පුරවැසි කොලම

බක්මහේ සැණකෙළිය අවසාන වීමත් සමඟ වෙසක් අසිරියෙන් දකුණු ලක බැබලේ. කොළඹ සහ අවට නගරවල විසල් තොරණ බැඳේ. මහා පහන් කූඩු ඉදි වේ. ගම්, නියම්ගම්වල වෙහෙර විහාර සුදු පිරියම් කරමින් කළ එළි කරති. තරුණ සංවිධාන මහා දන්සල්දීමට සූදානම් වේ. සති ගණනාවකට ඉහත සිට වෙසක් උත්සවය සැමරීමට බෞද්ධ ජනතාව ලක ලෑස්ති වෙති. ජාති, ආගම් බේදයෙන් තොරව කොළඹ තොරණ නැරඹීමට ජනතාව පෙළගැසෙති. මහා දන්සල් වැඳ පුදා ගනිති. කොළඹ වෙසක් සැමරුම සියලූ ජනතාව සාමයෙන් සමරන උත්සවයක් බවට අතීතයේ සිට පැවත එන්නකි.
එහෙත් වෙසක් සැමරුම යනු සැණකෙළියක් නොවේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකොට සිදු කරන්නා වූ මතක පූජාවකි. කෘතගුණ සැලකීමේ උත්තම පූජාවකි. එම අසිරිමත් පෝය දිනයේ දකුණු ලක වෙසක් සිරියෙන් බැබළෙන විට එකම රටේ උතුර, නැෙඟනහිර ආලෝකවත් වන්නේ වෙසක් සඳේ කිරණින් පමණි. උතුර, නැෙඟනහිර ප‍්‍රදේශවලදී වෙසක් දවසට පහනක් පත්තු වන නිවසක් දකින්න ලැබෙන්නේ ද කලාතුරකිනි. එහෙයින් මෙවර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ වෙසක් සැමරුම උතුරට ගෙන යෑමට ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය ලක ලෑස්ති වෙමින් සිටී. ඒ කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ පැවැත්වීමට සූදානම් කර ඇති ‘ධර්ම ශක්ති පූජා වෙසක් අභිමංගල්‍යයත්’ සමඟය.

එය උතුම් පින්කමක් බව සැබෑය. යුද ගිනි මැද ජීවත් වී සාමයේ අරුණැලි සමඟ සමාජගත වන මිනිසුන්ගේ සිත් සතන් බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් ප‍්‍රමුදිත කිරීමට දරන වෑයම මහා සමාජ සද්කාරයක් බවද සැබෑය. යුද්ධයෙන් පසු කිසිදු ආණ්ඩුවකට මෙවැනි උතුම් වෙසක් මංගල්‍යයක් උතුරේදී පැවැත්වීමට නොහැකි විය. කෝටි, ප‍්‍රකෝටි ගණන් මුදල් ලැබෙන කිසිදු සිංහල බෞද්ධ සංවිධානයකට මෙවැනි උතුම් පින්කමක් උතුරට රැගෙන යෑමට නොහැකි විය. ඒ එවැනි පින්කම් සිද්ධ කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන නිසාය. එහෙයින් ‘කිලිනොච්චි ධර්ම ශක්ති පූජා වෙසක් කලාපය’ පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක මහතා සමඟ එම උතුම් පින්කම සිදු වන ආකාරය සහ එහි වැදගත්කම ගැන කතාබහ කළෙමු. මේ ඒ මහතා අපට කියන කතාවය.

‘‘අතීතයේ ඉඳලා අපේ රටේ සිංහල, දෙමළ මිනිස්සු සමගි සමාදානයෙන් සංස්කෘතිකාංග හා වත්පිළිවෙත්වල යෙදුණා. මහා සම්ප‍්‍රදායට ගරු කරන මූල සම්ප‍්‍රදායන්, අන්‍යොන්‍ය විශ්වාසය හා සහෝදරත්වය තුළින් නිවැරැදි සංහිඳියාවක් අප සමාජයේ පැවතුණා. බටහිර මැදිහත්වීම මත ඒ සමගිය දුර්වලකොට දැමුවේ බඩගෝස්තරවාදී දේශපාලනය. රට බෙදා වෙන්කිරීමෙන් ඔවුන්ට ලැබෙන දේශපාලන වාසි බලාපොරොත්තුවෙන්. ඒ කාලකණ්ණි බෙදීමේ විනාශය පසුගිය දශක හත, අට තුළදී අපි හොඳටම අත්වින්ඳා. දැන් නැවත සිංහල, දෙමළ ජනතාව අතර සංහිඳියාව දලූලමින් තියෙනවා. දැන් අපි කරන්න ඕන ඒ පුංචි පැළයට හොඳින් සාත්තු කර වැඩෙන්නට ඉඩ හැරීමයි…’’

