පුරවැසි කොලම

අභූත යුද අපරාධ චෝදනා මත 2015 ඔක්තෝබර් 01 දින අප රටේද පූර්ණ සහයෝගයෙන් සම්මත වූ ‘ජිනීවා යෝජනාවලිය’ නිසියාකාරව අභියෝගයට ලක් කිරීමට තිබූ අවසාන අවස්ථාව එජාප රජය පසුගියදා මඟ හැරියේය. 2015 ඔක්තෝබර් 01 සම්මත වූ යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය තවත් වසර දෙකක කාලයක් ශී‍්‍ර ලංකාව මහ බි‍්‍ර‍්‍රතාන්‍යයේ මැදිහත්වීමෙන් කළ නවතම යෝජනාව හරහා ලබා ගත්තේය. ඒ අනුව 2019 මාර්තු සිට 2021 මාර්තු දක්වා වසර දෙකක අමතර කාලයක් ශී‍්‍ර ලංකාව තම රට සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීමට ලබාගෙන ඇත.

එජාප රජය එම අවාසනාවන්ත තත්ත්වය රටේ ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වීය. සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පසුගියදා පාර්ලිමේන්තුව රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් දැනුවත් කළේය. ඒ අමාත්‍යවරයා පවසන පරිදි ජිනීවා යෝජනාවලියේ කිසිදු වරදක් නැත. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් පසුව ජාත්‍යන්තර ප‍්‍රජාව ශී‍්‍ර ලංකාවට එරෙහිව ගැනීමට තිබූ බරපතළ කි‍්‍රයාවලිය නවතා දමා ඇත. කිරිඇල්ල පවසන පරිදි ජිනීවා යෝජනාවලිය හරහා ශී‍්‍ර ලංකාවට වඩාත් හිතකර තත්ත්වයක් ඇති විය. එම තත්ත්වය පිළිබඳව අප කවුරුත් සතුටු විය යුතුය. කිරිඇල්ල අමාත්‍යවරයා පවසන කතාව එලෙසින්ම පිළිගතහොත් විදේශීය මැදිහත්වීමක් සතුටින් පිළිගන්නා එකම එක්සත් ජාතීන්ගේ සාමාජිකයා ශී‍්‍ර ලංකාව විය යුතුය.

ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය සහ රට වෙනුවෙන් හඬක් නැඟීමට ජිනීවා නුවරට ගොස් සිටින ගෝලීය ශී‍්‍ර ලාංකික සංසදය සහ එම සංවිධානයෙන් මෑතකදී වෙන්වූ කණ්ඩායමක් ගොඩනැඟූ ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය එජාප රජයට දොස් පවරයි. ශී‍්‍ර ලංකාව බටහිර ප‍්‍රජාවට පාවා දුන් බවට ප‍්‍රබල චෝදනාවක් නඟා ඇත. රජයේ ආරක්‍ෂක හමුදා සහ යුද්ධයට නායකත්වය දුන් දැනට විශ‍්‍රාම ගොස් සිටින එලෙසම තවදුරටත් සේවයේ යෙදී සිටින හමුදා ප‍්‍රධානින් පාවා දුන් බව ඒකාබද්ධ විපක්‍ෂය සහ ඉහත සඳහන් කළ සිවිල් සංවිධාන දෙක දිගින් දිගටම චෝදනා කරමින් සිටී. තත්ත්වය කොපමණ පිරිහී ඇති බවට පෙන්වා දිය හැකි ප‍්‍රබල කාරණාවක් වන්නේ යුද හමුදා ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව රජයට මානව හිමිකම් කොමසාරිස්වරිය කර ඇති ප‍්‍රබල දෝෂාරෝපණයයි, රටක්, ජාතියක් ලෙස ශී‍්‍ර ලංකාව ඇත්ත වශයෙන් ම ලැජජා විය යුතුය.

