පුරවැසි කොලම

කතරගම දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම හිමිවෙන මහානුභාව සම්පන්න කතරගම පුදබිමට පය නොතැබූ ශ‍්‍රී ලාංකිකයෙක් සෙවීම කළුනික සෙවීමටත් වඩා බොහෝ දුෂ්කරය. මැණික් ගෙඟන් දිය නා පිරිසිදු වී නෙළුම් මල් මිටක් දෝතට රැගෙන කිරි වෙහෙර වඳින්නට යන සැදැහැවතුන්ගෙන් අවුරුද්දේ තුන්සිය හැටපස් දිනයේම මෙම පුණ්‍ය භූමිය පිරී ඉතිරී යයි. කිරි වෙහෙරේ ආශිර්වාදයත්, අෂ්ඨපල බෝධීන් වහන්සේගේ ආරක්ෂාවත්, සතරවරම් දෙවිවරුන්ගේ ඇල්ම බැල්මත් කතරගම පුණ්‍ය භූමිය වැඳ පුදා ගැනීමට එන බැතිමතුන්ට නොඅඩුව ලැබෙයි. මෙවැනි පූජනීය සිද්ධස්ථානයක ගෞරවනීය බව, ආගමික වටිනාකම කෙළසන ඇතැම් උදවියගේ නොහොබිනා කි‍්‍රයා කලාප නිසා කතරගම පූජා භූමිය දැන් ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත.

කතරගම පූජා නගරයට අපි ගමන් කළ වාහනය ඇතුළු වන්නට සැරසෙන විටම කොහෙදෝ ඉඳල මතුවුණු පොඩි කොල්ලො දෙන්නෙක් අපිට පොඩි සද්දයක් දැමූහ.

‘‘මෙතන පාර්ක් කරන්න බෑ, ඔය වාහන. මෙතැන පාර්ක් කරන්න පුළුවන් සුද්දන්නට විතරයි’’

කතරගමට යන්නටත් කලියෙන් ඔවුන් අපට පැවසුවේ එම ස්ථානයේ වාහන නැවැත්විය හැක්කේ විදේශිකයන්ට පමණක් බවය.

ඉන් අපට දැනගන්නට ලැබුණේ විදේශීය පුද්ගලයන් පැමිණෙන වාහන නැවැත්වීම සඳහාම එම භූමිය වෙන්කර ඇති බවය. සාමාන්‍යයෙන් වාහනයක් පාර්ක් කරන්නට ගන්නා මුදලට වඩා තෙගුණයක් පමණ ඔවුන් විදේශිකයන්ගෙන් ලබා ගනිති.

කෙසේ නමුත් අවසානයේ අපට සිදුවූයේ වාහනය පාර්ක් කරන්නට වෙනත් ස්ථානයක් කරා යන්නටය. සුද්දන්ට පමණක් නොව කළු සුද්දන්ටද එතැන ඇත්තේ අමුතු නීතියකි. VIP නම් වාහනය පාර්ක් කරන්න දැයි අසමින් දෙකට නැවෙන්නට ඕනෑ නැත. වාහනයේ දොර ඇරලා දෙන්නටද, එවිට වාහනය නවත්වන ස්ථානය මුුර කරන්නා ඉදිරිපත් වෙයි. VIP උදවිය ඔහුගේ අත රුපියල් සියයක් දෙසීයක් අතමිට මොලවා යන්නේ වාහනයේ පරිස්සමට බලා ගන්නට පවරාය. සාමාන්‍ය මිනිස්සුන්ට නම් ඔය මොන ගෞරවයක්වත් නැත. වාහනය නවත්වා එතැනින් පිටව යන තුරුම ඔවුන් කෑගසන්නේ හරියට ඔවුන්ට අයිති ඉඩමක අප අනවසරයෙන් ගෙයක් හැදුවා වගේ වෛරයෙනි.