‘‘ජනතාව අතර අන්‍යොන්‍ය සුහදතාව, විශ්වාසය, සෙනෙහස, කරුණාව හුවමාරු කරගැනීමට ඇති හොඳම අවස්ථාව තමයි වෙසක් සැමරුම. බුදු කරුණාව සියලූ ලෝ වැසියන්ට පොදුයි. සිංහල බෞද්ධයන්ට කියලා සීමා වෙලා නෑ. ධර්ම ශක්ති පූජා වෙසක් මංගල්‍යය සිදු කිරීමේ ප‍්‍රධාන අරමුණ උතුරේ ජනතාවට බොදු සංස්කෘතියේ කරුණාව, මෛත‍්‍රිය දයාව පුරුදු කිරීමයි. ඒක ධර්ම ප‍්‍රචාරණයක් නොමෙයි. ධර්ම දානයක්. එම බලාපොරොත්තු පෙරදැරිව අපේ සංවිධානය හා කිලිනොච්චි 57 සේනාංකයේ ද සංවිධාන ශක්තියෙන් වෙසක් මස 18, 19 සහ 20 වැනිදා කිලිනොච්චි ධර්මපුරම් මහජන ක‍්‍රීඩාංගනයේදී වෙසක් අභිමංගල්‍යයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයෙන් කිළිනොච්චියේදී මෙවැනි වෙසක් මංගල්‍යයක් පවත්වන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. ඒ නිසා මේ වෙසක් මංගල්‍යය ඓතිහාසික පින්කමක්. කිළිනොච්චි 57 සේනාංකය අපිට උපකාර නොකරන්න මේ උතුම් පින්කම සිද්ධ කරන්න බැරි වෙනවා. ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයට වගේම 57 සේනාංකයටත් මේ පින්කමේ ගෞරවය ලැබෙන්න ඕනෑ…’’ එවැනි උත්තම ගණයේ වෙසක් මංගල්‍යයක් පැවැත්වීමට තීරණය කළ ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය වෙනුවෙන් එහි කැඳවුම්කරු ජනක බෝධිනන්ද එසේ පවසන විට කිළිනොච්චි 57 සේනාංකය මේ පින්කමට දායකත්වය ලබාදෙන ආකාරය ගැන ද කතා කිරීමට මට සිතිනි. එහෙයින් 57 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී. වී. රවිප‍්‍රිය මහතා සමඟ කතාබහ කළෙමි. පහතින් පෙළගැසෙන්නේ කිළිනොච්චි වෙසක් මංගල්‍යය ගැන රවිප‍්‍රිය මහතා කියන කතාවය.

vesak1‘‘වෙඩි බෙහෙත් හේදිලා, සාමයේ මල් පූදින උතුර, නැෙඟනහිර භූමියේ සිද්ධ කරන්න ඕනෑ තුන් බිය දුරු කරන පින්කම්. ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ නිලධාරීන් මේ පින්කම ගැන මා එක්ක කතා කරනකොට මට පුදුම සතුටක් ඇති වුණා. හැකි උපරිමයෙන් පින්කමට දායකත්වය ලබාදීමට අපි එකඟ වුණා. ඊට පස්සේ සාකච්ඡා කරලා මෑතකදී සිදු වූ ගංවතුරෙන් විපතට පත් වූ ද්‍රවිඩ වැසියන් ජීවත්වන කිළිනොච්චිය ප‍්‍රදේශයේ දුෂ්කර සහ දිළිඳු ගම්මාන කීපයක් කේන්ද්‍රකොටගෙන වෙසක් මංගල්‍යය පැවැත්වීමට අපි තීරණය කළා. දැනටමත් එම පින්කම පැවැත්වීමට අවශ්‍ය සුදුසු පසුබිම නිර්මාණය කරගෙන යනවා. ඒ වගේම වෙසක් මංගල්‍යය සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාව දැනුවත් කරගෙන යනවා. මම විශ්වාස කරනවා මෛත‍්‍රිය, කරුණාවෙන් පිරුණු සංහිඳියාත්මක වෙසක් මංගල්‍යයක් පවත්වන්න පුළුවන් වෙයි කියලා…’’ 57 සේනාංකාධිපතිවරයාගේ කතාව කෙටි වුවද එහි ගැබ්ව ඇති අරුත හරවත්ය. සිංහල දෙමළ, මුස්ලිම් සියලූ සාමාන්‍ය වැසියන්ගේ එකම අරමුණ සාමයෙන් සහ සතුටින් ජීවත්වීමයි. ලෝකයේ ආගම් දේශනා කොට ඇත්තේ ද සමස්ත ලෝකවාසී සත්ත්වයන්ම යහපත පැතිරවීම අරබයාය. යම් ආගමක් පුද්ගල විමුක්තිය, සමාජ සදාචාරය, ලෝක යහපත උදෙසා දේශනා නොකරන්නේ නම් එය ආගමක නාමයෙන් හැඳින්වීමේ යම් සාවද්‍යතාවයක් වෙයි. අපට වඩා හරවත් ලෙස ඒ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ විස්තර කරන්නාහ.

