මුහුණු පොතෙන්

ජිනීවා මානව හිමිකම් කොමිසම අපක්‍ෂපාතීව කටයුතු කරන පොදු ස්ථානයක් විය යුතු වුවත්, මීට වසර කිහිපයකට පෙර එම කොමිසම දෙමළ බෙදුම්වාදීන්ගේ රජදහනක් බවට පත්වී තිබිණි. ඊට අභියෝග කරන ලද්දේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය විසිනි. මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද 30% යෝජනාව සහ එම සංසදයේ ඉදිරි කි‍්‍රියාමාර්ග පිළිබඳව අප විමසා සිටියේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ව්‍යාපෘති සම්බන්ධීකාරක අජන්ත පේ්‍්‍රමරත්න මහතා ගෙනි. ඒ පිළිබඳව පේ‍්‍රමරත්න මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – මේ මොහොත වනවිට ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය නිරත වී සිටින කටයුතු මොනවාද?

පිළිතුර – ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය මේ වනවිට සෑම රටකම වගේ කි‍්‍රයාත්මක වනවා. අපගේ සංවිධානය කි‍්‍රයාත්මක වන්නේ ගෝලීය කි‍්‍රයාකාරී සංගමයේ ව්‍යවස්ථාදායක සභාව ගන්නා තීරණයන්ට අනුව. එම සභාවට සෑම රටකින්ම නියෝජිතයන් හතර දෙනකු බැගින් පත්කර තිබෙනවා. ඒ වගේම මේ වනවිට අපගේ සංවිධානය ඉතාලිය, එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල ලියාපදිංචි කර තිබෙනවා. ඉදිරියේ දී මීටත් වඩා කි‍්‍රයාශීලීව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.

මේ වනවිට අපගේ සංවිධානය විසින් තීරණය කර තිබෙනවා ලබන මාර්තු මාසයේ ජිනීවා නුවර දී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට කි‍්‍රයාශීලීව සහභාගි වන්න. මේක තමයි අපට ඒ සඳහා ලැබිල තිබෙන අවසාන කාලසීමාව. එම කාලසීමාව තුළදී ශ‍්‍රී ලංකා රජය විසින් ලබාදුන් සියලූ පොරොන්දු ඉටු කිරීමට සිද්ධ වෙනවා.

මේ වනවිට යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ලබාදුන් පොරොන්දුවලින් එකක් හැර අනෙක් සියල්ල ඉෂ්ට කර තිබෙනවා. තවදුරටත් ඉෂ්ට කිරීමට තිබෙන්නේ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනඒම පමණයි. සුමන්තිරන් මන්ත‍්‍රීවරයාගේ බලපෑම යටතේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ඒ සඳහා කටයුතු කරමින් සිටින බව තමයි පේන්නේ. ඒ පිළිබඳවත් අප කටයුතු කරනවා.

ප‍්‍රධාන වශයෙන්ම මේ අවස්ථාව වනවිට අප ශ‍්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනාව පිළිබඳව ජාත්‍යන්තර ප‍්‍රජාව දැනුවත් කරමින් සිටිනවා. ඒ පිළිබඳව මේ වනවිටත් අපි ජිනීවා වල සිටින තානාපතිවරුන්ට සහ නියෝජිතයන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

ශ‍්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනාවට යහපාලන ආණ්ඩුව ඇමරිකාව සමග සම අනුග‍්‍රහය දක්වා තිබෙනවා. අපට කටයුතු කිරීමට සිද්ධ වී තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස. සමහර තානාපතිවරුන් අප ඉදිරිපත් කළ කරුණු සමග එකඟ වුවත්්, ඔවුන්ට සිද්ධ වී තිබෙනවා ඔවුන් නියෝජනය කරන රට දරන මතය වෙනුවෙන් පෙනී සිටීමට. ඔවුන් ප‍්‍රකාශ කරන්නේ අපගේ ආණ්ඩුව යුද අපරාධ චෝදනාවට සම අනුග‍්‍රහය දක්වා තිබෙන නිසා ඔවුන්ට ඊට එරෙහිව කටයුතු කළ නොහැකි බවයි. නමුත් අපගේ කටයුතු අපි ඉදිරියටම කරගෙන යනවා.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළා මාර්තු මාසයේ දී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව තීරණාත්මක එකක් බව. එම සමුළුව ඉලක්ක කර ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය කි‍්‍රයාත්මක කරන කටයුතු මොනවාද?