කතරගම 1මහා යුද්ධයකින් පසු කෙසේ හෝ වාහනය නවත්වා අපි සැරසුණේ පූජා භූමියට පිවිසෙන්නටය. පූජා භූමියට යන්නට තියා හුස්ම ගන්නවත් අපට ඉඩක් ලැබුණේ නැත. හතර වටේම ඇති වෙළෙඳසල්වල වෙළෙන්දෝ පූජා වට්ටි ගන්න ගන්න කියා මොර දෙන්නට පටන් ගත්හ. කන්දොස් කිරියාවෙන් බේරෙන්නටම බැරි තැන අපි එක්තරා වෙළෙඳසලකට ගොඩවුණේ පූජා වට්ටියක් ගන්නටම අදහසක් නොතිබුණත් අඩු තරමේ ඔවුන්ගේ මොරදීමවත් නවතී යැයි සිතමින්ය.

‘‘නෝනා 750 එකද 1000 එකද ඕන. 750 එකට ඔක්කොම පලතුරු නෑ. 1000 එකට හරියටම පූජා වට්ටියට එන්න ඕන ටික එනවා…’’

සත්තකින්ම ඒ අවස්ථාවේ මට අසන්නට සිතුණේ 750 වට්ටිය දිහා දෙවියෝ බලන්නේ අඩුවෙන් වෙන්නට ඇති යැයි කියාය. හා හා පුරා කතරගමට පය තිබ්බ මොහොතේ රණ්ඩු සරුවල් වීමට නොහැකි නිසාම අපි ඒ අවස්ථාවේ කරබාගෙන සිටියෙමු. පැහැදිලිවම මොවුන් මේ කරන්නේ තමන්ගේ දුක කියන්නට බාර හාර වෙන්නට කතරගමට එන අහිංසක සැදැහැවතුන්ට විශාල වංචාවකි. රුපියල් 500 කට 600 කට විකුණන්නට පුළුවන්කම තිබෙන පලතුරු වට්ටියක් ඒ ගණනට වඩා දෙගුණයකට මොවුහු විකුණති.

පලතුරු වට්ටියක් ගන්නට ඒ වෙළෙඳසලට ගොඩවැදුණු අවස්ථාවේ එහි හිමිකරු අප සමගින් පැවසුවේ ‘‘නෝනලා කෙළින්ම මෙතැනට එන්න එපැයි. එහෙනම් වට්ටියත් ගත්තා, වාහනෙත් පාර්ක් කරානේ අර එහා පැත්තෙ…’’ ඔහුගේ වෙළෙඳසලට යාබදව ඉඩමක කතරගමට පැමිණෙන බැතිමතුන්ගේ වාහන නවත්වා ඇති ආකාරය ඒ අවස්ථාවේ අපි දුටුවෙමු.

පසුව කරුණු සොයා විමසා බැලීමේදී අපට දැන ගන්නට ලැබුණේ එම වෙළෙඳසල අසල වාහන ගාල් කරන පුද්ගලයන්ට ඊට යාබදව ඇති මෙම වෙළෙඳසලෙන් පලතුරු වට්ටියක් මිලදී ගැනීමට පෙලඹවීමට තැරැව්කරුවන් පවා සිටින බවය. එලෙස එම වෙළෙඳසලට ගනුදෙනුකරුවන් එවන පුද්ගලයකුට පලතුරු කඩයෙන් 30% ක කොමිෂන් මුදලක් ලබාදෙයි. මේ කිසිවක් නොදත් බැතිමතුන් මෙවැනි වෙළෙඳසල්වලින් පලතුරු වට්ටි දෙක තුන මිලදී ගන්නේ මුදලට වඩා ශ‍්‍රද්ධාව පෙරටු කොටගෙනය. නමුත් මෙවැනි කූට වංචා කාරයන්ගේ ගොදුරු බවට පත්වන බව ඔවුන් තවමත් දන්නේ නැත.

