පුරවැසි කොලම

මාතලේ, පල්ලෙපොල, අලූත්ගම ගමේ කාලයක් කිරි හරක් ඇති කිරීම වෘත්තියක් ලෙස කරගෙන යමින් සිටි සමන් කුමාර කිරි ගොවි පවුල අද සිය ගේ දොර බැංකුව මගින් වෙන්දේසි කොට පාරට ඇද දැමීම නිසා අද හරක් ගාලේ දරු පැටවුන් සමඟ දවස ගත කරයි. පවුලේ දරු පැටව් තිදෙනා ගව ගාලේ කොණක පැදුරු කඩමලූ එලාගෙන නිදා වැටී සිටින අයුරු දකින විට හදවත් කම්පා නොවන්නේ තිරිසනුන්ගේ පමණි.

කඩමලූ පැදුර ගව ගාලේ එලාගෙන

සීතල නිසා අත පය වක ගසාගෙන

වැතිරී නිදන දරුවන් දෙස බලාගෙන

අම්මා කඳුළු වගුරයි දුක දරාගෙන

මෙම සම්පූර්ණ සිද්ධියට අනුව සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී හෙළිදරව් වූ කරුණු මෙසේය.

එක් කිරි ගවයකු රුපියල් ලක්ෂ 4 1/2 බැගින් දිනකට කිරි ලිටර් 20 සිට 30 දක්වා ලබාගත හැකි කිරි බහුල කිරි ගවයන් විසිදහසක් ඔස්ටේ‍්‍රලියාවෙන් ගෙන්වීමට ‘වේලාඞ්’ කියන ආයතනය හරහා රජය ගිවිසුමකට එළැඹ පශු සම්පත් මධ්‍යස්ථාන සඳහා ඔස්ටේ‍්‍රලියානු කිරි ගවයන් 10000 ක් එක් හරකෙකු රුපියල් ලක්ෂ හතර හමාර බැගින් විදේශ විනිමය යොදවා පශු සම්පත් අමාත්‍යාංශය මගින් ගෙන්වා ගනු ලැබීය. මෙසේ ගෙන්වන ලද හරකුන්ගෙන් 5000 ක් පෞද්ගලික කිරි නිෂ්පාදන ව්‍යාපාරිකයන්ට ලබාදීම පිණිස රුපියල් ලක්ෂ දෙකක සහන මිලකට ලබාදෙන බවත්, එසේ දෙනු ලබන්නේ ගවයින් විස්සකට වඩා මිලදී ගන්නා අයට බවත්, එසේම ගවයන් මිලදී ගන්නා අයට රජයේ ඇපවීම යටතේ සම්පත් බැංකුවෙන් අවශ්‍ය ණය මුදල් ලබා දෙන බවත් පුවත්පත් දැන්වීම් මගින් පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප‍්‍රසිද්ධ කර තිබිණ. ඒ වනවිට දේශීය ගවයන් 50 ක් මිලට ගෙන කිරි නිෂ්පාදන ව්‍යාපාරය සශී‍්‍රකව කරගෙන ගිය සමන් කුමාර නමැති කිරි ගොවියා යටකී දැන්වීම අනුව විදේශීය කිරි ගවයන් 50 ක් ගැනීමට ඉදිරිපත් වී ඇත. ඔහුගේ බිරිඳ බදුල්ල රෝහලේ හෙද සේවයේ නියුතු චන්ද්‍රා අබේකෝන් මහත්මියගේ වැටුප ගලේවෙල බැංකුවට හරවා තවත් රුපියල් ලක්ෂ 150 ක් පශු සම්පත් අමාත්‍යාංශයේ නිර්දේශ පිට ගලේවෙල සම්පත් බැංකුවෙන් ණයට ලබාගෙන විදේශීය කිරි හරක් පනහ සමන් කුමාර විසින් මිලදී ගෙන ඇත. ඒ වනවිට වාහන තුන හතරක් තබාගෙන ගේ දොර හොඳට හදාගෙන සේවකයන් 36 ක් සේවයේ යොදවා ගෙන ඉසුරුමත් ජීවිතයක් ගත කරමින් සිටි සමන් කුමාර සිය කිරි නිෂ්පාදන ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා රජයේ අනුග‍්‍රහය ඇති විදේශීය කිරි හරකුන් පනස් දෙනා එකෙකුට දෙලක්ෂය බැගින් ගෙවා මිලදී ගත් බව මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