යුද්ධය දිනූ මහින්ද රාජපක්‍ෂ රජයට යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දීමට නිසි කි‍්‍රයාමාර්ගයක් තිබුණේ නැත. එවකට එජාප මහ ලේකම් බෑං කී මූන් පත් කළ තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුව තම වාර්තාව 2011 මාර්තු 31 දින ඉදිරිපත් කරන ලදී. ඉන්දුනීසියාවේ හිටපු නීතිපති මාර්සුති දරුස්මාන්, ඇමරිකානු ජාතික නීතිඥ ස්ටීවන් රැට්නර් සහ දකුණු අපි‍්‍රකානු බටහිර ඩොලර් මත යැපෙන යැස්මිත් සුකා ඉදිරිපත් කළ එම වාර්තාවේ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක හමුදාවට එරෙහිව ප‍්‍රබල චෝදනා තුනක් නැඟීය. කවුරු කෙසේ කීවත් එම චෝදනා එක්සත් ජාතීන් ශී‍්‍ර ලංකාවට නැඟූ චෝදනා විය. එලෙසම 2009 මැයි මස යුද්ධය අවසන් වූ පසු ශී‍්‍ර ලංකාව කි‍්‍රයා කළ ආකාරය පිිළිබඳව තවත් චෝදනාවක් නැඟිනි. යුද සමය සම්බන්ධයෙන් නැඟුන චෝදනා තුන:

1. ඉවක් බවක් නොමැතිව එල්ල කළ කාලතුවක්කු සහ අනෙකුත් බර අවි ප‍්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මරුමුවට පත්වීම (2) රෝහල් සහ අනෙකුත් ‘මානුෂීය ස්ථාන’ වලට පහරදීම සහ (3) උතුරේ ජනතාවට සිතා මතා ආහාරපාන සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ලබා නොදීම. යුද්ධය අවසන් වූවායින් පසු රජයේ කි‍්‍රයා කලාපය හේතුවෙන් නැඟූ චෝදනාව (1) යුද්ධයෙන් පසු රජයේ හමුදා භාරයට ගත් ජනතාව සිර කඳවුරු තුළ නොයෙකුත් ආකාරයේ තාඩන පීඩනවලට භාජනය කිරීම. මෙම චෝදනා හතරට අමතරව මාධ්‍ය මර්දනය කිරීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ කමිටුව රජය වරදකරු කර ඇත.
අවසානාවකට පැවැති රජයට තමන් හට එරෙහිව නැෙඟන චෝදනා පත‍්‍රයවත් නිසියාකාරව අධ්‍යයන කිරීමට අවශ්‍යතාවක් නොවීය. රට වෙනුවෙන් කරුණු දැක්වීමට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නැත. බැංකී මුන් මහතාගේ කමිටුව ඉදිරියේ කරුණු දැක්වීම එවකට රජය ප‍්‍රතික්‍ෂේප කළේය. එම තීරණය හේතුවෙන් ඒක පාර්ශ්වික වාර්තාවක් ඉදිරිපත් වූ අතර ශී‍්‍ර ලංකාව යුද අපරාධ කළ රටක් ලෙස හංවඩු ගැසිණි. එම රජය ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සෙල්ලම් කළ බව පැහැදිලිය. 2015 ජනවාරි මස එජාප ප‍්‍රමුඛ ද්‍රවිඩ ජාතික සංධානය සහ ජවිපේ එකතු වී රාජපක්‍ෂ රජය පරාජය කරන තුරුම මෙම සෙල්ලමේ එදා බලවන්තයන් නිරත විය.
2011 මාර්තු -2015 ජනවාරි කාලය තුළ රාජපක්‍ෂ රජය ජිනීවා කි‍්‍රයාවලිය තමන් කැමැති ආකාරයට මෙහෙයවීය. චෝදනාවලට නිසියාකාරව පිළිතුරු දෙනවා වෙනුවට‘ජිනීවා විදුලි පුටුවට’ යෑමට තමන් සූදානම් බව එවකට ජනපති මහින්ද රාජපක්‍ෂ දිගින් දිගටම පැවසීය. කඩින් කඩ පැවැත්වෙන පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා වූ ඡුනදයන් ජය ගැනීමට ‘ජිනීවා කටයුත්ත’ ඉතාමත් අසික්කිත ආකාරට දේශපාලනීකරණය කෙරිණි. 2011 මාර්තු -2015 ජනවාරි කාලය තුළ ගෝලීය ශී‍්‍ර ලාංකික සංසදයක් පිහිටුවා තිබුණේ නැත. බලය ලබා ගැනීමේ සටනක නිරත වීසිටි එජාපය රජයේ ජිනීවා කි‍්‍රයාවලිය පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. එජාපය මහින්ද රාජපක්‍ෂ රජයේ දුර්වලතාව තම වාසියට හරවා ගත්තේය. ඇමරිකාව ඇතුළු බටහිර බලවත්තු එජාප කි‍්‍රයාවලියට ප‍්‍රබල තල්ලූවක් දුන්නේය. හතරවැනි ඊළාම් යුද්ධයේ ජනවාරි – මැයි 2009 කාලය තුළ 40,000 ද්‍රවිඩ සිවිල් වැසියන් මරා දැමූ බවට හමුදාවට චෝදනා කළ බටහිර ජාතීන් සහ ද්‍රවිඩ ජාතික සංධානයේ නායකයන් එම හමුදාවට සුවිශේෂී නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකාට 2010 ජනවාරි ජනපතිවරණයේදී සහයෝගය ලබාදුන්නේය. ‘විකීලික්ස්’ වෙබ් අඩවිය හෙළිදරව් කළ පරිදි ඇමරිකානු තානාපති කාර්යාලය ද්‍රවිඩ ජාතික සංධානය සමඟ ජනරාල්වරයාට සහයෝගය දීමේ කි‍්‍රයාවලියට ගිවිසුම් ගත විය.

