පුරවැසි කොලම

ලංකාවේ ත‍්‍රිවිධ හමුදා නිලධාරීන්ට යුධ අපරාධ චෝදනා එල්ල කළ දරුස්මාන් වාර්තාව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කාර්යාලයේ විශේෂ නියෝජිත පිරිසක් සකස් කරන ලද්දකිි. එදා පටන් මානව හිමිකම් සමුළුවට ගිය රජයේ නියෝජිතයන් සියල්ල එ් චෝදනාවන් වැරදි බව නොකීහ. 19 සහ 20 වන ජිනීවා යෝජනාවලදී පැහැදිලිව පැවති රජයන් එ් යෝජනාවන්ට එකඟ වී තිබේ. ලංකාවට එල්ල කළ යුධ අපරාධ චෝදනාවන්ට විරුද්ධවනවා වෙනුවට උගත් පාඩම් කොමිසම් පත් කළහ. වගවීම ප‍්‍රකාශ කළහ. මානව හිමිකම් තොණ්ඩුව පෙන්වමින් මෙලෙස ලක් රජය බියට පත් කරමින් ඇමරිකාව කරගෙන යන ලද්දේ කුමන්ත‍්‍රණයකි. ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලක් භූමියේ ස්ථාපිත කරගැනීම එහි අරමුණ විය. පසුගිය මහින්ද රජයද මෙම කුමන්ත‍්‍රණයට අසුවිණි. ඔවුහු රටේ භූමියේ තිබූ වටිනා ඉඩකඩම් ඇමරිකානු ඩෝල් සමාගමට මෙන්ම වෙනත් බහු ජාතික සමාගම්වලට දුන් බව නොරහසකි.

2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමටද කුමන්ත‍්‍රණයක් දියත් විය. එයට හේතුව නම් ඇමරිකාවට හෝ බි‍්‍රතාන්‍යයට පූර්ණ වශයෙන් මහින්ද අභිබවා යෑම කළ නොහැකිවීමයි. ඇමරිකාවට මෙන්ම ඉන්දීය රජයට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දුන්නද සීමාවට එහා ගොසින් ඇමරිකානු ආධිපත්‍ය පිහිටුවීමට මහින්දගෙන් ඉඩක් නොවිණි. එසේම ප‍්‍රභාකරන් යුධමය වශයෙන් පරාජයට පත් කිරීමද ඇමරිකාව නෝර්වේ ඇතුළු රටවලට ඉවසුම් නොදෙන්නක් විය. ඉන්දියාවට මෙන්ම වෙනත් රටවලට ලංකාව අරභයා තවත් න්‍යායපත‍්‍ර තිබුණද ලංකාවේ සිටින දේශපාලනඥයන්ටද නොයෙකුත් පුද්ගලික න්‍යාය පත‍්‍ර තිබුණද මහින්දගේ පරාජයට හේතුව මෙයයි. මහින්දගේ ප‍්‍රතිවාදියා ලෙසට මෛත‍්‍රිපාල සිරිසේන මහතා දිනවීම ලෙහෙසි පහසු කරුණක් නොවුණද චම්පික රණවක මහතාගේ මධ්‍යම පාන්තික සිංහල බෞද්ධ අකර්ෂණය යොදා ගනිමින් ලක්ෂ පහක පමණ චන්ද පොට්ටනියක් සිරිසේන මහතාගේ ඇෙඟ් එල්ලිය හැකි බව මේ කුමන්ත‍්‍රණකරුවන් දැන සිටියහ. රනිල් වික‍්‍රමසිංහ වෙනුවට පොදු අපේක්‍ෂකත්වය සිරිසේන මහතාට පැවරුණේ එබැවිනි. කෙසේ වෙතත් ජනවාරි 08 වැනිදා පරාජයෙන් පසු මහින්ද මහතා තංගල්ලට පිටත්ව ගිය පසු නව රජය විසින් කළ මුල්ම කාරිය රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කරලීමයි. එ් වන විට වැඩි බහුතරයක් තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනත් කිසිවකුට අගමැතිකම නොදී සුළු ආසන සංඛ්‍යාවක් තිබූ රනිල්ට එම තනතුර හිමි වූයේ සිරිසේන මහතා විසින් දුන් පොරෙන්දුවක් අනුවයි.

