පුරවැසි කොලම

නවසීලන්තයේ සිදු වූ මුස්ලිම් පල්ලි දෙකක් එල්ල කර ගත් ඝාතන එරට වසන සිංහල බෞද්ධයන්ගේ වැඩක් වෙන්න බැරි නැහැ. එහෙම නැත්නම් මියන්මාර් බෞද්ධයන්ගෙ වැඩක් වෙන්න ඕන. මුස්ලිම් විරෝධයක් තියෙන්නෙ ඒ රටවල විතරයි. මුස්ලිම් – ක්‍රිස්තියානි විරෝධයක් තියෙන්න බැහැ. දෙගොල්ලන් ම අදහන්නෙ එක ම දෙවියන් වහන්සෙ. ඒත් දැන් ආරංචි වෙන විධියට නවසීලන්තයෙත් අන්තවාදීන් ඉන්නවා. මා මෙච්චර කල් හිතන් හිටියෙ සිංහල බෞද්ධයන් විතරයි අන්තවාදී කියලා.

ජනතා විරෝධී පෙරමුණ ජනතාවට හරි කැමතියි වගේ. ඔවුන් කියන්නෙ විස්ස ජනතාවට යොමු කරමු කියලා. ඒ කියන්නෙ ඔවුන්ට ජනමත විචාරණයක් ඕන කියන එකයි. රනිලුත් කියන්නෙ ජනාධිපතිවරණයක් අවශ්‍ය කියලයි. රනිලුයි රනිල්දාසයි දෙන්න ම මුළු රට ම එක ම කොට්ඨාසයක් හැටියට සලකල ඡන්ද තියන්න තමයි කල්පනාව. මේකෙ මොකක් හරි හොරයක් තියෙනව. ඇහුවොත් කියාවි ජනතාවට බලය දෙනවා කියලා.

ඒක හොඳ උත්තරයක් වෙන්න පුළුවන්. ඒත් අර පළාත් සභා ඡන්ද තියන්නෙ නැත්තෙ මොක ද? ඒ ඡන්ද තිබ්බොත් ජනතාවට බලය නැති වෙනවා ද? දැන් පළාත් සභා ඡන්ද පවත්වන්නෙ නැතිව කල්දාල හුඟක් කල් වෙනවා. ඇයි පළාත් සභා ඡන්ද තියන්නෙ නැත්තෙ. එක්කො පළාත් සභා අහෝසි කරමු ද? එතකොට ඡන්ද තියන්න වෙන්නෙත් නැහැ.

දාසනායක හෙවත් රනිල්දාස විස්සෙන් බලාපොරොත්තු වෙන්නෙ ජනාධිපති බලතල අඩු කරල පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන්න. ඒ සමග පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කරන්නත් වෙනවා. එතකොට සීමා නීර්ණ කතා ඇදෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් මේ කපේ දී තියෙන එකක් නැහැ. එවිට රනිල් තව අවුරුදු ගණනකට නිකම් ම අගමැති. කොහොම ද ටිකිරි මොළේ. කාගෙ ද ටිකිරි මොළේ?

අප කලිනුත් කියා ඇති විධායකය පාර්ලිමේන්තුවෙන් තෝරනවා කියන්නෙ විධායකය ව්‍යවස්ථාදායකයට යට කිරීමක් වගේ ම විධායකයත් ව්‍යවස්ථාදායකයත් එක ම ඡන්ද කොට්ඨාස ක්‍රමයක් මගින් තෝරා ගැනීමක් කියල. අද තියෙන්න ඕන විධායකය ව්‍යවස්ථාදායකයට යට කිරීමක් නොව ඒ දෙක අතර බල තුලනයක්. රනිල් රනිල්දාස යොදා ගෙන හදන්නෙ පූර්ණ බලැති විධායක අගමැති කෙනෙක් වෙන්න. රනිල්දාස රනිල්ට බොරුවට බණින ගමන් රනිල් ආරක්‍ෂා කරනවා විතරක් නො වෙයි, රනිල්ට වැඩි වැඩියෙන් බලතලත් අරන් දෙනවා.