ද්‍රවිඩ ජාතික සංධානය ජනරාල් ෆොන්සේකාට ඡුන්දය දීමට උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ද්‍රවිඩ ජාතික සංධානය එම උපදෙස් නිසියාකාරව කි‍්‍රයාත්මක කළේය. ආර්. සම්බන්ධන් මොනවා කීවත් යුද හමුදාවට එරෙහිව ජාත්‍යන්තරය නැඟූ චෝදනා ද්‍රවිඩ ප‍්‍රජාව පිළිගත්තේ නම් ඡුන්දය ෆොන්සේකා වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැත. ලියුම්කරුට ඒ තත්ත්වය පිළිබඳව සැකයක් නැත. උතුර – නැගෙනහිර යාපනය ඇතුළු සියලූම දිස්ති‍්‍රක්ක ඉහළින්ම ෆොන්සේකා ජයග‍්‍රහණය කළේය. මෙම ජයග‍්‍රහණය යුද අපරාධ චෝදනා නිෂ්ප‍්‍රභ කිරීමට යොදාගත හැකිව තිබූ ප‍්‍රබල සාධකයකි. රාජපක්‍ෂ පාර්ශ්වය ‘ෆොන්සේකා සාධකය’ සම්පූර්ණයෙන්ම නොසලකා හැරීය. ඇත්ත වශයෙන්ම 40,000 සිතා මතා මරණයට පත් කළේ නැති බවට සඳහන් කළ හැකි පළමුවැනි ප‍්‍රබල සාක්‍ෂිය එයයි.

