පුරවැසි කොලම

පසුගිය වසර 15 කට අධික කාලයක් තිස්සේ විවිධ පාර්ශව විවිධ ප්‍රමාණවලින් සමාජ ගත කිරීමට උත්සාහ කළ කිරිපිටි ප්‍රශ්නය ට හදිසියේම ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇත. ඊට හේතුව කිරි ගොවීන් විසින් තමාට විකුණාගත නොහැකි කිරි මහාභාණ්ඩාගාරය ඉදිරිපිට මහ පාරේ හැලීම නොවේ. එසේම දේශීය කිරි කර්මාන්තකරුවන් තම කර්මාන්ත වසා දමා ගොවියන්ගෙන් කිරි මිලදී ගැනීම නවතා දැමීම නිසා ද නොවේ. එසේ නොවේනම් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහජන සෞඛ්‍යය සඳහා වන තම පරම යුතුකම ඉටුකිරීම සඳහා ආනයනික කිරිපිටි තොග වරායෙන් පිට කිරීමට පෙර පරික්ෂා කිරීම සඳහා දැඩි තීන්දුවක් ගෙන ක්‍රියා කිරීම නිසා කිරිපිටි සමාගම් විසින් කිරි පිටි ආනයනය කිරීම නතර කිරීම නිසාද නොවේ. බදු සහන ලබා දී බාල කිරිපිටි අඩුමිලට ආනයනය කිරීමට ඉඩ ලබාදී තම රටේ කිරි කර්මාන්තය සහ කිරි ගොවියාගේ ජීවන තත්ත්වය කඩා වැටීමට ඉඩ සලසන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වුවත් ඊට එරෙහිව එවැනි ප්‍රතිචාර දක්නට ලැබෙන්නේ නැත. එසේ නම් පසුගිය දිනවල කිරිපිටි ප්‍රශ්නය හෙවත් ‘කිරිපිටි සෙල්ලම’ පිළිබඳ මහජන සංවාදයක් ඇති කිරීමට හේතු වූයේ කුමක්ද? ඊට හේතු වූයේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කළ ගරිල්ලා ප්‍රහාරයකි.

අභ්‍යන්තර වෙළඳ කටයුතු වලට අදාල අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වූ බුද්ධික පතිරණ මහතා ගිනස් වාර්තාවක් තබමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර කිරිපිටි ආනයනය කරන බලවත් සමාගම්වලට එරෙහිව අවි ඔසවා ඇත. පසුව විෂයභාර හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සහ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයාගේ ගරිල්ලා ප්‍රහාරයට ආයුධ සපයමින් ඊට වටිනාකම ලබා දුනි. එසේ පාර්ලිමේන්තුවේ දී පළමු ගල ගැසීමෙන් දුර්ලභ ක්‍රියාවලියට දායක වූ සියළු පාර්ශව වලට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. ලෝකයේ ඉතා බලවත් කිරිපිටි සමාගම්, විවිධ රටවල භාණ්ඩාගාර නිළධාරින් සහ දේශපාලනඥයින් තම සාක්කුවේ දමා ගනිමින් එම රටවල මහජන සෞඛ්‍යයට සහ ආර්ථිකයට කරනු ලබන විනාශය ගැන කතා කිරීමට ජනමාධ්‍ය පවා බියක් දක්වති. ඊට හේතුව එම සමාගම් වල දැවැන්ත ප්‍රචාරක අය වැය මගින් ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍ය කරුවන්ට අයුතු බලපෑම් කිරීමය. ශ්‍රී ලංකාව ගත්විට පිටරට කිරිපිටි සමාගම් වලට වාර්ෂිකව රුපියල් මිලියන 10,00කට අධික බදු සහන ලබාදෙන අතර පාන් පිටි සමාගම් වලට රුපියල් මිලියන 30,000 කට අධික බදු සහන ලබා දෙයි. රජයට ගෙවියයුතු එපමණ විශාල මුදලක් රජය විසින් එම සමාගම් වල සාක්කුවට ආපසු දැමූ විට ඔවුනට මිලදී ගත නොහැක්කේ මොකාද?