පිළිතුර – ජිනීවා වල උද්ඝෝෂණයක් පැවැත්වීමට ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව මේ වනවිට ජිනීවාවල සිටින එරික් මක්කාවිට මහතා සහ එක්සත් රාජධානියේ සිටින ප‍්‍රසන්න ජයමාන්න සහ ජෙයරාජ් පළිහවඩන යන මහත්වරුන් කටයුතු කරමින් සිටිනවා.

ඊට අමතරව අපි ජිනීවා සමුළුව ඇතුළේ ප‍්‍රදර්ශනයක් පැවත්වීමටත් බලාපොරොත්තු වනවා. එහිදී ශ‍්‍රී ලංකාව තුළ යුද අපරාධ, සමූලඝාතන සිද්ධ නොවූ බවත් 2015 ට පෙර සිටම රට තුළ සාමය සහ සන්හිඳියාව පැවැති බවත් ප‍්‍රදර්ශනය කිරීමට සහ එහිදී අප පොතක් ප‍්‍රකාශයට පත් කිරීමටත් බලාපොරොත්තු වනවා.

ඒ වගේම ජිනීවා සමුළුවට සමාන්තරව සම්මන්ත‍්‍රණ කිහිපයක් පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ තුළින් අප ජාත්‍යන්තර ප‍්‍රජාව සහ ජනතාව දැනුවත් කිරීමට අපේක්‍ෂා කරනවා. එහිදී අප ඊනියා යුද අපරාධ චෝදනා, සාවද්‍ය චෝදනා බවත්, එය ගෝලීය, දේශපාලන අවශ්‍යතාවක් බවත් පෙන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

ප‍්‍රශ්නය – පසුගිය මානව හිමිකම් සැසිවාරයකදී රුද්‍ර කුමාරන්ගේ නායකත්වයෙන් යුතු සංවිධානය එම සමුළුවේදී උතුර සහ නැගෙනහිර යන ප‍්‍රදේශවල ඓතිහාසිකව දෙමළ ඊළමක් පැවැති බව සනාථ කිරීම සඳහා සකස් කරන ලද ව්‍යාජ ඉතිහාස පොතක් බෙදා තිබෙනවා.

දෙමළ සංවිධාන විසින් ඓතිහාසිකව දෙමළ ඊළමක් පැවැති බව පෙන්වාදීම සඳහා ගන්නා මෙම උත්සාහයන් පරාජය කිරීම සඳහා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය ගෙන ඇති කි‍්‍රයාමාර්ග මොනවාද?

පිළිතුර – ඔය සිද්ධිය වන අවස්ථාවේදී අපි මානව හිමිකම් සමුළුව ඇතුළේ සිටියා. ඇත්තටම ඒක නීත්‍යනුකූල කටයුත්තක් නෙවෙයි. මානව හිමිකම් ශාලාව ඇතුළේ පොත්, පති‍්‍රකා බෙදමින් ප‍්‍රචාරක කටයුතුවල නිරත වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එසේ තිබියදී රුද්‍ර කුමාරන් රටෙන් පිටත ඊළාම් රාජ්‍යයේ ඇමැතිවරයකු ලෙස හඳුන්වා ගන්නා මානික්කවාසගම් නමැති එක්සත් රාජධානියේ ජීවත්වන පුද්ගලයකු ඔය කියන පොත බෙදුවා. මානික්කවාසගම් එම පොතත් සමඟ ලිපියකුත් එහි සිටිය නියෝජිතයන්ට ලබා දෙමින් ඓතිහාසිකව දෙමළ ඊළමක් තිබුණ බව ප‍්‍රකාශ කළා.

අපත් එම පොතක් ලබා ගත්තා. එහි සඳහන් කර තිබෙන්නේ ව්‍යාජ ඉතිහාසයක්. අප එම අවස්ථාවේදීම මානව හිමිකම් සමුළුවේ සිටිය ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දුන්නා. එම අවස්ථාවේදී එම නිලධාරීන් මානික්කවාසගම් සහ එම පොත් අත්අඩංගුවට ගෙන පර්යේෂණයක් කළා.

