පුරවැසි කොලම

ශ‍්‍රී ලංකාව අද මුහුණ පා ඇත්තේ මෙවන් අවාසනාවන්ත තත්ත්වයකටය. 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අවසන්වී දින 10 කට පසු මානව හිමිකම් කවුන්සිලය වධහිංසා සෙවීමේ එක්සත් ජාතීන්ගේ අනුකමිටුවක් පසුගිය අඟහරුවාදා මෙරටට එවනු ලැබීය. සිව්දෙනකුගෙන් යුත් මේ කමිටුවට රජය දොර විවෘත කළේය.

වික්ටර් සහරාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මේ කමිටුවට පැවරී ඇති කාර්යභාරය වී ඇත්තේ ශ‍්‍රී ලංකා පොලිසිය සහ ආරක්‍ෂක හමුදාව වධහිංසා සිදුකළ බවට එල්ලවී ඇති චෝදනා විමර්ශනය කිරීමටය.

එහෙත් මේ වධහිංසාවලට ලක්වූවෝ කවුරුන්ද?

ඒ හිටපු කොටි කි‍්‍රයාකාරීන්ය. යුද්ධය අවසන්වී දස වසරකට පසු හිටපු කොටි කි‍්‍රයාකාරීන් 299 ක්, බි‍්‍රතාන්‍යයේ පි‍්‍රඩම් පෝ ටෝචර් නමැති රාජ්‍ය නොවන සංවිධානය මානව හිමිකම් කවුන්සිලයටද වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලංකා හමුදාව වධහිංසාවන් සහ ලිංගික හිංසා බරපතළ ලෙස සිදුකර ඇති බව කියා සිටියේය.

එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ බලධාරීන් වධහිංසා සිදුකිරීම් ගැන නිරීක්‍ෂණය කිරීමට වසර 10 ක් ගතවූයේ මන්දැයි විමර්ශනය කර නැත.

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ මෙහෙයවීමෙන් මෙරටට එවා ඇති එම කමිටුව ස්වසාබුශාන් ගුප්ත් (මොරිෂියස්) පෙට්රෝ මිචෙල්බෙලි (සයිප‍්‍රස්) සහ වූයේ ලෝපස් (පිලිපීනය) යන නිලධාරීන්ගෙන් සමන්විත විය.

දින 10 ක් තිස්සේ මෙරට රැඳී සිටින එම කමිටුව මෙරට සිදුකරන්නේ ශ‍්‍රී ලංකා හමුදාවට සහ පොලිසියට එරෙහිව සාක්කි සෙවීමයි. එහෙත් මානව හිමිකම් බලධාරීන්ට හිස නමා සිටින රජය මෙවන් කමිටුවලට දොර විවෘත කිරීමෙන් සිදුකරන්නේ ඉල්ලන් කෑමකි.

මෙයට පෙර එක්සත් ජාතීන්ගේ නියෝජිත ජුවන් පැබ්ලෝ මෙරටට පැමිණ රැඳවුම්භාරයේ සිටින හිටපු ත‍්‍රස්තවාදීන්ගෙන් කටඋත්තර ගත් අතර සියලූ හමුදා කඳවුරුද විමර්ශනය කළේය.

මොහු මෙරටට පැමිණ ආරක්‍ෂක මර්මස්ථාන සහ ත‍්‍රස්තයන් රඳවා සිටි ස්ථානද රහස් පොලිසිය, ත‍්‍රස්ත මර්දන ඒකකය ඇතුළු හමුදා කඳවුරුද පරීක්‍ෂා කර ජිනීවා ගොස් ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් ඉදිරිපත් කළේය.

ජුවන් පැබ්ලෝ හමුවේ සාක්කි දුන් හිටපු කොටි කි‍්‍රයාකාරීහු යුද්ධ ගැටුම්වලදී සිදුවූ තුවාල හමුදාව වධහිංසා පැමිණවූ තුවාල බවට කියා සිටියහ.

පැබ්ලෝගේ මේ කි‍්‍රයාදාමය ජනාධිපතිට වාර්තා වූයේ ප‍්‍රමාදවීමෙනි. එහි ප‍්‍රතිඵලයක් වූයේ විදේශ ලේකම් ධුරයෙන් මාරු කිරීමයි.