මැණික් ගඟ පසු කරගෙන කිරි වෙහෙරට යන්නට අප සූදානම් වුණෙමු. කතරගම පූජා භූමියට ඇතුළු වන විටම තිබෙන පාලම දැන් හරියට කොළඹ පාරක් වගේ කලබලය. එහෙන් මෙහෙන් වෙට්ටු දමමින් එම පාලම මතින් ගමන් කරන යතුරුපැදිකරුවන් එහි බැතිමතුන්ගේ ආරක්ෂාව පිළිබඳව මොහොතකට හෝ සිතන්නේ නැත. ඒ මත හදිස්සියට එක්කෙනෙක් දෙන්නෙක් මැණික් ගඟට නොවැටී බේරෙන්නේ ඒ පූජා භූමියේ වාසනාවකට වන්නට ඇත.

කතරගම 2එම පාලම පසු කරගෙන යන ස්ථානයේ සිටම ආරම්භ වන්නේ වෙළෙඳාමය. මැණික් ගෙඟ් තරගයට පොරකන මාළු රංචුවලට කෑමට පොරි දාන්නට පොරි මලූ බෙදන පුද්ගලයෙකු ඇත. ඒ එක පොරි මල්ලක් රුපියල් 50 කි. කුඩා දරුවන් එම ස්ථානයෙන් වෙනත් තැනකට ගෙනි යන්නටම බැරිය. ඔවුන් තම දෙමාපියන්ට කරදර කරන්නේ පොරි මල්ලක් අරගෙන දෙන්නටම යැයි ඇවිටිලි කරමිනි.

අපි කතරගමට ළඟා වනවිට දහවල් 12 පසුවී තිබිණි. ඒ නිසා දහවල් පූජාවට සිටින්නට අපට අවස්ථාව ලැබුණේ නැත. නමුත් පූජාවෙන් පසුවත් පලතුරු වට්ටි රැගෙන විශාල පිරිසක් දේවාල කිහිපයේම දිග පෝලිම්වල රැඳී සිටිනවා අප දුටුවෙමු.

‘‘මිස් පෝලිමේ ඉස්සරහට දාල දෙන්නද තව වැඩි වෙනවා තව ටිකකින් සෙනඟ… රුපියල් 100 ක් දෙන්නකො වැඬේ කරලා දෙන්නම්’’

කිළිටි කමිසයකින් සහ අවපැහැ ගැන්වූ කොට කලිසමකින් සැරසුණු අවුරුදු 18 ක් හෝ 20 ක් පමණ වයසැති තරුණයෙක් අප වටේ කැරකෙන්නට පටන් ගත්තේ එලෙස පවසමිනි.

ඒ අවස්ථාවේ අපට පිටුපසින් සිටි පුද්ගලයකු රුපියල් 1000 කොළයක් ඔහු වෙත දිගු කළේය. දිගු පෝළිමක බොහෝ වේලාවක් අව්වේ කරවෙමින් සිටින බැතිමතුන් පිරිසක්ම පසු කරගෙන ඔහු දෙවියන් හමුවට මුලින්ම ගියේය. දැන් මොණර කොළයක් පෙන්වනවා නම් දෙවියන් හමුවන්නට වුවද මුලින්ම යන්නට පුළුවන්ය. අපායට ගියත් මුලින් යන්න කියන්නේ සමහර මිනිස්සු ඒ නිසාම වෙන්නට ඇත. පෝලිමේ දිගු වේලාවක් පලතුරු වට්ටිත් දෑතින් දරාගෙන සිටි නිසාම අප ආසන්නයේ සිටි තරුණියකට එකවර ක්ලාන්ත ගතියක් ආවේය. දෙවියන්ට දුක කියන්නට යන්නට මේ තරම් දුකක් විඳින්නට අවශ්‍ය දැයි ඒ ආසන්නයේ සිටි තවත් තරුණයෙක් කියනවා එවෙලේ අපට ඇසිණි.