අපි ඊට අමතරව මානව හිමිකම් සමුළුවට ලිඛිිතව දැනුම් දුන්නා, මානික්කවාසගම් කියන්නේ ත‍්‍රස්තවාදී සංවිධානයකට උදව් කරන පුද්ගලයකු බවත්, ඔහු මානව හිමිකම් කොමිසමේ නීති රීතිවලට පටහැනිව එම සමුළුව තුළදී ප‍්‍රචාරක කටයුතු කළ බැවින්, ඔහු පිළිබඳව පර්යේෂණයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලා. නමුත් ඒ පිළිබඳව මේ දක්වා මානව හිමිකම් කොමිසම ගත් කි‍්‍රයාමාර්ගය පිළිබඳව අපට කිසිදු දැනුම්දීමක් කරල නෑ. පර්යේෂණයක් පවත්වන බව දැනුම් දුන්නත් ඉන් පසුව ගත් කි‍්‍රයාමාර්ග පිළිබඳව කිසිදු දැනුම්දීමක් කර නෑ.

අපි ඊට අමතරව ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය මගින් ‘‘දෙමළ ඊළාම් නිජබිම් ප‍්‍රශ්නය’’ නමින් පොතක් එළිදක්වා තිබෙනවා. එම පොත සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන්ම ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. එහි විවිධ සාධක යොදා ගනිමින් ඓතිහාසිකව දෙමළ නිජ භූමියක් නොපැවති බව පෙන්වා දී තිබෙනවා. අපි එම පොත ඉදිරි සැසිවාරයේදී මානව හිමිකම් කොමිසමට භාරදීමට බලාපොරොත්තු වනවා.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළා යහපාලන ආණ්ඩුව මානව හිමිකම් කොමිසමට වූ පොරොන්දුවලින් මේ දක්වා ඉෂ්ට කර නැත්තේ නව ව්‍යවස්ථාවක් ගෙනඒම පමණක් බව. ආණ්ඩුව මේ වනවිට නව ව්‍යවස්ථාව සඳහා වූ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාවලිය සහ ජිනීවා පොරොන්දු ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – දෙමළ ජාතික සන්ධානය, රටෙන් පිටත දෙමළ රාජ්‍යය ඇතුළු දෙමළ බෙදුම්වාදී සංවිධාන නව ව්‍යවස්ථාව ලබා ගැනීම සඳහා ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා.

නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේදී අවශ්‍ය නොවන බව මහානායක හිමිවරුන් පවා ප‍්‍රකාශ කර තිබෙනවා. උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ සහ ජනතාවගේත් ස්ථාවරය ඒක තමයි.

නව ව්‍යවස්ථාවක් ගෙනඒමේ අරමුණ තමයි ඉන්දියාවටත් වඩා එහාට ගිය ෆෙඩරල් රාජ්‍යයක් මෙම භූමියේ ස්ථාපිත කිරීම. ෆෙඩරල් රාජ්‍යයක් ස්ථාපිත කළ පසු ඊළඟ පියවර ලෙස උතුර සහ නැගෙනහිර භූමියේ වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට පුළුවන්කම තිබෙනවා. ඒ පිළිබඳව සිංහල සහ මුස්ලිම් ජනතාව පමණක් නොවෙයි කොළඹ ජීවත්වන දෙමළ ජනතාවත් අවදියෙන් සිටිය යුතුයි.

නව ව්‍යවස්ථාවෙන් ලංකාව රාජ්‍ය 9 කට බෙදීමට සැලසුම් කර තිබෙනවා. ලංකාව වගේ කුඩා රාජ්‍යයක් පළාත් 9 කට බෙදූ පසු පාලනයේදී ව්‍යාකූල භාවයක් ඇති වෙනවා. ඉන්දියාව අපට බලෙන් පටවපු පළාත් සභා ක‍්‍රමය නිසා මේ වනවිටත් රට ව්‍යාකූල භාවයකට පත්වී තිබෙනවා. එමනිසා පරිපාලන කටයුතුවලදී ව්‍යාකූල භාවයක් පවතිනවා. නව ව්‍යවස්ථාව සම්මත වුවහොත් පොලිසි 9 ක්, ආණ්ඩු 9 ක්, උසාවි 9 ක් නිර්මාණය වීම නිසා එම ව්‍යාකූල තත්ත්වය තවදුරටත් වර්ධනය වනවා.

මෙම ව්‍යවස්ථාව නිසා උතුරෙන් පිට ජනතාවට කිසිදු ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ, මේ රටේ ජීවත්වන දෙමළ ජනතාවගෙන් ලක්‍ෂ 8 ක් පමණයි උතුරේ ජීවත් වෙන්නේ. එම ලක්‍ෂ 8 ක ජනතාවට ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමයි දෙමළ දේශපාලනඥයන් මෙම ව්‍යවස්ථාව ගෙන එන ලෙසට බල කරන්නේ.