එසේම පැබ්ලෝ වෙත රැඳවුම්භාරයේ සිටින හිටපු කොටි මිනීමරුවන්ගේ ලැයිස්තුවද ලබාදී තිබිණි.

එහෙත් ඇමරිකාව සහ ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත කණ්ඩායම්වලට එම රටවලට ඒමට කිසිසේත් ඉඩදෙන්නේ නැත. එසේම ඇමරිකානු රාජ්‍ය ලේකම් මගින් පොම්පියෝ මෑතකදී පැවසුවේ කිසිදු ඇමරිකානු සෙබළෙක් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාමට ඉඩනොදෙන බවත් ජාත්‍යන්තර අධිකරණයේ කිසිදු නිලධාරියකුට ඇමරිකාවට ඒමට ඉඩනොදෙන අතර එම අධිකරණය සමග එක්වී ඇමරිකාවට එරෙහිව කි‍්‍රයාකරන රටවල්වලට සම්බාධක පනවන බවත්ය.

එහෙත් අපේ රටේ සිදුවන්නේ කුමක්ද?

මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින් මෙරටට වධහිංසා පිළිබඳ සෙවීමේ කමිටුව එවීමේ තවත් තොරතුරු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළදී සොයාගැනීමට අපට හැකි විය.

පසුගිය මාර්තු 19 දා මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප‍්‍රධානත්වයෙන් වධහිංසාවලට ලක්වූවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මිතුරන් විසින් ස්වෙච්ඡා අරමුදලක් ස්ථාපිත කිරීමේ සමාන්තර රැස්වීමක් පවත්වනු ලැබීය. රටවල් 17 ක සිටින එම මිතුරන් ආරම්භ කළ මෙම අරමුදල වෙනුවෙන් ප‍්‍රකාශයට පත්කර තිබූ පති‍්‍රකාවේ පිළිඹුවූයේ සිංහල පුවත්පතක කොටසකි.

ඉන් ජාත්‍යන්තර ප‍්‍රජාවට පිළිඹුවූයේ ශ‍්‍රී ලංකාවේ විශාල ලෙස වධහිංසා සිදුවන බවයි. එහෙත් ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මේ පති‍්‍රකාව ගැන අවධානය යොමුකළේ නැත.

මෙවන් පසුබිමක් මැද ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රමුඛ එම්. ඒ. සුමන්තිරන් ශ‍්‍රී ලංකාවේ හමුදාව සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන බවට තර්ජනය කරනු ලැබීය.

එහෙත් ශ‍්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයාමට නොහැකිය. මෙම රෝම සම්මුතියට අත්සන් නොකරන ලෙස එවකට විදේශ ඇමැතිවූ ලක්‍ෂ්මන් කදිර්ගාමර්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට උපදෙස්දීම නිසා ඇය ඊට අත්සන් කළේ නැත.

එසේම අද ශ‍්‍රී ලංකා හමුදාවට අපරාධකරුවන් යයි හඬනගන ද්‍රවිඩ සන්ධානයේ ඇතැම් මන්ත‍්‍රීවරු ආරක්‍ෂාව ලබාගත්තේ හමුදාවෙනි.

එහෙත් කොටි ඩයස්පෝරාව සමග එක්වී කටයුතු කරන ද්‍රවිඩ සන්ධානය ශ‍්‍රී ලංකා හමුදාවේ ජනරාල්වරුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයන බවට තර්ජනය කරන්නේ ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද ලබාගැනීමට බව සනාථ වේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමකදී කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ එස්. පී. කිරුබාහරන් සමග එක්වූ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන්ද ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරනු ලැබීය. මේ ශ‍්‍රීධරන් විවාහ වී සිටින්නේ යාපනය කොටි හමුදා නායක තීපන් නමැති ඝාතකයාගේ සොහොයුරියක් සමගය.

තීපන් යුද අපරාධ රැසක් සිදුකළ බිහිසුණු මිනීමරුවෙකි. එහෙත් ඒ ගැන ශ‍්‍රීධරන් හඬ නගන්නේ නැත. රජයද ඒ බව හෙළි නොකරයි.

