන කුඩා වීඩියෝපට මඟින් තම ප‍්‍රචාරණ කටයුතු සිදු කරන ලදි. අග සිට මුලටම ඔහු ක‍්‍රියාකොට ඇත්තේ තමා විසින් රඟපෑ ටෙලි චරිතයම සැබෑ ජනාධිපතිවරයා බවට පත්කිරීමේ අපූරු නාට්‍යමය උත්සාහයක් සහිතවය. තමාගේ දේශපාලන හා ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදනය උදෙසා වෘත්තීයවේදීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් බුද්ධි ගලනය නතර කරන බවත් ඔහු පවසයි.

තවද රුසියානු හිතවාදී බෙදුම්වාදීන් බොහෝ සෙයින් රැඳී සිටින නැගෙනහිර යුක්රේනයේ වෙඩිතැබීම් නතර කර ස්ථිරසාර විසඳුමක් ඒ සඳහා ලබා දෙන බව ද සෙලෙන්ස්කි පවසයි.

යුක්රේනයට තම දැවැන්ත හා බලවත් අසල්වැසියා වූ රුසියානු පෙඩරේෂනයේ බලපෑමෙන් තොරව පැවතිය නොහැකිය. රුසියාවේ නායකත්වයෙන් යුතුවූ අතීත සෝවියට් සංගමයේ ප‍්‍රබල සාමාජිකයෙකු වූ යුක්රේනය එයින් වෙන්වීමෙන් පසුව වුවත් රුසියාව සමඟ මිත‍්‍රශීලී සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ඒ අතරම යුරෝපා සංගමය සමඟ ද සමතුලිත සබඳතාවක් ගොඩනගා ගෙන තිබුණි.

ඩොන්බාස් යුද්ධය ලෙස හැඳින්වෙන යුක්රේනයේ නැගෙනහිර කලාපයේ උද්ගතව ඇති සන්නද්ධ ගැටුම් හේතුවෙන් එහි වැසියන් බොහෝ සෙයින් පීඩාවට පත්ව ඇත. 2014දී ඇති වූ යුක්රේන විප්ලවය නමින් හැඳින්වෙන බල පෙරලියෙන් පසු එවකට එහි රුසියානු හිතවාදී ජනාධිපතිවරයා වූ වික්ටර් යැන්කොවිච් බලයෙන් පහවිය. යුරෝපා සංගමය සමඟ අස්සන් කර තිබූ සහයෝගිතා ගිවිසුම අහෝසි කර ඒ වෙනුවට රුසියාවේ නායකත්වයෙන් යුතු යුරේසියානු ආර්ථික සංගමය සමඟ සහයෝගීතාවයක් ඇතිකර ගැනීමට යැන්කොවිච් උත්සාහ දරන ලදි. ඊට විරුද්ධව කීව් නගරයේ උත්සන්න වූ අරගලය නිමාවට පත්වූයේ දැඩි රුසියානු විරෝධියකු වූ පෙත්‍රෝ පොරශෙන්කෝ යුක්රේනයේ බලය අත්පත් කර ගැනීමෙනි. යැන්කොවිච් ක‍්‍රිමියාව ඔස්සේ මොස්කව් වෙත පලා ගියේය.

කෙසේ වෙතත් එකී බල හුවමාරුවත් සමඟම රුසියානු සම්භවයක් සහිත ජනතාව විසූ ක‍්‍රිමියාවට යුක්රේනයෙන් වෙන්වීමට අවශ්‍ය විය. කලූ මුහුදේ පිහිටි ක‍්‍රිමියා අර්ධද්වීපයට තම හමුදා එවූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් එය රුසියාවේ කොටසක් ලෙස පහසුවෙන්ම ඈඳා ගන්නා ලද්දේ තම අතීත සගයාගේ බටහිර ගැතිභාවයට එකට එක කිරීමක් ලෙසය. බටහිර බලවතුන්ගේ ”රතු එළි” තඹ දොයිතුවකට මායිම් නොකළ පූටින් ක‍්‍රිමියාවේ ජනමත විචාරණයක් ද පවත්වා එහි රුසියානු බලය තහවුරු කරගන්නා ලදි. ඉන් පසුව යුක්රේනයේ නැගෙනහිර හා දකුණු දිග ප‍්‍රාන්තවල ද බෙදුම්වාදී අරගල උත්සන්න විය. ඩොනෙට්ස්ක් හා ලූහාන්ස්ක් ප‍්‍රාන්තයන්හි බොහෝ නගර රුසියානු ආධාර ලැබෙන කැරලිකරුවන්ගේ පාලනයට නතුව ඇත. නේටෝ හා රුසියානු කඳවුරු අතර බල අරගලයට මැදි වී නන්නත්තාර වී ඇති නැගෙනහිර යුක්රේනයේ අර්බුදය ඉක්මනින් විසඳා ගැනීම ඊළඟට පත්වන ජනාධිපතිවරයා කවුරු වුවත් ඔහුගේ නියත වගකීමක් වනු ඇත. නේටෝවට හා යුරෝපා සංගමයට ගැතිවූ වර්තමාන ජනාධිපති පොරශෙන්කෝගේ ක‍්‍රියාකලාපය පූටින් සලකන්නේ රුසියාවේ ස්ථාවරත්වයට තර්ජනයක් ලෙසයි.

මේ අතර නිකම්ම නිකම් කවටයකු තම අනුප‍්‍රාප්තිකයා වීම නොරුස්සන ප‍්‍රකෝටිපති පොරශෙන්කෝ ජනාධිපතිවරයා එය අසල්වැසි ප‍්‍රබල සතුරා වූ පූටින්ට අහම්බෙන් ඇදෙන ලොතරැයියක් වනු ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි. පුටින් වැනි දැවැන්තයෙකු සමඟ ගනුදෙනු කිරීමට සෙලෙන්ස්කිගේ ඇති නොහැකියාව පිළිබඳව ඔහු සරදම් සහගතව කතාකරයි.

මෘදු, නම්‍යශීලී, නොමේරූ, මෝඩ, අත්දැකීම් රහිත, දුර්වල, පැහැදිලි දර්ශනයක් නැති, දේශපාලනික දැනුමක් නැති යුක්රේන ජනාධිපතිවරයකු දැකීම පුටින්ගේ සිහිනයක් බවට පොරශෙන්කෝ රොයිටර් පුවත් සේවයට පවසා ඇත. පූටින්ට ඒ සිහිනය සැබෑ කර ගැනීමට ඉඩ දෙනවාදැයි ඔහු යුක්රේන ඡන්ද දායකයන්ගෙන් දැඩිව ප‍්‍රශ්න කරයි. කෙසේ නමුත් දූෂණයෙන් හා වංචාවෙන් පිරීගිය සම්ප‍්‍රදායික යුක්රේන දේශපාලනයට විකල්පයක් ලෙස මතු වූ වොල්දිමීර් සෙලෙන්ස්කි නම් ප‍්‍රහසන කරුවා ප‍්‍රතික්ෂේප කිරීමට එරට ජනතාව සූදානම් දැයි නිශ්චිතවම දැන ගැනීමට අපේ‍්‍රල් 21 දිනය නිමාවන තෙක් සිටිය යුතුය.

ඒ අනුව ජනාධිපතිවරුන් විහිලූ සපයන්නන් වන ලෝකයක විහිලූ සපයන්නන්ට ද ජනාධිපතිවරුන් විය හැකි බව යුක්රේනයෙන් හෙට අනිද්දාම අසන්නට ලැබෙනු ඇත.

ශානක ලියනගම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More