කිරිපිටි ප්‍රශ්නය හෙවත් කිරිපිටි සෙල්ලමේ ගැඹුරු ගැන කතා කිරීම සඳහා දීර්ඝ පූර්විකාවක් අවශ්‍ය වන්නේ එම ප්‍රශ්නයේ බරපතළකම නිසාය. එනම් එම ප්‍රශ්නයට සමස්ත සමාජය සහ රටේ ආර්ථිකය පමණක් නොව අනාගත පරම්පරාව ද ගොදුරු වන බැවිනි. මෙම ප්‍රශ්නයේ ප්‍රධාන පැතිකඩ 5ක් හඳුනාගතහැක. පළමුවැන්න බුද්ධික පතිරණ අමාත්‍යවරයා විසින් මතුකළ අහාර ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයි. දෙවැන්න පවතින සමාජයට පමණක් නොව අනාගත පරම්පරාවලට ද බලපෑම් ඇති කරන ආහාර සුරක්ෂිතතාව‍ අදාළ ප්‍රශ්නයයි. රටක ආහාර සුරක්ෂිතතාවය එම රටේ ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන බව ප්‍රකට කරුණකි. තුන්වැන්න දේශීය කිරි කර්මාන්තය විසින් රටේ ආර්ථික ක්‍රියාවලියට ලබාදෙන දායකත්වය අහිමි කිරීමට සහ විදේශ විනිමය වැය කිරීමට අදාල ආර්ථික සහ මූල්‍ය ප්‍රශ්නයයි. හතරවැන්න ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කඩාවැටීමට අදාළ සමාජ ආර්ථික ප්‍රශ්නයයි. පස්වැන්න බදු සහන කර්මාන්තය හෙවත් රටේ බදු වංචා වලට අදාල ප්‍රශ්නයයි.

පළමු ප්‍රශ්නය හෙවත් මහජන සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නය පැන නගින්නේ විදේශීය සමාගම් විසින් තම ලාභය වැඩි කර ගැනීම සදහා කිරිපිටි වල සංයුතිය වෙනස් කිරීම නිසාය. ඒ සඳහා ක්‍රමවේද ත්‍රිත්වයක් අනුගමනය කෙරෙයි. පළමුවැන්න ඉහළ වෙළඳපල වටිනාකමක් සහිත කිරි මේදය කිරි වලින් ඉවත් කොට ගෙන අඩු වටිනාකමක් සහිත ලාභ සහ බාල තෙල් වර්ග කිරි වලට එකතු කිරීමය. උදාහරණයක් ලෙස කිරි වලින් ඉවත් කරගන්නා කිරි මේදය හෙවත් බටර් කිලෝග්‍රෑම් එකක වටිනාකම රුපියල් 850 ක් වන විට ෆාම් තෙල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150 කි. ලෝකයේ ආහාරයට ගන්නා තෙල් වර්ග අතුරින් සෞඛ්‍යයට ඉතාම අහිතකර තෙල් වර්ගය ලෙස සැලකෙන්නේ ෆාම් තෙල් ය. විශේෂයෙන්ම පිරිපහදු නොකළ පාම් තෙල්වල අඩංගු ‘නිදහස් මේද අම්ලය’ පිළිකාකාරකයක් ලෙස හඳුනාගෙන ඇත. ඉරානය විසින් 2014 දී ෆාම් තෙල් භාවිතය තහනම් කරන්නේ එම සාක්ෂි පදනම් කරගෙනය. මව්බිම ලංකා පදනම විසින් වෙළඳපලෙන් ලබාගත් ආනයනික කිරිපිටි සාම්පල එංගලන්තයේ රසායනාගාරයකට යවා ලබාගත් පරීක්ෂණ වාර්තා අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරන සෑම කිරිපිටි වර්ගයකම මේදයෙන් 30% දක්වා ෆාම් තෙල් අඩංගු වේ.

ඒ බව අනාවරණය වූ විට ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන ප්‍රධානතම සමාගමේ විදේශීය විධායක නිලධාරියා එම සමාගමේ වෙබ් අඩවියේ පළ කළ ප්‍රකාශයක් මගින් කිරි වලින් කිරි මේදය ඉවත් කොට ඒ වෙනුවට ෆාම් තෙල් එකතු කිරීම සාධාරණීකරණය කළේය. ඔහුට අනුව එම සමාගම විසින් නැවත සකස් කළ කිරි හෙවත් ‘’මේදය පුරවන ලද කිරි’’ ලෙස හඳුන්වන කිරිමේදය ඉවත් කොට ෆාම් තෙල් එකතු කළ කිරි නිපදවන්නේ තුන්වන ලෝකයේ රටවල් වල දුප්පත් පාරිභෝගිකයින් සඳහා ය. ඔහුට අනුව සැබෑ ස්වාභාවික කිරි මේදය අඩංගු කිරිපිටි ශ්‍රී ලංකාව වැනි රටක පාරිභෝගිකයාට මිලදී ගත නොහැක. මොහොතකට එය සත්‍යක් යැයි පිළිගත්තද එසේ කිරි මේදයේ සංයුතිය වෙනස්කොට ඇති බවට අදාල වෙළද නාම විකිණීමට පෙර පාරිභෝගිකයා දැනුවත් නොකිරීම වරදකි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ආහාර පනත අනුව ආනයනික කිරිපිටි වල අඩංගු විය යුත්තේ කිරි මේදය පමණි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර බලධාරියා හෙවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අදාළ නියෝග යටතේ සෑම කිරි තොගයක්ම වරායෙන් නිදහස් කිරීමට පෙර ඒවාගෙ අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවට මහජනයාට සහතිකයක් ලබා දිය යුතුය.

