පුරවැසි කොලම

ස්වාධීන වූත්, නිවහල් වූත් දේශයක, දැයක අබිමන් වූ උරුමය වෙනුවෙන් සිය දිවි නො තකා මෙහෙවරක් කළ අති උදාර විරුවණගෙන් අප මවුබිම නො හිස් ය. එවන් විරුවන් පිළිබඳ දැයක් ජාතිහිතෛශී හැඟුමෙන් පිබිදී එන මෙවන් සමයෙක වදනේ පරිසමාප්ථාර්ථයෙන් ම විරුවන් වන උතුමන්ගේ වත ගොත වත්මන් පරපුරට දායාද කිරීම මහඟු මෙහෙවරකි. ජාතිකාභිමානය නම් හැඟීම පටු අරමුණු වෙනුවෙන් කඩතුරාවක් කොටගත් ඇතැම් පාලකයින් වර්ථමානයේදී නම් උදෑසනට පිපෙන හතු මෙනි. එහේත් ගෙවුනු ලක් ඉතිහාසය එයට හාත්පසින්ම වෙනස් වූවකි.

වසර සිය ගණනක් නිදා සිටි සිංහලයන් අවදි කරන්නට සිංහල පාලකයන්ට නියම පාලනය ගෙන යන්නට වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගෙන් පටන් ආගමික වශයෙන් ජාතික වශයෙන්, බෞද්ධ අධ්‍යාපන වශයෙන් සිංහල ජාතියට පණ පොවන්නට හික්කඩුවේ ශ්‍රී සුමංගල මා හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, ඩේවිඩ් හේවාවිතාරණ මැතිතුමා යන පැවිදි උතුමන් හා ගිහි උතුමන් ආදර්ශයෙන්, අවවාදයෙන් දේශණයෙන් කළ ඉමහත් සේවාවන් සිරිලක් මාතාව නිදහස් කර ගැනීමේ නොමැකෙන-ඉතිහාසගත අමරණීය පියසටහන්මය.

සිරිලක ජාතික නිදහස් චින්තනය පෝෂණය කිරීමෙහිලා අපේ මහ සඟරුවන පෙරමුණ ගෙන ක්‍රියා කළවග ලක් ඉතිහාසයේ ඉතා ප්‍රසන්න ලෙස සටහන්වී ඇත. ජාතික අභිමානයටත් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියටත්, ආර්ථික සංවර්ධනයටත් එය මහෝපකාරී වන්නේය.

කිතුවසින් වසර 1815 මාර්තු 2 වන දින කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත්වීමෙන් ලංකාවේ ස්වාධීනත්වය පිළිබඳ සලකුණ අතුරුදහන් වී ගියේය. සිංහල ජාතික ධජය වෙනුවට ඉංග්‍රීසි කතිර කොඩිය සෙංකඩගල නුවර මඟුල්මඩුවේ කොඩිගහ මුදුනේ ලෙළදුන්නේ විශේෂයෙන් සිංහල ජාතියේ අභිමානය නැතිකරමිනි. මෙවන් අවස්ථාවක සිංහලයන් විසින් ඉංග්‍රීසීන්ට පවරාදීමට කලින් ඉංග්‍රීසි කොඩිය ලෙළදීමේ නීති විරෝධීභාවයත්, ඉංග්‍රීසි පාලකයන්ගේ විෂමාචාරභාවයත් පෙන්වීමට පෙරමුණ ගත් ජාතික හැඟීමෙන් ඔද තෙදවත්වූ වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියන් යළිත් ඉංග්‍රීසි කොඩිය ඉරා දමා සිංහල කොඩිය එසවීමෙන් සමස්ත මානව වර්ගයාටම ක්‍රියාවෙන් දුන් ආදර්ශය එදත්-අදත්-හෙටත් නොමැකෙන සටහනක් වන්නේය.