සමන් කුමාර මහතා අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

‘‘මේ කිරි හරකුන් 850 ක් පමණ මාතලේ ප‍්‍රදේශයට ගෙනැවිත් තිබෙනවා. ඒ හැම ගව පට්ටියකම හරකුන්ට විවිධ ලෙඩ. සමහර හරක් දැනටමත් මැරිලා. මගේ පට්ටියේ ගවයන් දෙදෙනකු මිය ගියා. ලැබුණ පැටව් ලෙඩ රෝග වලින් මැරුණා. කිරි ගවයන් අපට දෙන විට පශු සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් අපට කීවේ එක් දිනකට එක් දෙනකගෙන් කිරි ලීටර් 20 සිට 30 දක්වා ගත හැකි බවයි. කිරි ලීටරයක් රුපියල් අසූව බැගින් මිලදී ගැනීමට ‘මිල්කෝ’ සමාගම පොරොන්දු වුණා. ඒ ප‍්‍රකාශ අනුව අවම වශයෙන් කිරි ලීටර් 20 දිනකට ලැබුණොත් රුපියල් 1600 ක්. කිරි හරකුන් පනස් දෙනාගෙන් විස්සක් පැටව් දැම්මොත් ඔවුන්ගෙන් දිනකට රුපියල් 32000 ක්. ලේසියෙන් බැංකු ණය ගෙවන්න පුළුවන්. මේ විදියට පශු සම්පත් නිලධාරීන් අපට ඇත්ත වසන්ගලා බොරු කියලා මේ සතුන් අපට දුන්නා. එක කිරි හරකෙකුගෙන් මට ලබාගත හැකි වූයේ දිනකට කිරි ලීටර් හයක් හෝ හතක්. දෙන්නු හයක් පැටව් දමා තිබුණා. කිරි ලීටරය අසූවට ගන්නවාය කියපු එකත් බොරුවක්. මේ පැටව් දැමූ හය දෙනාගෙන් ගත්තෙ කිරි ලීටර් 42 ක්. වික්කෙ රුපියල් 70 ගානේ. ඉතින් මම කොහොමද බැංකුවට රුපියල් ලක්ෂ 150 ක ණය ගෙවන්නෙ. ඊළඟට ගෙදර නඩත්තුව, වාහන හතරක නඩත්තුව, සේවකයන් 36 කගේ නඩත්තුව, පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කොහොමද කරන්නෙ? ගමෙන් ගත්තු කිරි හරක් ටික වික්කා. වාහන හතරම වික්කා. සේවකයන් අස් කළා. අපි බංකොළොත් වුණා. බිරිඳගේ පඩිය අවුරුද්දකින් ශතයක්වත් ගෙදරට ලැබිලා නෑ. සියල්ලම බැංකු ණයට කැපෙනවා. නමුත් බැංකු ණයට ඒ මදි. පොලියත් එක්ක බැංකු ණය ගොඩ ගැහුණා. ඇපයට තැබූ ගෙයයි ඉඩමයි වෙන්දේසි කොට බැංකු ණය ලබා ගන්නවාය කියලා ගලේවෙල බැංකුව වරින් වර අපට දැන්වූවා. මේක නවත්වන්න කියලා අපි බැංකුවට කීප වරක් කීවා. පශු සම්පත් අමාත්‍යාංශයට කීවා. අපේ නම දාලා පශු සම්පත් අමාත්‍යාංශය තමයි හරකුන් සඳහා මේ ණය ගත්තෙ. අපි ශතයක් ඇහැට දැක්කෙ නෑ. අපි ණය කාරයෝ කරලා පශු සම්පත් අමාත්‍යාංශය තමයි මේ ණය ගත්තෙ. පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහෙම ගේ දොර වෙන්දේසි කරන්න එපාය ටික ටික ණය බේරාවි කියලා බැංකුවට උපදෙස් දුන්නත් වැඩක් වුණේ නෑ. ෂයිලොක් ‘‘අත කපලා හෝ පොරොන්දු වූ මස් කුට්ටිය ණය මුදලට හිලව්වට දෙන්නය කියලා’’ දැඩිව ඉල්ල හිටියා වගේ ගලේවෙල බැංකුව මනුෂ්‍යත්වය ඉක්මවා මුදල් පසුපසම හඹා යමින් මගේ ගෙයයි ඉඩමයි වෙන්දේසියට ආවා. ලංසුවක් තියන්න කියලා බැංකු නිලධාරීන් පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලා හිටියා. ගමේ අහල පහල අය අපේ දෑස්වලින් වැගිරෙන දුක් කඳුළු දැකල කිසිවෙක් ගෙයයි ඉඩමයි ගැනීමට ඉදිරිපත් වුණේ නෑ.