එම සහතිකය ආකාර දෙකකට ලබා ගත යුතුය. පළමු ක්‍රමය අදාල ආනයනික සමාගම විසින් ආනයනය කළ කිරිපිටි පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණාගාරයකින් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කිරීම සහ එම කිරි පිටි වල කිරි මේදය හැර වෙනත් තෙල් වර්ග අඩංගු නොවන බවට ප්‍රකාශයක් ලබා දීමය. දෙවැන්න ආනයනික තොග නිදහස් කිරීමට පෙර අහඹු සාම්පල ලබාගෙන පරික්ෂා කිරීමය. එම ක්‍රම දෙකම භාවිතා කළ යුතු වුවත් මේ වන විට ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි වලට අදාලව එම ක්‍රම දෙකෙන් එකක් හෝ ක්‍රියාත්මක වන්නේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි බරපතළ සහ වැදගත් වගකීමක් පැහැර හරින්නේ කුමක් නිසාද? එම ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයකින්ම පිළිතුරු ලබාදිය හැක. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ආහාර බලධාරියාට කිරිපිටි ආනයනය කරන විදේශීය සමාගමක් විසින් මසකට ලක්ෂ 20 ක වැටුපක් ගෙවා රක්ෂාවක් සපයන්නේ කුමක් නිසාද? අනාගතයේ දී එවැනි රක්ෂාවක් බලා බලාපොරොත්තු වන වර්තමාන ආහාර බලධාරියකුගේ මනස කෙසේ වැඩ කරනු ඇති ද? ඊට අමතරව ඉහත සදහන් කළ ආකාරයට කිරි පිටි ආනයනය කරුවන්ට ලබා දෙන රුපියල් මිලියන 10,000ක බදු සහනයෙන් රුපියල් මිලියන 24ක් යනු කුමන කජ්ජක්ද ? යනුවෙන් ප්‍රශ්න කළ හැක.

කිරිපිටි ප්‍රශ්නයට අදාළව නිදා වැටෙමින් සිටින සෞඛ්‍ය බලධාරීන් අවදි කිරීමට විවිධ පාර්ශව විසින් ගනුලැබූ උත්සාහයන් එකක් හෝ සාර්ථක නොවන්නේ එවැනි තත්ත්වයක් තුළය. එහිදී ඔවුන් එක් දෙයක් ප්‍රත්‍යක්ෂ කරනු ලැබීය. ඒ ‘හොරට නිදා සිටින ඔවුන් අවදි කළ නොහැක’ යන පැරැණි කියමන තවදුරටත් ත්‍යයක් බව ය. කෙසේ වෙතත් අවසානයේ දී පාරිබෝගික අධිකාරිය එම ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්විය. ඒ අනුව එම අධිකාරිය විසින් වරායෙන් කිරිපිටි නිදහස් කිරීමට පෙර පරීක්ෂණ වාර්තා ලබා දෙන ලෙස අදාළ ආනයනික සමාගම් වලට නියෝග කරනු ලැබීය .ඒ සඳහා එම ආයතන විසින් මුදල් ගෙවීමට ද කටයුතු කළ මුත් අදාළ රසායනාගාරයේ දී එම පරීක්ෂණ සිදු කළ නොහැකි බව පවසා එම මුදල් ආපසු ගෙවන ලද බව ද වාර්තා විය. ඒ තුලින් එක් දෙයක් පැහැදිලි වේ. එම පරීක්ෂණ ආයතන බලවත් කිරිපිටි සමාගම් වලට බියක් දැක් වුවත් ඔවුන් වැරදි වාර්තා ලබා දීමට ඊට වඩා බියක් දක්වන බවය. එය සතුටට කාරණයකි. කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාරිභෝගික අධිකාරියෙන් කරනු ලැබූ ඉල්ලීම් අනුව ඔවුන් සතුව හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව කිසිදු පරීක්ෂණ වාර්තාවක් නොමැති බව නිල වශයෙන් දැන ගැනීමට ලැබුණි.

ෆාම් තෙල් හෝ වෙනත් සත්ව තෙල් අඩංගු කිරිපිටි ශ්‍රි ලංකාවට ආනයනය කිරීමේ ගැටළුවට අමතරව ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම කෘතීම කිරි නිපදවීම ද සිදු කෙරෙන බව රහසක් නොවේ. එම කෘතීම කිරි ස්වභාවික කිරි සමඟ මිශ්‍ර කොට විවිධ කිරි ආශ්‍රිත ආහාර නිපදවීම සඳහා යොදා ගන්නා බව වාර්තාවේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන රටවල් ද කෘතිම කිරි නිපදවන බව එම රටවලට මහා පරිමාණයෙන් පාම් තෙල් සහ ලැක්ටෝස් ආනයනය කරන්නේ කුමක් නිසා දැයි සොයා බැලීමේ දී පැහැදිලි වේ. කිරි නිපදවීම සඳහා ෆාම් තෙල්, ලැක්ටෝස්, තෛලෝද කාරක සහ ජලය භාවිතා වේ. ශ්‍රී ලංකාවේදී පිටකොටුවේ යම් වෙළඳ සැල් වලින් කෘතීම කිරි සඳහා අවශ්‍ය සියලු සංඝටක සහ වට්ටෝරු මිලදීගත හැකි බව රහසක් නොවේ. එසේ කෘතිම කිරි නිපදවීම සඳහා තෛලෝද කාරක ලෙස ෂැම්පු වර්ග භාවිත වන බවට ද සාක්ෂි ඇත.

