දේශීය පුවත්

ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (25) ජනතා අයිතියට පැවරිණි.

රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් පූර්ණ ලෙසම ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදන මත මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබීම විශේෂත්වයක් වන අතර මෙරට වකුගඩු රෝගින් වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ නමින් මෙම මධ්‍යස්ථානය නම් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේ දී ශ්‍රී ලංකාවේ සමස්ථ වකුගඩු රෝගීන් වෙනුවෙන් සහ වකුගඩු ආසාදන රෝග මූලය සොයා ගැනීම වෙනුවෙන් අසම සම සේවාවක් ඉටුකළ සහ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට කැපවී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ සේවය අගයමින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

වකුගඩු රෝගී පවුල් 670 ක් සඳහා ගෘහස්ථ ජල පෙරණ යන්ත්‍ර ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝගීන් 500 දෙනෙකුට රුධිර පීඩන මාපක ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝග නිවාරණය පිලිබඳ දීප ව්‍යාප්තව පාසල් දරුවන් අතර පැවති තරඟාවලියේ මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රාහක සිසුන්ට සම්මාන හා තිළිණ පිළිගැන්වීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ජාතික වකුගඩු අරමුදල සඳහා නිරෝගා ලොතරැයියේ දායකත්වය අගයමින් 2019 ජනවාරි මාසයට අදාළ දායකත්වය වන රුපියල් මිලියන 09.06 ක චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු වූ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් සිදු කරනු ලබන සුවිශේෂී කැපවීම උදෙසා උපහාර පුද කරමින් මහනුවර දිස්ති්‍රක් වකුගඩු ආරක්ෂණ සංගමය විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්වීය.

එමෙන් ම මහනුවර දිස්ත්‍රික් වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය කඩිනමින් ඉදිකර ජනතා අයිතියට පවරාදීමට දායක වූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් ද ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් විය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න. හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද යන මහ්තවරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, මහනුවර දිස්ත්‍රික් ලේකම් එම්.එන්.ජී.ජී. තිස්ස කරුණාරත්න, මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More