අදටත් ඒකාබද්ධ විපක්ෂය සහ වර්තමාන රජය ද්‍රවිඩ ජාතික සංධානය ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් ගත් තීරණය රටේ යහපත සඳහා යොදා ගැනීමට උත්සාහයක් ගෙන නොමැත. ද්‍රවිඩ ජාතික සංධානය කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කළ සෙන්පතියා වෙනුවෙන් යුද්ධය අවසන් වී වසරකටත් අඩු කාලයක් තුළ පෙනී සිටිය බවට කිසිදු සඳහනක් ජිනීවා ලියවිල්ලක නැත. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි කාලයේ එය සිදුවිය යුතුව තිබිණි. එතුමාගේ රජයට ඒ පිළිබඳව කිසිදු ඕනෑකමක් නොවීය. 2015 ඇතිවූ එජාප ප‍්‍රමුඛ රජයකින් එවැනි කරුණු දැක්වීමක් බලාපොරොත්තු විය නොහැක. එලෙස සිදුවේ යැයි සිතීම තමන්ව රවටා ගැනීමකි. අදටත් ද්‍රවිඩ ජාතික සංධානය සහ ෆොන්සේකා නියෝජනය කරන එජාපය 2009 යුද අපරාධ වූවා කියන ස්ථාවරයෙහි පිහිටා ජාත්‍යන්තර ප‍්‍රජාව සමග කටයුතු කරයි. 2010 ජනවාරි මස ජෙනරාල් ෆොන්සේකාට ලබාදී යුද අපරාධ චෝදනාවට සැකයට භාජනය කළ ද්‍රවිඩ ජාතික සංධානය අදටත් කොටි ත‍්‍රස්තවාදීන් කළ අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයකි. අවාසනාවකට එය නිසියාකාරව පෙන්වා දීමට අදටත් ඒ්කාබද්ධ විපක්ෂයට හැකිවී නැත. ද්‍රවිඩ ජාතික සංධානය 2001 අගදී කොටි සංවිධානය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් කළ අවිනීත ක‍්‍රියාව අදටත් රාජ්‍ය මට්ටමෙන් කිසිදු විමසීමකට ලක්වී නැත. ද්‍රවිඩ ජාතික සංධානය අද ජිනීවා මෙහෙයුමේ යෙදී සිටින්නේ තම අත්වල ලේ තවරාගෙනය. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. ආර්. සම්බන්ධන් මෙම තීරණය ගන්නා අවස්ථාවේ අද ප‍්‍රබල දේශපාලන චරිතයක් වන එම්. ඒ. සුමන්තිරන් එම සංධානයේ මන්ත‍්‍රීවරයකුු වී සිටියේ නැති බවය. එතුමා පාර්ලිමේන්තුවට එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පැමිනුණේ 2010 අපේ‍්‍රල් මසය. අද ජිනීවා මෙහෙයුමේ ප‍්‍රබලම ද්‍රවිඩ ජාතික සංධානයේ ක‍්‍රියාකරු ඔහුය. එම තත්ත්වය පිළිබඳව විවාදයක් නැත.
ශ‍්‍රී ලංකාව යුද අපරාධ නොකළ බවට 2017 ඔක්තෝබර් මස බි‍්‍රතාන්‍ය සාමි මණ්ඩලයේ ලෝඞ් නේස්බි පැවැසීය. එතුමා 40,000 සිවිල් ජනතාවක් මිය නොගිය බවත් ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය සිතා මතා

සාමාන්‍ය ජනතාව ඉලක්ක නොකළ බව පැවැසුවේ 2009 ජනවාරි – මැයි කාලය තුළ එවකට බි‍්‍රතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ලන්ඩන් නුවරට යැවූ රහස්‍ය වාර්තා මතය.
නේස්බි 2014 නොවැම්බර් මස 06 දින බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි එම වාර්තා වසර දෙකක් යන තුරුම ඔහුට ලබා නොදුන්නේ ඇයි? බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව ප‍්‍රබල ලෙස ප‍්‍රකාශ කරන තත්ත්වයක් තුළ තම නේවාසික යුද කටයුතු භාරව සිටි ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් එවූ වාර්තා සැඟවූයේ ඇයි? ලෝඞ් නේස්බි එංගලන්තයේ තොරතුරු දැනගැනීමේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනයේ මැදිහත්වීමක් කරන තුරු අදාළ ලිපි ලේඛන හෙළිදරව් නොකළේ ඇයි? තොරතුරු දැනගැනීමේ කොමසාරිස් කළ මැදිහත් වීමෙන් පසුවත් අදාළ ලිපි ලේඛන බලවත් වාරණයට ලක්කර නේස්බිට ලබාදුනි. නමුත් සියලූම ලිපි ලේඛණ ලබා දුන්නේ නැත.

