පුරවැසි කොලම

සබන් යනු ඉතා සරල පාරිභෝගික භාණ්ඩයක් වන අතර එය අවුරුදු 3000 කට පමණ පෙර සිට ඇඟ සේදීමට, රෙදි සේදීමට සහ අනෙකුත් භාණ්ඩ පිරිසිදු කිරීමට භාවිතා කර ඇත.

දැනට පවතින සනාථ කල වාර්තා අනුව ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ වෙළඳ නාම යටතේ සබන් ලාංකීය වෙළඳපලට ඉදිරිපත් කර ඇත්තේ 1920 වන තරම් ඈත කාලයේදී ය. එවකට ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව පැවතියේ ය. එතැන් පටන් බ්‍රිතාන්‍ය රාජ්‍ය අනුග්‍රහයද සහිතව ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ ලාංකීය සබන් වෙළඳපොලේ ආධිපත්‍ය හිමි කරගෙන ඇත.

1948 නිදහසෙන් පසුවද ශ්‍රී ලංකාව තුල බ්‍රිතාන්‍යයන් ඉතිරි කර ගිය යටත් විජිත ගැති පාලකයින් සහ නිලධාරීන්ගේ සහයද ඇතුව බ්‍රිතාන්‍ය සහ බටහිර සමාගම් තම වෙළඳ කටයුතු කරගෙන යන ලදී. කෙසේ වුවද 1990 වසර පමණ වන විට දේශීය සබන් කර්මාන්තය ඉදිරියට පැමිණෙමින් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සබන් සඳහා තරඟකාරීත්වයක් බිහි කරන ලදී. මේ අවස්ථාව වන විට ඇඟ ගලවන සබන් සඳහා ‘Toilet Soap’ නමින් SLS ප්‍රමිතියක් පැවති අතර එම සබන් සඳහා අවම TFM (Total Fatty Matter) අගය 76.5% ක් විය. එවකට ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ ඉහත ප්‍රමිතියට යටත් වූ අතර ඒවා සබන් යැයි හඳුන්වා දීම නිවැරදි විය. එම ඇඟ ගලවන සබන් පාරිභෝගික ජනතාව හැඳින්වුයේ ‘සුවඳ සබන්’ හෝ ‘සබන්’ ලෙසයි.

දේශීය සබන් නිෂ්පාදකයින් මඟින් එල්ල වන තරඟකාරීත්වය මැඩලිමට යුනිලීවර් සමාගම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද හවුල් කරගනිමින් 2001 වසරේදී බේදීන් බාර් නමින් නව SLS ප්‍රමිතියක් රටට හඳුන්වා දෙන ලදී. එසේ කිරීමට හේතුවක් ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ බේදීන් බාර් සඳහා කෘතීම පිරිසිදු කාරක එකතු කර වඩාත් හොඳ සේදීමක් ලබා දෙන නිෂ්පාදනයක් ඉදිරිපත් කල හැකි බවයි. ඔවුන් එසේ පැවසුවද ඔවුන්ගේ යටි අදහස ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ නිෂ්පාදන වල නිෂ්පාදන වියදම විශාල ලෙස මෙමඟින් අඩු කර ගැනීම විය හැක. මන්ද යත් බේදීන් බාර් වල SLS ප්‍රමිතිය අනුව TFM අගය විශාල ලෙස අඩු කර ගැනීමටත් එම පහළ TFM අගය නිසා අඩු වන සේදීමේ ශක්තිය නැවත එක් කිරීමට කෘතීම සේදුම්කාරක අවම වශයෙන් 2% ක් එකතු කිරීමටත් ඉඩ සලසා ගෙන තිබීමයි.
මෙම බේදීන් බාර් වල SLS ප්‍රමිතියේ ඇති පුදුමය ඇති කරන දෙය නම් බේදීන් බාර් නිෂ්පාදනය සඳහා එකතු කල හැකි කෘතීම සේදුම්කාරක අතරට ලොව විශාල වශයෙන්ම රෙදි සෝදන කුඩු සඳහා භාවිත කරන ප්‍රධානතම සේදුම්කාරකය වන Linear Alkyl Benzene Sulfonate (LAS) කාණ්ඩය ද අඩංගු කර තිබිමයි. 2001 වසර වන විට එනම්, ඉහත බේදීන් බාර් ප්‍රමිතිය හඳුන්වාදෙන අවස්ථාව වන විට ඉහත LAS කාණ්ඩයට අයත් සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් (SDBS) යන කෘතීම රසායනිකය ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ආනයනය කරන ආයතනය වුයේ යුනිලීවර් ආයතනයයි. එය ඔවුන්ගේ රෙදි සෝදන කුඩු සඳහා සහ ඩිශ් වොෂ් සඳහා යොදාගත් ප්‍රධානම පිරිසිදුකාරකයයි. එබැවින් SLSI ආයතනයේද සහය ඇතුව යුනිලීවර් සමාගම කර ඇත්තේ ඔවුන් වැඩි වශයෙන්ම භාවිත කරන රසායනිකයක් බේදීන් බාර් නිෂ්පාදනයට අනුමත කර ගැනීමයි.