ඊට අමතරව මීට වසර කීපයකට පෙර මෙලමයින් නම් වූ ප්ලාස්ටික් වර්ග නිපදවන රසායනික ද්‍රව්‍යයක් කිරි පිටි වලට එකතු කරන බවට ආන්දෝලනයක් ඇති විය. චීනයේදී එම වරදට යම් පිරිසකට මරණ දඬුවම හිමි විය. නමුත් ශ්‍රී ලංකාවේ දී ප්‍රශ්නය ක්‍රමයෙන් යටපත් විය. එහෙත් කිරිවලට මෙලමයින් එකතු කරන්නේ ෆාම් තෙල් එකතු කිරීමට සමාන උවමනාවක් නිසා ය. කිරි වලින් ඉවත් කරගන්නා කිරි ප්‍රෝටීන් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 10,000ක් පමණ වටිනාකමක් සහිත වේ. කිරි ප්‍රෝටීන වල එක් ඇමයිනෝ අම්ලයක නයිට්‍රජන් අනු ඇත්තේ 1ක් පමණි. නමුත් මෙලමයින් අනුවක නයිට්‍රජන් අනු 7ක් ඇත. ඒ අනුව කිරි වලින් ඇමයිනෝ අම්ල 7 ඉවත් කරගෙන මෙලමයින් අනු 1ක් එකතු කළ විට ලාභය කොපමණකින් වැඩිවෙයිද? එසේ විස රසායන යොදා නයිට්‍රජන් සංයුතිය වෙනස් කරන්නේ නීතියට අනුව කිරි වල ප්‍රෝටීන් ප්‍රමාණය මනිනු ලබන්නේ නයිට්‍රජන් අනු ප්‍රමාණය මත නිසාය. මේ සියලු කරුණු අනුව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා තම අමාත්‍ය ධූරය පවා අනතුරට ලක් කර ගනිමින් ඉදිරිපත් කළ මහජන සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නයේ බරපතළකම පැහැදිලි වේ.
කිරි සමග බැඳුණු දෙවන ප්‍රශ්නය හෙවත් ආහාර සුරක්ෂිතතාවයට අදාළ ප්‍රශ්නය ගත්විට එය ජාතියේ අනාගත ඉරණම සමඟ බැඳී පවතින බව පැහැදිලිවේ. ඒ අනුව එය අහාර ආරක්ෂාව තරමටම හෝ ඊටත් වඩා බරපතළ ප්‍රශ්නයක් බවට විවාදයක් නැත. ආහාර සුරක්ෂිතතාවය රැකීම හෙවත් බාහිර යැපීමක් නොමැතිව රටේ ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතාවය සැපිරීම සඳහා කාරණා ත්‍රිත්වයක් වැදගත්වේ. පළමුවැන්න, භූමියේ සීමාකම් වලට යටත්ව දේශීය ආහාර නිෂ්පාදන තොගය වැඩි කිරීමය. දෙවැන්න පාරිසරික සාධක වලට අනුව ආහාර නිෂ්පාදනයේදී ආහාර වර්ග සහ ප්‍රභේධ විවිධත්වය වැඩි කිරීමය. මූලික ආහාර අවශ්‍යතාවය සඳහා එක් බෝගයක් මත යැපෙන ජාතියක ආහාර සුරක්ෂිතතාවය ඉතා බරපතළ ලෙස අනතුරට ලක්විය හැක. 1850 දී අයර්ලන්ත වැසියන් ලක්ෂ 10ක් අර්තාපල් සාගතය නිසා මිය යන්නේ ඔවුන් ආහාර සඳහා එක් අර්තාපල් ප්‍රභේදයක් මත යැපීම නිසා ය. තුන්වැන්න ආහාර පරිභෝජනයේදී විවිධත්වය වැඩි කිරීමය.