2017 නොවැම්බර් මස ඒකාබද්ධ විපක්ෂය මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළ අතර විදේශ ඇමැති හිටපු නීතිපති තිලක් මාරපන පාර්ලිමේන්තුවට පොරොන්දු වූයේ එම කරුණු නිසියාකාරව නිසි ස්ථානවලදී පාවිච්චි කරන බවයි. මාරපන එම පොරොන්දුව ලබා දුන්නේ රජය වෙනුවෙනි. එලෙස පොරොන්දු වූ රජය මාර්තු මස පළමුවැනි සතියේදී එම කරුණු කාරණා කිසිවක් නොසලකා බි‍්‍රතාන්‍ය මූලික වී ගෙනා නවතම ජිනීවා යෝජනාවලිය හිස් මුදුනින් පිළිගත්තේය. 2017 නොවැම්බර් සිට 2019 ජනවාරි දක්වා රජය නේසන් හෙළිදරව්ව සම්බන්ධයෙන් කිසිවක් කළේ නැත. 2019 පෙබරවාරි මස මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර එංගලන්තය ගෙනා ජිනීවා යෝජනාවලියට ලන්ඩනයේදී අනුමැතිය දුන්නේය. එලෙස සමරවීර අමාත්‍යවරයාගේ අනුමැතිය තමන්හට ලැබුණු බව හෙළිදරව් කළේ එංගලන්තයේ මානව හිමිකම් කටයුතු අමාත්‍ය ලෝඞ් අහමඞ්ය.
ඒකාබද්ධ විපක්ෂය නිදාගෙන සිටියේය. අදාළ යෝජනාවලියට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා හි සිටින නිත්‍ය නියෝජිත අසීස් තම කැමැත්ත මේ මස පළමුවැනි සතියේ ලබාදෙනතුරු ඒකාබද්ධ විපක්ෂය නිදාගෙන සිටියේය. සියල්ල සිදුවූ පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මාර්තු මස 06 දින තමන් තුන් දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයන් යවන බව මාධ්‍ය ප‍්‍රධානීන් ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී ප‍්‍රකාශ කළේය.
එම අවස්ථාවට සහභාගි වූ මෙම ලියුම්කරු නියෝජිත කණ්ඩායමක් මහජන මුදලින් යැවීම තේරුමක් ඇති කටයුත්තක්දැයි ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්නයක් නැඟුවේ ඒ වන විටත් අසීස් මහතා එම යෝජනාවලියට අත්සන් කර තිබූ නිසාය. ජනාධිපතිවරයා පසුව වෙනම කණ්ඩායමක් යැවීමේ තීරණය වෙනස් කළ අතර තම නියෝජිතයන් තුන්දෙනාගෙන් දෙදෙනකු (උතුරු ආණ්ඩුකාර සුරේන් රාඝවන් සහ මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම) ඇමැති මාරපන යටතේ යැවීමට කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මානව හිමිකම් නියෝජිත ලෙස කලක් කටයුතු කළ වර්තමාන පාර්ලිමේන්තුවේ පත්කළ මන්ත‍්‍රී මහින්ද සමරසිංහ එම කණ්ඩායමෙන් ඉවත් විය. ඒ තම කැමැත්තෙන්මය. එතුමා නිවැරදිය. රජය ජිනීවා යෝජනාවලිය අනුමත කළ පසු ඒ පිළිබඳ කරුණු දැක්වීමට මහජන මුදලින් ජිනීවා යෑම තේරුමක් නැති ක‍්‍රියාවකි.
ජිනීවා යෝජනාවලිය හැරවිය නොහැකි තත්ත්වයට පැමිණ ඇත. ඒකාබද්ධ විපක්ෂයේ හැසිරීමද පුදුමාකාරය. තානාපති අසීස් කාලය දික්කර ගැනීමේ යෝජනාවලිය අනුමත කර සති දෙකකට වැඩි කාලයක් ගෙවුණ පසු ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ජිනීවා ‘ගිවිසුමෙන්’ ඉවත් වීමට කරන ඉල්ලීම ජනතාව නොමඟ යැවීමකි. ඒකාබද්ධ විපක්ෂය හරහා මෙම ප‍්‍රයෝගකාරී වැඩපිළිවෙළ නවතා දැමිය යුතුය. මෙවැනි උප්පරවැටිවලින් ජනාධිපති සිරිසේන මහතා අපහසුතාවට ලක්වීම හැර අප රටට වෙන කිසිදු සෙතක් නැත. බලයට පැමිණීමට රට ජාතිය පරදුවට තබා කටයුතු කිරීම මහත් අවාසනාවකි. නොවිය යුතු දෙයකි.ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා නුවර හඬක් නඟන සංවිධාන ද භූමියේ යථාර්ථය තේරුම් ගත යුතුය. මාධ්‍ය මෙහෙයුමක් මාර්ගයෙන් පමණක් රටට එරෙහි ක‍්‍රියාත්මක වෙමින් පවතින ජිනීවා මෙහෙයුම නැවැත්විය හැකි වන්නේ නැත. මුදල් වියදම් කර ජිනීවා නුවර සංදර්ශන පැවැත්වීම අප රටට එරෙහිව කෙරෙන මෙහෙයුම ආපසු හැරවීමට යම්කිසි දායකත්වයක් ලබාදී තිබේද? ඇත්ත වශයෙන්ම මෙම සංවිධාන සහ ජනතාව විරෝධතා පළ කළ යුත්තේ තම වගකීම සාමූහිකව ඉටුකිරීමට අසමත් වූ පාර්ලිමේන්තුව ඉදිරිපිටය.