‘‘මටයි මගේ දරු පවුලටයි ඉන්න තියෙන එකම ගෙදරයි මේ. ගෙදර වෙන්දේසි කරන්න එපා. ණය ලබා ගත්තු හරක් පට්ටිය මුළුමනින්ම ගන්න. මට එක හරකෙකු වත් එපා.’’ මම බැංකු නිලධාරීන්ගෙන් ඉල්ලා හිටියා. පලක් වුණේ නෑ. බැංකු පවතින්නේ රටේ ජනතාව නිසයි. නමුත් ‘‘අතු කපා මොර කන්නා වගේ’’ අප විනාශ කරලා දාලා බැංකුව මුදල් හඹා යනවා. මම අසිහියෙන් වගේ දොඩමලූ වුණා. නමුත් ඒ කිසිවක් බැංකු නිලධාරීන් ගණන් ගත්තෙ නෑ. අපිව අමාරුවේ දැමූ පශු සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කීම ඇහුවෙත් නෑ. පසුගිය 11 වැනිදා අපේ ගෙදරයි ඉඩමයි බැංකුව මගින් වෙන්දේසි කරලා ගැනුම්කරුවකු නැති තැන බැංකුවටම පවරා ගෙන ගේට්ටුවට ඉබි යතුරු දැම්මා. අපි දැන් දරු තුන්දෙනත් එක්ක හරක් ගාලේ. හරක් ගති ඇති මිනිසුන්ගේ හරක් වැඩ නිසා අද අපිත් හරකුන් තලේට වැටිල කඳුළු බොනවා.

ගවපසුගිය කාලය තුළ පශු සම්පත් අමාත්‍යාංශය මගින් අප රවටා ඇති අමානුෂික කතාන්තරය ගැන කියා සිටීමට විෂය භාරව සිටි ඇමතිවරු හමුවීමට ලිපි ගොනුත් සමඟ දහ දොළොස් වරක් ගියා. එය හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්ය කියලා අපට හිතුණා. තවත් අපි ලිපි ගොනු රැගෙන ඒ උතුමන්ලා හමුවීමට යන්නෙ නෑ. ඒ වෙනුවට මීළඟට ගොම බාල්දි රැගෙන යනවා. සමන් කුමාර දැඩි වේදනාවෙන් කියා සිටියේය.

මීළඟට මාධ්‍යයට අදහස් දැක්වූයේ සමන් කුමාර කිරි ගොවියාගේ බිරිඳ වූ අබේකෝන් මහත්මියයි.

‘‘අපි කාටවත් අත නොපා අපේ ස්වෝත්සාහයෙන් ජීවිතය ගොඩනඟා ගත් මිනිස්සු බැංකුවෙන් රුපියල් ලක්ෂ 150 ට අමතරව ආණ්ඩුවෙන් දුන්න මේ හරක් වැඬේට අපි ළඟ තිබිච්ච රුපියල් ලක්ෂ සීයක මුදලත් වැය කළා. ඊළඟට මගේ වැටුප මුළුමනින්ම ගලේවෙල සම්පත් බැංකුවට හැරෙව්වා. මේ ආනයනික හරක් පිළිබඳව උඩපැත්ත හොඳින් වර්ණනා කරලා යටි පැත්තෙ කොමිස් කුට්ටි හංගලා ගනුදෙනුව කළා. මේ වැඬේට සම්බන්ධ රජයේ අය දැන් උළු මාලිගා බැඳගෙන. ඒ හරකුන් කළ හරක් වැඩෙන් අපිත් දැන් හරක් ගාලට වැටිලා. මේක යහපාලන ආණ්ඩුවලූ. පේනවනෙ යහපාලනේ තරම. මමයි මගේ දරු පැටියොයි දැන් හරක් ගාලේ.’’

මෙහිදී අදහස් දැක්වූ මේ කිරි හරක් විජ්ජාවට මැදිවූ මාතලේ රංජිත් දේවපි‍්‍රය මහතා මෙසේ කීය.

‘‘මමත් ආණ්ඩුවේ හරක් ගැටේට අහුවුණ කෙනෙක්. කිරි ගොවීන් බිල්ලට දීලා තමන්ගේ සාක්කු පුරවා ගන්න මිනිස්සු තමයි රටේ සංවර්ධනයට යොදලා තියෙන්නෙ. කිරි ගොවීන් කෑවා මදිවට මේ අයට තවත් රටේ වගකීම් භාරදීලා. මේ හදිසියේ කොහේදෝ නොහිටි ‘සේනා’ දළඹුවා මේ රට විනාශ කරන්නෙ ඒ ශාපයට. සේනා දළඹුවෝ වගා ගොවීන් විනාශ කරනවා. පශු සම්පත් අමාත්‍යාංශයේ බලධාරීන් කිරි ගොවීන් කම්බස්් කරනවා. හොඳයි නේ? පිටරටවලට කිරි උතුරනවා. නිලධාරීන්ගේ සාක්කු පිරෙනවා. රට හිඟමනට යනවා.

ජාතික කිරි ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කුමාර නවරත්න මහතා රට කිරි හරක් ගැන මෙසේ විස්තර කළේය.