‘‘ආගමක් කිසියම් භූමි කලාපයකට ධනය හා බලය අත්පත් කරගැනීමේ චේතනාවෙන් ක‍්‍රියාත්මක වන්නේ නම් ආගම යන වචනයෙන් නිර්වචනය වන කරුණු හා සමපාත නොවේ. ආගම කිසියම් සමාජ කුලකයක් පමණක් නියෝජනය වීම තුළ අන්තර් කුලක ගැටුම් ගොඩනැඟීමට ඇති ඉඩකඩ වැඩියි. ආගම, ආගමාභිමානය, ආගමික ස්වෝත්තමවාදය, ආගමික අත්තුකංසනය හා ආගමික පරවම්භනය මගින් සමාජ ගැටුම් නිර්මාණය වේ. ඉතා හැඟුම්බර මාතෘකා හෙයින් ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් සමාජයක් තුළ ඉතා පහසුවෙන් ගොඩනැෙඟ්. ඒ නිසා ලෝක දේශපාලනයේ හබං කුකුළෝ දේශීය වල් ඌරන්ට තැලීමට කැකුණ සපයයි. අද අපේ රටේදී ඒ සමාජ යථාර්ථය ඇත්තක් බවට පත් වෙලා තිබෙනවා…’’

‘‘ආගමිකවාදය හා ජාතිකවාදය රටක් ගොඩනැඟීමට භාවිතා කළ හැකි පෝෂණීය කෙතක් වගේම රටක් ගිනි තැබීමට භාවිතා කරන්න පුළුවන් ගිනි පෙනෙල්ලක්. වසර තිහක් පුරාවටම බහුතරයක් උතුරේත් අති බහුතරයක් උතුරේ නොවන ප‍්‍රදේශවලත් ලේ වැගිරවීම් සිදු වුණේ ඉහත කී ජනතාව අතර වූ සංවේදීතාවන් සටකපට රටවල්, ආයතන හා දේශපාලකයන් විසින් මෙහෙයවීමෙන්. එහිදී ඇති වුණේ ජාතිවාදී ගැටුම් නොවේ. සටකපට රටවල්, ආයතන හා දේශපාලකයන්ගේ වුවමනාවට ගැටුම් ඇති කිරීමට ජාතිවාදය පාවිච්චි කිරීමක්. ඔවුන්ට පාවිච්චි කිරීමට එකම සමාජ විසංවාදය වෙලා තිබුණේ සිංහල, දෙමළ ජනතාව අතර වෛරය හා අවිශ්වාසය පැතිරවීම පමණයි…’’

‘‘අපේ රටේ කිසිම දිනෙක බුද්ධාගම හා හින්දු ආගම අතර ගැටුම් ඇති වෙලා නෑ. ඒ වගේම අපේ රටේ දමිළ ප‍්‍රජාව හා සිංහල ප‍්‍රජාව අතර කවදාවත් යුද්ධයක් තිබුණෙත් නෑ. හින්දු දේවස්ථාන පන්සල් බිමේත්, බුද්ධ ප‍්‍රතිමා කෝවිල් බිමේත් අතීතයේ ඉඳලා තිබුණා. ආගම් බේදයකින් තොරව සිංහල දෙමළ මිනිස්සු ඒ සිද්ධස්ථාන වැඳ පුදාගත්තා. අදටත් එහෙමයි. ඒ වගේම උතුරේ ත‍්‍රස්තවාදයට හින්දු ආගමෙන් අනුබලයක් ලැබුණෙත් නෑ. ඒත් ඒ දෙපිරිස අතර යුද්ධයක් නිර්මාණය කරන්න පුළුවන් පහසු පසුබිමක් තිබුණා. ඒත් සාමාන්‍යයෙන් කුලකගත සමාජයක කුලකාන්තර විරසකයන් නිර්මාණය කිරීම පහසු කරුණක් නෙමෙයි. ඓතිහාසික සබඳතා හා සංස්කෘතික චින්තනය මත සිංහලයන් හා දමිළයන් අතර යුද්ධයක් ඇවිලවිය නොහැකි වුණේ දෙපාර්ශ්වයම පළමුව භාරතමූල ආගමිකයන් නිසාය. දෙවනුව ඔවුන් පරිසරවේදීන් නිසාය. තෙවනුව ඔවුන් සත්ත්ව ඝාතකයන් නොවන නිසාය. සිව්වනුව ඔවුන් මානව හිතවාදීන් නිසාය. සාමාන්‍ය දමිළ ප‍්‍රජාව හින්දු දහමේ බැතිමතුන්ව, සාමාන්‍ය සිංහල ප‍්‍රජාව බුදු දහමේ බැතිමතුන්ව සිටිමින් තම, තමන්ගේ සංස්කෘතික මූලයන් ප‍්‍රවර්ධනය කර ගත්තා නම් මෙවැනි විරසකයන් ඇති නොවන්නට ඉඩ තිබුණා. අවාසනාවකට මේ විරසකය නිර්මාණය වුණේ දමිළයා, දමිළ භාෂාවෙන් හා හින්දු ආගමෙන් ද, සිංහලයා සිංහල භාෂාවෙන් හා බුදු දහමෙන් ද ඉවත්ව ඉංග‍්‍රීසිය භාෂාව කරගෙන බටහිර මූලික ආගම් ඇදහීම ආරම්භ කිරීමත් සමඟයි. ඒත් දැන් ඉතිං ඒ ගැන කතා කර ඵලක් නෑ. කළ යුත්තේ සිංහල, දෙමළ ජනතාව අතර ඇති වී තිබෙන විරසකය නැති කර දැමීමට කටයුතු කිරීමයි…’’