ගෝලිය ශ‍්‍රී ලාංකික සංසදය කරළියට පැමිණෙන්නේ 2015 රජය පෙරළීමත් සමගය. ජිනීවා මෙහෙයුමක එම සංවිධානය යෙදෙන්නේ රට වෙනුවෙන්ය. එම සංසදයට එකාබද්ධ විපක්‍ෂයේ පූර්ණ සහායෝගය හිමිවේ. පසුව එම සංසදය දෙකඩ කැඬේ. ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය බිහිවේ. මෙවර ජිනීවා සටනට එම කණ්ඩායම් දෙකම තම වියදමින් රට වෙනුවෙන් පෙනී සිටියේය. ජිනීවා හඬ නැගීමට පෝ එජාප රජය නව ජිනීවා ගිවිසුමට එකගත්වය පළ කර හමාරය. එවැනි තත්ත්වයක් යටතේ රජයේ නියෝජිත කණ්ඩායමක් මහජන මුදලින් ජිනීවා යැවීම කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නැති ක‍්‍රියාවලියකි. රජයේ කණ්ඩයමේ සාමාජීක සුරේන් රාගවන් උතුරේ දේශපාලක කණ්ඩායම්වලින් මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ මැදිහත් වීම හරහා කරන පෙත්සම් භාරගත්තේය. තව දුරටත් ජාත්‍යන්තර මැදිහත් වීම සම්බන්ධයෙන් කරන ඉල්ලීම් හුදු මාධ්‍ය මෙහෙයුම් පමණි. අප රටේ 1978 ව්‍යවස්ථාව වෙනස් කිරීමටද ජාත්‍යන්තර මැදිහත් වී ඇත. හිටපු මානව හිමිකම් කොමසාරිස් පෙන්වා දුන් ආකාරයට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු වුවානම් දැනටමත් නව ව්‍යවස්ථාවක් රටට ලැබී ඇත. මානව හිමිකම් කොමසාරිස් 2016 ජුනි ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව නව ව්‍යවස්ථාව ගෙනා ආ යුතු පිළිවෙළ සම්බන්ධයෙන් දින වකවානු සහිතව කරුණු ඉදිරිපත් කර ඇත.

යුධ අපරාධ පෙන්වා අප රට ව්‍යවස්ථාව ෆෙඩරල්වාදින්ට මග සකස් කරන ලියවිල්ලක් බවට පත්කිරීමේ ක‍්‍රියාවලිය ඉදිරියට යමින් පවතී. යුද අපරාධ සම්බන්ධයෙන් නැෙගන බොරු චෝදනා අප ලෝකය ඉදිරියේ
නිෂ්ප‍්‍රභා කරන තුරු මෙම ක‍්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යනු ඇත. ජිනීවා සම්බන්ධයෙන් එකාබද්ධ විපක්‍ෂයේ දුර්වල ක‍්‍රියාවලිය රට දුර්වල කිරීමේ මෙහෙයුමට පිටුවහලක් වී ඇත.
නෙස්බ් සාමිවරයා 2017 ඔක්තෝබර් මස අප රටට එරෙහිව නැෙගන යුද අපරාධ චෝදනා නිෂ්ප‍්‍රභා කිරීමට අවශ්‍ය කරුණු කාරණා හෙළිදරව් කළේය. එජාපය එම වටිනා කරුණු සත පහකට ගණන් ගන්නේ නැත. 2018 දෙසැම්බර් මස තනි එජාප රජයන් පිහිටුවීමට පෙර 2015 ජනවාරි සිට – 2018 ඔක්තෝබර් 26 දක්වා පැවැති එජාප ශ‍්‍රී ලංනිප රජය ජිනීවා සම්බන්ධයෙන් කටයුතු කළේද අද එජාපය කටයුතු කරන ආකාරයටමය. 2017 වසරේ නොවැම්බර් මස මෙම තත්ත්වය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු එවකට ශී‍්‍රලනිප කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඔහු කෝපයට පත්විය. මෙම ලියුම්කරුට දොස් පැවරීය.