ඒ ආකාරයට ආහාර සුරක්ෂිතතාවයයට අදාළව සලකන විට කිරි ආහාර වලට විශේෂ තැනක් හිමිවේ. ජෛව රසායනික විද්‍යාවට අනුව පමණක් මිනිසාගේ පෝෂණය විග්‍රහ කරන යම් විද්වතුන් කිරි වල පෝෂණමය වැදගත්කමක් නොමැති බවට ද මත පළ කරති. නමුත් මිනිසුන් ජෛව රසායනික පෝෂක වර්ග ඖෂධ මෙන් ගිල දමන්නේ නැත. ඔවුන් තමන්ට අවශ්‍ය පෝෂක ලබා ගත්නේ ආහාර මඟිනි. සෑම පෝෂක වර්ගයක්ම ශරීරයට ලැබෙන බව සහතික වන්නේ ආහාරයේ විවිධත්වය මතය. ඒ අනුව ආහාරයේ විවිධත්වයට සාපේක්ෂව ආහාර සුරක්ෂිතාව ආරක්ෂා කිරීමේදී කිරි වලට වැදගත් තැනක් හිමිවේ. ඇත්ත වශයෙන්ම ඓතිහාසිකව ශ්‍රී ලාංකිකයා කිරි බොන ජාතියකට වඩා කිරි කන ජාතියක් ලෙස හඳුනා ගැනීම වඩා නිවැරදි වේ. කෙසේ වෙතත් ආහාර සුරක්ෂිතතාවයට අදාළව කිරි වැදගත් වන්නේ කරුණු දෙකක් මතය. පළමුවෙන්ම මිනිසාට ආහාරයට ගත නොහැකි තණකොළ හෝ කෘෂි අපද්‍රව්‍ය හරකා නැමැති මැෂිමට කවා ආහාරයට ගත හැකි කිරි නිපදවීම මඟින් රටේ ආහාර තොගය වැඩිවේ. ඊට අමතරව බෝග වගාව සමග කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම මගින් භූමියේ සීමා කම අතික්‍රමණය කරමින් ආහාර තොගය සහ විවිධත්වය යන දෙකම වැඩි කිරීමට අවස්ථාව ලැබේ.

එවැනි තත්වයක් තුළ පිටරට බාල කිරිපිටි ආනයනය කොට බදු සහන යටතේ දේශීය වෙළඳපොළට දැමීම තුලින් සිදුවන්නේ කුමක්ද? එමගින් දේශීය කිරි කර්මාන්තය කඩා වැටී රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක්වන බව ඉහත කරුණු අනුව කුඩා දරුවෙකුට වුවද වැටහේ. නමුත් අප රටේ දේශපාලනඥයන්ට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට ඒ බව වැටහෙන්නේ ඉතා අඩුවෙනි. නමුත් අප වැනි රටවලට කිරිපිටි අපනයනය කරන රටවල නායකයින් එම කරුණු ඉතා හොඳින් දැන සිටින බව පෙනේ. ඔවුන් තම රටවල නිපදවිය හැකි කිසිදු ආහාරයක් නිදහසේ බදු සහන යටතේ ආනයනය කිරීමට ඉඩ දෙන්නේ නැත. ඔවුන් කරන්නේ අප වැනි රටවල පාලකයින් කරන දේට ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම් ආහාර ආනයනයේදී බදු සහන දීම වෙනුවට විවිධ බදු සහ බදු නොවන බාධක පැන්වීම ය.

කිරි ප්‍රශ්නයට අදාළ තුන්වන පැතිකඩ වන්නේ රටේ ආර්ථිකයට සිදුවන අනර්ථයයි. ඊට අදාළව කරුණු තුනක් ඉතා වැදගත් වේ. පළමුවැන්න පිටිකිරි පිටරටින් ආනයනය කිරීම සඳහා රටේ විදේශ විනිමය විශාල වශයෙන් වැය වීම ය. එම ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වේ. රටට අවශ්‍ය කිරි ප්‍රමාණය රටතුළ නිපදවීමේ විභවය තිබියදී එම විදේශ විනමය රට තුළ ඉතිරි කර නොගැනීම යනු බරපතල ආර්ථික උපායමාර්ගික වරදකි. දෙවැන්න දේශීය කිරි ගොවියා අතට ලැබෙන මුදල් ග්‍රාමීය ආර්ථිකයට ඇතුළු වීම මගින් එම ආර්ථිකය උද්දීපනය කිරීමට තිබෙන අවස්ථාව කිරි පිටි ආනයනය නිසා අහිමි වීමය. තුන්වැන්න දේශීය කිරි කර්මාන්තය මගින් උපත ලබන රැකියා අවස්ථා කිරිපිටි ආනයනය නිසා රටට අහිමි වීමය. එක් වසරකදී කිරිපිටි ආනයනය සඳහා වැය කරන විදේශ විනමය ප්‍රමාණය රට තුළ ආයෝජනය කරන්නේ නම් කිරිපිටි කර්මාන්තශාලා 40ක් ඉදි කළ හැක. එක් දිනකට කිරි ලීටර් ලක්ෂ දෙකක් සකස් කළ හැකි මහා පරිමාණ කිරි කර්මාන්තශාලාවක් උදාහරණයක් ලෙස පැලවත්ත කිරි කර්මාන්තශාලාව වැනි ආයතනයක් පිහිටුවීම සඳහා උපරිම වශයෙන් වැය වන්නේ රුපියල් මිලියන 2000 ක් පමණි.

