පුරවැසි කොලම

” අතික්කන්ත පමාණං උච්චාසනං නාම ”
(පමණට වඩා උස ඇති ආසනය උච්චාසයනය යි)

උච්චාසයනය අටසිල්, දසසිල් රකිනා උපාසක උපාසිකාවන්ට මෙන්ම සාමනේර හා උපසම්පදා වූ භික්ෂූන්ට ද පරිහරනය නුසුදුසු ය. නමුත් ආසනයේ උස ප්‍රමාණය මෙය විය යුතු යයි ත්‍රිපිටකයේ දක්වා නොමැත. උච්චාසයන සික්ෂාපදය බුදුන් වහන්සේ පැන්වූයේ ශාඛ්‍යපුත්‍ර උපනන්ද හිමියන්ගේ උස් අසුන නිසා ඇති වූ සිදුවීම මුල්කරගෙන ය.

ලාංකිකයන්ට ඈත අතීතයේ සිටම තිබුණේ පුටු ප්‍රශ්න ය. බුදුන් වහන්සේ දෙවැනි වරට ලක්දිවට වැඩම කළේ ද චූලෝදර මහෝදර යන නාග රජවරුන්ගේ මැණික් පුටු ප්‍රශ්නයක් විසඳීමට ය. ඉන්පසු මෙරටේ ඇති වූ බොහෝ දේශපාලන ගැටලුවලට මුල් වූයේ ද පුටු ය. මෑතකදී ද පුටු ප්‍රශ්නයක් හටගෙන ඇතිබව පෙනෙන්නට තිබුණේ ත්‍රිපිටකාභිවන්දනා උත්සවයේදී මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරුන්ට අසුන් පනවා තිබීමේ පිළිවෙල සමාජ ජාලාවල බොහෝ දෙනා ප්‍රශ්න කර තිබූ බැවිනි. මාගේ මතයට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ උත්සවය ද ජනපතිගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට ගත් ප්‍රයත්නයක් පමණක් විනා එමගින් බෞද්ධයන්ට හෝ ත්‍රිපිටකයට වෙන විශේෂ සෙතක් නොමැත. ත්‍රිපිටකය සියවස් ගණනාවක් ආරක්ෂා වූයේ ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලාට පින්සිදු වන්නට මිස ලෝක උරුමයක් වීම නිසා නොවේ. ඉදිරියට ද ත්‍රිපිටකය ආරක්ෂා කරනු ඇත්තේ ධර්මධර, විනයධර සිවුවනක් පිරිස විසිනි. (මෙය මාගේ මතය වන අතර ඔබගේ යතාර්ථය කරගත යුතු නැත.)

මුහුණු පොතේ බොහෝ දෙනා සුපුරුදු රැල්ලටම ගොස් උස් ආසන වල අසුන්ගෙන සිටි මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් ගේ සිවුරු ගලවන්න උත්සාහ කරනවා දුටිමි. උන් වහන්සේලාට උස් අසුන් පැන්වීම උන්වහන්සේලා ගේ ඉල්ලීමක් ද නැතිනම් එය සංවිධායකයන් ගේ වරදක් දැයි මා දන්නේ නැත. නමුත් පින්තූරය දුටු පමණින්ම බොහෝ දෙනා නිකාය භේදයන් ගැන සහ කුල ක්‍රමයන් ගැන පතුරුගසනවා ද දුටිමි. නිකාය භේදයන් පටන්ගත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ය. තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසු භික්ෂු ශාසනය නිකාය 18 කැඩුණ අතර ඉන්පසු මෙරට වළගම්බා රජසමය වන විට මහාවිහාරය (ථේරවාදි සම්ප්‍රදාය) , අභයගිරි විහාරය (මහායාන/ධර්මරුචි, වෛතුල්‍යය නිකාය) දක්‌ඛිණ විහාරය ( සාගලික නිකාය) ජෙතවනාරාම විහාරය (සාගලික නිකාය) ආදී වශයෙන් ද බෙදී වෙන් වී තිබුණි. එක් දහස් අටසිය ගණන්වලදී ඇතිවූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ හේතුවෙන් භික්ෂූ ශාසනය තවත් පිරිහුණ අතර ඒ කාලයේ දී උපසම්පදා භික්ෂුවක්වත් සිටියේ නැත. එබැවින් එවකට සිටි රජුගේ මූලිකත්වයෙන් වැලිවිට සරණංකර හිමියන්ට තායිලන්තයෙන් උපසම්පදාව රැගෙන ඒමට සිදු විය. සියම් දේශයෙන් ගෙනා උපසම්පදාව නිසා ශ්‍යාමෝපාලිවංශික මහා නිකාය ආරම්භ වුණ අතර සියම් නිකාය එක පිරිසකට පමණක් සීමා වුණ නිසා නැවත බුරුමයේ රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ගෙන ආවේය. එයින් රාමඤ්ඤ නිකාය ආරම්භ වුණ අතර අමරපුරයෙන් උපසම්පදාව ගෙන ඒමෙන් පසු අමරපුර නිකාය ද බිහි වුණි. ඉංග්‍රීසින් විසින් මහනායක, අනුනායක, සංඝනායක ආදී තනතුරු ඇතිකළ නිසා භික්ෂූ සංඝයා තවදුරටත් බෙදී වෙන්වුණි.

බුදුන් වහන්සේ සංඝයාගේ බෙදීම අනුමත කළේ නැත. නමුත් අප භික්ෂූන් වහන්සේලා නිකාය වශයෙන් පමණක් නොව සිවුරෙන් ද , දේශනා කරන ධර්මයෙන් ද , මතවාදයන්ගෙන් ද, කුල වශයෙන් ද, උඩරට පහතරට වශයෙන් ද , දේශපාලන පක්ෂ වශයෙන් ද බෙදී ඇත. නමුත් බුදුන් වහන්සේ ගේ දේශනාවට අනුව කෂ්ත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය ‍වගේම ශුද්‍ර කුලවල අයටත් නිර්වාණය අවබෝධ කරගන්නට කිසිදු බාධාවක් නොමැත.

ත්‍රිපිටකාභිවන්දනාවේ දී සිදු වූ ඉහත සඳහන් අඟල් තුන හතරක් පමණ උසින් වැඩි වූ ආසන පැනවීමේ සිදුවීම විවේචනය කර තිබුණ අය අතරින් අතිශය බහුතරය ගිහියන් ය. නොසලකා හැරිය යුතු ප්‍රශ්න අතිශය දරුණු ප්‍රශ්න බවට පත්කර ගැනීමට ශ්‍රී ලාංකිකයන් වන අප කවදත් දක්ෂය. නමුත් වඩාත්ම සුදුසු ක්‍රමය නම් භික්ෂූන් වහන්සේලා ගේ ප්‍රශ්න උන්වහන්සේලාටම විසඳා ගැනීමට ඉඩදීම ය. විවේචනය කළ ගිහියන් කරන්නට තිබුණේ තමන් අඩුම තරමේ දස අකුසල්වත් දන්නවා දැයි තම තමන්ගෙන්ම ප්‍රශ්න කරගැනීම ය. එවිට භික්ෂූන් වහන්සේලා ගේ ආසන පැනවීමේ ප්‍රශ්නයට වඩා වැඩි ප්‍රශ්නයක් තමන් තුළ තිබෙන බව බොහෝ දෙනෙකුට තේරුම් යනු ඇත.

==================
සොනාල ගුණවර්ධන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More