අප දන්නා පරිදි දින සීයයේ ආණ්ඩුවට ඉදිරියට යෑමට හැකිවූවත් ඔවුහු ලත්තැනම ලොප් වූයේ බැඳුම්කර මගඩිය හෙළිදරව් වීමෙනි. ගෙදර ගිය මහින්ද සුළඟක් සේ යළි මතු විය. බැඳුම්කර මගඩිය හෙළි කරලීමට ඩිව් ගුණසේකර මහතා කෝප් කමිටු වාර්තාවක් සකස් කිරීමත් සමගම සිරිසේන මහතා බියට පත් විය. ඔහු ආණ්ඩුව විසුරුවාලීය. පසු කාලයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා බේරා ගැනීමට එසේ කළ බව ඔහු පිළිගත්තේය. ආණ්ඩුව විසුරුවීමත් සමග එළැඹි මැතිවරණයේදී මහින්ද සුළෙඟ් නිර්මාතෘවරුනට අවශ්‍යවූයේ වෙනම තරඟ වදින්නටය. එහෙත් අවසාන මොහොතේ සිරිසේන මහතා දුන් ලණුවක් නිසා මහින්ද එම තීරණය වෙනස්කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ම තරඟ බිමට පිවිසීය. මේ නිසා මහින්ද මහතා පරාජයට පත්වූවා පමණක් නොව පාර්ලිමේන්තුවේ සිට ස්වාධීනව කටයුතු කරලීමට තිබූ ඉඩකඩ පවා අසුරා ගත්තේය. සිරිසේන මහතාගේ හයියෙන් මේ අතරවාරයේ රනිල් වික‍්‍රමසිංහ මහතා විධායක බලය අතටගෙන ඇමරිකානු න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරලීම ආරම්භ කරන ලදි. මේ වනවිට මානව හිමිකම් සමුළුවේ දී ඇමරිකානු යෝජනාවලියට රජය සම අනුග‍්‍රහය දී අවසන් ව තිබුණි. එ් නිසා 301/1 යෝජනා සැලැස්ම මත කළ හැකි ප‍්‍රතිසංස්කරණවලට යෑම අනිවාර්ය විය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම ආරම්භ කිරීම, අතුරුදන් පනත සම්මත කිරීම, උතුරේ හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම ආදී යෝජනා එකින් එක සම්මත කොට ක‍්‍රියාත්මක කරගන්නා ලද්දේ 19 වන ව්‍යවස්ථා යෝජනාව මගින් විධායක බලයද යම් පමණකින් කප්පාදු කරමිනි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට මහින්ද අතදුන් බව නොරහසකි. එ් මහින්ද ගේ අත කැරකූ නිසා පමණක් නොව සිරිසේන මහතා දුර්වල කොට අගමැති බලය ලබා ගන්නට ඔහුට තිබූ ආශාව කරණ කොටගෙනය.

