දේශීය පුවත්

කොළඹ ප්‍රසිද්ධ පාසල්වලට සීමා වූ පහසුකම් සියල්ලෙන් පිරුණු සුපිරි පාසල් මිනුවන්ගොඩ ආසනයේ ඉදිකර දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සිය එකම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදල විසින් වාර්ෂිකව සංවිධාන කරන පාසල් දරුවන් හට පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුෂ්‍යන්ත විජේසේකර මහතා මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
අලුත් අවුරුද්දක් ආරම්භ වන අද වගේ වැදගත් දවසක පාසල් දරුවන් හට පොත් බෙදා දීමට මුල් වීම සම්බන්ධයෙන් විජේසේකර මන්ත්‍රීතුමාට මගේ ස්තුතිය පුද කරන්න කැමැතියි. අපේ රටේ අනාගතය රැඳී තියෙන්නේ මල් වගේ මේ දරුවන් මත බව අපි කුමන මොහොතකවත් අමතක කරන්න හොඳ නැහැ. රටේ අනාගතය ගොඩනගන්න නම් දරුවන්ට නිසි මඟ පෙන්වන්න ඕනේ කියන එක මම හැමදාමත් විශ්වාස කරපු දෙයක්.
අපට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ දරුවන් රටේ ඉහළම තැනට ගොස් රට බබලවන පරපුරක් වෙනවා දකින්නයි. මේ හැමදේකටම මට මඟ පෙන්නුවේ මගේ ආදරණීය පියාණන් බවත් මේ වෙලාවේ මම සිහිපත් කරන්න ඕනේ. එතුමා සහ මම විපක්ෂයේ ඉන්න කාලයේ පවා සැලසුම් හැදුවේ දරුවන්ගේ අනාගතය ගොඩනගන්න ඕනේ මොන විදියට ද කියන එක ගැනයි.

එතුමා මා ඒ කාලයේ කැඳවලා කිව්වා ප්‍රසන්න අපට දිවුලපිටිය ආසනයට වගේ පස් කඳු, ගල් කඳු නැහැ. ගම්වල මිනිසුන් වෙනුවෙන් අපට කරන්න පුළුවන් එකම දේ දරුවන්ගේ අනාගතය ගොඩනඟන එකයි කියලා. ඒ අනුව මගේ පියා තමන්ට ලැබුණු වැටුප අපේ ආසනයේ දරුවන්ට පොත්පත් අරගෙන දෙන්න වැය කළා. හැබැයි ඒකේ කිසිම විධිමත් බවක් තිබුණේ නැහැ.
මම එහෙම කියන්නේ ඇත්තටම ඒ වැඩපිළිවෙළ අවිධිමත් එකක් වෙච්ච නිසයි. මගේ මෑණියන් ගුරුවරියක්. ඇය දවසක් මගේ පියාට කිව්වා ඕක පිළිවෙළක් ඇතුව කරන්න කියලා. ඒ අනුව අපි රෙජී රණතුංග පදනම හදලා, පාර්ලිමේන්තුවේ සම්මත කරලා වඩාත් විධිමත් ආකාරයට පොත්පත් පදානය කිරීමේ ආරම්භ කළා. ඒ වැඩපිළිවෙළ තමයි අද මේ තත්ත්වය පත් වෙලා තියෙන්නේ.
එදා රෙජී රණතුංග මහතාට ඕනේ වුණේ අපේ දරුවන් පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා කොළඹ තිබෙන හොඳම පාසල්වලට ඇතුළු වෙනවා දකින්නයි. ඒක තමයි මට පැවරුණු වගකීම. මගේ දේශපාලනයේ දී මම වැඩියෙන්ම ප්‍රයෝජනයට ගන්නේ මගේ අත්දැකීම්වලටත් වඩා පියාත් සමඟ දේශපාලනය කිරීමේ දී මට ලැබුණු අත්දැකීම් කියන එකත් මම කියන්න ඕනේ.

මම උඩුගම්පොළ රෙජී රණතුංග විද්‍යාලය හැදුවෙත් පහේ ශිෂ්‍යත්වයට පෙනී හිටින දරුවන් වෙනුවෙන්. අද ඒ පාසලේ දරුවන් ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා කොළඹ පාසල්වලට යනවා. රෙජී මහත්තයා එදා ඉඳන් කිව්ව දෙයක් තමයි පුළුවන් තරම් ඉක්මණට කොළඹ පාසල්වල තියෙන පහසුකම් සහිත හොඳ පාසල් මිනුවන්ගොඩත් හැදෙන්න ඕනේ කියන එක. අපේ දරුවන් ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ යන්නේ නැතුව අපේම පාසල්වලට ඇතුළු වෙන්න ඕනේ කියලයි එතුමා විශ්වාස කළේ.
මම රෙජී රණතුංග විද්‍යාලය අසළ ඉඩම් පවරගෙන සූදානම් වුණෙත් එවැනි සුපිරි පාසලක් මිනුවන්ගොඩ ඉදිකරන්නයි. මම ඒක කොහොම හරි කරනවා. ඒක මගේ හීනයක්.
මට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ ආසනයේ දරුවන් රටේ ඉහළම තැන්වල වැජඹෙමින් රෙජී රණතුංග මහතා එදා දැකපු හීනය ඉෂ්ට වෙනවා දකින්නයි.

අපි හැමදාම දැකපු දෙයක් තමයි රටේ අධ්‍යාපන මෙන්ම අනෙකුත් පහසුකම් සියල්ල සීමාවෙලා තියෙන්නේ කොළඹට කියන එක. බස්නාහිර පළාතේ වුණත් අපේ වගේ ආසනවලට මේ පහසුකම් ගලා ආවේ නැති යුගයක් තිබුණා. ඒ යුගය නිමා කරන්න මැදිහත් වුණේ මහින්ද රාජපක්ෂ මහතායි. එතුමා 2005 ජනාධිපති ධුරයට පත් වුණාට පස්සෙයි ගමත් නගරයත් එකවගේ සංවර්ධනය වෙන්න ගත්තේ කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ.
මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු පහසුකම් සියල්ල ගොඩනංවන්න මහින්ද මහත්තයා අපට පහසුකම් ලබා දුන්නා. එතුමාගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතා අපේ පාරවල් ටික කාපට් කරලා, නගර සංවර්ධනය කරලා, පොදු වෙළෙඳ පොළ හදලා අපේ ජනතාවට දෙපයින් නැගී සිටින්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කළා. මම මහ ඇමැති ධුරය දැරූ කාලසීමාව තුළ බස්නාහිර පළාතේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් අපේ දරුවන්ගේ අනාගතය ගොඩනංවන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන බාධාවකින් තොරව ලැබුණා.

රෙජී රණතුංග විද්‍යාලය පමණක් නෙමෙයි බස්නාහිර පළාතෙම වැසී ගිය හෝ වැසී යන්නට ආසන්නව තිබුණු පාසල් ගණනාවක් දියුණුවෙන් දියුණුවට පත් කරන්න මට අවස්ථාව ලැබුණා. අපේ අරමුණ ඒ වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නයි.
මම 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද මහත්තයා නැවත බලයට ගේන වැඩපිළිවෙළට ක්‍රියාකාරීව සම්බන්ධ වුණේ ඒ නිසයි.
දොඹවල සද්ධර්මගුප්ත විහාරාධිපති, මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කොබ්බෑවල මේධංකර හිමියෝ ද මෙහිදී අදහස් දැක්වූහ. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රදිප් කුමාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More