එබඳු ව්‍යවස්ථාවක් ගෙනඒමේ කිසිදු අවශ්‍යතාවක් නෑ.

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන අහෝසි නොවන බව ප‍්‍රකාශ කරනවා. එහෙම නම් පවතින ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අහෝසි කරන්නේ ඇයි කියලා අපි අහනවා. වත්මන් ව්‍යවස්ථාවේ රටේ ඒකීය භාවය පිළිබඳව සඳහන් වන්නේ දෙවැනි වගන්තියේ. නව ව්‍යවස්ථාවෙන් ඒකීය භාවය වෙනස් කරන්නේ නැතිනම් එම දෙවැනි වගන්තිය සංශෝධනය කරන්නේ ඇයි කියල අපි අහනවා. එම සරල උදාහරණවලින් නව ව්‍යවස්ථාවෙන් සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක පැහැදිලි වනවා.

මෙම ව්‍යවස්ථාව මෙම අවස්ථාවේදීම ගෙන එන්නේ මානව හිමිකම් කොමිසමේ 30/1 යෝජනාවේ තිබෙන නව ව්‍යවස්ථාවක් ගෙනඑන බවට දී තිබෙන පොරොන්දුව ඉෂ්ට කිරීමට බව මෙම අවස්ථාවේදී පැහැදිලිව සඳහන් කිරීමට පුළුවන්කම තිබෙනවා.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර තිබෙන යුද අපරාධ චෝදනාවට යහපාලන ආණ්ඩුව සම අනුග‍්‍රහය දක්වා තිබෙන නිසා, ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය ඉදිරිපත් කරන කරුණු ද පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසම නිසි ප‍්‍රතිචාරයක් නොදක්වන බව.

ඒ සම්බන්ධයෙන් ගතයුතු යුතු පියවර කුමක්ද?

පිළිතුර – දින 56 ක් බලයේ සිටිය ආණ්ඩුව පැවැති කාලයේදී අපි එම ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා හමුවී සඳහන් කළා ජීනීවා යෝජනාවට දක්වා තිබෙන සම අනුග‍්‍රහයෙන් ඉවත් වෙන්න කියලා.

යහපාලන ආණ්ඩුවත් සමග එම යෝජනාවට සම අනුග‍්‍රහය දක්වා තිබෙන්නේ ඇමරිකාව. මේ වනවිට ඇමරිකාව එම සමුළුවෙන් ඉවත් වී තිබෙනවා. එම පසුබිම තුළ අපි පමණක් තවදුරටත් සම අනුග‍්‍රහය දක්වන්නේ ඇයි ද කියන කාරණය තමයි අපි මතුකළේ. සංකල්පයක් ලෙස අපගේ අදහසට එම නායකයන් එකඟ වූවා.

ඉන් අනතුරුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙම ආණ්ඩුවේ නායකයන් වන සජිත් පේ‍්‍රමදාස මහතා, තිලක් මාරපන මහතා යන අය හමුවූවා. අපි ජනාධිපතිතුමා සමගත් මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. අපි එම නායකයන් සමග ප‍්‍රකාශ කළෙත් ඇමරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වී සිටින මෙම අවස්ථාවේදී ආණ්ඩුව එම යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමෙන් ඉවත් විය යුතු බව තමයි. එම නායකයනුත් මූලධර්මයක් ලෙස අපගේ අදහස සමග එකඟ වනවා. තමන් මෙම ආණ්ඩුවේ සමහර ප‍්‍රධාන නායකයන් කිහිප දෙනකු තවදුරටත් සමඅනුග‍්‍රහය දැක්විය යුතුය යන ස්ථාවරයේ සිටිනවා.

එම නිසා අපි විශ්වාස කරනවා ඉදිරි මැතිවරණයකදී සම අනුග‍්‍රහයෙන් ඉවත් විය යුතුය යන යෝජනාව ජනතාවට ඉදිරිපත් කළ යුතු බව. එම මැතිවරණයේ දී ජනවරමක් ලබාගත යුතුයි, මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ 30/1 යෝජනාවට ආණ්ඩුව දන්වා තිබෙන සම අනුග‍්‍රහයෙන් ඉවත් විය යුතු බවට.

සාකච්ඡා කළේ

එරික් ගාමිණී ජිනපි‍්‍රය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More