බෙදා පාලනය කරලීම නව රාජ්‍ය තාන්ත‍්‍රික උපායක් නොවේ. එම උපාය විවිධ කාල වකවානුවලදී විවිධ අන්දමින් ක‍්‍රියාත්මක වී ඇත. බි‍්‍රතාන්‍යයන් දහනව වන සියවස මුල් භාගයේ සිට දෙමළ විල්ලාල්ලාස් ජන කොටස් (අප‍්‍රිකානු ද්‍රවිඩ මිශ‍්‍රනයක්) වලට විශේෂ තැනක් ලබා දෙමින් සිංහල ජනතාවට එරෙහිව පෙළ ගැස්වූහ. මේ කණ්ඩායම් ඇමරිකන් මිෂනාරි ව්‍යාපාරය හරහා ශක්තිමත් වී රටේ ප‍්‍රභූත්වය ආරෝපණය කරගත් පිරිසකි. ඉංග‍්‍රීසීන් රටේ පළාත් බෙදන කල්හිද දිස්ත‍්‍රික්ක බෙදන කල්හිද දෙමළ මුස්ලිම් ජන කොටස්වලට ගැලපෙන පරිදි බෙදා වෙන් කිරීම කළහ. දෙමළ ජාතිවාදය ආරම්භ වන්නේ 1766 දී උඩරට නිලමේවරුන් සහ ලන්දේසි කොම්පඤ්ඤය අතර ඇතිවූ ගිවිසුම මගින් රටේ මුහුදුබඩ පළාත් අත්හැරීමේ හේතුවෙනි. නමුත් එ් බෙදීම පදනම් කොට ඉංග‍්‍රීසීන් කළ බෙදීම් මගින් නීතිගත වීම ඇරඹුණි. 1833 ප‍්‍රතිසංස්කරණ මගින් එය තවත් තහවුරු විය. 1815 වසරේ වඩුග පාලනයෙන් මිදීමට ඉංග‍්‍රීසි අධිරාජයාට ලංකාව භාරදීම මගින් කියැවෙන්නේ මේ රට පවරා දුන් රාජ්‍යයක් බවයි. එහෙත් 1948 දී ඉංග‍්‍රීසීන් මේ රට නැවත භාරදුන්නේ එ් පවරා ගත් රාජ්‍යයක් ආපසු භාරදෙන ආකාරයට නොවේ. ඔවුහු බි‍්‍රතාන්‍ය ආධිපත්‍ය තවදුරටත් තබා ගනිමින් ඔවුන්ට යටත්ව පාලනය කළ හැකි දේශීය පාලක පැලැන්තියක් බිහි කළහ. 1972 දී රට ජනරජයක් වුවද පූර්ණ නිදහසක් අපට හිමි නොවීය. මේ කාලයේ මෙරට ඉඩම් පාලනය කළ වතු සමාගම්වල ලොක්කන් රට හැර ගියද අනතුරුව දිගින් දිගටම උත්සාහගෙන තිබෙන්නේ මේ රටේ ඉඩම් නැවත අත්පත් කර ගැනීමටයි.

1977 සිට ඇරඹෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් සහ කොටි ත‍්‍රස්තවාදී යුද්ධය නිසා මේ නව යටත් විජිත ක‍්‍රියාවලියට හොඳ පසුබිමක් නැවත විවර විය. ණය නැති රටක් වශයෙන් සිටි ලංකාවට ණය ආධාර වේගයෙන් ගලා එන්නට විය. රොනී ද මෙල් මහතා රුපියලේ අගය අඩු කරමින් මේ ණය ලබා ගැනීම සීඝ‍්‍ර කරන ලදි. නව යටත් විජිතවාදී උපාය මාර්ග මේ රටේ කූඨප‍්‍රාප්ත වීමට පසුබිම සැකසෙන්නේ එලෙසය. ලෝක බැංකුව ඇතුළු ජගත් මූල්‍ය අරමුදල්වල ණය කොන්දෙසි වරින්වර දැඩිවීමෙන් රටේ සම්පත් විදේශිකයන්ට පැවරීම මෙන්ම පෞද්ගලීකරණයද දැඩි වන්නට විය. බෙදුම්වාදීන්ට අවශ්‍ය ස්වයං පාලන යෝජනාවන් රජය විසින් පිළිගැනීම නිසා උතුරු සහ නැගෙනහිර බෙදා වෙන්කරලීමට පිඹුරු පත් සැකසිණ. රනිල් වික‍්‍රමසිංහ මහතා නෝර්වේ හරහා කොටි සංවිධානය සමග ගිවිසුම් අත්සන් කිරීමද චන්ද්‍රිකා රජය විසින් රට බෙදන පැකේජයක් ඉදිරිපත් කිරීමද මේ අතර වෙයි. නමුත් රටේ ජාතික බලවේගවල ක‍්‍රියාකාරිත්වය නිසා මේ නව යටත් විජිත උපාය මාර්ග සිතියම වරින්වර හකුලා ගන්නට සිදුවිය. එ් අතර කොටි ත‍්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරලීමට මහින්ද රාජපක්ෂ රජය කටයුතු කරලීම නිසා එ් සැලසුම් අතරමග බිඳ වැටුණි. එහෙත් පශ්චාත් යුධ සමයෙන් පසු අනුගමනය කළ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති සහ අනවශ්‍ය ණය ගැනීම නිසා රට නැවතත් උගුලක හිරවුණු ආකාරය තේරුම්ගත යුතුය. මේ කාලයේ දී 2007 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් භෞතික සැලැස්මක් ඉදිරිපත් කරන ලදි. එ් සැලැස්මේ අන්තර්ගත වන්නේ 2002 වර්ෂයේ රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ රීගේනින් ශ‍්‍රී ලංකා ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමේ පසුබිමයි. එ් අනුව කොළඹ සිට කළුතර දක්වා මහා නගර කලාපයක් ත‍්‍රිකුණාමල ප‍්‍රදේශ මාන්කුලම් යාපනය ඔලූවිල් හම්බන්තොට ආදී ප‍්‍රදේශවල මහා නගර ආදී බිහිකරලීමට සැලැසුම් සකස් විණ. ආසියානු අධිවේග මාර්ග ජාලයට ලංකාව සම්බන්ධ කරලීමට දකුණු ඉන්දියාවේ රාමේශ්වරමේ සිට මන්නාරමට පාලමක් ඉදි කරලීමටද එ් අධිවේග මාර්ග ජාලය ලංකාව පුරා ක‍්‍රියාත්මක කරලීමටද එම සැලසුම්වල අන්තර්ගත විය.