කතරගම දෙවි හාමුදුරුවෝ වැඩසිටින දේවාලය අසලම මෙවැනි අසාධාරණ අයුතු කි‍්‍රයා සිදු වෙනවා නම් තවත් ඒ පිළිබඳව කියන්නට දෙයක් ඉතිරිව නැත. බැතිමතුන්ට වඩා ඒ පුද බිමේ වර්තමානයේ බහුතරයක්ම සිටින්නේ ජාවාරම්කරුවන්ය. අසරණ බැතිමතුන් ඔවුන්ගේ වංචාවන්ට හසුවෙන්නේ මේ කිසිවක් නොදැනය. දෙවියන් පුදන්නට දේවාලයට රැගෙන යන පූජා වට්ටියේ සිටම කිරි වෙහෙරට පූජා කරන නෙළුම් මල් මිට දක්වාම ඇත්තේ වංචාව බව කණගාටුවෙන් හෝ ඔබට පැවසිය යුතුය.

කතරගම පූජා නගරයක් බවට පත්වූයේ හිටපු අග‍්‍රාමාත්‍යවරියක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ මූලිකත්වයෙනි. ඇය ගැසට් නිවේදනයකින් කතරගම පූජා නගරයක් බවට පත් කළේය. එසේ නොවුණා නම් කතරගමට මේ තරම්වත් සැලකිල්ලක් ලැබෙන්නේ නැති බව අප දනිමු. එසේ වූවා නම් කතරගම ජාවාරම්කරුවන්ගේම තෝතැන්නක් බවට පත්වනවා නියතය.

කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන සීදේවිලා නම් දැන් හොයා ගන්නටවත් නැත. බහුතරයක්ම මල් කඩවල වෙළෙඳාමට දැන් යොදවා ඇත්තේ අවුරුදු දහඅටේ දහනවයේ පාසල් යන වයසේ දරුවන්ය. පාසල් අධ්‍යාපනය අතරමඟ නවතා දමා අම්මලා තාත්තලා යන පාරේම ඔවුන්ද යන්නේ ජීවත් වන්නට වෙනත් කිසිදු මඟක් නොමැති නිසාය.

‘‘කොහේ ඉස්කෝලෙ යන්නද නෝනා එතකොට කව්ද මල් කඬේ බලා ගන්නේ අම්මා එකතැන, තාත්තා කරන්නේ කුලී වැඩ, නංගිව ඉස්කෝලෙ යවන්න ඕනෙ නිසයි මන් ඒ ගමන නැවැත්තුවෙ 10 වසරෙන්ම’’

අවුරුදු 15 ක පමණ වයසැති පිරිමි දරුවකු ඇස් දෙකේ කඳුළු පොදියක්ම පුරවගෙන අපත් සමඟ එසේ පැවසුවේය.

ජාවාරමට එහා ගිය බොහෝ කඳුළු කතා රැසක්ම කතරගම සැඟවී ඇත. කිරි වෙහෙරට යන මාර්ගය දෙපස මල්කඩ හැරෙන්නට වෙනත් වෙළෙඳාම් කිරීම තහනම් කර ඇත. නමුත් අද වනවිට මාර්ගය දෙපස මල්කඩ මෙන්ම අනෙකුත් වෙළෙඳාම්ද සරුවටම සිදු කෙරෙයි.

මල් කඩවලද වතුර බෝතල්, පූජා වට්ටි, පහන් වැනි විවිධ දෑ අලෙවි කරන අයුරු අප දුටුමෙමු. මල් කඩවල් හිමිකාරියන් හිමිකරුවන් අතර ඇත්තේද තරගයකි. එක කඩයකින් ලබාදෙන සුදු නෙළුම් මල් මිට රුපියල් 100 කි. තවත් කඩයකින් එම මල් මිටම රුපියල් 80 ට ලබාදෙයි. පූජා භුමියක තිබිය යුතු නිහඬ නිස්කලංක වටපිටාව මේ පුද්ගලයන් විසින් විනාශ කර දමන්නේ පොළේ බඩු විකුණන වට්ටිඅම්මලා වාගේ කේවල් කරමිනි.

කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් සේම මොනරාගල දිස්ති‍්‍රක් මහ දිසාපතිවරයාද මෙම ගැටලූ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම වගකිවයුතු පාර්ශ්වයන් දැනුවත් කර ඇතත් තවමත් ඒවාට නිසි විසඳුම් ලැබී නැත. මෙම පූජා භූමිය තුළට රථවාහන ඇතුළු කිරීම නිසා එම භූමියේ ඇති පුරාවස්තුවලට හානි සිදුවිය හැකි මෙන්ම කිරි වෙහෙර සෑ රදුන්ගේ ඉරිතැලීම් පවා සිදුවිය හැකි බවට විහාරාධිපති හිමියන් අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත. නමුත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් තවමත් ඒ පිළිබඳව වගකිවයුත්තෝ රැගෙන නැත.

කතරගමට විණ කරන අනෙක් පිරිස වන්නේ යාචකයන්ය. බලන බලන අත හිඟමන් යදිමින් පූජා භූමියට පැමිණෙන බැතිමතුන්ට හිසරදයක් වන තරමටම ඇවිටිලි කරන මෙම පිරිසෙන් බේරී කිරි වෙහෙර වඳින්න යන්නට නම් නොහැකිය. අසරණ වූ පුද්ගලයකුට බත් පැකට්ටුවක් රුපියල් පනහක් හැටක් දීම ඒ තරම් දෙයක් නොවුණත් ජාවාරම්කාරයන්ට අරමුදල් පිදීම සුළු පටුවෙන් සිතීමට හැකි දෙයක් නොවේ.

කතරගම සැබවින්ම යාචකයන් ලෙස සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක් වුවත් යාචක වෙස්ගෙන බොරුවට රඟපාන රැවටිලිකරුවන් ගෙන් නම් එහි අඩුවක් නැත. එවැනි වංචාකාර යාචකයන් සඳහා අයිතිකරුවන් පවා සිටිති. එක් එක් යාචකයන්ට වෙන වෙනමම අයිතිකාර පුද්ගලයන් සිටින අතර උදෑසන වාහනවලින් පැමිණෙන පුද්ගලයන් කිහිපදෙනෙක් එම යාචකයන් එක් එක් ස්ථානවල හිඳුවා යති. ඔවුන්ගේ අයිතිකරුවන් පැමිණ දිනකට දෙතුන් වතාවක් මුදල් රැගෙන යනවා අප දුටුවෙමු. මේ කිසිවක් නොදත් බැතිමතුන් එවැනි කපටින්ට අනුකම්පා කොට මුදල් ලබාදෙති.

මෙම පූජා භූමියට පැමිණෙන ඇතැම් බැතිමතුන්, දානපතියන් මෙම යාචකයන්ට බත් පාර්සල් ලබා දෙනවා අප දුටුවෙමු. එම බත් පාර්සල් ඔවුන්ගේ අතට ගෙන විනාඩි කිහිපයක් යන්නටත් කලියෙන් තවත් පුද්ගලයකු පැමිණ ඒවාද එකතු කරගෙන යන්නේ කුමක් හෝ වෙළඳාමකට වන්නට ඇත. කතරගමදී යාචකයෙක්ට අනුකම්පා කර බත් පාර්සලයක්වත් දන්දීමට දැන් නොහැකිය. එයත් ඔවුන් වෙළෙඳාමකට හරවා ගන්නවා අප ඒ අවස්ථාවේ ඇස් දෙකින්ම දුටුවෙමු.

එසේ රැගෙන යන බත් පාර්සල් රුපියල් 50 ත් 60 ත් අතර මුදලකට මාර්ගය දෙපස කුඩ යට හෝටල් අසල බත් විකිණීමට නවත්වාගෙන සිටින වාහනවල පුද්ගලයන්ට ඔවුන් විකුණති. බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර බෙදාගත නොහැකිව සමහර පුද්ගලයන් රණ්ඩු සරුවල් වන අවස්ථා එහිදී අප දුටුවෙමු.