ඔස්ටේ‍්‍රලියාවේ ලෙඩ කිරි හරක් දහදාහක් මෙරටට ගෙන්නලා කිරි ගොවීන් අමාරුවේ දැම්මේ අප්පච්චිලා. හැරිසන් ඇමැතියි අප්පච්චි ඇමැතියි දෙන්නා දෙමාරුවට කිරි ගොවීන් අමාරුවේ දැම්මා. මමත් ඇමැතිවරුන්ගේ නිලධාරීන්ගේ කතාබහට රැවටිලා රට කිරි හරක් ගත්තා. දැන් වහ බොන්නයි වෙලා තියෙන්නෙ. අපට අපේ දරු පවුල්වලට යන එන මං නෑ. මාතලේට මේ රට හරක් 850 ක් ගත්තා. නුවරට 210 ක් ගත්තා. මේ හරක් වැඩෙන් කිරි ගොවීන් ඔක්කොම අමාරුවේ. ගොම බාල්දිත් අරගෙන අපට දැන් අමාත්‍යාංශවලට යන්න සිද්ධ වෙලා තියෙනවා. ස්ථිරවම ඉදිරියේ දී අපි එහෙම යනවා.

මෙම කිරි ගැටලූව ගැන අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවි සංවිධානයේ සභාපති නාමල් කරුණාරත්න මහතා කරුණු පැහැදිලි කරමින් මෙසේ පැවසීය.

මෙය සම්පූර්ණයෙන්ම පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් කරන ලද බරපතළ වංචාවක්. ඔස්ටේ‍්‍රලියාවෙන් මෙම හරක් ගෙන්වන්න එපාය කියලා විගණකාධිපති වාර්තාවක් දීලා තියෙනවා. බි‍්‍රතාන්‍යයේ සත්ත්ව පරීක්ෂණ අංශයෙන් මේ හරක් නුසුදුසුය කියලා වාර්තාවක් දීලා තියෙනවා. පශු වෛද්‍යවරුන්ගේ සංගමයෙන් මේ හරක් වැඬේ කරන්න එපාය කියලා අමාත්‍යාංශයට වාර්තාවක් දීලා තියෙනවා.

සතුන් පිටරටවලින් ගෙන්වීමේදී ඔවුන් එහිදී නිරෝධායන කොට සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ බවට සහතිකයක් දිය යුතුව තිබෙනවා. එවැනි සහතිකයක් ලබා ගෙන නැහැ. කිරි සඳහා සතුන් තේරීමේදී ඔවුන්ගේ මවු පරම්පරාවේ කිරි නිෂ්පාදනය පිළිබඳ වාර්තාවක්, පිය පාර්ශ්වයේ ජාන ශක්තීන් පිළිබඳ වාර්තාවක් සැපයීම අනිවාර්ය වුවත් ඔස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කළ කිරි ගවයන් පිළිබඳ එබඳු වාර්තාවක් ලබාගෙන නෑ. මේ අන්දමට සියලූ අංශවලින් ප‍්‍රතික්ෂේප වූ කිරි හරකුන් දස දහසක් එකෙකු ලක්ෂ 4 1/2 බැගින් අසාමාන්‍ය වූ මිලකට පශු සම්පත් අමාත්‍යාංශයෙන් ඉතාමත් අවිචාර ලෙස මිලදී ගෙන තිබෙනවා. විෂය භාර අමාත්‍යවරයාගේ වගකීම හා අනුමැතිය නැතුව හිතු මනාපයට නිලධාරීන්ට මෙවැනි විදේශ විනිමය සම්භාරයක් වැය වන විදියේ වැඩ කරන්න බෑ. ඒ නිසා පශු සම්පත් අමාත්‍යාංශය භාරව කටයුතු කළ අමාත්‍යවරුන් මේ බරපතළ වංචාවට මුළුමනින් වගකිව යුතුයි. මෙය සෙල්ලමක් නෙමෙයි. රටේ පුරවැසියන් වංචනික ලෙස අමාරුවේ දාලා කරන ලද රාජකීය වංචාවක්. රජය මේ සාපරාධයට මුළුමනින්ම වගකියන්න ඕන. පල්ලෙපොල සමන් කුමාරගේ ගේ දොර හා ඉඩම සම්පූර්ණයෙන් නිදහස් කොට ඔවුන්ට වහාම භාර දෙන්න ඕන. බැංකුව දෙන ලද ණය මුදලට අවශ්‍ය නම් සමන් කුමාර මහතා භාරයේ සිටින රට හරක් ටික ආපසු හිලව් කරගන්න පුළුවන්. රජයක් විසින් රටේ ජනතාව රවටා කරන ලද මහා වංචනික කි‍්‍රයාවන් හැටියට මේ සාපරාධී සිද්ධිය ඉතිහාස ගත වනු ඇත.

එප්පාවල – රත්න බී. ඒකනායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More