ආනයනික කිරිපිටිවලින් ජනිත කරන හතර වැනි ප්‍රශ්නය ගොවියාගේ ජීවන තත්ත්වය කඩා වැටීමය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගෙන් 80% ක් පමණ ගොවිතැන මුල් කර ගත් ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදී සිටිති. ඔවුන්ගෙන් 75%කට හිමි වන්නේ අක්කර 2කට අඩු වූ භූමි ප්‍රමාණයකි. භූමියේ සීමා කම නිසා බෝග වගාව මඟින් ලබා ගන්නා ආදායම සීමාසහිත වේ. එම සීමාව අතික්‍රමණය කළ හැක්කේ බෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම මගිනි. ඉන්දියාවේ ග්‍රාමීය ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ දැමීම සඳහා යොදා ගන්නා මූලික උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ කිරි ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ය. ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා බවට පත්ව සිටින්නේ ඒ ආකාරයට බෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීමෙනි. ඉන්දියාවේ එක් කිරි දෙනෙකුගෙන් ලබාගන්නා සාමාන්‍ය කිරි ප්‍රමාණය ලීටර් 4 කි. එහෙත් අප රටේ යම් දේශපාලකයින් සහ නිලධාරීන් සිතන්නේ කිරි ලීටර් 20-30 ලබාගත හැකි දෙනුන් පිටරටින් ආනයන නොකර ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කළ නොහැකි බවය. පසුගිය කාලයේ දී රුපියල් මිලියන 12,000ක් වැය කොට පිටරටින් කිරිදෙනුන් ආනයනය කළේ ඒ වැරදි ප්‍රතිපත්තිය නිසාය. අද වන විට ඒ දෙනුන් මිලදී ගත් ගොවීන් අසරණ තත්ත්වයට පත්ව ඇත. එම සතුන්ගෙන් විශාල ප්‍රමාණයක් රෝගී වීම හෝ මිය යෑම නිසා අපේක්ෂිත ආදායම ලබා ගැනීමට ගොවීන් අසමත් වී ඇත. එමගින් රජයේ අරමුදල් විනාශ කරනවාට අමතරව කිරි ගොවියාට කිරි ගොවිතැන එපා කරවීම ද සිදුවී ඇත. ඒ අනුව එම උපාය මාර්ගය විදේශීය කිරිපිටි සමාගම් විසින් තෝරා දුන් එකක් දැයි ප්‍රශ්න කිරීමට සිදුවේ.

ශ්‍රී ලංකාවට ආවේණික සහ සුදුසු කිරි දෙනුන් අභිජනනය කිරීමේ මහා පරිමාණ ජාතික ව්‍යාපෘතියක් සඳහා වැය වන්නේ එසේ විනාශ කළ මුදලින් අඩක් හෙවත් රුපියල් මිලියන 6000ක් පමණ බව විද්වතුන්ගේ මතයයි. එදා බණ්ඩාරනායක මැතිනියගේ සමයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිහිටුවා රටේ හොඳම පොල් ඉඩම් එම් ආයතනයට ලබා දුන්නේ එම ජාතික යුතුකම ඉටුකිරීම සඳහාය. නමුත් අද වන විට එම ආයතනය පිටරටින් ආනයනය කරන දෙනුන් තාවකාලිකව බලාගන්නා සහ පොල් ටික කඩාගෙන ජීවත් වන දුප්පත් ආයතනයක් බවට පත්වී ඇත. දේශීය කිරි කර්මාන්තයය ට විනකරන පස්වන ගැටලුව වන්නේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් එක්ව පවත්වාගෙන යන බදු සහන කර්මාන්තයයි. යම් කිසිවෙකු වැට් බදු හෝ තීරු බදු වංචා කළ හොත් සිරගත වීමට සිදු වේ. නමුත් ප්‍රතිපත්තිමය තීන්දුවක් මත යම් සමාගමක් විසින් බහුලව ආනයනය කරන ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය වලට බදු සහන ලබා දී එම බදු සහනයෙන් කොටසක් කොමිස් ලෙස ලබා ගැනීම එවැනි වරදක් ලෙස සැලකෙන්නේ නැත. එසේ ලබාදෙන බදු සහන වලින් යම් කොටසක් අදාළ තීන්දු තීරණ ගත් අයට ලැබෙන බව රහසක් නොවේ. ඉතිරි මුදලින් තවත් කොටසක් ආක්‍රමණශීලී ප්‍රචාරණ කටයුතු සඳහා වැය කෙරෙන බව බොහෝවිට රහසකි. එහිදී එක් පැත්තකින් සිල්ලර වෙළදුන්ට අමතරව කොමිස් මුදල් ලබා දෙමින් දේශීය කිරිපිටි වලට වඩා තරගකාරීව ආනයනික කිරිපිටි විකිණීමට පෙළඹවීමක් ඇති කෙරේ. අනෙක් පැත්තෙන් වෙළෙඳ දැන්වීම් සඳහා අධික මුදල් වැය කිරීම මගින් ආක්‍රමණශීලීව ප්‍රධාන මාධ්‍ය වල දැන්වීම් කාලය අත්පත් කරගන්නා අතර ඒ මගින් මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම ද සිදු වේ. මෙහිදී ආහාර පනතේ බාධක වලින් රිංගා යාම සඳහා එම බදු සහන භාවිතා කරන බවද අදාල පනත ක්‍රියාත්මක කෙරෙන ආකාරයෙන් පැහැදිලි වේ.