‘‘දීපන් ඔය මගේ රුපියල් සීය… ඒ නෝනා මට දුන්නේ දීපන් ඕක මැරුම් නොකා’’

යාචක පවුලක සහෝදරයන් යැයි කියන්නට හැකි අයියා මලෝ දෙන්නෙක් එක් බැතිමතෙක් ලබාදුන් රුපියල් සියයේ නෝට්ටුව බෙදා ගැනීමට නොහැකිව එලෙස ගහ මරා ගන්නට පටන් ගත්හ.

ඒ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි රස්තියාදුකාර පෙනුමක් ඇති කොණ්ඩ රැවුල් වවාගත් පුද්ගලයෙක් ඔවුන් දෙදෙනාටම පහරදී එම මුදල උදුරාගෙන ගියේය. පසුව අපට දැන ගන්නට ලැබුණේ එම පුද්ගලයා යාචකයන්ගෙන් මුදල් ලබා ගන්නා අයෙක් බවය.

අවුරුදු 70 ක් 80 ක් කියන්නට පුළුවන් මහලූ ආත්තම්මා කෙනෙක් සහ සීයා කෙනෙක් අප සිටි ස්ථානයේ හිඟමන් යදිමින් සිටියහ. ඒ සීයා ආත්තම්මාට පැවසුවේ අද රුපියල් 1500 ක් වත් මුදලාලි දුන්නොත් හොඳයි කියාය. සැබවින්ම මොවුන්ගේ මේ කතාබහ අපට විස්මයක් ගෙන දුන්නේ ඒ මොහොත වන තුරුත් අප ඔවුන් දෙදෙනාට අනුකම්පා කොට මුදලක් ලබාදුන් බැවිනි.

යාචක ජාවාරම එක් පැත්තකින් සිදු වෙද්දී කතරගමට එන තරුණයන් ඉලක්ක කරගනිමින් හෙරොයින් මත්කුඩු සහ කේරළ ගංජා ජාවාරමද ජයටම සිදු කෙරෙමින් යයි. එපමණක් නොව බැතිමතුන්ට අලෙවි කිරීම සඳහා දඩමස් සපයන පිරිස්ද එමටය. ඔවුන් එක් එක් සත්වයන්ගේ මාංශයන් විශාල මුදලකට කතරගමට එන උදවියට අලෙවි කරති.

පොලිස් ඇසට වැලි ගසා බොහෝ දුර පළාත්වලින් පැමිණන පිරිසට හෙරොයින් සහ කේරළ ගංජා විකිණීමට මෙවුන් යොදා ගන්නේ තරුණයන් වැඩි වශයෙන් ගැවසෙන මහජන වැසිකිළි පරිශ‍්‍රයන්ය. කතරගම පුදබිම තුළ මේ සියලූ ජාවාරම් මෙහෙයවීමටද වෙනම පිරිසක් සිටිති. මත්ද්‍රව්‍ය ජාවාරම්, යාචක ජාවාරම් පමණක් නොවේ කතරගම ගණිකා ව්‍යාපාර පවා ජයටම සිදුවෙයි. මේ සියලූ පුද්ගලයන්ගෙන් කප්පම් ලබා ගන්නටද තවත් කොට්ඨාසයක් සිටිති. නියමිත දිනට නියමිත මුදල එම පුද්ගලයන්ට මෙම යාචකයන්, ගණිකාවන්, මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් ලබාදිය යුතුය. එසේ නොමැති වුවහොත් ඔවුන්ට වෙන්නේ රස්සාව බල්ලට දාලා කොහේ හෝ සැඟවී සිටින්නටය. එවැනි කප්පම් ලබා ගන්නා පිරිසට එම පුද්ගලයන් කියන්නේ ලොක්කෝ කියාය. ලොක්කෝ එක්ක ලේසි නැත. මුදල් ලබා දෙන්නට නොහැකි වූවොත් අණ්ඩක් කැඩෙන්නටම ඔවුන් පහරදී යන බව අපට පැවසුවේ එක්තරා යාචකයෙකි.