මේ හැර කොටි සංවිධානයේ රූකඩය ලෙස කි‍්‍රයාකළ ද්‍රවිඩ සන්ධානය යුද අපරාධවලට සම්බන්ධ බවත් ඒ ගැන මානව හිමිකම් කවුන්සිලය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බවත් ශ‍්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේගෙන් විමසූ විට ඇය පැවසුවේ ඒ ගැන පවතින රජය කි‍්‍රයාකළ යුතු බවයි.

එහෙත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ රජය සහ වත්මන් රජය ද්‍රවිඩ සන්ධානයට එරෙහිව කිසිදු යුද අපරාධ චෝදනාවක් එල්ල කළේ නැත. එසේම ඒ ගැන පරීක්‍ෂණයක් පවා පැවැත්වීමට ඉදිරිපත් වූයේ නැත.

මෙම තත්ත්වය මත ද්‍රවිඩ සන්ධානයට ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාමට නම් සුපිරි බලවතුන් පස්දෙනා වෙත බලපෑම් කළ යුතුයි. එහෙත් සම්පන්දන් හෝ සුමන්තිරන්ට නිශේධ බලය හිමි රුසියාවට හා චීනයට බලපෑම් කළ හැකිද?

මේ සැබෑ යථාර්ථය දන්නා ද්‍රවිඩ සන්ධානය සිදුකරන්නේ අතිවිශාල මුදල් සම්භාරයක් ඇති කොටි ඩයස්පෝරාව හමුවීමට ජිනීවා ලන්ඩන් සහ ටොරොන්ටෝ නගරවලට යාමයි.

මෙවර 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සුමන්තිරන් සිවාජිලිංගම් සහ ශ‍්‍රීධරන් පැමිණියේ ශ‍්‍රී ලංකා හමුදාවට කටුව ගැසීමේ බලාපොරොත්තුවෙනි.

ඒ බව සනාථ වූයේ මානව හිමිකම් කවුන්සිලයේ රටවල්වලට වෙන්කර ඇති ආසනවල වාඩිවී සිටින තානාපතිවරුන් ගැන නිරීක්‍ෂණය කිරීමට අප කටයුතු කිරීමෙනි. කැනඩා තානාපති ආසනවල කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානතම කි‍්‍රයාකාරියකු වූ ගැරී ආනන්ද සංගරී වාඩිවී සිටින අයුරු අපට දැකගත හැකිවිය.

ගැරී ආනන්ද සංගරී යනු තම පියාවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක පී. ආනන්ද සංගරී ගැන පවා තැකීමක් නොකරන්නෙකි. ආනන්ද සංගරීව කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීම සඳහා ආරක්‍ෂාව සැපයුවේ ශ‍්‍රී ලංකා හමුදාවයි.

මේ තත්ත්වය මත මානව හිමිකම් සමුළුවට පැමිණ කැනඩාව වෙනුවෙන් ප‍්‍රකාශයක් කළ ගැරී ආනන්ද සංගරී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතු බව කියා සිටියේය.

පසුගිය යහපාලන රජය ගැරීට ශ‍්‍රී ලංකාවට ඒමටද ඉඩදී තිබිණි. ඔහු උතුරටද ගොස් ශ‍්‍රී ලංකා හමුදාව අන්තර්ජාතික අධිකරණයට යොමුකළ යුතු බව කියා සිටියේය. එසේ වූවත් යහපාලන රජය ඔහුව පිටුවහල් කළේ නැත.

මෙලෙස කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ සමීපතම සගයාවූ ගැරී ආනන්ද සංගරී කැනඩාව නියෝජනය කරන්නේ කෙසේ දැයි ශ‍්‍රී ලංකාව ප‍්‍රශ්න කළේ නැත.

කැනඩා තානාපති අසුනේ වාඩිවී සිටි ගැරීගෙන් පසු නෝර්වේ තානාපති අසුනේ වාඩිවී සිටියේ කවුදැයි අපි විමර්ශනය කළෙමු.