කෙසේ වෙතත් දේශීය කිරි කර්මාන්තයය විනාශ කරන ඒ පංචවිධි උපක්‍රම දියත් වන්නේ දේශීය කිරි කර්මාන්තයය දියුණු කිරීමේ ලේබලය යටතේ ය. එක්තරා කාලයක කිරි ආර්ථිකය දියුණු කිරීමේ උපාය මාර්ගික සැලසුම් දියත් කිරීමේ උත්සව පැවැත්වුණේ කිරිපිටි ආනයනය කරන සමාගම්වල අනුග්‍රහයෙනි. මහා සමාගම් විසින් ආනයනය කරන ෆාම් තෙල් අඩංගු කිරිපිටි දියකර යෝගට් නිපදවන මහා පරිමාණ කර්මාන්ත ශාලා විවෘත කිරීමට යම් දේශපාලනඥයින් සහභාගී වූයේ දේශීය කිරි කර්මාන්තය නැංවීමේ නාමයෙනි. ඒ දුප්පත් ආර්ථික උපාය මාර්ගික සැලසුම් නිසා අද වන විට කුඩා සහ මධ්‍ය පරිමාණ කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමට ඒ මහා සමාගම් සමත් වී ඇත. ඔවුන් යෝගට් නිපදවන්නේ ආනයනික කිරිපිටි දිය කිරීම මගින් සාදා ගන්නා දියර කිරි වලිනි. ඒ නිසා එම සමාගම් විසින් යෝගට් සෑදීම සඳහා දේශීය කිරි ගොවියාගන් කිරි මිලදී ගන්නේ නැත. යම් මහා සමාගම් විසින් දේශීය කිරි ගොවායාගෙන් නාමිකව ඉතා සුළු ප්‍රමාණයක් දියර කිරි මිලදී ගන්නේ වෙනත් මිල අධික රස කළ කිරි වර්ග වෙළදපොලට ඉදිරිපත් කිරීම සදහාය. එම සමාගම් විසින් ඉති සූක්ෂමව තහවුරු කොට ඇති ප්‍රධාන මතවාදයක් වන්නේ ශ්‍රී ලංකාවේ පිටි කිරි සහ දියඉර කිරි අවශ්‍යතාවය දේශීයව නිපදවිය නොහැකි බවය. පැලවත්ත දේශිය කිරි පිටි සමාගම පිහිටුවීමේදී ඔවුන් ප්‍රශ්න කළේ දිනකට කිරි ලීටර් ලක්ෂ දෙකක් එකතු කරන්නේ කෙසේද යනුවෙනි. නමුත් කර්මාන්ත ශාලාව ආරම්භ කොට ඉහළ මිළ කට විධිමත්ව කිරි එකතු කිරීම ආරම්භ කළ විට උපරිම ධාරිතාවට දේශීය ගොවියාගෙන් කිරි ලබා ගැනීමේ ගැටළුවක් මතු වූයේ නැත. ශ්‍රී ලංකාවේ තිබෙන මිලියන 1.5ක වර්තමාන කිරිගව පට්ටිය නිවැරදිව කළමණාකරනය කිරීම මගින් පමණක් පවතින කිරි නිශ්පාදනය දෙගුණයක් කළ හැකි බව කිරිපිටි සමාගම් වලට සේවය නොකරන විද්වතුන්ගේ මතය වේ. ඔවුනට අනුව කිරි වලට ඉහළ මිලක් සහ ඕනෑම කිරි ප්‍රමාණයක් මිළදී ගන්නා බවට සහතිකයක් ලබා දීම දෙච්ශීය කිරි කර්මාන්තය දියුනු කිරීම සදහා වන මූලික සහ ප්‍රධාන උපාය මාර්ගික ප්‍රවේශයයි. පළමු වටයේ දී දේශීයව කිරි පිටි නිශ්පාදන ධාරිතාව වැඩි කිරීම අවශ්‍ය වන්නේ ඒ නිසාය.