අහිමිවූ ස්වාධීනත්වය බිඳුනු අභිමානය, විසිරී ගිය සමඟිය, ආගමික ශ්‍රද්ධා භක්තිය යළි ඇතිකර ගැනීමේ පරම අධිෂ්ඨානය පැවිදි උතුමන්ට මෙන්ම සිංහල ජන නායකයන්ටද ඇතිවූයේ වාරියපොල මාහිමියන්ගේ මං සළකුණු අනුවය.
වාරියපොල ශ්‍රී සුමංගල බුදුපුතුණුවෝ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවමැදිහත් පත්තුවේ දෙවමුල්ල කෝරළයේ වාරියපොල නම් සුන්දර ග්‍රාමයේ හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාලගේ පුතකු ලෙස ඉපිද කිරිහාමි නමින් හැඳින් වූ අතර, එවකට අස්ගිරි විහාරයේ, නාවින්නේ ධම්මදස්සී, ගණනායක හෙරණපාණන්ගේ මඟ පෙන්වීමෙන් අස්ගිරි මහා විහාරයේ ඉඳවලුගොඩ ධම්මපාල මහ නා සමිඳුන්ගේ මූලිකත්වයෙන් සසුන් ගත වූහ.
කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු සමයේ ලක් දිවට වැඩි උපාලී මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍යාම දේශීය භික්‍ෂූන් වහන්සේලා ද, ධම්මපාල මහ නා සමිඳුන් ද මූලිකත්වයෙහි තබා රාජ්‍ය වර්ෂ 1753 නිකිණි මස අව අටවක් දින අස්ගිරි මහා විහාර ගෙඩිගේ භූමියේ බද්ධ සීමා මාලකයේදී උපසම්පදාව ලද වාරියපොල හිමියෝ කර්මාචාර්ය, අනුකාරක කාරක නායක අනුනායක යන පූජිත ශාසනික තනතුරු වලින් පිදුම් ලදහ.

සුදුහුම්පොල රාජ මහා විහාරය, වාරියපොල ශෛලතලා රජ මහා විහාරය වැනි පූජනීය විහාරස්ථානයන්හී අධිපති ලෙස ද කටයුතු කර ඇති අතර වාරියපොල භික්‍ෂු පරම්පරාව ද බිහි කළහ. අනතුරුව සිංහල බෞද්ධ රජ කිරුළේ මුදුන් මල් කඩවූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ තේවාව භාරව ද වැඩ සිට ඇත.

සිය යටත් විජිතයන්හි සාරය උරා බීමේම නියුතු ඉංගී‍්‍රසි අදිරදවාදීන්ගේ සැබෑ මුහුණුවර ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පසක් වූ විට ඔවුනට විරුද්ධව 1818 දී වීර කැප්පෙටිපොල ගේ නායකත්වයෙන් ඇති වූ ඌවේ කැරැල්ල සමයේ දී තේවාව භාරව සිටි වාරියපොල අනුනාහිමියෝ දන්ත ධාතූන් වහන්සේ ඉංගී‍්‍රන් අතට පත් නොකරමියි යන අදිටනින් උන්වහන්සේ ද සඟවාගෙන කැළෑවැදී කුසට අහරක් වත් හරිහැටි නැතිව දහදුක් වින්දේ කැරළි නායක වීර කැප්පෙටිපොල අතට පත් කිරීමේ අභිලාෂයෙන් බවද කියැවේ. එහෙත් 1818 නොවැම්බර් මස 02 වැනි දින බ්‍රිතාන්‍ය හැත්තෑතුන්වෙනි රෙජිමේන්තුවේ එත්සයින් සූට්බ්රේඩ් විසින් මාතලේ කයිකාවල මුරපොලේ දී දැය පාවාදෙන පිරිසකගේ ඔත්තුවකට අනුව දළදා වහන්සේ ද සමග මුන්වහන්සේ අත්අඩංගුවට ගත් බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන්ව ඇත.

Nimal Welagedara



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More