යහපාලන රජය පත්වීමෙන් පසු මේ විෂය චම්පික රණවක මහතා විසින් භාරගන්නා ලද අතර මෙතෙක් පරිසර හිතවාදී සංකල්පයකින් කටයුතු කළ ඔහු එ් වෙනුවට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ න්‍යාය පත‍්‍රයට අනුගත වෙමින් අධි නගර සංකල්පය ඇතුළු නව යටත් විජිත උපාය මාර්ග ගෙන යෑමේ ප‍්‍රධාන නියමුවකු බවට පත්ව තිබේ. 2019 වසරේ අයවැය විවාදයේ දී විමල් වීරවංශ මහතා වැදගත් තොරතුරක් අනාවරණය කරන ලදි. එනම් මිලේනියම් චැලේජ් කෝපරේෂන් නම් ඇමරිකානු එ්ජන්සි ආයතනයක් අරලියගහ මන්දිරයේ රැඳී සිටිමින් මෙරට නොයෙකුත් ආයතන හැසිරවීමට උත්සාහ කරන අතර ලංකාවේ විශාල ඉඩම් ප‍්‍රමාණයක් කොල්ල කෑමට අර අඳින බවයි. මේ සැලසුම දැන් නාගරික සංවර්ධන අධිකාරියේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් එළිදක්වා තිබේ. එය පසුගියදා එම ඇමතිවරයා විසින් ජනාධිපතිවරයාටද භාර දෙන ලදි. මේ සැලසුමේ හැටියට 2007 යෝජනාවලිය යම් ප‍්‍රමාණයකට සංශෝධනය වෙයි. අධිනගර සංකල්පය තවත් පුළුල් වෙයි. කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ආර්ථික ජාලයක් නිර්මාණය කරලීමට එහි යෝජනා කර ඇත. එම කෙටුම්පතේ භෞතික වින්‍යාසය යටතේ එය මෙලෙස සඳහන්ව ඇත.

