දේශීය පුවත්

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක්දින කල්තැබීමේ විවාද යෝජනාව එළැඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගත් පසු ව්‍යවස්ථාදායක සභාවේ සුදු ඇඳගෙන සිටින මහත්වරුන්ගේ රෙදි ගැලවී යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවසයි.

එමෙන්ම මෙරට යුද හමුදාව යුද අපරාධ සිද්ධ කළ බවට අගමැතිවරයා විසින් සුමන්තිරන් මන්ත්‍රිවරයාට කළ ප්‍රකාශයේ සත්‍ය වහා රටට හෙළි කළ යුතු බවත් අගමැතිවරයාට තම ධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය නම්, ඒ කාරණය වහා රට හමුවේ හෙළි කරන ලෙසට අභියෝග කරන බවත් ඔහු කීය.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (18දා) ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය.

නීතිපති, පොලිස්පති, විගණකාධිපති වගේම ශේ්‍රෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. මේ ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහීව දේශපාලනික අරමුණු සහිතව කටයුතු කරන බවට ප්‍රබල චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාව කරන අය අතරේ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා සිටීම විශේෂයි. ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 උ(3) වගන්තිය අනුව ව්‍යවස්ථාදායක සභාව තමන් උසස් වීම් ලබාදෙන ආකාරය පිළිබඳ රීති සකස් කරලා ගැසට් මඟින් ප්‍රසිද්ධ කළ යුතුයි. ඒ වගේම මාස තුනක් ඇතුළත ඒ රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ව්‍යවස්ථාදායක සභාව ඒ දේ නොකළ නිසා විනිසුරුවරුන්ගේ ආගම සහ දේශපාලනික පසුබිම බලා උසස්වීම් ලබාදෙන බවට වූ ප්‍රබල චෝදනාවක් තිබෙනවා.

පසුගිය සිකුරාදා රේගු නිලධාරීන් විසින් ප්‍රබල අමාත්‍යවරයකුගෙල් මිත්‍රයෙක්ගේ දීර්ඝ කාලීන ජාවාරමක් ලෙස පැවතුනු ගම්මිරිස් ජාවාරම සම්බන්ධ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා. රේගු ආඥා පනත අනුව මහෙස්ත්‍රාත්වරයකුට ඇප ලබා දෙන්න බැහැ. නමුත් ඒ වරදට මහාධිකරණයට පවා ඇප ලබා දෙන්න පුළුවන් සුවිශේෂී හේතු තිබෙනවා නම් විතරයි. එවැනි පසුබිමක් ගැන මහෙස්ත්‍රාත්වරයා දන්නේ නැද්ද කියලා අපි අහනවා. නැත්තම් ඔහු තමන්ගේ අනාගත උසස්වීම්වලට මෙය බලපාවි කියලා හිතුවාද කියලා අපි අහනවා. ව්‍යවස්ථාදායක සභාවේ හැසිරීම් අනුව එහෙම හිතුවත් වරදක් නැහැ.

මේ තත්ත්වය මත ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක් දින කල් තැබීමේ විවාදයක් ඉල්ලලා 2019 ජනවාරි 22 මම කථානායකට යෝජනාවක් භාරදුන්නා. ඒ යෝජනාව එළැඹෙන 21දා විවාදයට ගැනීමට නියමිතයි.
ඒ විවාදයේ සුවිශේෂීතාව වෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයාත් ඒ සභාවේ සාමාජිකයකු වන විපක්ෂනායකතුමාත් ව්‍යවස්ථාදායක සභාව පතුරු ගසමින් කතා කිරීමට නියමිතයි. එදාට සභාවේ සුදු ඇඳගෙන ඉන්න මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි.

ඒ වගේම තමයි අගමැතිවරයා පසුගිය සතියේ උතුර – නැඟෙනහිර ආපු වෙලාවේ සුමන්තිරන් මන්ත්‍රිවරයා එක්ක කිව්වාලු යුද හමුදාව යුද අපරාධ සිද්ධ කළා කියලා.

එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සම්මත කරපු යෝජනාවට ඔබතුමා සම අනුග්‍රහය දැක්වූයේ යුද අපරාධ කළ බව ඔබ පිළිගත් නිසාද කියලා අපි අගමැතිගෙන් අහනවා. මේ රටේ හමුදාව යුද අපරාධ කළා නම් ඔබ වහාම ඔබට තිබෙන සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. කවුරුන් හෝ ඝාතනය වුණා නම් ඇටසැකිලි තියෙන්න ඕනි. එහෙම දේවල් ලැබිලා නැහැ. රටේ අගමැති මේ වගේ භයානක ප්‍රකාශයක් කළා නම්, අගමැති ධුරයේ තව මොහොතක් හරි ඉන්න අවශ්‍ය නම් වහාම මේ ගැන රටට කියන්න කියලා අපි අභියෝග කරනවා.

පළාත් සභා හඳුන්වාදීමෙන් උතුරු – නැඟෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳෙන බවට ඉන්දියාව වගේම, එජාපය, වාමාංශික පක්ෂ, ඊපීඩීපි, ටෙලෝ, දෙමළ විමුක්ති එක්සත් පෙරමුණ වැනි දේශපාලන බලවේගත් විශ්වාස කළා. ඒ අනුව දකුණේ ජීවිත හැත්තෑ තුන් දහසක් බිලිදෙමින් පළාත් සභා පිහිටෙව්වා.

දැන් උතුරේ පළාත් සභාව විසිර ගිහින් මාස 5ක් වෙනවා. නැඟෙනහිර පළාත් සභාව විසිර ගිහින් මාස 17ක් වෙනවා. ආණ්ඩුව හිතාමතා පළාත් සභා මැතිවරණය කල්දාලා තිබෙනවා. පළාත් සභාව උතුර – නැඟෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නම්, දැන් උතුර – නැඟෙනහිර පළාත්වල පළාත් සභා ඉල්ලලා ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න ඕනි. නමුත් උද්ඝෝෂණයක් තබා හීන් කෙඳිරිල්ලක්වත් නැහැ.

මරාගෙන මැරිලා දිනාගත්තාට මධ්‍යම ආණ්ඩුව උතුරට කරපු දේවල්, මහ ඇමැති විග්නෙශ්වරන්ට කරන්න බැරි වෙලා තිබෙනවා. කොටි සංවිධානයට යළි පණ දෙන්න හීන මවන විජයකලා ඇමැතිතුමිය කියනවා උතුරේ අධ්‍යාපනය වෙනුවෙන් ලබාදුන් මුදල් පාවිච්චි නොකර ආපසු භාණ්ඩාගාරයට හරවා යැව්වා කියලා. බලය බෙදීමේ වීරයා බවට පත්වෙලා ඉන්න අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් කියනවා අලුත් බලතල ඉල්ලන්න කලින් දුන්නු බලතලවලින් වැඩකරලා පෙන්වන්න කියලා. උතුර – නැඟෙනහිරට වැඩි බලතල ඉල්ලා දෙමළ සන්ධානය සටන් කරද්දී දෙමළ දේශපාලකයන්ට බලය ලැබුණත් එකයි නැතත් එකයි ආකල්පයෙන් තමයි දෙමළ ජනතාව ඉන්නේ.
ඒ වගේම පියවි සිහියෙන් ඉන්න කෙනකුට මේ රට කෑලි දහයකට කැඩීමේ ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියන්නේ ඇත්තටම ඒ වෙලාවේ කුඩු ගහලා ඉන්නැති.

හැමදාම පාර්ලිමනට් ජෝක්ස්වල රඟපාපු රංජන් රාමනායක ඇමැතිතුමා මේ මොහොතේ නම් කියලා තියෙන්නේ ඇත්තක් කියලා අපිට හිතෙනවා. ඇමැති මණ්ඩල රැස්වීමට එන්න කලින් බල්ලන්ව දාලා පරීක්ෂා කරන්න වෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More