නමුත් දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා කිරි පිටි ආනයනය කරන මහා සමාගම් විසින් ඉදිරිපත් කරන තවත් ඊනියා උපායමාර්ගික ප්‍රවේශයක් වන්නේ දේශීය කිරිපිටි නිපදවීම වෙනුවට හැකිතාක් දියර කිරි ප්‍රචලිත කිරීමය. මතුපිටින් බලන විට එම උපදේශයේ කිසිදු වරදක් නැත. කිරිපිටි වෙනුවට දියර කිරි බීම වැරැද්දක් යැයි කිව හැක්කේ කාටද? නමුත් සමස්ත කිරි ආර්ථිකය කළමනාකරණය කිරීමේ උපාය මාර්ගික තේරීම අනුව බලන විට දියර කිරි ප්‍රචලිත කිරීම මගින් කිරි ගොවියා විසින් නිපදවන කිරි තොග සියල්ල මිලදී ගත නොහැක. ගොවියා නිපදවන කිරි තොග සීමාවකින් තොරව මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් නොමැති ව කිරි නිෂ්පාදනය දිරි ගැන්විය නොහැක. මිලදී ගැනීමේ ගැටලු මතු වූ විට කිරි ගොවියා අධෛර්යමත් වීම නිසා ගොවිතැන අත්හැරීමට පෙළඹේ. උදාහරණයක් ලෙස අප රටේ වෙළෙඳ පොළ දත්ත අනුව පවතින තත්වය යටතේතේ දියර කිරි ලෙස බෙදා හැරිය හැක්කේ සමස්ත කිරි නිශ්පාදනයෙන් 15% ක් පමණි. ඒ නිසා අප රට වැනි රටක් පළමුව කළ යුත්තේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ ප්‍රවේශයකට සමගාමීව ඕනෑම කිරි ප්‍රමාණයක් මිලදී ගත්හැකි ආකාරයට කිරිපිටි කර්මාන්තශාලා පද්ධතියක් ගොඩනැගීම ය. ඒ මගින් විදේශීය කිරිපිටි වෙළදපල සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමෙන් පසුව එනම් කිරිපිටි ආනයනය තවදුරටත් අවශ්‍ය නොවන තත්ත්වයක් නිර්මාණය කිරීමෙන් පසුව කිරි පිටි වෙනුවට දියර කිරි ප්‍රචලිත කිරීම ක්‍රමයෙන් සිදු කළ යුතුය. එසේ යම් කාලයකයට පසුව කිරිපිටි කර්මාන්තශාලා වල ධාරිතාව අඩු කිරීමට හෝ වසා
දැමීමට සිදුවේ. ඒ පිළිබඳව හොඳම උදාහරණ ඉන්දියාව විසින් සපයා ඇත.

ඉන්දියානු ආදර්ශයය දෙස බලමින් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා අට වැදෑම් උපායමාර්ගික ප්‍රවේශයක් යෝජනා කළ හැක. පළමුවැන්න දේශීය කිරිපිටි නිෂ්පාදන පිරිවැය අනුව කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමය. දෙවැන්න එම මිළ සුත්‍රය අනුව ආනයනික කිරිපිටි අඩුමිලට ප්‍රතාපනය කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික භාණ්ඩ විශේෂ බදු පනත යටතේ බදු පැනවීමය. තෙවැන්න එම සූත්‍රය යටතේම ප්‍රචාරන වැය සීමා කිරීමය. හතරවැන්න ආහාර පනත විධිමත්ව ක්‍රියාත්මක කිරීම මගින් ෆාම් තෙල් හෝ සත්ව අඩංගු තෙල් අඩංගු බාල කිරිපිටි ආනයනය වැළැක්වීමය. පස්වැන්න එම පනත යටතේ ම නීතිවිරෝධී සහ ආක්‍රමණශීලී වෙළද ප්‍රචාරණ දැන්වීම් සීමා කිරීමය. හයවැන්න කිරිපිටි ආනයනය සඳහා බලපත්‍ර ක්‍රමයක් සහ කෝටා ක්‍රමයක් හඳුන්වා දීමය. හත්වැන්න පවතින මිල්කෝ සහ පැලවත්ත කිරි කිරිපිටි කර්මාන්තශාලා වලට අමතරව ක්‍රමයෙන් නව කර්මාන්ත ශාලා 4ක් ස්ථාපිත කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීම සහ ඊට රජය මැදිහත් වීමය. අටවැන්න ඉහත සඳහන් කළ ආනයන බදු යොදවා ජාතික කිරි සංවර්ධන අරමුදලක් ගොඩනැගීම සහ එම අරමුදල් අදාළ කර්මාන්ත සඳහා පමණක් යෙදවීම මෙන්ම ඒ තුළ ජාතික කිරි ගව අභිජනන වැඩපිළිවෙළක් සඳහා ප්‍රමුඛතාව ලබාදීම ය. ඊට වඩා වෙනස් උපාය මාර්ගික සැලසුමක් තිබිය හැකි නම් ඒ ඉහත සඳහන් කළ ආකාරයට කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් සකස් කරන ලද්දකි. යෝජනා අටෙන් එකක් හෝ ඉවත් කොට සමස්ත ප්‍රතිඵලය ලබාගත නොහැකි බව ඉන්දියානු ආදර්ශය විසින් ප්‍රත්‍යක්ෂ කොට ඇත.

වෛද්‍ය කේ. එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More