කතරගම පූජා භූමිය අවට බොහෝ විට දකින්නට ලැබෙන්නේ පාසල් යන වයසේ කුඩා දරුවන්ය. ඔවුන්ගේ පාසල් ගමන අතරමඟ නැවතී ඇත. ඔවුන්ගේ දෙමව්පියන්ටද ඒ පිළිබඳව කිසිදු ගණනක් නැත. අවට ගම්වල සිටින දරුවන්ගෙන් පාසල් යන්නේ එක්කෙනෙක් දෙන්නෙක් පමණි. අනෙක් සියලූම දරුවන් විවිධ ජාවාරම්වලට සම්බන්ධ වී මුදල් උපයති. ඔවුන්ට අවශ්‍ය කුඩා කාලයේ සිටම කුමක් හෝ කර මුදල් උපයා ගන්නටය. ඒ නිසාම ඔවුන් කුලියට සිඟමන් යදිති. මුදලට පූජා වට්ටි රැගෙන යති. තවත් දරුවන් පිරිසක් දේවාලය සහ කිරි වෙහෙර අවට ඇති පහන්වල එකතුවන පොල්තෙල් එකතු කර නැවත කඩවලටදී කීයක් හරි සොයා ගනිති. එපමණක් නොව ඔවුන් කිරි වෙහෙරට බැතිමතුන් තියන කිිරි ආහාර තැටි එකතු කර සෝදා නැවත කඩවලට විකුණති.

දුප්පත් අයෙකු රැකියාවක් සඳහා කීයක් හෝ සොයා ගැනීමට කුමක් හෝ රැකියාවක් කිරීම වරදක් නැත. එහෙත් එවැනි කි‍්‍රයාවලින් මෙම පුද භූමියට විශාල අගෞරවයක් සිදුවෙයි. කිරි වෙහෙරට යන මාර්ගය දෙපස ටිකට් විකුණන පිරිස්ද, අයිස් ක‍්‍රීම් විකුණන පිරිස්, මාල වළලූ විකුණන පිරිස් මෙන්ම ත‍්‍රීවිල් පාක් එකක්ද අප දුටුවෙමු.

කිරි වෙහෙරට යන්නට පිවිසෙන මාර්ගයේ දෙපස ඇති අයිස්ක‍්‍රීම් විකුණන බයිසිකල්වල අයිස්ක‍්‍රීම් එකක මිලට වඩා දෙගුණයක් කිරි වෙහෙර ආසන්නයේම විකුණන අයිස්ක‍්‍රීම් බයිසිකල්වලින් ලබා ගන්නා අයිස්ක‍්‍රීම් එකක මිල වැඩිය. අයිස්ක‍්‍රීම් පමණක් නොවේ ඒ අවට විකුණන මාළ වළලූවල මිල ගණන්ද කිරි වෙහෙරට ආසන්නයට යන්නට යන්නට වෙනස් වෙයි. සැබවින්ම මේ පූජා භූමිය තුළ සිදු වන්නේ තනිකරම හොර ජාවාරමකි.

මෙම පූජා භූමිය නැවත යථා තත්ත්වයට පත් කරන්නට පොලිසිය, නගර සභාව, දේශපාලන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල වගකිවයුතු පාර්ශ්වයන් එකට එක්විය යුතුය. මේ සියල්ලන්ගේම සහාය එම සද්කාර්යය කිරීමට ලැබිය යුතුය. එසේ නොවුණහොත් නම් කතරගම බේරා ගන්නට දෙයියන්ටවත් නොහැකි වනු ඇත.

අශිකා ජයවීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More