කිළිනොච්චි ධර්මපුරම් වෙසක් කලාපය නිර්මාණය කරන්නේ ඒ සංවේදී පසුබිම මතය. උතුරේ ජනතාව බෞද්ධ කිරීම, ආගම් ප‍්‍රචාරණය කිරීම සහ සදාචාර විරෝධී ආගමික හැරවුමක් මෙම පින්කමෙන් බලාපොරොත්තු නොවේ. මේ සමීප විශ්වාසය හා අවබෝධය ඇති කිරීම තුළින් උතුරේ හෝ උතුරේ නොවන උපන්බිමේ සැබෑ ශ‍්‍රී ලාංකිකයාගේ මුවට සිනහවක් කැන්දවන අහිංසක වෑයමක් පමණි. එවැනි දැහැමි සිතුවිලිවලින් පෝෂිත වූ ‘කිළිනොච්චි ධර්ම ශක්ති පූජා වෙසක් මංගල්‍යයට’ සමගාමීව ආගමික වැඩසටහන් රාශියක් පැවැත්වීමට සංවිධාන මඬුල්ල තීරණය කර ඇත. කපිලවස්තු පුරයේ සිට ශ‍්‍රී ලංකාවට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් එම පින්කම පැවැත්වෙන දින තුනේදීම සිදු කිරීමට නියමිතය. භික්‍ෂුන් වහන්සේ දෙසීයක් පමණ වැඩමකරවා අන්‍ය ආගමික නායකයන්ගේ ද සහභාගිත්වයෙන් ලේ දන් දීමේ කඳවුරක්, සෞඛ්‍ය කඳවුරු, අක්‍ෂි සායන සහ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ සෞඛ්‍ය වැඩසටහන් රාශියක් ද සංවිධානය කර ඇත. සමාජ සහයෝගිතා වැඩසටහන් යටතේ පොල් පැළ බෙදාදීම, ස්වයං රැකියා පුහුණු මධ්‍යස්ථානයකට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සහ අධ්‍යාපනික වශයෙන් වැදගත් ප‍්‍රදර්ශන ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇත. එමෙන්ම කිලිනොච්චි ධර්ම ශක්ති වෙසක් මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන තොරණ, වෙසක් පහන් කූඩු, සදහම් ගී පත‍්‍ර ප‍්‍රදර්ශන තරඟ ඉසව් සඳහා බෞද්ධ අබෞද්ධ සියලූ දෙනාට නිර්මාණ ඉදිරිපත් කිරීමට ද සංවිධාන මඬුල්ල අවස්ථාව ලබාදී ඇත. මේ වෙසක් මංගල්‍යයට සමාගමීව සිද්ධ කෙරෙන සියලූ වැඩසටහන්හි ආදර්ශයන් සහ ගුණාංග සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම ඉදිරිපත් කිරීම ද ජනතාව අතර සමගිය වර්ධනය කිරීමට මහඟු පුණ්‍යකර්මයක් වනවා නොඅනුමානය.

සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර සමගිය වර්ධනය කිරීමේ ‘සංහිඳියාවේ වෙසක් මංගල්‍යයට’ අපිත් සමඟ අත්වැල් බැඳගැනීමට කැමති ඔබට 0718327448, 0777891474 දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැකිය.

තරංග රත්නවීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More