ජයසේකර අමාත්‍යවරයා පැවසූවේ නෙස්බි සාමිවරයා හෙළිකළ කරුණු කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගත්තේ නැති බවය. ඊට වඩා වැඳගත් කරුණු තිබෙන බවද, මෙම ලියුම්කරු අනවශ්‍ය ප‍්‍රශ්නයක් ඇති කරන බවද චෝදනා කළේය. දයාසිරි ජයසේකර මෙම ලිියුම්කරු ඉදිරිපත් කළ ප‍්‍රශ්නයට බොහෝ සමාන ප‍්‍රශ්නයන් පසුගියදා පාර්ලිමේන්තුවේදී එජාප රජයට ඉදිරිපත් කළේය. ජනරාල් ෆොන්සේකා සහා මහින්ද සමරසිංහද තම ඇමැතිධුර අහිමි කර ගැනීමට පෙර මෙම ලියුම්කරු මාධ්‍ය සාකච්ජාවලදී ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලදී පිළිගත්තේ ජිනීවා චෝදනා සම්බන්ධයෙන් සහ ඊට රජයේ ප‍්‍රතිචාර පිළිබඳව කිසිදු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේදී සිදු නොවූ බවය.2018 ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියෙන් පසුව දින 50 මෛත‍්‍රී මහින්ද ආණ්ඩුව ද ජිනීවා පිළිබඳව කිසිදු අවධානයක් යොමු කළේ නැත. මාරපනගේ නායකත්වයෙන් යුත් රජයේ නියෝජිත කණ්ඩායමේ සාමාජික ආචාර්ය සරත් අමුණුගම දින 50 රජයේ විදේශ ඇමැති විය. එම කාලය තුළ ජිනීවා සම්බන්ධයෙන් දින 50 රජය යම්කිසි ක‍්‍රියාමාර්ගයක් ගතතේද? මෙම ලිියුම්කරු දන්නා පරිදි ඒකාබද්ධ විපක්‍ෂයට නැවත ජිනීවා මතක් වන්නේ තානාපති අසීස් නව යෝජනාවලිය අනුමත කිරීමෙන් පසුවය.

ඒකාබද්ධ විපක්‍ෂයට යමක් මතක් කර දිය යුතුව ඇත. එක්සත් ජාතීන් වෙනුවෙන් දරුස්මාන් වාර්තාව 2011 මාර්තු 31 ඉදිරිපත් විය. ඊට මාස දෙකකට පසු යුද අපරාධ චෝදනාව නිෂ්ප‍්‍රභා කිරීමට අවශ්‍ය ප‍්‍රබල සාක්‍ෂියක් එවකට කොළඹ සිටි ඇමෙරිකානු යුද කටයුතු පිළිබඳ නියෝජිත ලූතිනන් කර්නල් ලොරන්ස් ස්මිත් 2011 මැයි – ජුනි පැවැති කොළඹ ආරක්‍ෂක සමුළුවේදී සුදු කොඩි මිනී මැරුම් චෝදනා අනෙකුත් යුද අපරාධ සම්බන්ධයෙන් නැෙගන අපවාද අභියෝගයට ලක් කළේය. ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් කළ ඉන්දීය යුද හමුදාවේ විශ‍්‍රාමික මේජර් ජනරාල් අශෝක් මේතා මේජර් ජනරාල් ශවේන්‍ද්‍ර සිල්වාට ඉදිරිපත් කළ පැනයට පිළිතුරු දුන්නේ ඇමෙරිකානු නිලධාරියා ය. යුද්ධය අවසන් වී වසර දෙකකටත් පසුව කළ එම ප‍්‍රකාශය දරුස්මාන් වාර්තාව අභියෝගයට ලක් කළේය. කොළඹ ගලදාරි මෙරිඩියන් හෝටලයේ පැවැති එම සමුළුවට මෙම ලියුම්කරු ද සහභාගි විය. දි අයිලන්ඞ් පුවත්පත පමණක් එම ප‍්‍රවෘත්තිය පළ කළේය. ඇමෙරිකානු තානාපති කාර්යාලය එම වාර්තාව පිළිබඳව අදහසක් ඉදිරිපත් කළේ නැත.