නෝර්වේ අසුනේ වාඩිවී සිටියේ කොටි බළකොටුව වූ සාම්පූර් වෙත ප‍්‍රහාර එල්ල නොකරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂට ආයාචනා කළ හිටපු නෝර්වේ තානාපති හැන්ස් බ‍්‍රට්ස්කාර්ය.

එහෙත් ශ‍්‍රී ලංකා බලධාරීන්ට මේ බව හෙළිවූයේද? නෝර්වේ රජය බ‍්‍රට්ස්කර්ට එවා තිබුණේ අවස්ථාව බලාය. මොහු මානව හිමිකම් සමුළුව අමතමින් 30/1 ජිනීවා යෝජනාව මුළුමනින්ම ඉටුකළ යුතු බව කියා සිටියේය.

එසේ වූවත් කොටි ත‍්‍රස්තවාදයට ආධාර කළේ නෝර්වේ රජය නොවේද? බදු ගෙවීමකින් තොරව කොටින්ට අධි සම්පේ‍්‍රෂණ ගුවන් විදුලි පද්ධතියක් ලබාදුන්නේ නෝර්වේ රජයයි.

එසේම සාම සාකච්ඡා සඳහා තමා නෝර්වේ වෙත ගොස් අවි ආයුධ සමාගම්වල ඇති අවි ගැන සොයාබැලූ බව විනයාගමුර්ති කරුණාඅම්මාන් වරක් හෙළි කළේය.

මේ හැර නෝර්වේ රජය කොටි කණ්ඩායමකට රේන විශේෂ බළකා කඳවුරට යාමටද ඉඩදුන් බව ඉරිදා දිවයින එදා විශේෂයෙන් හෙළිකරනු ලැබීය.

මෙයට අමතරව නෝර්වේහි ආප්ටන් පෝස්ටන් පුවත්පත හෙළිකළේ කොටි කි‍්‍රයාකාරීන් පිරිසක් නෝර්වේ වෙත යැවීමට කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය කි‍්‍රයාකළ බවයි. මේ අතීතය අමතක කළ හැකිද?

මෙවන් පසුබිමක් මැද මෙරට ඇමරිකානු තානාපතිනි ඇලිනා පෙලිට්ස් මෙරට අභ්‍යන්තර කටයුතු වලට සෘජුව මැදිහත්වෙද්දී රජය බලාසිටි ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ජිනීවා යාමට පෙර යාපනයේ හෝටලයකදී ශ‍්‍රීධරන් – සරවනබවන් සහ උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. ටී. සිවඥානම් යන තිදෙනා ඇමරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කළේ ජිනීවා මානව හිමිකම් සමුළුව ගැනය.

ඇමරිකානු තානාපතිනි නිකිහේලි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අසූචි වලක් යයි පවසා තිබියදී ඇලිනා පෙලිට්ස් එම අසූචි වල ගැන සාකච්ඡා කළේ මන්ද?

එසේම ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇයට ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරු සමග ජිනීවා යෝජනාව ගැන සාකච්ඡා කිරීමට හිමිනමක් තිබේද? එවන් සාකච්ඡා පැවැත්වීමෙන් තානාපතිවරුන්ට සම්බන්ධ වියනා සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට ඇගෙන් විමසීමට රජයට කොන්දක් නැති බව පැහැදිලිය.

මේ අතර හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා යෝජනාවේ ඇත්ත යනුවෙන් පසුගිය අඟහරුවාදා ප‍්‍රකාශයක් කළේය.

2017 දී ජිනීවා යෝජනාවට අත්සන් කළේ එවකට සිටි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත වූ රවිනාත් ආරියසිංහ බවත් අද ඔහු විදේශ ලේකම් බවත් 2015 සහ 2017 වසරවලද ඔහු මේ යෝජනාවට සම අනුග‍්‍රහය දුන් බවත් එම අවස්ථාවේ ඔහුට චෝදනා එල්ලවූයේ නැති බව පැවසූ මංගල සමරවීර මේ වසරේ පෙබරවාරි, ජිනීවා යෝජනාවට තාක්‍ෂණික උපදෙස් ගැනීමට ජනාධිපති හා අගමැතිගෙන් උපදෙස් ගත් බවත් කියා සිටියේය. එහෙත් මෙවන් ප‍්‍රකාශයක් කිරීමට මංගලට අයිතියක් නැත. මන්ද ඔහු විදේශ ඇමැති නොවේ.