ඉන්පසු ඔවුන් කරනුයේ එතෙක් කල් එනම් 2000 වසර දක්වා සබන් ලෙස පැවති ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ නිෂ්පාදන වල TFM අගය අඩු කර, තත්වය බේදීන් බාර් ලෙස වෙනස් කරමින් ඒවාට ඉහත සඳහන් SDBS රසායනිකය 3.1% සිට 5.1% දක්වා ප්‍රමාණයෙන් ඇතුලත් කර දවටනයේ කුඩා ලෙස ‘බේදීන් බාර්’ යන නම සඳහන් කරමින් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ නිෂ්පාදන පරණ පෙනුමෙන්ම වෙළඳපොළට නිකුත් කිරීමයි.

එයට සමගාමිව එම සමාගම විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයා විශාල ලෙස රවටමින් සහ නොමඟ යවමින් 2001 න් පසුවද මේ වන තෙක්ම ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සබන් ලෙස වෙළඳ දැන්වීම් මඟින් විශාල වශයෙන් ප්‍රචාරණය කරමින් සිටි. මෑතකදී එනම් 2019 වසරේ පෙබරවාරි මාසයේදී යුනිලීවර් සමාගම වෙනත් සමාගමකට එරෙහිව වාණිජ අධිකරණයේ පැවති අංක 29/2018/IP දරණ නඩුව මඟින් මෙය රටට හෙළි වුවද බහුජාතික සමාගමක් වන යුනිලීවර් සමාගම තවදුරටත් ශ්‍රී ලංකික වැසියන් ඔවුන්ගේ යටත් විජිත වැසියන් ලෙස සලකමින් ඉහත SDBS රසායනිකය විශාල ලෙස අඩංගු කරන ලද ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් හට සබන් ලෙස අලෙවි කරමින් සිටි. එය පාලනය කිරීමට මෙතෙක් වගකිව යුතු රාජ්‍ය ආයතන ඉදිරිපත් වී නැත.

ඉහත නඩුවේදී පහත සඳහන් කරුණු ද අනාවරණය වී ඇත.
• ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා වෙනත් කිසිම රටක ඉහත SDBS රසායනිකය භාවිත කර නැත.
• SDBS රසායනිකය ලොව නිෂ්පාදනය වන විශාලතම කෘතීම පිරිසිදුකාරකය වන අතර ඉන් 95% ක් පමණ භාවිත වනුයේ රෙදි සෝදන කුඩු සඳහා වන අතර ඉතිරි 5% න් වැඩි කොටසක් භාවිත වනුයේ ඩිෂ් වොෂ්, කාර් වොෂ්, කාපට් ක්ලීනර් වැනි නිෂ්පාදන සඳහාය.
• සාමාන්‍යයෙන් ගෙදරදොර භාවිත කරන ඩිෂ් වොෂ් නිෂ්පාදනයක ප්‍රධානතම පිරිසිදුකාරකය වන SDBS රසායනිකයේ ප්‍රතිශතය 4% ක් පමණ වන අතර ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා භාවිත කර ඇති SDBS රසායනිකයේ ප්‍රතිශතය 3.1% සිට 5.1% දක්වා බව.
• ලොව පිළිගත් සඟරාවක් වන International Journal of Toxicology ( ඉන්ටනැෂනල් ජර්නල් ඔෆ් ටොක්සිකොලොජී) සඟරාවට අනුව 0.4% කට වැඩි සාන්ද්‍රණයකින් SDBS අඩංගු නිෂ්පාදන මිනිසුන්ගේ සමට සහ ඇස් වලට හානි දායක විය හැකි බව.
• ශ්‍රී ලංකාව තුල වෙනත් සමාගම් කිහිපයක්ම ‘බේදීන් බාර්’ නිෂ්පාදනය කර අලෙවි කලත් ඒ කිසිම නිෂ්පාදකයෙක් ඉහත SDBS රසායනිකය භාවිත නොකරන බව.

ඉහත නඩුවේ තීන්දුව ලබා දෙමින් ගරු විනිශ්චයකාරතුමා ප්‍රකාශ කර ඇත්තේ බැලූ බැල්මට යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් නොමඟ යවන ආකාරයේ ක්‍රියාවක යෙදී සිටින බව පැහැදිලි බවත්, ශරීරය සේදීමට නොව වෙනත් ද්‍රව්‍ය සේදීමට භාවිත කරනා රසායන ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේදී පමණක් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා එකතු කර ඇති බවත්, එමගින් ශ්‍රී ලාංකික ජනතාවට අඩු සැලකිල්ලක් දක්වා ඇති බවත්ය.

මෙතරම් දෙයක් සිදු වී ඇතත් ප්‍රධාන ජනමාධ්‍ය වන පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ජනතාවගෙන් මෙය වසන් කරගෙන සිටිනුයේ එසේ කල හොත් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ නිපදවන යුනිලීවර් සමාගමේ විශාල ප්‍රචාරණ වියදම් ඔවුන් වෙත නොලැබී යනු ඇතැයි යන බියට විය හැක.

පාරිභෝගිකයාට සත්‍ය හෙළි කිරීමට අප පසුබට නොවන අතර වගකිව යුතු රාජ්‍ය ආයතන හොර නින්දේ පසු වුවද පාරිභෝගික ජනතාව අවුරුදු 18ක් තිස්සේ රවටමින් යන ඉහත සමාගම සහ එහි නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම ජනතාවටම කල හැකි දෙයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More