නමුත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ලියුම්කරුගේ වාර්තාව අභියෝගයට ලක් කළේය. එම අභියෝගය ඇමෙරිකාව ශ‍්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය කොපමණ අසාධාරණ දැයි හෙළිවිය. වාර්තාව පිළිබඳව කිසිම අභියෝගයක් එල්ල නොකළ රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ ලූතිනන් කර්නල් ලෝරන්ස් එම සමුළුවට සහභාගි වූයේ ඇමෙරිකානු නියෝජිතයකු ලෙස නොවන බවය. මෙවැනි විකාර කථාවක් ඔබ මීට පෙර අසා නැති බව මෙම ලියුම්කරුට විශ්වාසය.පැවැති රාජපක්‍ෂ රජය ඇමෙරිකානු ලූතිනන් කර්නල්වරයාගේ ප‍්‍රකාශය කිිසිදු ආකාරයට රටට එරෙහිව නැෙගන චෝදනා අභියෝගයට ලක් කිරීමට යොදා ගත්තේ නැත. යුද්ධය දිනූ කණ්ඩායමට ලැජ්ජා විය යුතුය. ඇමෙරිකානු නිලධාරියා සහ බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශක ලූතිනන් කර්නල් ගැප් පවසා තිබෙන්නේ එකම කථාවක් ය. ඔවුන් ඉදිරිපත් කළ නිල ප‍්‍රකාශවලට කිසිදු සැලකීමක් නොදැක්වූ එක්සත් ජාතීන්. කිසිදු අන්‍යතාවයක් අද වනතුරු හෙළි නොකර ඇති කණ්ඩායම් කළ චෝදනා මත ජිනීවා යෝජනාවලිය ඉදිරිපත් කළේය. පුදුමය එම චෝදනා කළ කිසිදු පාර්ශ්වයන් 2011 මාර්තු සිට වසර 20 යනකම් කිසිදු ආකාරයට පරීක්‍ෂාවක් ලක් නොකළ යුතු බවට නියෝග දුන්නේ දරුස්මාන් වාර්තාවයි.

කැකිල්ලේ තීන්දුව එලෙසින්ම පිළිගත් අප නායකයන් හමුදාව අපකීර්තියට පත් කිරිමේ දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතින ජිනීවා මෙහෙයුමට පහසුකම් සපයන්නන් ලෙස හඳුන්වා දීමේ වරදක් නැත.
යුද්ධයේදී තීරණාත්මක මෙහෙයක් කළ මේජර් ජනරාල් චාගි ගාල්ලගේ තමන් 2018 විශ‍්‍රාම යන විට සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේදී ඉදිරිපත් කළ අදහස නැවත මතක් කිරීම සුදුසු යැයි සිතේ. තමන් වසර 30 කට අධික කාලයක් හමුදාවට සේවය කර විශ‍්‍රාම යන්නේ යුද අපරාධකරුවකු ලෙස බව පැවසීය. ඔස්ටේ‍්‍රලියාව ඔහුට වීසා දීම ප‍්‍රතික්‍ෂේප කළේ ඔහු යුද අපරාධකරුවකු ලෙස හංවඩු ගසමිනි. චාගි ගාල්ලගේ අසරණය. එය එක උදාහරණයක් පමණි. ඔහුගේ කථාව අප රටේ අද පවතින තත්ත්වය අපූරුවට පෙන්නුම් කර දෙයි.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More