එහෙත් උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් මංගල සමරවීරගේ ප‍්‍රකාශය එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කළේය. ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීම ජනාධිපති කි‍්‍රයාකළේ නැති බවත් එම යෝජනාවට සම අනුග‍්‍රහය දුන්නේ කවුදැයි රවිනාත් ආරියසිංහගෙන් විමසූවිට ඔහු එකී තොරතුරුදීම ප‍්‍රතික්‍ෂේප කළා යයි රාඝවන් ඊට ප‍්‍රතිචාර දක්වමින් සඳහන් කළේය.

මංගල සමරවීර ජිනීවා යෝජනාව ගැන ප‍්‍රකාශ කරන අතරේ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ව ඇගයීමටද ලක් කළේය.

එහෙත් බැචලට් හා ඇගේ ප‍්‍රකාශක රූපට් කොල්වල් උතුරේ ආණ්ඩුකාර රාඝවන් බොරුකාරයකු බව පෙන්නුම් කිරීමට කි‍්‍රයාකරනු ලැබීය. එසේම ඊට සමගාමීව විදේශ කටයුතු බලධාරීන්ද රාඝවන්ට එරෙහි විය. සුරේන් රාඝවන් මිචෙලි බැචලට්ව විවේචනය කිරීම වැරදි බව පෙන්නුම් කිරීමට විදේශ කටයුතු බලධාරීන් සහය ලබාගන්නේ කොටි පරාජය කළ නොහැකි බව පැවසූ මාධ්‍ය පාර්ශ්වයන්ගෙනි.

කෙසේ වෙතත් රාඝවන් හෙළිකළේ 2015, 2017 සහ 2019 වර්ෂවල රජය ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දුන්නේ ජනාධිපතිට හොරෙන් බවයි. අද මේ කි‍්‍රයාව වසන් කරගැනීමට ඔවුන් උත්සාහ කරනවා යයි යුරේන් රාඝවන් අවධාරණයෙන් කියා සිටියේය.

මෙවන් පසුබිමක් මැද 2018 වසරේදී රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙම ජිනීවා යෝජනාවට එරෙහිවූවිට ජනාධිපති කාර්යාලයේ සිටි එන්. ජී. ඕ කාරියෙක් රියර් අද්මිරාල්ව නිර්දය ලෙස විවේචනයට ලක්කළේය. සාධාරණ සමාජය නමැති ව්‍යාපාරය පාවාදුන් මොහු ජනාධිපතිට හොරෙන් ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමේ සිද්ධිය හෙළිවූවත් ඒ ගැන විවේචනය කිරීමෙන් වැලකී සිටියේය. ඒ වත්මන් රජය මොහුගේ පසුබිම දන්නා නිසා එකී තොරතුරු හෙළිදරව්වෙනු ඇතැයි බියෙනි. මෙයට හේතුවූයේ මහින්ද රාජපක්‍ෂ, මෛත‍්‍රිපාල සිරිසේන ප‍්‍රමුඛ ශ‍්‍රීලනිප රජය යටතේ ජිනීවා වෙත තොග පිටින් පෙත්සම් යැවීම සඳහා එවකට සිටි මන්ත‍්‍රී ජයලත් ජයවර්ධනගේ මාර්ගයෙන් රනිල් වික‍්‍රමසිංහට බාරදුන්නේ මොහුවීමයි. ඊට අදාළ ඡායාරූප සහිත සාක්කි අප සතුව තිබේ.

මෙම පසුබිම මැද ශ‍්‍රී ලංකාවට එරෙහිව කොටි ඩයස්පෝරාවේ උපදෙස් මත කටයුතු කරන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ගේ තක්කඩි කි‍්‍රයා වසන් කළ යුතුද?

එසේම මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට අමුද්‍රව්‍ය සැපයුවේ කොළඹ ප‍්‍රධානතම රාජ්‍ය නොවන සංවිධානයක් මගිනි. මන්නාරම් සමූහ මිනීවලේ අස්ථි කොටස් ලන්දේසි යුගයට අයත් බව ඇමරිකානු වාර්තාව සනාථ කර තිබියදී ඇගේ වාර්තාවේ ඒ බව සඳහන් කර නොතිබිණි.