‘ප‍්‍රධාන ආර්ථික සංවර්ධන කටයුතු නාගරික සාමුහික (Urban Cornubations) හතරකට විසල් නාගරික කලාප දෙකකට හා ප‍්‍රධාන නාගරිකයන් නවයකට සංකේන්ද්‍රවීම අපේක්ෂා කෙරේ. කොළඹ ත‍්‍රිකුණාමලය හා හම්බන්තොට යන ප‍්‍රධාන ජාත්‍යන්තර වරායන් හා ඔලූවිල් යාපනය යන කුඩා වරායන් මගින් වාසි ලබා ගනිමින් දේශීය පාරිභෝගික භාණ්ඩවලට හා ආනයන අපනයන මත පදනම් වූ ලෝක ව්‍යාප්ත සැපයුම් ජාලයන්ට අගය එකතුකිරීම් ප‍්‍රධාන වශයෙන් සිදු කරමින් ජාතික ආර්ථිකයට විශාලම දායකත්වය ආර්ථික ජාල (Economic Corridors) මගින් ලබාදෙනු ලැබේ. මෙම සැලසුම පැහැදිලිවම විමල් වීරවංශ මහතා විසින් හෙළිදරව් කළ සැලසුමම වීම විශේෂයකි.

නව ආර්ථික සැලැස්ම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් එ්ජන්සි ආයතන විසින් සකස් කළ දෙයක් බවට තිබෙන සත්‍යය නම් ඔවුන්ගේ වෙබ් අඩවිවල මේ බැව් සඳහන් වීමෙනි. මේ අනුව කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ආර්ථික ජාලයට අක්කර මිලියන 12 ක් අත්කර ගනී. මේ ඉඩම් පැවරීම පිණිස දැනටමත් රජයේ ඉඩම් බැංකු පනත සහ ඉඩම් විශේෂ විධිවිධාන පනත නමින් ඉඩම් පනත් දෙකක් සූදානම් කර තිබේ. මේ ඉඩම් පැවරීම සිදුකරනුයේ වසර දෙසීයකට මිලියන 400 ක මුදලක් ලබා ගනිමිනි. එවිට අක්කරය රුපියල් විසිහතරකට තක්සේරු වෙයි. මේ ආර්ථික ජාලය හරහා විදුලි දුම්රියක්ද ස්ථාපිතවන අතර මේ නිසා එහා මෙහා යෑමට නොහැකි වෙයි. යා හැක්කේ ඔවුන් විවෘත කරන උමං හෝ වෙනත් ප‍්‍රවේශ මාර්ග වලින් පමණකි. ගම්පහ කුරුණෑගල නුවර මාතලේ පොළොන්නරුව සහ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කවල අධිසංවේදී පරිසර කලාප පවා මෙයට අයත් වෙයි. 2002 රනිල් වික‍්‍රමසිංහ මහතා ටෝකියෝ ණය අරමුදලෙන් ගත් කෝටි 45000 අනුවද මෙවැනි බදු දීමකට සහ ඉඩම් පනත් ගෙන එ්මට අර ඇන්දද ඔහුගේ රජය පෙරළීම නිසා එ්වා අහෝසි විය. දැන් මෙය තව වටයකින් ඉදිරියට එන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා යහපාලන රජය ශක්තිමත්ව තිබෙන බැවිනි. ඔක්තෝබර් මස 26 වැනි දින පෙරළුන යහපාලන රජය තවමත් පණ ගසා සිටින්නේ ඇමරිකානු තානාපතිවරුන් ගේ උදව්වෙන් බව මෙහිදී සිහිපත් කළ යුතුය. ඔවුහු රටේ පාලනයට සෘජුව ඇඟිලි ගැසූහ. දැන් නව වටයකින් 40 වන ජිනීවා යෝජනාවට සමඅනුග‍්‍රාහකත්වය ලබා දෙන්නේ මේ ඉඩම් කොල්ලයට සියල්ලම හවුල් බැවිනි. එම යෝජනාව ඉවත් කරලීමට බොරු ඝෝෂා කළද ජනපතිවරයා මොන රංගනයේ යෙදුණද රටේ රජයේ අත කරකවා ඇමරිකානු වුවමනාවන් ඉෂ්ට කර ගැනීමට ඉදිරියට යමින් පවතින බව කිව යුතුයි. මේ සැලැස්ම පරාජය කිරීම අත්‍යවශ්‍ය වේ. එ් සඳහා යහපාලන රජය පරාජය කිරීමෙන් නොනැවතී රටේ ස්වාධීනත්වය අරභයා නව කතිකාවතක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවයද තිබෙන බව පෙන්වා දිය යුතුය.

මතුගම සෙනෙවිරුවන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More