රනිල්දාස හෙවත් දාසනායක සහ ඔහුගේ පක්‍ෂයෙ උදවිය හොඳ කතා කියනවා. මේ ළඟ දි එක් අයකු කියා තිබුණා ජ විරෝධී පෙරමුණ තමයි ශිලාචාර පක්‍ෂය කියල. මේ රටේ තිබුණු අශිලාචාර ම නොවෙයි මිනීමරු පක්‍ෂ දෙක තමයි කොටි පක්‍ෂයත් ජ විරෝධී පෙරමුණත්. මේ පක්‍ෂ දෙක විසින් මරණ ලද පුද්ගලයන්ගෙ ඥාතීන්ට ලැබුණු වන්දිය කුමක් ද? ඒ පුද්ගලයන්ගෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න අර සිවල් සාමාජිකයන් ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ ඇයි?

ඔය ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කතා කරන ජ විරෝධී පෙරමුණ තමයි ඡන්දෙ දාන්න ගිය ඡන්දදායකයන්ට වෙඩි තිබ්බෙ. රනිල්දාසලා ඒ ගැන කතා නැහැ. ඒ වගේ ම අර ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කියල ගෙනිච්ච ජාතික හැඳුනුම්පත්වලට මොක ද වුණෙ. සමහරු ඒ හැඳුනුම්පත් ආපහු නොලබා ම මිය ගියා. ජ විරෝධි පෙරමුණ කියන්න බැරි නැහැ ඒකෙන් තේරෙන්නෙ ජාතික හැඳුනුම්පත් අවශ්‍ය නැහැ කියන එක කියලා. බලාගෙන ගියා ම ඒකත් ඇත්ත තමයි.

දාසනායක අහනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි පළාත් සභායි අතර ඇති සම්බන්ධෙ මොකක් ද කියල. සම්බන්ධෙ සම්බන්ධන්ගෙන් දැන ගන්න පුළුවන්. රනිල්දාස කියනව පළාත් සභා පනතෙන්ලු පළාත් සභා ගැන කියවෙන්නෙ කියල. පඬියකු කියන්න බැරි නැහැ ඒක අපූරු කියවීමක් කියල. මට නම් පේන්නෙ දාසනායක කියවනවා කියලයි. පළාත් සභා පිහිටුවන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එහි 154 වැනි ව්‍යවස්ථාව පළාත් සභා සම්බන්ධවයි. ඒක දිග ව්‍යවස්ථාවක්. අර අප හැමදාම වගේ මතක් කරන 154 (උ) අනුව්‍යවස්ථාව ඒකෙ කොටසක්. පාරින්ද රණසිංහ විනිසුරුතුමාත් ජේ ආරුත් මේ වෙලාවට මතක් වෙන දෙන්නෙක්.

දාසනායකට අනුව ජනාධිපතිතුමාට පළාත් සභා පිළිබඳ බලය ලැබෙන්නෙ පළාත් සභා පනතෙන්. අපි එහෙමයි කියමු. දාසනායකගෙ සුවිශේෂ බුද්ධියට අප ගරු කරන්න ඕන. දැන් ඔය කියන බලය තියෙන්නෙ කාට ද? ජනාධිපතිට. එතකොට ජනාධිපති ධුරය අහෝසි කළාම කාට ද ඒ බලය පැවරෙන්නෙ. ජනාධිපති ධුරයෙ බලතල අඩු කළාම මොකද වෙන්නෙ. දාසනායකගෙ සුවිශේෂ බුද්ධියට ඒ ගෝචර වෙන්නෙ කොහොම ද?

පළාත් සභාවලට අත නොතබා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් හරි බලතල අඩු කළෙත් හරි පළාත් සභා පනතෙ ජනාධිපති ගැන කියැවෙන කතා වැඩකට නැති ඒව වෙනවා. එවිට දාසනායකටයි රනිල්ටයි සුමන්තිරන්ටයි ඕන දේ ක්‍රියාත්මක වෙනවා. දාසනායක රවටන්නෙ කාවද?

නලින් ද සිල්වා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More