මේ ඇමරිකානු වාර්තාව බොරුවක් කිරීමට කොටි ඩයස්පෝරාව තමිල්නාඩුවේ සිට ගෙන ආ වෝහාරික විශේෂඥ සුරේන් සෙල්වා ගල්පැලෙන බොරුවක් කියා සිටියේය.

තමා එම මිනීවළේ මඩ සාම්පල් පරීක්‍ෂා කළ බවත් එය වසර 50 කට අයත් බව සනාථවූ බවත් එම තක්කඩි වෝහාරික විවද්‍යාඥයා මානව හිමිකම් සමාන්තර රැස්වීමකදී පළ කළේය.

මෙලෙස ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය හමුවේ අභූත චෝදනා සහ බොරු වාර්තා ඉදිරිපත් කිරීමට කොටි ඩයස්පෝරාවට සහ විදේශ රාජ්‍ය නොවන සංවිධානවලට හැකිවී ඇත්තේ යහපාලන රජය මෙන්ම වත්මන් රජයද ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා දොර විවෘත කිරීමයි.

ශ‍්‍රී ලංකාවේ රජය පහත දැක්වෙන සතුරන්ට මෙරටට ඒමට වීසා බලපත් ලබාදී තිබිණි.

ගැරී ආනන්දසංගරී, එමානුවෙල් පියනම, කැනඩා මන්ත‍්‍රිනී රාධිකා සබෙයිසන්, පෝල් නිව්මන්, චැනල් ෆෝ රූපවාහිනියේ ජෙනතන් මිලර්, කොටි ජාත්‍යන්තරයේ 11 වැනියාවූ තිරුබාහරන්, තමිල්නාඩුවේ ජනතා කණ්ඩායම, තමිල්නාඩු වෛද්‍ය සුරේස් සෙල්වා, රව්ස් බෝවි මේ අතර මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කර තිබූ සුකා වාර්තාවේ සාක්‍ෂිකරුවන් දෙදෙනකුගේ නම්ද සඳහන් වී තිබේ.

ඒ වන්නි මෙහෙයුම යටතේ මෙරටට පැමිණ වන්නියට ගොස් සිටි වානිකුමාර් නමැත්තිය හා පුදුකුඩිරිප්පු රෝහලේ වෛද්‍ය වර්ධරාජායි.

මේ අතර ඉන්ටනැෂනල් ක‍්‍රයිසස් ගෘප් නැමැති විදේශ රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්‍රධානි ඇලන් කීනන්ට රජය මෙරටට ඒමට ඉඩදුන්නේය. ශ‍්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් 40000 ක් මැරූ බවට චෝදනා කළ මේ සුද්දා මුලතිවු වෙත ගොස් අතුරුදන්වූවන්ගේ පවුල් හමුවී සාකච්ඡා කළේය. කීනන්ගේ මේ සංචාරයේ අරමුණු වූයේ මුලතිව්හි කොටි හිතවාදීන් පවසන බොරු එකතුකර මානව හිමිකම් කවුන්සලයට වාර්තාවක් ලබාදීමයි. එසේම මොහු සම්බන්ධ සංවිධානය මෙයට පෙර වාර්තාවක් ප‍්‍රකාශයට පත්කරමින් ශ‍්‍රී ලංකාව යුද අපරාධ වලට වරදකරු බව දක්වා තිබුණි. ශ‍්‍රී ලංකා හමුදාවට අවමන් කිරීමේ යෙදුණු මේ සුද්දාට මෙරටට ඒමට ඉඩදුන්නේ මන්ද? එය අපේ හමුදාවට පාරාවළල්ලක් නොවන්නේද? එසේම 2010 මැයි මස වාර්තාවක් ප‍්‍රකාශයට පත්කළ මේ සංවිධානය ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ ගැන සෙවීමට ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව කියා සිටියේය. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? ජනාධිපතිට හොරෙන් ශ‍්‍රී ලංකාවේ සතුරටන් රට තුළට ඇතුල්වී සිටීමයි.

divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More